තාරුකා මවු පදවිය ලබයි

ජූලි 30, 2020

ජනප්‍රිය නිළි තාරුකා වන්නිආරච්චි පිළිබඳ අලුත් ආරංචියක් තියෙනවා කියන්න.ඇය මවක් වන්නට සූදානමින් සිටිනවා කියන දේ නේද ඒ කියා ඔබ අසාවි.එලෙස තාරුකා ගැන බොහෝ දෙනෙකු දැනුම්වත් වුණේ ඇය මූහුණූ පොතට එක්කොට තිබූ ඡායාරූප නිසා.මෙහි පළවන්නෙත් එවැන්නක්.ඉතින් ඇය කියාවි ඇගේ අලුත්ම තතු විත්ති. 

තාරුකා,ඔබ උතුම් මවු පදවිය ලැබුවා..කියමු ඒ ගැන?

ඇත්තටම මම අම්මා කෙනෙක් වෙන්න හිටියේ ලබන මාසේ.ඒ කියන්නේ අගෝස්තුවේ තමයි අපිට ඩොක්ටර් දින දීලා තිබුණේ.ඒත් හදිසියේම ඩිලිවරි එක කරන්න වුණා.මව් පදවියත් ලැබුවා. කියාගන්න බැරිතරම් සතුටක් දැනෙනවා.

ඔබ මවක් වුණා කියලා සමීපතමයින් පවා දන්නේ නැහැ?

ඔව්.මම දරුවා ලැබෙන්න ඉද්දි ෆොටෝ ෂූට් එකක් කළා. හරියටම සති එකහාමාරක් විතර ඇති.මම ඒවා ෆේස් බුක් දාලා.ඊට ටික දවසකට පස්සේ තමයි මට දරුවා ලැබුණේ.තවම බොහෝ දෙනා මට කතා කරන්නේ ඒ මයින්ඩ් එකෙන්. කවදද ඩිලිවරි එක කියලා අහලා සුබ පතනවා. එතකොට තමයි මම කියන්නේ මම මවක් වුණා කියලා.

තාරුකාට ලැබුණේ දුවෙක්ද පුතෙක්ද?

පුතෙක්. මම අසාවෙන් හිටියේ දුවෙකුට.ඒත් පුතෙක් කියලා දැන ගත්‍තාම වාව් කියලා කියවුණා.දින ගණන් කරකර හිටියේ පුතාගේ මූණ දකිනකම්. ඒ අවස්ථාව මට හිතුවට වඩා ඉක්මනට උදා වුණා.

මවක් වන්නට සූදානම් වන කාලේ වසංගතයකුත් ආවා නේද?

කාන්තාවක් අම්මා කෙනෙක් වෙන්න සූදානම් වෙනකොට බොහොම පරිස්සම් වෙනවා. මමත් එහෙමයි.මේ වසංගත තත්ත්වය නිසා අපිට කොහෙටවත් යන්න බැරි වුණානේ.ඒක නිකම් වෙස්වලාගත් ආශිර්වාදයක් වුණා.මම කළේ ගෙදරට වෙලා කෑම කමින් කාලය ගතකරපු එක.මම හරියට මහත් වුණත් එක්ක. ඔය කාලේ හරියට ආස වුණේ පැණිරස ආහාර කන්න.අම්මා මදි නොකියන්න ඒවා හදලා දුන්නා.

ඔබ රඟපෑ ටෙලි නාට්‍යයක් විකාශය වීම ආරම්භ වුණා?

කැලෑහඳ තමයි ඒ නාට්‍ය.මම එහි මාලිනි නැමති ප්‍රධාන චරිතය රඟපාන්නේ.මම ප්‍රෙග්නන්ට් වුණායින් පසුවත් ඒකේ කොටස් කිහිපයක් රඟපෑවා.බාරගත්තු වැඩක් අතරමග දාලා යන පුරුද්දක් මට නෑ.ඒ නිසා අමාරුවෙන් වුණත් එහි ඉතිරියට දායක වුණා.

තාරුකා ඉදිරියේදී රංගනය සීමා කරාවිද?

කවදාවත් මට එහෙම හිතිලා නැහැ.හස්බන්ඩ්වත් එහෙම සීමා මායිම් දාලා නැහැ. දරුවා වෙනුවෙන් කොහොමත් කාලය කැප කරනවා.නමුත් මට පුළුවන් කියලා හිතුණාම ආයෙත් රංගනයට එනවා. වසර දහයක් මම රඟපෑවා.මතක හිටින චරිත කළා. ඉදිරියේදිත් මම මගේ වෘත්තීය ජීවිතය පවත්වාගෙන යනවා.