මම හුස්ම හිරවෙද්දීත් 'යමන්' රාගය ගැයුවා

ජූලි 16, 2020

අපේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණතම ගායන ශිල්පිණියක වන මායා දමයන්ති පසුගිය කාලයේ තද බල ලෙස රෝගාතුරව පසු වූ බව අපට දැන ගන්නට ලැබුණා. විශේෂයෙන්ම මුහුණු පොත හරහා ඇගේ රෝගී තත්ත්වය වෙනුවෙන් මේ රටේ අති විශාල රසික පිරිසක් ඇයට ආශිර්වාදාත්මක පණිවිඩ හුවමාරු කරගෙන තිබුණා. ඒ නිසාම වර්තමානයේ ඇගේ සුවදුක් කෙසේදැයි විමසීමට පසුගිය දිනක අප ඇයට කතා කළා.

මායා දමයන්ති යනු මෙරට ගීත ක්ෂේත්‍රයේ සරල ගී ගායිකාවක මෙන්ම චිත්‍රපට පසුබිම් ගායිකාවක වශයෙන් ද කීර්තියක් දිනා ගත් ගායන ශිල්පිනියක්. ‘අරලිය මල් ‘චිත්‍රපටයේ ඉද්ද මල් කතාවේ ගීතය මෙන්ම කුරුල්ලෝ නුඹේ තාලෙන් ඉගිල්ලෙන ආසයි වැනි ගීත ඇතුළුව ඇය ගැයු බොහෝ චිත්‍රපට ගී අදටත් අපේ සිනමා ලෝලී රසික හදවත් තුළ ලැගුම් ගත් ගීත බව කාටත් නොරහසක්. ඒ විතරක් නොවෙයි ඇය සරල ගී ගායිකාවක වශයෙන් අපට තිළිණ කළ පුරහඳ ලෙස ඔබ සමකළ, දෑස වසා සිටියා ඔබේ රුව වැනි ගීත අපට අමතක කළ නොහැකියි. මෙවන් අමරණිය නිර්මාණ රාශියක් අපට තිළිණ කළ ඇය පසුගිය දිනක දැඩි ලෙස අසාධ්‍යව රෝහල් ඇඳක වැතිර සිටියා.

රසික සිත් අමන්දානන්දයට පත්කළ ඇගේ හඬ තව දුරටත් අපට විඳීන්නට ඉඩ සලසමින් මේ වනවිට ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සුවය ලබා තිබෙනවා.

ඇත්තටම මටම හිතා ගන්න බෑ මම මුහුණ දුන්නේ මොන වගේ තත්වයකටද කියලා. කොරෝනා වසංගතයෙන් පස්සේ රට ඇරියටත් පස්සේ හදිසියේම දවසක හවස මට ටිකක් හුස්ම ගැනීමේ අපහසුතාවයක් ආවා. එක පාරටම දාඩියත් දාන්න පටන් ගත්තා. මම ඒක ඒ තරම්ම ගනන් ගත්තේ නෑ. බෙහෙතක් පපුවේ ගාලා ටිකක් වෙලා යනකොට අඩුවෙලා යයි කියලා හිතලා නිදා ගත්තා. ඇත්තටම ටික වෙලාවකින් අඩු වෙලා ගියා. ඒත් පහුවදා නැගිට්ටමත් මට ඒ තරම් සුවයක් ඇඟට දැනුණේ නෑ. වම් අත ටිකක් කැක්කුම හැදෙන්න පටන් ගත්තා. කෝකටත් කියලා තමයි මාව දොස්තර ළඟට අරගෙන ගියේ . දොස්තර එන්ජියෝ ග්‍රෑම් එකක් කරලා බලත්දි. හදවතේ වෑල්ව් කීපයක්ම සියයට අසුවක් විතරම බ්ලොක් වෙලා තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. ඒ ගමන්ම රෝහල් ගත වෙලා ස්ටෙන්ට් දැම්මා.

දැඩි සත්කාර ඒකකයේ දින කිහිපයක් හිටියට පස්සේ මට සාමාන්‍ය සුව අතට හැරෙන කොට රෝහල් කාමරයකට දැම්මා. දිනකින් දෙකකින් විතර හදිසියේම මට ආයෙත් පපුව හිර කරන්න අරගෙන හුස්ම ගන්න අමාරු වුණා. සියලු දෙනාම ඒකෙන් නම් කලබලයට පත් වුණා. ඊට පස්සේ ආයෙත් සැරයක් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා ආයෙත් ප්‍රතිකාර කරන්න පටන් ගත්තා. ඇත්තටම ඒ පාර වෙලා තිබුණේ නම් හාට් ඇටෑක් එකක් නොවෙයි. මට කාලයක ඉඳලා ඩයබෙටික් තිබුණා. මේ රෝගි තත්වයත් එකක් ඒක උත්සන්න වෙලා ආපු දෙයක්. මම නම් හිතුවෙ ඒ පාර නම් මම මැරේවිම කියලා තමයි. හැබැයි මේ මොහොතේ මට එකම දෙයයි මගේ මතකයට ආවේ මගේ ආගම දහමට අනුව බුදු හාමුදුරුවොත් , මම බෙහෙවින් ගෞරව කරන ක්‍රිස්තුස් වහන්සේත් සංගීතයත් විතරයි

ඇය කියන්නේ ඇයට මරණාසන්න මොහොතේත් සංගීතය මතකයට ආ හැටියි. ඇය සිය ජිවිතයේ දිවි දෙවැනි කොට ආලය කරන්නේ සංගීතයටයි. කුඩා කල පටන්ම වඩවා ගත් සංගීත ඥානයත් සමඟ ඇගේ ජිවිතේ සියලු ප්‍රාර්ථනා ‍බලාපොරොත්තු වැඩුණේ සංගීතයත් සමඟ. ජිවන ගමන පැද යන්නට ද එයටම සරිලන , එයටම ගැළපෙන සහකරුවෙකු ඇයට හමු වුණා. ඔවුන් දෙදෙනාම එදා සිට මේ දක්වා ගත කළ දිවිය පුරා වුයේ සංගීතය හා බැඳුණු නිර්මාන දිවියක්. හදිසි රෝගාතුර අවස්ථාවකදි පවා ඇය පවසන්නේ සිහියට එන්නේ ඒ පිළිබඳ මතකයන් බවයි.

මම නැවතිලා හිටපු රෝහල් කාමරේ ඉඳන් දැඩි සත්කාර ඒකකයට ගෙන යන මොහොත දක්වාම පිරිත් මගේ මතකයට ආවා වගේම මම බෙහෙවින්ම ප්‍රිය කරන උතුරු ඉන්දිය රාගධාරි සංගීතයේ යමන් රාගය මගේ සිහියට ආවා. යමන් රාගය කියන්නේ සන්ධ්‍යා භාගයේ ගායනා කරනු ලබන රාගයක්. මගේ හදවතේ අමාරුව මුලින්ම මතු වුණෙත් සන්ධ්‍යා කාලයක. හුඟක් වෙලාවට මම ඇ‍ඳේ දිගා වීගෙන හිතින් මෙම රාගය ගායනා කළා. හුස්ම හිර වි ගෙන එත්දිත් මගේ මතකයට නිතරම ඒක මතක් වුණා.

ගායන ශිල්පිණියක ගේ ජිවිතයේ ආත්මය සංගීතයත් සමඟ බැදී තිබිමේ අරුමය වෙන්න ඇති මේ . ඇයත් ඇගේ සැමියා වික්ටර් විජයන්තත් මේ ලොවට තිළිණ කල නිර්මාණ

මෙන්ම මේ ලොවට තිලිණ කල දියණියන් දෙදෙනා ද කලාවම දෝතින් ගත්තියන් වීම අපුරු කාරණාවක් . මවගේ පියා ගේ උරුමය බොහෝ අභිමානයෙන් රැගෙන ඉදිරියට පියමනින ඇගේ වැඩිමල් දියණිය කුෂානි සඳරේඛා තමයි දැන් ඇයව ආදරයෙන් බලා කියා ගන්නිය. ඇගේ බාල දියණිය විදේශයක පදිංචිව සිටින බැවින් නිතර ඇය සමිපයේ රෑඳීමට හැකියාවක් නෑ.

ඇත්තටම කියනවා නම් මගේ දරුවෝ දෙන්නා ගැන මට තියෙන්නේ පුදුම ආදරයක් භක්තියක්. අම්මා කෙනෙක් විදියට මම මගේ දරුවෝ දෙන්නා ගැන කොයි තරම් ආඩම්බර වෙන්න ඕනද කියලා හිතෙනවා. කුෂානිත් කසුනුත් තමයි අසනීප වුණු අවස්ථාවේ ඉඳලා මා ළඟින්ම ඉඳගෙන මාව බලා කියා ගත්තේ. පොඩි දුව නිතරම කතා කරලා මගේ සුව දුක් අහනවා. කලා හැකියාවන් වගේම ගුණ යහපත් කම් වලිනුත් පිරිච්ච දරුවෝ ඔවුන්.

මාව අසනීප වුණු මොහොතේ වික්ටර් ට නම් ඒතත්වය දරා ගන්න බැරි වුණා. ඇත්තටම එයා අඬන්න පටන් ගත්තා. වික්ටර් මම වෙනුවෙන් දුක් වෙවී අඬන එක ගැන තමයි මට තිබුණු ලොකුම දුක. අපි දෙන්න අතර තියෙන්නෙක් දැඩි ආදරණීය බැඳීමක් . මගේ කලා ජිවිතේ සාර්ථකත්වය පිටුපස හිටපු දැවැන්ත හෙවණැල්ල එයා. මගේ වෘත්තිය ජිවිතේට මෙන්ම මගේ පෞද්ගලික ජිවිතේ ටත් එයා තමයි විශාලම ශක්තිය වුණේ. එයා මට ආදරණිය දරුවෝ දෙන්නෙක් දුන්නා. තාත්තා හැටියට ඒ දරුවන්ට උපරිමයෙන් ආදරය , කරුණාව දයාව පිරිනැමුවා. ඉතින් මගේ හිතේත් වික්ටර් වෙනුවෙන් තියෙන්නේ අතිවිශාල ගෞරවයක්.කොහොම වුණත් දැන් මම ආයෙත් යථා තත්වයට පත්වෙලා ඉන්නවා. දැන් ආයෙත් සින්දු කියන්නත් පටන් ගත්තා .සර්ජරි එනෙක් පස්සේ ඉස්සරලාම සින්දු කිව්වේ ස්වාධීන රුපවාහිනියෙන් කළ අනෝජා නංගී ගේ වැඩසටහනට. ඊයේ පෙරේදා ස්වාධීන රූපවාහිනියේ කළ සනත්ගුණතිලක ගේ වැඩ සටහනටත් සින්දු කිව්වා. ඉස්සරහදි මම සින්දු 10 ක් එක දිගට කියන වැඩ සටහනකටත් සම්බන්ධ වෙනවා. මම ඩොක්ටර් ගෙන් ඇහුවම කිව්වා දැන් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.

ඇය කිව්වෙ බොහොමත්ම සතුටකින්. ඇගේ ගී හඬින් මෙරට ශ්‍රාවක සවන් පත් තවත් දිගු කල් පිනවන්නට ඇයට ශක්තිය ධෛර්යය සමඟ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා.

 

නිශ්ශංක විජේරත්න