පුතා නිසා නීල පබලු නාට්‍යයෙන් ඉවත් වූ පියා

වසරේ ජනප්‍රිය නළු,
නීල පබලු අභිමන් සුමිරන් ගුණසේකර
ජූලි 23, 2020

ඉකුත් වසරේ සුමති ටෙලි සම්මාන උළලේ ජනප්‍රිය නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ සුමිරන් ගුණසේකර.ඔහු තමයි නීල පබලු ටෙලි සිතුවමේ අභිමන්.තවත් විදිහකින් කිව්වහොත් ප්‍රධාන නළුවා.නීල පබලු රංගනය වෙනුවෙනුයි සුමිරන් ජනප්‍රිය නළුවා බවට පත් වුණේ.මේ සුමිරන් හෙවත් හැමෝම දන්න නීල පබලු අභිමන් ටික කලක පටන් ඒ නාට්‍යයේ නැහැ.ප්‍රධාන නළුවා නැතුව තමයි නාට්‍යය විකාශය වන්නේ.මේක නීල පබලු ප්‍රේක්ෂකයන්ට මහත් ප්‍රශ්නයක්.ඒ වගේම සුමිරන්ගේ අතුරුදන් වීම ගැන නොයෙක් කට කතා ක්ෂේත්‍රය තුළ ලියලමින් තිබෙනවා.

ඇත්තටම සුමිරන්ට මොකද වුණේ?

මුකුත් වෙලා නැහැ.මේ හොඳට ඉන්නේ.

සුමිරන් එහෙම කිව්වේ තමන් ගැන.

අපට දැන ගන්න ඕනේ නීල පබලු අභිමන්ට මොකද වුණේ කියලා?

අභිමන් මේ දවස්වල නැහැ.ඒකට හේතු තියනවා.මට දවසකට අතිවිශාල සංඛ්‍යාවක් දුරකතන ඇමතුම් එනවා අභිමන් ගැන අහලා.පාරට බැස්සත්,මගේ ව්‍යාපාරික ස්ථානයට ගියත් එහෙම්මම තමයි.මම ඒ සියල්ලටම පිළිතුරු දෙන්නයි මේ හදන්නේ.

මං මෙහෙම එකින් එක ඇහැව්වොත්,නීල පබලු නිෂ්පාදන කණ්ඩායමෙන් මොකක් හරි ප්‍රශ්නයක් වුණාද?

කිසිසේත්ම නැහැ.අපි හැමෝම එක පවුලක් වගේ ඉන්නේ.කැමරා කරන දිලීප අයියා,උහාන්ඕවිට,ඒ.ඩී.පුෂ්පරුවන්, ඇතුළු සියළු දෙනාට මම හරිම ආදරෙයි.එයාලටත් ප්‍රශ්නයක් මම නැති එක.ඒ වගේම ටනාශලා ඇතුළු නළු නිළියන් මගෙන් විමසනවා කවදද එන්නේ කියලා.

අධ්‍යක්ෂ සඳුන් රාජකරුණාගෙන් හෝ නිෂ්පාදන පාර්ශ්වයෙන් ඔබට අසාධාරණයක් වුණාවත්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්?

සඳුන් අයියා කියන්නේ මගේම සහෝදරයකු වගේ. ඒකේ ආයේ වචන දෙකක් නැහැ. ඔහු මට ලබාදුන් නිදහස අසීමිතයි. මම හරිම ෆ්‍රී එකේ අභිමන්ට පණ පෙව්වේ. නිෂ්පාදන පාර්ශ්වය ගැන යමක් කිව්වොත් ලලිත් වසන්ත,නීල් රුක්මන් සහ චන්න ජයනාත් තමයි නීල පබලු නිෂ්පාදනය කරන්නේ. මම ටෙලිනාට්‍ය ඉතා අඩුවෙන්නේ රඟපාන්නේ. එකක් බාරගත්තොත් තව එකක් බාරගන්නේ නැහැ. ඒ අතරේ මේ කියන නිෂ්පාදකවරු මට වැඩකට කතා කළොත් අනිත් නිර්මාණවලට වඩා ප්‍රමුඛත්වය දෙනවා. ඒ ඔවුනගේ මනුස්සකමට.

ඇත්තටම එහෙනම් මොකද ඔබ නීල පබලු එකේ නැත්තේ?

ලෝකයේ ඕනෑතරම් ටෙලි සීරිස් යනවනේ.ඒවායේ මම දැකපු පොදු ලක්ෂණය තමයි ප්‍රධාන නළුවා හෝ නිළිය කෙටි කලකට ඒ සීරිස් එකෙන් මඳක් අයින් වීම. මම මේ කියන කාරණය ඔය ටෙලි සීරිස් බලන අයට අමුතු දෙයක් නෙවේ.මෙතනදිත් වුණේ එහෙම දෙයක්. ඒත් එක්කම තව කාරණයක් තියනවා. ඒක ඉහත හේතුවට මනාව ගැලපුණා. මගේ පුතාට තවම මාස පහ පහුවුණා විතරයි. එයාගේ සෞඛ්‍යය ගැන හිතලා මම ෂූටිං යන එක මදක් නැවැත්තුවා. මේ නිසා තමයි අභිමන් නීල පබලු නාට්‍යයේ නැත්තේ.