මට රඟපාන්න බැහැලු

- ශ්‍යාම් ප්‍රනාන්දු
ජූලි 16, 2020

චින්තන ධර්මදාස අධ්‍යක්ෂණය කළ “ඇවිළෙන සුලුයි” චිත්‍රපටය මේ වන විට තිරගත වෙමින් පවතියි. වෙනස් කතා තේමාවක් මූලික කරගනිමින් සැකසුණු “ඇවිලෙන සුලුයි” හි ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ ශ්‍යාම් ප්‍රනාන්දු වේ. එක් පුරුෂ චරිතයක් තුළ විවිධාකාරී වූ ස්වරූප නිරූපණය කරන එකී චරිතය පිළිබඳව සහ සිනමාව පිළිබඳ කතාබහකට ශ්‍යාම් ප්‍රනාන්දුව අපි එකතු කරගත්තෙමු.

ශ්‍යාම් මේ දවස්වල හොඳටම ඇවිළෙනවා නේද?

ඔව් මේ දවස්වල ගොඩක් හේතු නිසා මම ඇවිළෙනවා. (සිනාසෙමින්) සිනමා කර්මාන්තය ඇවිළෙනවාද අවුළුවන්න හදනවාද කියලා ගැටලුවක් තියෙනවා. ඒ වගේම "ඇවිළෙන සුලුයි" චිත්‍රපටයත් අපි අවුළුවන්න හදනවා. ආර්ථික හා සමාජීය වශයෙනුත් ඇවිළෙන්න උත්සාහ කරන පසුබිමක තමයි අපි දැන් ඉන්නේ.

කොහොමද ඇවිළෙන සුලුයි චිත්‍රපටයේ ශ්‍යාම්ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර?

කොරෝනා වසංගතයත් එක්ක සෞඛ්‍ය නීතිරීතිවලට අනුව සිනමාශාලා නැවත විවෘත කළාට පවතින තත්ත්වයත් එක්ක තවමත් ඒ තරම් ප්‍රතිචාර ලැබුණේ නැහැ. මේ වනවිට චිත්‍රපටය නරඹලා තියෙන්නේ සීමිත සංඛ්‍යාවක් වීම ඒකට හේතුවක්. මීට පෙර වතාවක් සිනමා සම්මාන උලෙළකදි චිත්‍රපටය ප්‍රදර්ශනය කරපු වෙලාවක කලා සමාජයෙන් සෑහෙන්න හොඳ ප්‍රතිචාර ලැබුණා. දැනටත් අතරින් පතර චිත්‍රපටිය නරඹන සුළු පිරිසකගෙන් චිත්‍රපටය ගැන සහ මගෙයි සමනලීගෙයි රංගනය ගැනත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා.

මෙහි එකම චරිතය දෙආකාරයකින් ඔබ නිරූපණය කරනවා.

මේ චිත්‍රපටයේ විශේෂත්වය තමයි චරිත සීමිත වීම. මෙහි ප්‍රධාන චරිත දෙකක් වටා කතාව ගෙතිලා තියෙන්නේ. මේ චරිත දෙකේ නම් අදාළ නැහැ. මගේ නම කියවෙන්නේ චිත්‍රපටයේ එකම තැනක විතරයි. එක මනුස්සයෙක් තුළ දකින්න තියෙන විවිධ ස්වරූප මම මේ චරිතයෙන් පෙන්නනවා. චිත්‍රපටයේ එක තැනක මම කෝල් එකකට ආන්සර් කරනවා එහිදී මට අනිත් පැත්තෙනුත් ඇහෙන්නේ මගේ කටහඬම තමයි. මම මටම කතා කරගන්නවා. අපි සාමාන්‍යයෙන් සිනමා නිර්මාණයක දකිනවා වගේ චරිත කීපයක් වටා ගෙතුණු කතාවක් වෙනුවට එක චරිතයක ප්‍රභේද ගොඩක් දක්වමින් සමස්ත පිරිමි සමාජයම නියෝජනය කරන එක චරිතයක් විදිහට තමයි මේ කතාවේ මගේ චරිතය ගොඩනැඟිලා තියෙන්නේ.

Road Movie  කියන ජෝනරය ලංකාවේ සිනමාවට නුහුරු අත්දැකීමක්. ඒ නිසා මේ චරිතය ශ්‍යාම්‍ට අභියෝගයක් වුණාද?

මොන චරිතයක් වුණත් ඒක අභියෝගයක් තමයි. චරිතයක දිග පළල, හැසිරෙන අවස්ථාවල ස්වභාවය හොයාගන්න එක අභියෝගයක් තමයි. ඇවිළෙන සුලුයි කියන්නේ Road Movie එකක් නිසා ඒකේ දර්ශන රූගත කිරීම්වලින් 90%කම තිබුණේ කාර් එකක් ඇතුළේ සිදුවන සිදුවීම් ටිකක්. එතකොට විශාල ප්‍රශ්න ගොඩකට මූණදෙන්න වුණා. මේ රූගත කිරීම් ගොඩක්ම තිබුණේ දවල් කාලයේ. ගිනි ගහන අවුකූටකේ කාර් එකක් ඇතුළේ රූගත කිරීම් කරනවා කියන එක පැත්තකින් ශාරීරිකව අමාරුයි අනිත් පැත්තෙන් තාක්ෂණිකව අමාරු වුණා. කාර් එකේ කැමරා තුනක් විතර විවිධ කෝණවලින් සවි කරලයි රූගත කිරීම් කළේ. මම වාහනේ ධාවනය කරපු නිසා ඒක ප්‍රායෝගිකවත් අමාරු වුණා පාර පේන්නේ නැහැ වගේ හේතු නිසා. ඒ වගේම වාහනයක් ඇතුළේ තවත් චරිතයක් එක්ක සිදුවෙන සිදුවීම් ටිකක් ප්‍රේක්ෂකයන්ට නීරස නොවෙන විදිහට නිර්මාණය කරන්නේ කොහොමද කියන එක රංගන ශිල්පීන් විදිහට අපිටත් අධ්‍යක්ෂවරයාටත් කැමරාකරණ ශිල්පියාටත් විශාල අභියෝගයක් වුණා. එහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ කැමරා අධ්‍යක්ෂවරයා වෙන පාලිත පෙරේරාව. ඔහු මේ චිත්‍රපටයට දක්වපු දායකත්වය නිසා තමයි වාහනයක් ඇතුළේ සිද්ධ වෙන දේවල් ටික ඇස් ඉවතට ගන්නේ නැතුව බලන්න පුළුවන් වෙන්නේ.

"ඇවිළෙන සුලුයි"හි ඔබේ චරිතය සාර්ථකව කරගෙන යන්න සමනලී ෆොන්සේකාගෙන් ලැබුණු දායකත්වය කොහොමද?

නිළියක් විදිහට සමනලී ෆොන්සේකා වගේ නිළියක් එක්ක රඟපාන්න ලැබෙන එක ඇත්තටම ලොකු පහසුවක්. අනිත් පැත්තෙන් චිත්‍රපටයේ මගේ චරිතය ඉදිරියට ගෙන එන්න ඇය දෙන දායකත්වය විශේෂයි. රංගනයකදී අනිත් කෙනා දක්වන දායකත්වය මත තමයි අපේ චරිත ගොඩනැඟෙන්නේ. මීට පෙරත් අවස්ථා කීපයකදී මට සමනලී එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙන නිසා ඒ අවබෝධයත් එක්ක දර්ශන තලයකදී විඳීන්න ලැබෙන ප්‍රායෝගික අපහසුතාත් මඟහරවාගෙන අවස්ථා නිරූපණය හොඳීන් කරන්න මට සමනලීගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.

චින්තන ධර්මදාස වගේ තරුණ පරපුරේ අධ්‍යක්ෂවරයෙක් සමඟ වැඩ කරන්න ලැබුණු අත්දැකීම කොහොමද?

මට පළමු වතාවට මේ චිත්‍රපටය හරහායි චින්තන එක්ක වැඩ කරන්න ලැබෙන්නේ. සිනමා විචාරකයෙක් ලෙස ඔහු ලියන දේවල් කියවලා තිබුණු අත්දැකීම විතරයි මට මීට පෙර තිබුණේ. තමන් කරන වැඩේ ගැන ඉතාම අවබෝධයකින් තමයි චින්තන මේ චිත්‍රපටය පටන් අරගෙන තිබුණේ. ඔහු එක්ක වැඩ කරන්නත් ඉතාම පහසුයි. මේ චිත්‍රපටියෙන් ඔහුට සමාජයට කියන්න ඕනේ කාරණාව ගැන ඉතාම පැහැදිලි අදහසක් තිබුණා. ඒක ඉතාම පහසුවෙන් අනිත් අයගෙන් මතු කරගන්න ඔහුට හැකි වුණා කියලා මම හිතනවා. ඉස්සරහටත් ලංකාවේ හොඳ චිත්‍රපට කීපයක් කරලා අලුත් ප්‍රේක්ෂකාගාරයක් සිනමාවට නිර්මාණය කරන්න චින්තනට හැකිවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

නව පරපුරේ අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කරන්න වැඩියෙන් ඇල්මක් දක්වනවාද?

කරලා තියෙන චිත්‍රපට සංඛ්‍යාවෙන්වත් වයසින්වත් අධ්‍යක්ෂවරුන් ප්‍රවීණයි කියන්න බැහැ. ප්‍රවීණ වෙන්නේ හදන චිත්‍රපටයේ ගුණාත්මකභාවය අනුව. ඇත්තටම දැන් ඉන්නවා චිත්‍රපට පිස්සුව තියෙන හොඳ වැඩක් කරන්න පුළුවන් කෙල්ලෝ කොල්ලෝ ටිකක්. මම ඒ අය එක්ක වැඩ කරන්න කැමතියි. ඒ වගේම ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වගේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් එක්කත් මම වැඩ කරලා තියෙනවා. ඔවුන් සිනමාවේ නව මානයන් සොයා ගිය අධ්‍යක්ෂවරුන්. ඒ වගේමයි අවුරුදු 24ක් වයස චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වන මේඝ සූරියආරච්චි සමඟත් මම වැඩ කළා. ඒ චිත්‍රපටියේ නම "Marine Drive". හොඳ තරුණ සිනමා නිර්මාණකරුවෝ ටිකක් අපිට ඉන්නවා. ඔවුන් එක්කත් මම ඉතා ආසාවෙන් වැඩ කරනවා. අවශ්‍ය වෙන්නේ අධ්‍යක්ෂවරයාගේ වයස නෙමෙයි. ඔවුන් සිනමාව දිහා බලන ආකාරයයි වැදගත්.

ඇයි ශ්‍යාම් රැඩිකල් චිත්‍රපටවලම රඟපාන්නේ?

මම කලින් රඟපාපු "ප්‍රේමය නම්" චිත්‍රපටය නම් ඒ ගණයට අදාළ වෙන්නේ නැහැ. ඒක එදිනෙදා ජීවිතයේ සිදුවීම් එක්ක ගොඩනැඟුණු කතාවක්. එහි කතාව ගලා යන වින්‍යාසයේවත් රැඩිකල් සිනමා ප්‍රකාශයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් "ඇවිළෙන සුලුයි" චිත්‍රපටයේ යම්කිසි ආකෘතිමය වෙනසක් තියෙනවා. චින්තන ධර්මදාසගේ සමාජ ක්‍රියාකාරීත්වයේ ඔහුගේ භූමිකාව රැඩිකල් කියන කැටගරියටම වැටෙන නිසා චිත්‍රපටයත් එහෙම කියලා හිතෙන්න පුළුවන්. නමුත් මම සාමාන්‍ය ජීවිතයේදී එහෙම රැඩිකල් මනුස්සයෙක් නෙමෙයි. නමුත් අපි කරන නිර්මාණයේ අපේ ප්‍රකාශනය අනුව තමයි අපි රැඩිකල් වෙනවාද සාම්ප්‍රදායික වෙනවාද කියලා තීරණය වෙන්නේ. පැරණි පරම්පරාවේ සහ නව පරපුරේ නිර්මාණකරුවෝ ඉන්නවා ඔවුන් කියන ප්‍රකාශවල විතරයි රැඩිකල්කම තියෙන්නේ. ඔවුන්ගේ නිර්මාණ ඇතුළේ ඒක දකින්න වෙන්නේ නැහැ. නමුත් චින්තනගේ ඒ රැඩිකල් බලපෑම මේ චිත්‍රපටය හරහාත් ඔහු කරනවා කියලා මම හිතනවා.

ඔබේ නිර්මාණ කර්තව්‍යයේදී චරිත තෝරාබේරා ගැනීමක් කරනවාද?

මම දායක වෙලා තියෙන සිනමා නිර්මාණ ඇතුළේ නම් මම චරිත තෝරාබේරා ගැනීමක් කරලා තියෙනවා. ආරම්භයේ සිටම මම දායක වුණු ඔබ නැතුව ඔබ එක්ක, ප්‍රේමය නම්, අසන්ධිමිත්තා, සක්කාරං, ඇවිළෙන සුලුයි යන චිත්‍රපට සියල්ලේම මම චරිතය පිළිබඳව මම සැලකිලිමත් වුණා. ටෙලිනාට්‍යවලදී නම් චරිත තෝරාබේරා ගැනීමක් නොකර ජීවත් වෙන්න සල්ලි හොයාගන්න ඕනේ නිසා නිර්මාණවලට සහභාගි වෙලා තියෙනවා. නමුත් චිත්‍රපටයක් දශක ගණනාවක් සමහරවිට සියවසක් පමණ ආරක්ෂා වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි නැති කාලෙක වුණත් අපිට ඉතුරු වෙන්නේ අපි කරපු චිත්‍රපටි විතරයි. ඒ නිසා මම සිනමා නිර්මාණයක් තෝරාගනිද්දි ඒ තුළින් කිසියම් විශේෂ දෙයක් කරන්න පුළුවන්ද මිනිස්සුන්ගේ ජීවිතයේ හිතන්න යමක් ඉතුරු කරන නිර්මාණයක්ද කියලා බලනවා.

ලැබුණු සම්මාන ගැන කතා කළොත්?

සිනමා නිර්මාණයකින් මට ලැබිලා තියෙන්නේ එකම එක සම්මානයයි. "ඔබ නැතුව ඔබ" එක්ක චිත්‍රපටයට සම්මානයක් ලැබුණා. හොඳම නළුවා සම්මානයට නිර්දේශ වෙලා තියෙනවා. ලංකාවේ සිනමා විචාරකයෝ සහ ජූරි සභිකයෝ කියලා තියෙනවා මට රඟපාන්න බැහැ කියලා.

රඟපාන්නේ බැහැ වගේ ඉඳලා රඟපාන්නේ කොහොමද?

මගේ රංගන ධාරාව ලංකාවේ පිළිගන්නේ නැහැ. ලෝකයේ එහෙම රංගන ධාරාවක් තියෙනවා. තාත්විකත්වයට තැන දෙන සිනමා ප්‍රේක්ෂකයන්ගෙන් එහෙන් මෙහෙන් හොඳ ප්‍රතිචාර මට ලැබෙනවා. නමුත් බහුතර මතය තමයි රඟපාන්නේ නැත්නම් රඟපාන්න බැහැ කියන එක. ගොඩක් අය හිතන්නේ මම අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාව මත මොකක්හරි කරනවා ඇති කියලා. මම දෙවතාවක් රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නළුවාට සහ හොඳම සහාය නළුවාට සම්මාන ලැබිලා තියෙනවා. එක් අවස්ථාවකදී සුමති ටෙලි සම්මාන උලෙළෙදි හොඳම නළුවාට සම්මාන ලැබිලා තියෙනවා.

නිශ්ශංක විජේරත්න