මට කතා හදපු අය අද ක්ෂේත්‍රයේ පේන්නවත් නැහැ...

‘සකල ගුරු’ පුෂ්පා-දිල්හානි වීරසිංහ
ජූලි 30, 2020

ටිකිරි රත්නායක අධ්‍යක්ෂණය කරන සකල ගුරු ටෙලි සිතුවම මේ දිනවලදී ඉමහත් ජනාදරය දිනාගනිමින් විකාශය වනවා. ඒ ජාතික නාළිකාව තුළින්.මෙය නරඹන ඔබට පුෂ්පා කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැහැ. සකල ගුරු නාට්‍යයේ ප්‍රධාන චරිත කිහිපයෙන් එකක් වන පුෂ්පාට පණ පොවන්නිය ඇයයි. ඇය නව පරපුරේ රංගන ශිල්පිනි දිල්හානි වීරසිංහයි.

දිල්හානි,ඔබ පළමු වතාවට මම හිතන්නේ මේ ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයකට පණ පොවන්නේ?

ඔව්. මම මුලින්ම රංගනය ආවේ සිනමාපටයකින්. ඊට පස්සේ ටෙලිනාට්‍ය කිහිපයක විවිධ චරිත කළා. ප්‍රධාන චරිතෙකින් කියලා ප්‍රේක්ෂකයෝ අතරට ආවේ සකල ගුරු නාට්‍යයේ පුෂ්පා කියන ඔය චරිතයෙන් තමයි.

මේ නිසා ඔබ නොසිතූ විරූ අන්දමින් ජනප්‍රිය වුණා නේද?

බොහෝ දෙනෙකු මුලින්ම මාව දුටුවේ සකල ගුරු නාට්‍යයෙන් නිසා ඒක මගේ පළමු නාට්‍යය කියලා හිතනවා.ඒකත් එක්ක ලැබෙන ප්‍රතිචාරත් හරිම වැඩියි. සකල ගුරු නරඹන පිරිස එකතු වෙලා මූණූ පොතේ ගෲප් එකකුත් හදාගෙන තියනවා. ඒකෙක් සජීවීවම ප්‍රතිචාර බලාගන්න පුළුවන්. ඒ වගේම කොහෙ ගියත් ගොඩක් දෙනා ළඟටම ඇවිත් කතා කරනවා. මගෙ රංගනය අගයන ගමන් මගෙ කටහඬ ලස්සනයි කියලත් කියනවා.

ඔය අගය කිරීම් එක්ක ඔබට හඬකවන්න යන්න තිබුණා?

මම දන්නේ නැහැ ඇත්තටම මගෙ හඬ ලස්සනද කියලා. ඒත් සියයක් කතා කළොත් ඒ අතරින් අනූ නව දෙනෙක්ම කියනවා මගේ කටහඬ ලස්සනයි, ප්‍රයෝජනයක් ගන්න කියලා. මමත් බොහොම ආසාවෙන් ඉන්නේ හඬ කවන්න. ඒත් තවම ආරධනාවක් ලැබුණේ නම් නැහැ.

ක්ෂේත්‍රයට පිවිසි කාලයත් එක්ක ඔබ රඟපෑ චරිත ප්‍රමාණ ඉතාම අල්පයි?

මම කලාවට එන්නෙ දෙදහස් දහතුනේදි විතර.රූපවාහිනී අවුරුදු කුමරි තරගාවලියෙන් තමයි ඊට අවස්ථාව ලැබුණේ. මම පස්සේ මගේ අධ්‍යාපන පැත්තටම විතරක් හිත යොමු කළා. මම සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ප්‍රාසංගික කලාව පිළිබඳ උපාධිය හදාරමින් සිටියේ. ඒකත් එක්ක රඟපෑමට ආව ඇරැයුම් මට ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වුණා. උපාධිය ලැබුණායින් පසුවයි නැවතත් පූර්ණකාලීනව රංගනයට ආවේ.

සකල ගුරු නාට්‍යයේ ප්‍රවීණයන්ගෙන් ඔබට මොනවගේ සහායක්ද ලැබුණේ පුශ්පාගේ චරිතට ගොඩනඟාගන්න?

මේ වෙලාවේ මතක් කළ යුතුමයි අධ්‍යක්ෂ ටිකිරි රත්නායක මහත්මා. ඔහු ලබාදෙන සහයෝගය අතිවිශාලයි. ඒ වගේම ගිරිරාජ් අයියා මිහිර, චින්තක අයියලා, චමිලා අක්කා, නෙතලි ආන්ටි ඇතුළු සියලු දෙනා මට පුදුමාකාර විදිහේ සහායක් ලබා දෙනවා. කැමරා අධ්‍යක්ෂ චන්දන අයියාවත් මතක් කරනවා.

ක්ෂේත්‍රය තුළ සැරිසරද්දි ඔබ මුහුණ පෑ අමිහිරි මතකය මොකක්ද කියලා මම ඇහැව්වොත්?

එක්තරා පුද්ගලයෙක් මගේ චරිතය ඝාතනය කළා.මම ගැන නොසෑහෙන්න බොරු කියලා තමයි එහෙම කරලා තිබුණේ. මම හරියට මානසිකව වැටුණා ඒ වෙලාවේ. ඒත් මට කෙටි කලකින් හිත හදාගන්න පුළුවන් වුණා. අද මම යම් තැනක ඉන්නවා. ඒත් මට කතා හදපු අය ෆීල්ඩ් එකේ පේන්නවත් නැහැ.