මට Fight, Dance පුළුවන් ඒත් කවුරුවත් ගන්නේ නෑ

කළණ ගුණසේකර
ජූලි 23, 2020

 

කූඹියෝ ටෙලි නිර්මාණයෙහි ප්‍රියන්ත මහඋල්පතගමව ඔබට මතක ඇති. එසේ නැති නම් ගිනිඅවි සහ ගිනිකෙළි ටෙලි වෘත්තාන්තයේ "සුන්නා"ව සිහිපත් කරගන්න. ඒ සියල්ල අමතක නම් ඔබට කළණ ගුණසේකර නම් චරිතාංග රංගන ශිල්පියාව මතකද? කුෂාන් වීරරත්නගේ අධ්‍යක්ෂණය කළ උදාර පල්ලියගුරු නිෂ්පාදනය කළ "සූස්ති" චිත්‍රපටය පසුගියදා (17) සිට තිරගත වෙයි. එහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකු වන කළණ ගුණසේකර. බොහෝ විට විකල්ප ධාරාවේ සිනමාවට සහ ටෙලි නිර්මාණවලට සම්බන්ධ කළණ සමඟ අපි එකී විකල්ප ධාරාව පිළිබඳව සහ ඔහුගේ නිර්මාණ කර්තව්‍යය පිළිබඳව මෙසේ කතිකා කළා.

 

 

"කූඹියො"න්ට කලින් හිටපු කළණ ගැන අපි කතා කරමු?

මම මේ ගමන පටන් ගත්තේ වේදිකා නාට්‍යවලින්. ඉස්කෝලේ යන කාලේ මම මුතුහර ළමා සමාජයේ ඉඳලා තියෙනවා. එතකොට නාට්‍ය කරන්න ආපු අය තමයි ධර්මප්‍රිය ඩයස්, කාවින්ද සුරේන් කියන්නේ. ඉස්කෝලේ යන කාලේම මම වේදිකා නාට්‍යවල රඟපෑවා. උසස් පෙළින් පසුව මම නාට්‍ය ගැන හදාරන්න ප්‍රේමකුමාර කරුණාරත්න ළඟට ගියා. මම ඇතුළු බොහෝ නාට්‍යකරුවන්ගේ ගුරුවරයා ඔහුයි. ඊටපස්සේ මගේ ජීවිතය වේදිකාව උඩම තමයි ගෙවුණේ. ධර්මප්‍රිය ඩයස් අයියා මාවයි රුවන් මලිත් පීරිස්වයි "මුහුණට මුහුණ" වේදිකා නාට්‍යයට සම්බන්ධ කරගත්තා. සරත් කොතලවලගේ "සූකරයකු සමඟ" වේදිකා නාට්‍යයේ වේදිකා පරිපාලකවරයෙක් හැටියට කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. ඒ නාට්‍ය හරහා ලැබෙන මුදල්වලින් කොටසක් වෙන් කරලා මම සහ රුවන් මලිත් පීරිස් "දාස මල්ලිගේ බංගලාව" නාට්‍යය අධ්‍යක්ෂණය කළා. ඒ නාට්‍යයට රාජ්‍ය නාට්‍ය සම්මාන උලෙළේ සම්මාන අටක් ලැබුණා. ඊටපස්සේ "ලයිසිස්ට්‍රාටා", "මං දිය වෙලා", "ඊගෝ නගරය", "රයිනෝසිරස්", "ලේ නෑයා", "ග්ලැඩියේටර් ප්‍රේමය", "ඩබල් ගේම්කාරයෝ", "ප්ලෑන් ඕ" වගේ වේදිකා නාට්‍ය නිර්මාණවලට මම රංගනයෙන් සම්බන්ධ වෙනවා.

2012දී ප්‍රියන්ත සිරිකුමාරගේ "ග්ලැඩියේටර් ප්‍රේමය" නාට්‍යයට යෞවන සම්මාන උලෙළේදී මට හොඳම නළුවාට සම්මාන ලැබෙනවා. 2014දී "ඊගෝ නගරය"ට හොඳම නළුවා විදිහට ජූරියේ විශේෂ සම්මානයක් මට ලැබෙනවා. මම මගේ රංගන ජීවිතය ආරම්භ කළේ එහෙම. ඊටපස්සේ මට ටෙලිනාට්‍යවල රංගනයට ආරාධනා ලැබුණා. ක්‍රිස්ටි ෂෙල්ටන්ගේ "මේ වසන්ත කාලයයි", අනුරුද්ධ ජයසිංහගේ "යකඩ පහන්තිර", ආනන්ද අබේනායකගේ ටෙලිනාට්‍ය කීපයකත් මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ලලිත් රත්නායකගේ "වන්වේ", සුමුදුගේ "හුස්ම සහ ඔක්සිජන්", ලක්මිණී අමරදේවගේ "විභාගේ ෆේල්", තුෂාරි අබේසේකරගේ "ශ්වේත ගංතෙර", සාරංගගේ "ගිනිඅවි සහ ගිනිකෙළි" වගේ ටෙලිනාට්‍ය නිර්මාණවලට මම රංගනයෙන් දායක වුණා. ගිනිඅවි සහ ගිනිකෙළි නාට්‍යයේ "සුන්නා" චරිතයත් ප්‍රේක්ෂකයෝ යම් ප්‍රමාණයක් වැලඳගත්තා. ඊටපස්සේ තමයි මම ලක්මාල් ධර්මරත්නගේ "කූඹියෝ" ටෙලිනාට්‍යයේ රඟපාන්නේ.

 

කළණ ගුණසේකර කියන නළුවා ඉස්මතු වෙන්නේ කූඹියොන්ගෙන් කිව්වොත් හරිද?

හරියටම හරි. මාව හැමෝම දැනගන්නේ කූඹියෝ නාට්‍යයෙන්. කළණ ජනප්‍රිය වෙන්නේ කූඹියොන්ගෙන් කිව්වොත් හරි. ඒකට හේතුව විදිහට මම දකින්නේ ලක්මාල් ධර්මරත්නගේ සහ දමිත් චන්ද්‍රසිරිගේ පිටපත සහ ලක්මාල්ගේ අධ්‍යක්ෂණය. ප්‍රියන්තගේ චරිතයේ යම් සාර්ථකත්වයක් තියෙනවා නම් ඒකේ ගෞරවය හිමි වෙන්න ඕනේ එහි අධ්‍යක්ෂවරයාට සහ පිටපත් රචකයාට. ප්‍රියන්ත මහඋල්පතගම කියන චරිතයට මට ආරාධනා කරලා චරිතය අධ්‍යයනය කළාට පස්සේ ලක්මාල්ගේ ඔළුවේ තිබුණු චරිතය මවන්න තමයි මට වුවමනා වුණේ. එයාට මං ගැන විශ්වාසයක් තියෙන්න ඇති. මම කළේ ඒ චරිතය අධ්‍යක්ෂවරයාට අවශ්‍ය වුණු විදිහට මවපු එක. ඒ චරිතය නොහිතපු ආකාරයට ප්‍රසිද්ධ වුණා.

 

"සූස්ති" කියන්නේ ඔබේ කීවෙනි චිත්‍රපටියද?

"සූස්ති" කියන්නේ මම වැඩ කරපු චිත්‍රපට අතරින් අන්තිම එකට කලින් රූගත කරපු චිත්‍රපටය. නමුත් "සූස්ති" තමයි මුලින්ම තිරගත වෙන්නේ. සූස්ති" කියන්නේ මම ප්‍රධාන චරිතය රඟපාපු චිත්‍රපටවලින් මුලින්ම තිරගත වෙන චිත්‍රපටය. ඊටකලින් මම "මෝටර් බයිසිකල්" චිත්‍රපටයේ අතුරු චරිතයක් රඟපෑවා. කරපු චිත්‍රපටි හත අටක් තව එන්න තියෙනවා.

 

මොනවාද ඒ චිත්‍රපට?

මාලක දේවප්‍රියගේ "බහුචිතවාදියා", කසුන් පතිරනගේ "නයිට් රයිඩර්", කෞශල්‍ය මාධව පතිරණගේ "ඉක්කා", ජගත් මනුවර්ණගේ "මුරුගසන්නිය", තරිඳු දේශප්‍රියගේ "මන්කිමෑන්", "දුරදිග මිසයිල" ඉන්දික ෆර්ඩිනෑන්ඩුගේ "වෙඩි නොවඳීන ළමයි". මේ චිත්‍රපට ටික මම ප්‍රධාන චරිතය කළ චිත්‍රපට විදිහට තිරගත වෙන්න නියමිතයි.

 

"සූස්ති" චිත්‍රපටයේ ඔබේ චරිතය ගැන කතා කරමු?

මේ චිත්‍රපටයේ මගේ චරිතය මාලක. මාලක කියන්නේ ප්‍රධාන නිළිය වෙන සූසාගේ (සමනලී ෆොන්සේකා) හිතේ ඇති වෙන හිතළුවක්. සූසාට අධික මානසික පීඩන තත්ත්වයකදී සියදිවි හානි කරගන්න හිතෙනවා. ඒ අවස්ථාවේදී සූසාගේ හිතෙන් මතුවෙන චරිතයක් තමයි මාලක කියන්නේ. මාලක සූසා එක්ක ලොකු පධචඤ බපඪන එකක් යනවා. ඒ යන එන අතරේ සමාජයේ විවිධ දේවල් ගැන කතාබහ කරනවා. මිනිස් සමාජයෙන් බැහැර වෙලා ජීවිතය විඳීනවා. ඒත් මාලක කියන්නේ ඇත්ත කෙනෙක් නෙමෙයි.

 

කෙනෙකුගේ හිතේ ඇති වෙන හිතළුවක් චරිතයක් විදිහට රඟපෑවේ කොහොමද?

මේ පිටපත රචනා කලෙත් මම. මේ පිටපතත් එක්ක මම සහ අධ්‍යක්ෂවරයා මුල ඉඳන්ම ජීවත් වුණා. එහිදී මේ චරිතය පිළිබඳව අධ්‍යක්ෂවරයා සහ මා අතර යම් කතිකාවතක් ඇති වුණා. ඇත්තටම මම මේ චිත්‍රපටයේදී රඟපානවා කියලා කළේ සමනලී රඟපාපු සූසා කියන චරිතය දිහා බලාගෙන හිටපු එක.

 

මේ චරිතය කලණට අභියෝගයක් වුණේ නැද්ද?

අභියෝගයක් කියලා මට මේ චරිතයේදී කරන්න දෙයක් තිබුණේ නැහැ. චරිතයක් කරනවා නම් ඒ චරිතේ ගැන අධ්‍යයනය කරන්න වෙනවා. අපි කාගේ හරි ජීවිතයක් කලා නිර්මාණයක් හරහා නියෝජනය කරනවා නම් ඒ චරිතය අධ්‍යයනය කරන්න ඕනේ. චරිතයට අදාළ ගොඩක් දත්ත හොයන්න ඕනේ. මේකෙදි මට මුකුත් කරන්න තිබුණේ නැහැ. රංගන ශිල්පියෙක් විදිහට මම මේ චරිතයට ප්‍රවිෂ්ට වුණේ සුසා දිහා බලාගෙන ඉඳලා.

 

ඒ වුණාට ඒ චරිතයට ලංකාවේ සමාජ දේශපාලනය ගැන අවබෝධයක් තියෙනවාද?

මානසික අවපීඩනයක් ඇවිත් සූසා කියන ගෑනු ළමයා මැරෙන්න තීරණය කරලා ඊටපස්සේ මොහොතක් කල්පනා කරලා මැරෙන්න කලින් ටික දවසක් මේ ජීවිතය විඳීන්න තීරණය කරනවා. මේ පරිසරය දැනෙන්න ගන්නවා. රටේ දේවල් පෙනෙන්න පටන් ගන්නවා. එයාගේ ප්‍රශ්නේ ටිකෙන් ටික කුඩා වෙන්න පටන් ගන්නවා රටේ පවතින ප්‍රශ්නත් එක්ක. රටේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නවලට මැරෙන්න ගියා නම් රටේ හැමෝම මැරෙන්න ඕනේ කියලා එයාට තේරෙන්න පටන් ගන්නවා. ජීවිතය පිළිබඳව නිමේෂයක් තුළ එක තීරණයක් අරගෙන ඒක සංචාරයක් බවට හරවාගෙන සූසා රටේ දේවල් දකිනවා. සූසාට පරිසරයේ මඟහැරුණු දේවල් අවබෝධ වෙනවා. එයා කියනවා මම මේ ගහකොළවලට සත්තුන්ට ඉරිසියයි කියලා. එයා ලබන ආත්මේ කුරුල්ලෙක් වෙන්න කැමතියි කියනවා. ඒ දේවල් අවබෝධ කරලා දෙන්න උත්තේජනයක් හැටියට තමයි මාලකව භාවිතා කරලා තියෙන්නේ.

 

"සූස්ති" කියන්නේ විකල්ප ධාරාවේ චිත්‍රපටයක්ද?

මම හිතන විදිහට "සූස්ති" කියන්නේ මැද මාවතේ සිනමාව නියෝජනය කරන චිත්‍රපටයක්. උදාහරණයක් හැටියට සිනමාත්මක භාෂාවක් භාවිත කරනවා වෙනුවට අපි රටේ තියෙන ප්‍රශ්න අමුවෙන් කතා කරනවා. සාමාන්‍යයෙන් සිනමාත්මක භාෂාවක් භාවිත කරනවා නම් එහෙම අමුවෙන් දෙබස් දාන්නේ නැහැ. ඒකට සාහිත්‍ය ගොඩක් පාවිච්චි කරනවා.

 

තරුණයෝ මිනිස්සුන්ට චිත්‍රපට හදනවා වෙනුවට සම්මාන ගන්න චිත්‍රපට හදනවා කියලා විවේචනයක් තියෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

ඒක මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මම අපේ පරම්පරාවේ අයගේ චිත්‍රපටවල රඟපාලා තියෙනවා. පිටපත් ලියලා තියෙනවා. ඒ අයගේ චිත්‍රපට එළියේ ඉන්න ප්‍රේක්ෂකයන්ට නරඹන්න අවස්ථාවක් ලැබිලා නැහැ. යුද්ධෙන් පස්සේ සිනමාව කඩාගෙන වැටුණා. ඉන්පසුව අපේ පරම්පරාව හදන චිත්‍රපට මිනිස්සුන්ට බලන්න ලැබිලා නැහැ. ඒවා විකල්ප ධාරාවට අයිතියි කියලා බෙදලා වෙන් කරනවාට මම කැමති නැහැ. මේ හැම එකක්ම සාමාන්‍ය මිනිස්සුන්ට හදන චිත්‍රපට.

 

ඒ චිත්‍රපට ඇයි සාමාන්‍ය මිනිස්සු බලන්නේ නැත්තේ?

ප්‍රේක්ෂකයාට ඇවිත් බලන්න පුළුවන් සිනමාවක් තියෙන්න ඕනේ. හැම වෙලාවෙම කරන්නේ ඕනේ නිර්මාණවලට දායක වෙන එක. ඒත් කරන්නේ නිර්මාණකරුවන්ට බැන බැන ඉන්න එක. බනිනවා කියන එක තමයි කරන්න පුළුවන් ලේසිම එක. ඒත් බනින කවුරුත් වැඩේට අතගහලා නැහැනේ. චිත්‍රපටවලට බනින අය චිත්‍රපට හදන්න පටන් ගන්න ඕනේ. වරදින්න පුළුවන්. ඒත් ඒ වැරදි නැවත හදාගෙන වැඩ කරන්නයි ඕනේ. මම කියන්නේ නෑ මේ හැදෙන චිත්‍රපට මාරයි කියලා. ඒත් මේවා මිනිස්සුන්ට බලන්න පාර කපලා දෙන්න ඕනේ. මේ කතාවල තියෙන්නේ ඒ අයගේ ජීවිතය.

 

ඒත් ලංකාවේ ආදායම් වාර්තා තියන්නේ යථාර්ථයෙන් ඔබ්බට ගිහින් හැදෙන වාණිජ සිනමාව නේද?

ලෝකේ කොහෙ තිබ්බත් කලාත්මක සිනමාවට ප්‍රේක්ෂකයෝ අඩුයි. කලාත්මක සිනමාව හරි සංකීර්ණයි. සිනමා භාෂාව ගැන දැනුමක් තියෙන අයට විතරයි ඒ ගැන තේරෙන්නේ. ලංකාවේ, ඉන්දියාවේ කලාත්මක සිනමාවේ දැවැන්තයෝ ඉන්නවා. ඒත් ඒ චිත්‍රපට මිනිස්සු බලන්නේ නැහැ. සිනමාව ගැන අධ්‍යයනයක් තියෙන අයට තමයි කලාත්මක සිනමාව වැටහෙන්නේ. ඒ නිසා කලාත්මක සිනමාව සහ වාණිජ සිනමාව එකිනෙකට සංසන්දනය කරන එක අසාධාරණයි. මොකද කලාත්මක සිනමාව හැදෙන්නෙම ඉලක්කගත පිරිසකට විතරයි.

 

ඒ කියන්නේ විකල්ප ධාරාවේ සිනමාවට වාණිජ අරමුණක් නැහැ?

වාණිජ අරමුණක් නැහැ කියන්න බැහැ. නමුත් උදාහරණයක් හැටියට අවන්හලක විවිධ සිසිල් බීම ජාති ගොඩක් තියෙනවා. එතැනම උත්තේජ බීම කෑන් ටිකකුත් තියෙනවා. ඔක්කොම අරන් යන්නේ සිසිල් බීම. උත්තේජක ඉතුරු වෙනවා. කීපදෙනෙක් ඒක අරන් යයි. ඒ වගේ තමයි. මිනිස්සු ඇදෙන්නේ වාණිජ සිනමාවට. ඒත් කලාත්මක සිනමාවක් තියෙන්න ඕනේ. ඒකට මුදල් ගැවසෙන්න ඕනේ. නැති නම් වැඩක් නැහැ. ඒ වගේම තමයි දැන් සිනමා හෝල් එකට සීමාව වෙලා නැහැනේ. තාක්ෂණයත් එක්ක අන්තර්ජාලයෙනුත් චිත්‍රපටි බලනවා.

 

ලංකාවේ සිනමා කර්මාන්තය බිඳ වැටුණේ විකල්ප ධාරාවේ සිනමාව නිසා කියලා විවේචනයක් තියෙනවා. විකල්ප ධාරාව නියෝජනය කරන නිර්මාණකරුවෙක් හැටියට ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

උදාහරණයක් විදිහට ක්‍රිකට් ටීම් එක හොඳ වුණා කියලා ෆුට්බෝල් ටීම් එක වැටෙන්නේවත් ෆුට්බෝල් ටීම් එක හොඳ වුණා කියලා ක්‍රිකට් ටීම් එක වැටෙන්නේවත් නැහැ. එහෙම හිතෙනවා නම් ඒක ආකල්පවල අවුලක්. එහෙම එකක් වෙන්නේ නැහැ. වාණිජ සිනමාව වැටුණේ කලාත්මක සිනමාව නිසා කියලා කාටවත්ම කියන්න බැහැ. වාණිජ සිනමාව ගොඩගන්න මේ වෙලාවේ හේමාල් රණසිංහ, අෂාන් ඩයස් වගේ නළුවෝ ලොකු දායකත්වයක් ලබාදෙනවා.

 

කළණ ගුණසේකර කියල පිටපත් රචකයා ගැනත් අපි කතා කරමු?

මම වේදිකා නාට්‍ය පිටපත් ලියලා තියෙනවා . ඒත් ඒවා නිර්මාණ බවට පත් වුණේ නැහැ. මම රචකයෙක් නෙමෙයි. ඒත් රචනාවට උත්සාහ කරනවා. මම "අයිස්ක්‍රීම්" කියලා ඉදිරියේදී තිරගත වෙන්න නියමිත චිත්‍රපටයත් පිටපත රචනා කළා. එහි අධ්‍යක්ෂවරයා ප්‍රදීප් ධර්මදාස. හේමාල් රණසිංහ තමයි ඒ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා. මම ලියන එකෙන් කරන්නේ නිර්මාණ ගැන ප්‍රැක්ටිස් එකක්.

 

"අයිස්ක්‍රීම්" චිත්‍රපටය ගැන කිව්වොත්?

"අයිස්ක්‍රීම්" කියන්නේ මම ගොඩක් කලින් ලියපු චිත්‍රපටයක්. වාණිජ සිනමාවට තමයි මම ඒකෙන් පාර කපලා තියෙන්නේ. ඒක ෆිල්ම් එකකට වැඩිය පොඩි අත්හදා බැලීමක් කියලා කිව්වොත් හරි. ඒකේ ඉන්නවා විවිධ ප්‍රසිද්ධ සිනමා චරිත. සිනමා ලෝකයක ඉන්න තරුණයෙක් වටා ඒ කතාව ගෙතිලා තියෙන්නේ. "මෙහෙමවත් එකක් ලිව්වොත් මිනිස්සු ෆිල්ම් බලයිද" කියලා හිතලා ලියපු වැඩක් මේක. ලංකාවේ නූතන පරම්පරාව චිත්‍රපට කළාම අපි ඒක වැලඳගන්න ඕනේ. සිනමාව ප්‍රේක්ෂකයා මත රඳා පවතිනවා වගේම තමයි ප්‍රේක්ෂකයා සිනමාව මත රඳා පවතින තත්ත්වයක් අපි නිර්මාණය කරගන්න ඕනේ. අනවශ්‍ය දේවල්වලට වියදම් කරන එක වෙනුවට හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන පුරුද්දක් ඇති කරගන්න ඕනේ. ෆිල්ම් බලන පුරුද්ද මිනිස්සුන්ට නැවත ඇති කරගන්න පුළුවන් නම් වෙනත් රටවල වගේ සිනමා කර්මාන්තයක් ලංකාවේ නැවත බිහිවෙයි කියන විශ්වාසය මට තියෙනවා.

 

ඔබේ මාමණ්ඩි.. හීනටිගල ප්‍රේමදාස ලංකාවේ සුප්‍රසිද්ධ කලා අධ්‍යක්ෂවරයෙක්. ඔබේ නිර්මාණ කර්තව්‍යයට ඔහුගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?

අපි දෙන්නා අතර තියෙන්නේ සංවාදයක්. කලාව ගැන එයා දන්න අතීතයේ දේවල් මට කියනවා. මම වර්තමානයේ දන්න දේවල් එයාට කියනවා. අපි දෙන්නා අතර හරි ලස්සන කතිකාවතක් තියෙන්නේ. එයා හොඳ කලා අධ්‍යක්ෂවරයෙක්. එයා වැඩ කරන්නේ හැමදේම ඇඳලා. එයා වැඩක් ආවාම මාරම උනන්දුවකින් වැඩ කරන මනුස්සයෙක්. ඒ කැප කිරීම අලුත් පරම්පරාවේ තිබ්බා නම් මරු කියලා හිතෙනවා.

 

චිත්‍රපටයක් හෝ ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

නැහැ. මට අවශ්‍ය නැහැ කියලා හිතෙනවා. රඟපාන එකෙයි ලියන එකෙයි ආතල් එක මට ඇති තරම් ගන්න පුළුවන්කම තියෙද්දි තවත් කරදරයක පැටලෙන්න ඕනේ නැහැ. ඒකට ඕනේ තරම් කට්ටිය ඉන්නවා. අධ්‍යක්ෂණය කරන්න ආරාධනා නම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒත් මට බෑ... අම්මෝ... (සිනාසී) අධ්‍යක්ෂණය කියන්නේ වෙනම එකක්. ඒකට මහන්සි වෙන්න බැහැ.

 

ඉදිරි වැඩකටයුතු මොනවාද?

"මන්කිමෑන්" චිත්‍රපටයේ පසු සංස්කරණ කටයුතු කීපයක් කරන්න තියෙනවා. තව චිත්‍රපට කීපයක් ඇවිත් තියෙනවා. පවතින වසංගත තත්ත්වයත් එක්ක ඒවා කල් ගිහින් තියෙන්නේ. "කාලයේ ආරාමය" කියලා පොඩි වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා.

 

වාණිජ සිනමාවට ආරාධනා ආවොත් භාරගන්නවාද?

අනිවාර්යයෙන්ම භාරගන්නවා නිර්මාණයේ පිටපත හොඳ නම්. මට හොඳට නටන්න, ගහ ගන්න පුළුවන්. නමුත් ඒකෙන් වැඩක් අරගෙනම නැහැ මම. දකුණු ඉන්දියාවේ වාණිජ සිනමාවෙත් ඉන්නේ අපි වගේම කළු, ඇදවෙච්ච ඇඹරිච්ච නළුවෝ තමයි. ඒ වගේ තැනකට මේ සිනමාවත් ගේන්න ඕනේ කියලා මම හිතනවා.