මගේ ජීවිත කතාව හොලිවුඩ් චිත්‍රපටයක් වේවි

මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව
ජූලි 23, 2020

"ක්‍රීඩාව අපේ භෞතික ශරීර පැවැත්මට අවශ්‍යයි වගේම කලාව අපේ මානසික සෞඛ්‍යයට අත්‍යවශ්‍යයි. කලාව එක්ක ජීවත් නොවෙන මිනිස්සු හරිම යාන්ත්‍රිකයි" ඒ කලාව ගැන ඔහු හිතන ආකාරයයි. ක්‍රීඩාවෙන් ලාංකේය සන්නාමය කෙමෙන් ඈත්වෙමින් පැවතුණු යුගයක නැවත ජාත්‍යන්තරයට ලංකාව රැගෙන ගිය ධාවන ශූරයා ඔහුය. ඔහු අන්තර්ජාතික මෝටර් රථ ධාවන තරග වාර්තා අතරින් ආසියානු කලාපයේ වැඩිම වාර්තා හිමි මෝටර් රථ ධාවන ශූරයාය. මේ වන විට අන්තර්ජාතික තරග 200කින් ජයග්‍රහණය කර ශූරතා 8ක්ද අනුශූරතා 8ක් සහ ලෝක ශූරතාවක් හිමි කරගත් එකම ලාංකේය ධාවන ශූරයාය. හෙතෙම ඩිලන්ත මාලගමුව ය. මෝටර් රථ ධාවන තරග ගැන නොව අපි ඔහුගෙන් විමසුවේ කලාව ගැනය. කලාව සමඟ ඔහුට ඇති සමීපතාව පිළිබඳවය. මේ දිගහැරෙන්නේ ඒ කතාබහයි.

ඉස්කෝලේ යන කාලේ සෞන්දර්ය විෂයට ඔබේ නැඹුරුව කොයි වගේද?

මගේ පාසල මහනුවර ත්‍රිත්ව විද්‍යාලය. ඉස්කෝලේ යන කාලේ මම උඩරට නර්තනය හදාරලා තියෙනවා. කලාව කියලා ඉස්කෝලේ යන කාලේ සම්බන්ධ වුණේ එච්චරයි. මොකද මම වැඩිය බාහිර වැඩ කටයුතුවලට සම්බන්ධ වෙන්න කැමැත්තක් නොතිබුණු කෙනෙක්.

යාළුවෝ එක්ක ඉස්කෝලෙන් කට්ටි පැනලා ගිහින් චිත්‍රපටි බලපු කාලේ ගැන අපි කතා කරමු?

අම්මේ... ඒ කාලේ ගැන මතක් කරද්දිත් සුන්දරයි. මම හිටියේ ත්‍රිත්ව විද්‍යාලයේ හොස්ටල් එකේ. අපේ ඉස්කෝලේ නීතිරීති හරි තදයි. යාළුවෝ එක්ක ඉස්කෝලෙන් පැනලා ගිහින් නුවර ඕඩියන් එකේ ඇති තරම් චිත්‍රපටි බලලා තියෙනවා. වැඩිපුරම අපි යන්නේ 1.30 show එක බලන්න.

එහෙම ගිහින් බලපු චිත්‍රපටි මොනවාද?

හතරදෙනාම සූරයෝ, මඩොල්දූව, තුෂාරා වගේ චිත්‍රපටි බැලුවා එහෙම ගිහින්. තුෂාරා චිත්‍රපටියේ හොඳ ගීත ටිකක් තිබුණා. තාමත් ඒවා මතකයි. මම ඉස්සර වැඩිපුරම බලන්න කැමති දොන් සිරිසේන, ෆ්‍රෙඩි සිල්වා වගේ ප්‍රහසන රංගන ශිල්පීන් ඉන්න ප්‍රහසනාත්මක චිත්‍රපටි බලන්න තමයි කැමතියි. ඒ වගේම ලංකාවේ හදපු හොඳ චිත්‍රපටියක් තිබ්බා ට්ධඤ ම්ඪදඨ කියලා. ඒකත් ඉස්කෝලේ යන කාලේ බැලුවා මතකයි.

ප්‍රහසනාත්මක සිනමාවට වැඩි කැමැත්තක් දක්වන්න හේතුව මොකක්ද?

අපි වෘත්තිය ජීවිතේ ඇතුළේ ලොකු පීඩන ගොඩක ඉන්නේ. විශේෂයෙන් මගේ වෘත්තියට මානසික නිදහස හරි වැදගත්.

මම ඔළුවේ ප්‍රශ්න තියාගන්න කැමති කෙනෙක් නෙමෙයි. බැරෑරුම් චිත්‍රපටි බලලා ඔළුවේ ප්‍රශ්න හදාගන්නවාට වඩා හිනා යන චිත්‍රපටියක් බලලා හිනා වෙලා ඉන්න එක හොඳයි කියලා මට හිතෙනවා. මොකද අපේ වර්ධනය වෙන්න ඕනේ ධනාත්මක ආකල්ප. සතුට, ප්‍රීතිය වගේ ධනාත්මක ආකල්ප වැඩි වෙන තරමට ජීවිතය ගෙවාගන්න පහසුයි.

මුලින්ම හෝල් එකක චිත්‍රපටයක් බලපු දවස මතකද?

හොස්ටල් යන්නේ නැතුව ගෙදර ඉන්න පොඩිම කාලේ මුලින්ම චිත්‍රපටි බලලා ඇති මම. අවුරුදු හතරේදි විතර. ඒත් බලපු චිත්‍රපටි නම් මතක නැහැ.

හෝල් එකකට ගිහින් දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි තියෙනවාද?

හතරදෙනාම සූරයෝ එහෙම දෙතුන් වතාවක් බැලුවා.

කැමතිම චිත්‍රපටි නළුවා කවුද?

මම කැමතිම නළුවෝ දෙන්නෙක් ඉන්නවා. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග. ඒ දෙන්නාගේ පෞරුෂවලට මම කැමැත්තෙන් හිටියා. ඒත් ඒ අයව අනුකරණය කරන්න මට වුවමනාවක් තිබුණේ නැහැ ඒ කාලේ. මට නළු නිළි පිස්සුව තිබුණු නැහැ.

ප්‍රිය කරන චිත්‍රපටි නිළිය කවුද?

වැඩිපුරම කැමති නිළියො දෙන්නෙක් ඉන්නවා. මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි. ඒ දෙන්නාට තියෙන්නේ දෙවිදිහක ලස්සන දෙකක්.

චිත්‍රපටි බලන්න ගිහින් සිද්ධ වුණු අමතක නොවන සිදුවීම මතක් කරමු?

"Exorcist " කියලා හොල්මන් චිත්‍රපටියක් බලන්න මම මගේ යාළුවෙකුයි ඥාති සහොදරයෙකුයි එක්ක ගියා. චිත්‍රපටිය අතරතුරේදි මගේ ඥාති සහෝදරයා කලන්තේ දාලා එයාව කරේ තියාගෙන තමයි ගෙදර ආවේ. ඒ චිත්‍රපටිය ඒ තරම් බය හිතෙන එකක්. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ. තවත් සිදුවීමක් තියෙනවා. ඉස්සර අපේ ගෙදර වැඩ කරන ළමයෙක් හිටියා. එයත් මගේ වයසේම තමයි. එයා කවදාවත් චිත්‍රපටියක් බලලා නෑ. අම්මායි අප්පච්චියි නැති දවසක මගේ කලිසමකුත් අන්දවාගෙන එයාව එක්කන් ගියා චිත්‍රපටියක් බලන්න කුරුණෑගල ඉම්පීරියල් එකට. මේ ළමයා චිත්‍රපටියක් බලලා නැති නිසා ඒකේ තියෙන දේවල් එයාට පුදුමයි. එයා චිත්‍රපටිය අතරවාරයේ කෑගහලා ප්‍රතිචාර දක්වන්න පටන්ගත්තා. පස්සේ ඒක අම්මටයි අප්පච්චිටයිත් ආරංචි වුණා.

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

මම බලපු චිත්‍රපටිවලින් කැමතිම "සීතාදේවි" චිත්‍රපටියට තමයි. මම දැකපු ලස්සන චිත්‍රපටිය ඒක. රාවණා කතා පුවත තමයි ඒ චිත්‍රපටියේ තේමාව. ගාමිනී ෆොන්සේකාගේ රංගනයටත් මගේ හිත ගියා. ඒ වගේම තමයි  "God King" චිත්‍රපටියටත් මම කැමතියි. මේ චිත්‍රපටි දෙකටම මම ආස වෙන්න තව හේතුවක් තමයි ඒවා මම දැකපු ඒ කාලේ ලංකාවේ quality  එකට හදපු චිත්‍රපටි.

හින්දි චිත්‍රපටි බලන කෙනෙක්ද ඔබ?

ඔව්. මම සතියකට දෙසැරයක් විදේශ ගත වෙනවා. යන එන අතරතුර මම විවේකීව ඉන්නකොට චිත්‍රපටියක් බලන එක තමයි කරන්නේ. එතකොට ගොඩක්ම බලන්නේ හින්දි චිත්‍රපටි. ගොඩක් හැඟීම්බර චිත්‍රපටි බලන්න මම කැමති නැහැ. හින්දි චිත්‍රපටියක් බැලුවත් මම බලන්නේ හාස්‍යජනක එකක්.

ඩිලන්තගේ ජීවිතය වෙනස් කළේත් චිත්‍රපටියක් නේද?

මගේ ජීවිතේ වෙනස් කළේ හොලිවුඩ් සිනමාව කිව්වොත් මම නිවැරදියි. අවුරුදු පහළොවේදි විතර මම බැලුවා හොලිවුඩ් චිත්‍රපටියක්"Silver Dream Racer" කියලා. මම මගේ ගමන පටන් ගත්තේ Motorcycle Race වලින්. ඒ චිත්‍රපටිය බලලා තමයි World Champion කෙනෙක් වෙන්න ඕනේ කියලා හිතුණේ. මම පාසලේ ඉගෙන ගන්න දක්ෂ කෙනෙක්. අම්මා මට කිව්වේ වෛද්‍යවරයෙක් වෙන්න කියලා. ඉතින් මම අම්මාගේ සිහිනේ සැබෑ කරන්න හිතාගෙන ඉගෙනගත්තා. ඒත් මේ චිත්‍රපටිය බලපු දවසේ ඉඳලා මට හිතුණා වෛද්‍යවරයෙක් නෙමෙයි මට Motorcycle ධාවන ශූරයෙක් වෙන්න ඕනේ කියලා. ජීවිතේ ඉලක්කයකට උත්තේජනයක් ඇති වුණේ ඒ චිත්‍රපටිය බලලා.

හොලිවුඩ් සිනමාවේ ඔබ කැමතිම නළුවා කවුද?

මම කැමති නළුවා ක්ලින්ට් ඊස්ට්වුඩ්. ඒ වගේම මම ස්ටීවන් සීගල්ටත් කැමතියි.

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

අන්තිමටම බැලුවේ "Ford vs Ferrari" කියලා english movie  එකක්. ඊටකලින් බැලුවා  "Rush" කියලා සිංහල චිත්‍රපටියක්. ඒකත් මෝටර්සයිකල් රේස් ගැන කතාවක්.

ඩිලන්ත සින්දු අහන කෙනෙක්ද?

ඔව්. මම විවේකියි හැම වෙලාවකම වගේ සින්දු අහන එක තමයි කරන්නේ. සිංදු අහන එක මගේ මානසික සතුට වැඩි කරන බෙහෙතක් වගේ.

කැමතිම සිංදුව මොකක්ද?

රූකාන්ත ගුණතිලක ගායනා කරන "උකුළට නාවත් එදා වගේ" ගීතයට තමයි මම වැඩිපුරම කැමති. ජීවිතේ අපිට වැඩිපුරම ආදරේ කරන්නේ අම්මා. ඒ ගීතය නිතරම අහන්නෙත් අම්මා සිහිපත් වෙන නිසා.

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

එහෙම හිතිලා තියෙන්නේ චිත්‍රාල් සෝමපාලගේ කටහඬ ගැන. චිත්‍රාල්ට තියෙන්නේ අමුතුම කටහඬක්. ඒ කටහඬ ලේසියෙන් කාටවත් පිහිටන්නේ නැහැ. එයාට ශෛලීන් ගොඩක් ගායනා කරන්න පුළුවන්. ලොකු පරාසයක විහිදිලා යන හඬක් චිත්‍රාල්ට තියෙන්නේ. අපේ ගායකයෝ පිටරටවලට ගිහින් ගීත ගායනා කරන්නේ ඒ රටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට. ඒත් චිත්‍රාල් විදේශිය වාද්‍ය වෘන්ද එක්ක විදේශිකයන්ටයි ගායනා කරන්නේ. ඒ දක්ෂතාව අගයන්නම ඕනේ. ඒ වගේම මම ළහිරු පෙරේරාටත් කැමතියි.

කලාව ගැන ඩිලන්ත මාලගමුව මොකද හිතන්නේ?

අපේ භෞතික ශරීරයේ වර්ධනයට ක්‍රීඩාව අත්‍යවශ්‍යයි වගේම තමයි අපේ මානසික සෞඛ්‍ය වර්ධනයට කලාව අත්‍යවශ්‍යයි. කලාවෙන් ඈත් වෙලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. එහෙම නම් ඒ මිනිස්සු යාන්ත්‍රික මිනිස්සු. මම ගොඩක් වෙලාවේ ඉන්නේ ගමනෙමයි. ධාවන තරගවලට නිතරම විදේශගත වෙන්න සිද්ධ වෙනවා. මම තනියම ඉන්න වෙලාවල් වැඩියි. මම මගේ මානසිකත්වය හදාගන්නේ චිත්‍රපටි බලලා. ගෙදර විවේකීව ඉන්න වෙලාවට ගොඩක් කරන්නේ සින්දු අහන එක. කලාවෙන් ඈත්වෙලා ඉන්න අමාරුයි මට නම්. මොකද රේස් පදින එක නෙමෙයි මොනා කළත් ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන්න නම් කලාව අත්‍යවශ්‍යයි.

ලංකාවේ වර්තමාන සිනමාව ගැන මොකද හිතෙන්නේ?

හොඳ දක්ෂයෝ සිනමා ක්ෂේත්‍රයේ ඉන්නවා. හොඳ නිර්මාණත් බිහිවෙනවා. ඒත් මම කැමතියි අපේ සිනමාව පවතිනවාට වඩා ගුණාත්මක තත්ත්වයෙන් හදන්න. ලංකාවේ සිනමාව තවම ලෝකයට ගිහින් නැහැ. ලෝකේ මිනිස්සු බලන සිනමාවක් ලංකාව ඇතුළේ 

හැදෙන්නයි ඕනේ. දකුණු ඉන්දීය සිනමාව වගේ තත්ත්වයකට ගේන්න පුළුවන් අපේ සිනමාවත්. මම විශ්වාස කරනවා අපිට කරන්න බැරි දෙයක් නැහැ කියලා. තියෙන්න ඕනේ උනන්දුවයි මහන්සියයි.

ලෝකෙට අපේ සිනමා නිර්මාණ නොයන්න හේතුව මොකක්ද?

ලංකාවේ මිනිස්සු වැඩක් කරනකොට quality  එකට කරන්නේ නැහැ. හැමදේම පොඩි කාලෙකින් ඉක්මනින් කරලා දාන්නයි බලන්නේ. සිනමාවටත් ඒකම තමයි වෙලා තියෙන්නේ. චිත්‍රපටි හදන අය ඉන්නේ හරිම Comfort Zone  එකක. හරිම ඉක්මනින් සුවපහසුවෙන් ගුණාත්මකත්වය අඩු නිර්මාණ හදලා චිත්‍රපටි කියලා පෙන්නනවා. නිර්මාණයේ ගුණාත්මකත්වය අඩු වුණාම මිනිස්සු ඒක ප්‍රතික්ෂේප කරනවා. අපේ ලංකාවේ සිනමා නළු නිළියෝ ඉතා දක්ෂයි. ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම වගේ රංගන ශිල්පීන් බොලිවුඩ්වලට නොදෙවෙනි තරමට දක්ෂයි. ඒ අයත් ලංකාවට ඇවිත් අපේ අයගෙන් ඉගෙනගෙන ගිහින් තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඉන්දීය සිනමාවෙත් අපේ ටෝනි රණසිංහ ප්‍රසිද්ධයි කඩවසම්ම නළුවෙක් කියලා. එහෙම තැනක තිබුණු සිනමාවේ ගුණාත්මක බව අඩුවෙලා අඩුවෙලා දැන් බිහිවෙන්නේ quality  එක අඩු නිර්මාණ. ලංකාවේ සිනමා නිර්මාණ අන්තර් ජාතික සම්මාන උලෙළවල සම්මාන ගත්තාට ඒවා ලෝකේ වෙන කොහෙවත් තිරගත වෙන්නේ නැහැ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපේ ප්‍රේක්ෂකාගාරය වගේම මුළු ලෝකෙම ප්‍රේක්ෂකාගාරය බලන විදිහේ චිත්‍රපටි හදන්න. ඒත් ලංකාවේ දවස් පහළොවෙන් හදපු චිත්‍රපටිත් තියෙනවා. කාලය අරන් හොඳ නිර්මාණයක් කරන්න සිනමාකරුවන්ට වුවමනාවක් නැහැ.

ක්‍රීඩා තරුවකගේ ජීවිත කතාවක් චිත්‍රපටියකට නඟන්න කිව්වොත් ඩිලන්ත මාලගමුව තෝරගන්නේ කාගේ ජීවිත කතාවද?

මගේ ජීවිත කතාව. ලංකාවේ අනිත් ක්‍රීඩකයෝ එක්ක බලද්දි මගේ ජීවිත කතාව ගොඩක් වෙනස්. මම පොඩි කාලේ ගෙදරින් පැනලා ගියා. ඊටපස්සේ තනියම ජපානේ ගිහින් ජීවත් වුණා. ලෝකේ වැඩියෙන්ම මුදල් අවශ්‍ය කරන ක්‍රීඩාව තමයි ධාවන තරග කියන්නේ. ජපානේ ගිහින් සල්ලි හම්බ කරලා ඊටපස්සේ ව්‍යාපාර කරලා තවත් සල්ලි හම්බ කරලා කාගේවත් අනුග්‍රහයක් නැතුවයි තනියම මම මේ තැනට ආවේ. මහන්සි වෙලා උත්සාහ කරලා පුහුණු වීම් කරලා අන්තිමටම මම ලෝකෙම ජයගත්තා. මේ ගමනේදි මගේ කතාවේ රසබර තැන් වගේම දුක්කම්කටුලු ගොඩක් වැඩියි. මගේ ජීවිතයම මම තවමත් අභියෝගයක් කරගෙනයි ජීවත් වෙන්නේ. ඒ නිසා මට ලස්සන ජීවිත කතාවක් තියෙනවා. මම ධාවන තරගවලට සම්බන්ධ Hollywood Movies  ගොඩක් බලලා තියෙනවා. මගේ ජීවිත කතාවෙන් සියයට දහයක කතාවක්වත් නැහැ ඒවාගේ. මම හිතනවා මගේ කතාව චිත්‍රපටියක් කළොත් ජීවිතේ කරන්න බැරි දෙයක් නැහැ කියලා ඒක දැකලා මිනිස්සුන්ට උත්තේජනය වෙන්න පුළුවන් කියලා. මගේ ජීවිත කතාව තවත් පිරිසක් චිත්‍රපටයකට හරවන්න සූදානම් වෙනවා.

ඒ ගැන වැඩි විස්තර කිව්වොත්?

හොලිවුඩ්වලින් ආරාධනාවක් ආවා මගේ ජීවිත කතාව චිත්‍රපටියකට හරවන්න. මගේ කතාව මේ වෙද්දි පොතක් හැටියට ලියාගෙන යනවා. සංජය නිර්මාල් තමයි පොත ලියන්නේ. සිංහලෙන් පොත ලියලා ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරලයි හොලිවුඩ් සිනමාවට යවන්නේ. සමහර විට ඒක හොලිවුඩ් චිත්‍රපටයක් වේවි.

වෘත්තියෙන් විශ්‍රාම ගිය කාලෙක චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?

දැනටමත් එහෙම වැඩකට අපි සූදානම් වෙනවා. සංජය නිර්මාල් එක්ක තවත් චිත්‍රපටියක් හදන්න සූදානමක් තියෙනවා. ඒක පොලිසිය ගැන කතාවක්. පිටපත ලියන්නේ සද්දා මංගල සූරියබණ්ඩාර. මහන්සි වෙලා හොඳ quality  වැඩක් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

චිත්‍රපටියක රඟපාන්න ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?

හොඳයි කියලා හිතෙන චරිතයක් ලැබුණොත් රඟපානවා.

ඒ කියන්නේ රංගනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවා.

රඟපාලා නළුවෙක් වෙන්න අදහසක් නැහැ. පෞද්ගලික කැමැත්තට චිත්‍රපටියක දෙකක රඟපානවා.

 

 

ගයාන් පුෂ්පික