එදා නැති සතුටක් මට තියෙනවා

මධු නාමලීගේ ජීවිතය වෙනස් වෙලා
ජූලි 23, 2020

සිනමා නිළියක් ගේ ජීවිතේ බැබලෙන්නේ සර්ව පිත්තල ලෝකයක. යථාර්තය, සැබෑව නොවුණත් මවා පාන ඒ ජීවිතය ඇයගේ හෝ ඔහුගේ සැබෑ ජීවිතය නොවන්න පූළුවන්. අපේ සිනමාවේ එක්තරා කාලයක ජනප්‍රියත්වයට පත් වූ එවන් නිළියක් පසුගිය දිනක මට හමුවුණේ පූජා භූමියකින්. ඇය සුදු වතින් සැරසී පන්සල් භූමිය අමදිමින් සිටියා. බාහිරින් දක්නට ලැබුණු ස්වරෑපය අනුව නම් ඈ එකල සිටි ජනප්‍රිය නිළිය දැයි කියා කිසිවෙකුටත් හඳුනා ගත නොහැකි වුණා. එහෙත් දිර්ඝ කාලයක පටන් මමත් ඇයත් අතර තිබූ මිතුරු සබඳතාවය නිසා ඇය දුටු පමණින් මට හඳුනා ගත හැකි වුණා.

ඇය මධු නාමලි ගුණතිලක.

ඇගේ ජීවිතයේ මේ වෙනසට හේතුව මොකක්ද ? කියලා අපට තේරුම් ගන්න බැරි වුණා. මල් ගස් වටේ දුවමින්, සින්දු කියමින් , නර්තනයේ යෙදෙමින් සිංහල සිනමාවේ ජනප්‍රිය තලයේ චිත්‍රපටවල රංගනයේ යෙදෙමින් ඇය ගත කළ ජිවිතය මේ මොහොත වන විට ඇගෙන් සම්පුර්ණයෙන්ම දුරස් වෙලා. ඇත්තටම මේ වෙනසට හේතුව මොකක්ද?

‘ මට මගේ ජීවිතේ කලකිරිලා ගත්තු තීරණයක් නම් නොවෙයි මේක...

ඇය කියන්න ගත්තේ සුපුරුදු සැහැල්ලු සිනාව දෙතොල මත තවරමින්.

මම දැනට අවුරුදු දහයකටත්වඩා වැඩි කාලයක් තුළ දැඩි ලෙසම බුදු දහමට නැඹුරු වෙලා සිටිනවා. ඒ මම ගත කරපු සිනමා ජිවිතය ගැනවත්, මගේ පෞද්ගලික ජිවිතය ගැනවත් කලකිරිමකින් නොවෙයි. මම සිනමාවෙන් අයින් වෙලා දැන් දීර්ඝ කාලයක් වෙනවා. පසුගිය අවුරුදු දහය ඇතුළත මම කළේ කැලණිය පුදබිම අතුපතු ගාලා ශුද්ධ පවිත්‍ර කරපු එකයි. ඒක මම කරන්නේ මගේ හදවතේ උපන් අපිරිමිත භක්තියෙන්මයි. ඒ භගවත් වූ ගෞතම භාග්‍යවතුන් වහන්සේට මෙන්ම මතු බුදු බව ප්‍රාර්ථනා කරන්නා වූ මෙත්‍රි බෝධිසත්වයන් වහන්සේටත් මම ජිවිත පුජාවෙන් කරන ක්‍රියාවක් මේක. ‘‘

ඈ කියන්නේ දැන් ඇගේ ජිවිතයේ සතුට රඳා පවතින්නේ මෙතැන කියලයි. උදේ පාන්දරින්ම අවදි වන ඇය සුදු වතින් සැරසී පැමිණෙන්නේ කැලණිය පන්සල වෙතටයි. මල් ආසන අස්පස් කිරීම, බෝධිය වටේ ඇමදීම ඇතුළු සියලු පිරිසුදු කිරිම් ඇය අතින් සිද්ධ වෙනවා. ඇය දැනට නවාතැන් ගෙන සිටින ස්ථානයේත් දේව මණ්ඩලය වෙනුවෙන් පුද පුජා පවත්වනවා.

මගේ ගෙදර පුංචි කෝවිලක් තියෙනවා. මම දෙවියන්ට පුද පුජා පවත්වනවා. පින් දහම් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරවනවා. මම භාවනා කරනවා. දීර්ඝ කාලයක් පුරා මම කරන මේ දේවල් නිසා දැන් මට යම් කිසි විශ්ව ශක්තියක් ලැබිලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා.පසුගිය අවුරුදු හතර ඇතුළත මේ ශක්තිය තවතවත් වඩා වර්ධනය වූවා කියලා හිතෙනවා.

මගේ ජිවිතේ පුංචි කාලේ ඉඳලා මම සැප පහසුවට හැදුණු කෙනෙක්. කවදාවත් දුක් වින්ද කෙනෙක් නොවෙයි. කොළඹ හතේ ඉපදිලා හොඳ අධ්‍යාපනයක් ලබලා හොඳ සැප පහසු යාන වාහන වල ගිහින් රටරටවල් වල ගිහින් උපරිම සැප වින්ද කෙනෙක් මම. ඒත් දැන් මම ගෙවන්නේ ඉතාම සරල ජිවිතයක්. සුදු වේට්ටියක් සුදු හැට්ටයක් විතරයි දැන් මගේ ඇඳුම් වෙන්නේ. කෑම බීමත් බොහෝම සරල විදියට මම හදා ගන්නවා. හැබැයි එදා තිබුණු සුඛෝපභෝගී ජිවිතයේ නැති විශ්ව ශක්තියක් දැන් මට තියෙනවා.

දැන් මට ලැබිලා තියෙන මේ විශ්ව ශක්කියෙන් මම බෝධි පූජා පවත්වලා බොහෝ අයට සෙත් ශාන්ති ලබා දෙනවා.

මම නිදහස් ජීවිතයක් ගත කරන්න කැමැති කෙනෙක් මට කැමති දෙයක් කරන්න පුළුවන්. මම ගොඩාක් කැමැති පන්සල් යන්න.මගේ දෙවියන් එක්ක මම ගොඩාක් සතුටින් ජිවත් වෙනවා. මගේ දේව මණ්ඩලය වෙන්නේ සුමන සමන්, විශ්ණු කතරගම, පත්තිණි, දැඩි මුණ්ඩ, ඔඩ්ඩි සූනියම්, ගම්භාර, දුත රාක්ෂ, විරුද, විරුපක්ෂ, වෛෂ්රාවණ , සඳරාජ්, දේදුණු, මාතුවේද සල්මල් බුදු මෑණියෝ . මේ පින්වන්ත දේව මණ්ඩලයට ගෞරවණීය නමස්කාර ස්තූතිය පුද කරනවා , ආදරයෙන් භක්තියෙන්.දෙවියන්ට මම නාදස්වරම් සලම් පූජාව කරනවා. ගොඩාක් පිරිසුදුව භක්කියකින් යුක්තව. මම ගත කරපු ජිවිතේ ගැනවත් දැන ගත කරන ජීවිතේ ගැනවත් මට පොඩ්ඩක් වත් කනගාටුවක් නෑ. මම ජිවත් වෙන්නේ හරිම සතුටකින්.

 

 

ටෙනිසන් එදිරිසිංහ