රංගනයට තිබූ ඇල්ම නිසා චරිතවල ලොකු පොඩි බැලුවේ නෑ

මල්කි ප්‍රනාන්දු
ජූලි 30, 2020

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ වේදිකාවට ගොඩවූ  මල්කි ප්‍රනාන්දු ප්‍රසිද්ධ වේදිකාවට වගේම ටෙලි නාට්‍යය කලාවට අවතීර්ණවී මේ වනවිට වේදිකාව හා ටෙලිනාට්‍ය පමණක් නොව සිනමාව පවා ජයගන්නට සමත්වූයේ තම සහජ හැකියාවන් මනාව ඔප්පු කරමිනි. ඇය අප හා පිළිසඳරේ යෙදෙමින් ඇයගේ රංගන ජීවිතය පිළිබඳව සඳහන් කළාය.

ඔබ පාසැලෙන් තමයි රංගනයට පිවිසුණේ

මම ඉපදුණේ මොරටුවේ.  ඒ නිසා මට සමීපම විද්‍යාලය වන වේල්ස් කුමරි විදුහලේ අධ්‍යාපනය ලැබුවා.  ඒ අතරතුර පාසැලේ නාට්‍ය කණ්ඩායමට මාව තෝරා ගත්තා. ඒ නාට්‍යවල රංගනය වගේම ගීත ගායනය පැත්තටත් නැඹුරු වුණා.  පාසැල් වෙදිකා නාට්‍යවල රංගනයෙන් දායකවීම නිසා නාට්‍ය කලාවට තිබුන ආදරය වැඩි වුණා.   

පාසැල් අධ්‍යාපනයෙන් පසුව

මට අවුරුදු 18 දී මොරටුවේ පැවැති අවුරුදු කුමරිය තේරීමේ තරගයෙන් අවුරුදු කුමරිය ලෙස තේරී පත්වුණා.  එය මගේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණා.  එතැන් සිට තමයි මම කලා ලෝකයට ඇතුල්වීමට අඩිතාලම් දැමුණේ.

මුලින්ම ඔබ සම්බන්ධ වුණ වේදිකා නාට්‍ය ගැන කීවොත්?

අතුල රණසිංහ මහතාගේ පම්පෝරිය වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ නාට්‍යය එක්ක රට වටේ යන්නට ලැබුණා.  දිවයිනේ නොයෙක් ප්‍රදේශවල ඒ නාට්‍යය ඉතා සාර්ථක අන්දමින් රංගගත වුණා. ඊට පස්සේ ඇගේ නම රතී, ඊගාව ගේ යන නාට්‍යවලට රංගනයෙන් දායක වුණා. තවමත් ඒ නාට්‍යයන් වේදිකාගත වෙනවා.

ඔබ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වුණේ 

වේදිකාවේ රංගනයට එකතු වෙලා ඉන්න අතරෙදි මාක් ප්‍රනාන්දු මහතාගේ හිරු සොයා ටෙලි නාට්‍යයේ උප චරිතයක් නිරූපණය කරන්නට වරම් ලැබුණා.  ඒ ටෙලි නාට්‍යය ඉතා සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශය වුනා.  ඊට පස්සේ තව ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙන්න අවස්ථාව හිමිවුණා. සේයා, රයිගමයයි ගම්පොළයයි , හැට හතර මායම , පොලිටිකල් ස්ටාර් සහ තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායකත්වය ලබාදුන්නා.  ඉදිරියට විකාශනය වීමට ටෙලි නාට්‍ය කිහිපයක්ම තියෙනවා.  

ඔබ සිනමාවට සම්බන්ධ වෙන්නේ

හා පුරා කියා සුනිල් සෝම පීරිස් මහත්තයගේ වැඩ බැරි ටාසන් චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා.  ඊට පස්සේ තවත් විවිධ අධ්‍යක්ෂවරුන් යටතේ ඔවුන්ගේ මඟපෙන්වීම අනුව චිත්‍රපට 20 කට පමණ රංගන දායකත්වය ලබාදුන්නා.  ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපට කිහිපයක්ම තියෙනවා.  

මුල් කාලයේදී රංගතයට තියෙන ආසාව නිසා ලැබෙන චරිත කුඩාද ලොකුද කියල බැලුවෙ නැහැ.  නමුත් දැන් මම ඉස්සෙල්ලම තිර පිටපත කියවල බලල ඒ චරිතයට සාධාරණත්වය ඉටු කරන්නට වෙහෙස වෙනවා.  සාර්ථක රංගනයක් මගෙන් ලැබුණ බව ඒ අධ්‍යක්ෂවරුන් මට කියල තියෙනවා.  

මේ කාර්ය බහුලත්වයත් එක්ක ඔබ වේදිකාව අත්හැරියේ නැහැ.

ඔව්.  මම මුලින්ම රංගනයට ආවේ වේදිකාවෙන්.  ඒක මම කවදාවත් අමතක කරන්නේ නැහැ. දැනුත් නාට්‍ය නිෂ්පාදකයින් කිහිප දෙනෙකුගේ වේදිකා නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා. වේදිකාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම තවමත් වේදිකාවට ආදරෙයි. අලුත් වේදිකා නාට්‍ය කිහිපයකට ආරාධනා ලැබුණා.  රටේ පවතින වසංගත තත්වය මත ඒවා ටික දිනකට නැවතිලා.  

ඔබ කලා ක්ෂේත්‍රයට විශාල මෙහෙයක් ඉටුකරන්නට වෙහෙසෙනවා කිව්වොත් 

ඇත්තෙන්ම ඔව්. ගාමිණී හේවාවිතාරණ මහතා එක්ක පිහිටුවා ගත්ත මෙත් මල් කලා පදනමේ වැඩ කටයුතු කරගෙන යනවා.  මෙයට තවත් කලාකරුවන් කිහිප දෙනෙකුම සම්බන්ධ වෙලා ඉන්නවා.  

පදනමෙන් ඉටු කරන්නේ මොන වගේ සේවාවක්ද.

දිවයිනේ විසිරී සිටින කලාකරුවන්ව ඇගයීමට ලක්කිරීම. සම්මාන පිරිනමා ඔවුන්ව තව තවත් දිරිමත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ වගේ මගේ මල්කි ප්‍රනාන්දු පදනම මගින් සමාජ සත්කාර කරගෙන යනවා.  කොරෝනා වසංගතය හමුවේ අසරණව සිටින විශාල පිරිසකට ද්‍රව්‍යමය ආධාර පිරිනැමීම කරගෙන යනවා. මගේ මිතුරු මිතුරියන් කිහිප දෙනෙකුම මේ සත්කාරවලට උදව් උපකාර කරනවා.  

රට යළි යථා තත්වයට පත්වුණාම රංගන කටයුතු වලට නැවත සම්බන්ධවීමට බලාගෙන ඉන්නවා.  හැම කලාකරුවෙකුටම අත්වෙලා තිබෙන ඉරණම තමයි මටත් උදාවෙලා තියෙන්නේ. ඉක්මනින්ම යළි කලා කටයුතු ආරම්භ කිරීමට හැකිවේවි කියල දහසක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. 

62/3 සයිමන් ඩේල් වත්ත,ගංගාරාම පාර, වෑවල, පිළියන්දල ඇයගේ ලිපිනයයි.