ලොතරැයි සමඟ දකින ප්‍රියා

ජූලි 30, 2020

ඈ කලාවට ඇල්ම බැල්ම පෑවේ බහ තෝරන වයසේ පටන්මය. ඇගේ අභිප්‍රාය කවදා හෝ නිළියක වීමේ ආශාවයි.  ඒ  ආශාව ඇය මුල්වරට ජය ගනු ලැබුවේ ගීත ඇල්බමයකට රංගනයෙන් දායක වෙමිනි. එතැන් පටන් ඇය විවිධ අයුරින් රංගනයේ මංමාවත් විවර කර ගනු ලැබුවේ ටෙලි නාට්‍ය, චිත්‍රපට, වෙළෙඳ දැන්වීම් සඳහා රංගනයෙන් එක් වෙමිනි. නමින් ඈ චමිලා ප්‍රියදර්ශනී රාජරත්නය.

කලා ක්ෂේත්‍රයේ ඔබ ප්‍රියා රාජරත්න?

ඔව්. නම දිග වැඩි නිසා කලා ක්ෂේත්‍රයට පහසු වෙන්න නමේ කොටස් ටිකක් හලලා ප්‍රියා රාජරත්න වුණා.

කලා ක්ෂේත්‍රයට හාපුරා කියා එක් වෙලත් වැඩි කාලයක් නෑ?

2018 වසරේ තමයි හාපුරා කියලා කලා ක්ෂේත්‍රයේ දිගු ගමනකට මුල පුරන්නේ.

මුල්ම රංගන අත්දැකීම කොයි වගේ දෙයක්ද?

සින්දුවක විෂුවල් එකක් තමයි කළේ. අනුරුද්ධ ගමආරච්චි තමයි ඒ ගීත ඇල්බමය සඳහා විෂුවල් අධ්‍යක්ෂවරයා වුණේත්.

කාගේ ගායනයක් වෙනුවෙන්  ඔබ රංගනයෙන් එක් වුණේ?

ගාමිණී පෙරේරා සමඟ. ඔහු තමයි එහි ගායකයා වුණේ. “සුන්දර මුහුණ පුරා” තමයි ඒ ගීතය.

 පළමු ගීත විෂුවල් රංගනයෙන් පස්සේ තවත් ආරාධනා ගලා ආවා?

ඔව්. ඩී. මහේෂ් ගායනා කළ නෙත් කොනේ ගීතය විෂුවල් වෙනුවෙන් පෙනී සිටියා. අදටත් යූ ටියුබ්වල ඒ රඟපෑම බලාගන්න පුළුවන්.

ලොතරැයි දැන්වීමක් නිසා ප්‍රියා මේ දවස්වල ජනප්‍රියයි. 

ඔව්. ගොඩක් අය අතරේ දැන්වීම ජනප්‍රියයි. මහේන්ද්‍ර පෙරේරා මහත්තයත් එක්ක මම රඟපාන නිසා මට ඒ දැන්වීම ගොඩක් වටිනවා.

 ප්‍රියාගේ පවුලේ අයත් කලාවට සම්බන්ධද”?

අපෝ නෑ. කවුරුත් කලාවට සම්බන්ධ නෑ. මට නංගි  කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. ඒ අයත් කලාවට සම්බන්ධ නෑ. අම්මා තාත්තත් කලාවට සම්බන්ධ නෑ. 

 ක්ෂේත්‍රයට ඇවිත් පොඩි කාලය තුළ ටෙලි නාට්‍යවල වගේම චිත්‍රපටවල රඟපාන්න ඔබ වාසනාවන්ත වුණා?

මගේ පළමු ටෙලිනාට්‍ය වුණේ තරුෂි පෙරේරා අධ්‍යක්ෂණය කළ “රෑනගල වලව්ව”.

 චිත්‍රපට සඳහාත් ඔබ දායක වෙනවා?

හර්ෂ උඩකන්දගේ “ගෝරි” චිත්‍රපටය, උදයකාන්ත වර්ණකුලසූරියගේ “ගින්දරී - 2” චිත්‍රපට සඳහාත් මම රංගනයෙන් දායක වුණා.

 රංගනයේ අමතක නොවන සිදුවීම් එහෙම ඇති?

මගේ මුල්ම චිත්‍රපටය වුණේ ගෝරි. මේ චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණේ පොලිස් කාන්තාවකගේ චරිතයක් පොලිස් යුනිෆෝම් එකෙන්. පොලීසියේ රාජකාරිවලට එන අයත් මා ළඟට ඇවිත් එයාලා ආපු විවිධ කාරණා මට කියන්න ගත්තා මමත් ඇත්තටම ඒ පොලීසියේ රාජකාරි කරන කෙනෙක් කියල හිතලා.

 ප්‍රියා අධ්‍යාපනය ලැබුවේ?

පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයේ වගේම දන්තුරේ මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. 

ගම් පළාත එහෙමත් නුවර දිසාවේ වෙන්න ඇති?

දන්තුරේ සියඹලාගොඩ තමයි මගේ ගම. හැබැයි කලා කටයුතුවලට පහසුවෙන්න මම මහරගම තමයි දැන් පදිංචි වෙලා ඉන්නේ.

කවුද ප්‍රියාට කලාවට එන්න උදවු කළේ?

මගේ යාළුවෙක් හිටියා ශ්‍රියාණි කියලා. එයා තමයි මාව සින්දුවක විෂුවල් වගයකට එන්න කියල කතා කළේ. මේ ටික කාලය තුළ මට ගොඩක් දුර එන්න උදවු කළ බොහෝ අය ඉන්නවා. ඒ අතරින් කීර්ති රංජිත් මට විශේෂයි. ඔහු මාව ගොඩක් අධ්‍යක්ෂවරුන්ට හඳුන්වලා දුන්නා.

චරිත තෝරගන්න ගමන් ඔබ ඇඳුම් ගැනත් සැලකිලිමත් වන නිළියක් කියලත් ආරංචියි?

ඔව්. චරිත රඟපෑවත් මම ජීවත් වෙන්න ඕනෑ මේ අපි කවුුරුත් ජීවත් වෙන සමාජයේමනේ. ඒ ගැන හිතන් නැතුව මම කටයුතු කළොත් අන්තිමට පසුතැවෙන්න වෙන්නේ මටම තමයි.  

 වේදිකාවට ආස නැද්ද?

ආසාව තිබුණට කැප කරන්න කාලයක් නෑ. රංග ශිල්පියෙකුට රංගනය හදාරන්න හොඳම තක්ෂිලාව වේදිකාව කියල මම අහල තියෙනවා.

 මේ දවස්වල රංගනයට ආරාධනා නැද්ද?

කොරෝනා නිසා ලැබිල තිබුණු වැඩ කීපයක්ම තවම පටන් ගත්තේ නැහැ. ටෙලිනාට්‍ය කීපකටම දැනටමත් මට කතා කරලා තියෙනවා. ඒ අතරින් රංජිත් ජයසිංහගේ “සාලිය අශෝකමාලා” චිත්‍රපටයේ වැඩ ළඟදීම පටන් ගන්නත් නියමිතයි. 

 ඉක්මනින් ජනප්‍රිය වන චරිත සොයන නිළියක් බවට ඔබත් පත් වෙලාද?

කොහෙත්ම නැහැ. මට මේ රඟපාපු හැම දෙයක්ම ලැබුණේ මම රඟපෑ නිර්මාණ දැකලා. තවමත් මම මේ ක්ෂේත්‍රයට ආධුනිකයි.      ක්ෂේත්‍රය තුළ හඳුනාගෙන ඇති පුද්ගලයොත් අතළොස්සයි. මම කැමති ආරාධනාවක් ලැබිලා නිර්මාණයක්  ලැබෙනවට මිසක් නිර්මාණයක් ඉල්ලගෙන රඟපාන්න නොවෙයි.

 ප්‍රියාට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ප්‍රියාට ලියන්න අලුත්ම ලිපිනය මතක්  කළොත්?

ප්‍රියා රාජරත්න, නො. 25, තාප්පවත්ත පාර, මහරගම.