මගෙ වෙබ් පිටුවෙන් තමයි ඔහු නළුවෙක් කියලා ඔප්පු වුණේ...

films.lk නිර්මාතෘ ඉසුර වික්‍රමාරච්චි
ජූලි 30, 2020

අද වනවිට වෙබ් පිටුවක් පවත්වාගෙන යෑම එතරම් අපහසු කටයුත්තක් නොවේ. ඒ සඳහා ඕනෑතරම් පහසුකම් සුලබව සපයා ගත හැකිය.එහෙත් මීට දශකයකට පමණ පෙරාතුව අප රට තුළ එකී තත්ත්වය වෙනස්‍ ය.එකල වෙබ් පිටුවක් නිර්මාණය කිරීම මෙන්ම එය යාවත්කාලීන කිරීම වෙහෙසකාරී කටයුත්තකි. ඒ වෙනුවෙන්ම කාලය කැප කළත් එමගින් බොහෝවිට ලැබුණේ ආත්ම තෘප්තිය පමණි. මේ තත්ත්වය එලෙස තිබියදී එක්තරා තැනැත්තෙකුට වෙබ් පිටුවක් ආරම්භ කිරීමේ සිතුවිල්ලක් සිතට නැඟිණ. එහි තේමාව සිංහල සිනමාව විය යුතු යැයි හෙතෙම තරයේ විශ්වාස කළේය. එම සිතැඟි මල්ඵල ගන්වමින් ඔහු තමන් අපේක්ෂා කළ වෙබ් පිටුව පටන් ගත්තේය.  films.lk  නමින් එය නම් කළේය.වසර දොළහක් ගතවූ තැන එම වෙබ් පිටුව සිංහල සිනමාව පිළිබඳ ඇති විශ්වාසනීයම වෙබ් පිටු අතරේ ඉහළම ඇති බවට සැකයක් නැත. එමෙන්ම එය ඉටුකරනා මෙහෙවරද අමිලය.මෙහි හිමිකරුගේ නම ඉසුර වික්‍රමාරච්චිය. films.lk තැනුණ සැටි මුලසිට ඔහු පැවසුවේ මෙසේය.

 

සිනමා වෙබ් පිටුවක් පටන්ගන්න තරම් සිත් දෙන්න,ඒ ක්ෂේත්‍රය කෙරෙහි බැඳීමක් තියෙන්න ඕනේ.ඔබ කොහොමද සිනමා රසවතෙක් වෙන්නේ?එතැනින් මේ කතාව පටන් ගමු?

මම සිනමාලෝලියෙක් වෙන්න බලපෑ චරිතය තමයි මගේ තාත්තා. ඔහු සිනමාවට අතිශය ළෙංගතු කෙනෙක්. සමහර චිත්‍රපට ඔහු දහ දොළොස් සැරයක් බලලා තියනවා. ඒත් මදිනම් තව කිහිප සැරයක් යනවා. මෙහෙම ගිහින් ඇවිත් අපිව වටකරගෙන සිනමාපට ගැන, චිත්‍රපට බලන්න ගිහින් ලැබූ අත්දැකීම් ගැන,සිනමා නළුනිළියන් එහෙම ගැන, විස්තර කියනවා. පසුකාලීනව තාත්තා අපිවත් ඒ ගමනට සහභාගී කරගන්නවා. හෝමාගම ලේඛා, අප්සරා වැනි සිනමාශාලා සුපුරුදු තැන් බවට පත් වෙනවා. මෙහෙම අත්දැකීම් ලබනකොට මම නොදැනීම සිංහල සිනමාවේ රසවතෙක් බවට පත් වෙනවා.

 

සිනමාපට නරඹන්න ගිහින් විඳී අමතක නොවන අත්දැකීම මොකක්ද කියලා මං ඇහුවොත්?

නොම්මර 17 චිත්‍රපටය බලන්න ගිහින් තුන් වතාවක් හැරිලා එන්න වුණා. එච්චරට සෙනඟ. ඊළඟ වතාවේ ගියාම ඒත් සෙනඟ. මේ පාර කොහොමහරි බලනවා කියලා අපි හැමෝම දිග පෝලිමක හිටියා. පුදුම වෙලාවක් එතන ගිටියා. කොච්චර වෙලාවක් හිටියද කිව්වොත් මට ක්ලාන්තය හැදුණා. ඒ වෙලාවේ මම බැනුම් අහාඅහා ගෙදර ආවේ ඒ වතාවෙත් අපේ ගෙදර අයට චිත්‍රපටය බැලීමේ අවස්ථාව අහිමි කරමින්.

 

සිනමාවේ වෙනත් අංශයකට දායක නොවී ඔබ වෙබ්පිටුවක් පටන්ගන්න හිතුණේ ඇයි?

මම වෙබ් ඩිසයින් පැත්තට යොමු වුණා. වෘත්තීයක් විදිහට සිනමාවට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.වෙබ් පිටු අතරේ සැරිසරද්දි මම ලොකු අඩුවක් දැක්කා. ලෝකයේ විවිධ රටවල සිනමාවට වෙබ්පිටු ඕනෑතරම් තියනවා.ඒත් අපේ සිනමාවට එහෙම එකක් නැහැ.මේ සිතුවිල්ල ඔස්සේ මම ක්‍රියාත්මක වුණා. films.lk කියන නම ඉක්මනින් රෙජිස්ටර් කරගන්න පුළුවන් වුණා ඒ කාලේ වෙබ්පිටු අඩු නිසා. අද වගේනම් නමක් තියන්න ඔක්කෝටම වඩා මහන්සි වෙන්න වෙනවනේ. එච්චරට වෙබ්පිටු තියනවා. චැලෙන්ජ් එක බාර අරගෙන සිංහල සිනමා නාමාවලිය පමණක් ඇතුළත් කරලා films.lk පටන් ගත්තා.

 

අද වනවිට?

සිංහල චිත්‍රපටයක ලයිට් අල්ලපු කෙනෙකුගේ පවා තොරතුරු මට ලැබුණොත් මම ඒ ශිල්පියා හෝ ශිල්පිනියගෙ විස්තර වෙබ්පිටුවට දානවා. අපේ සිනමාවේ නාමාවලිය, රිලීස් වුණ දින වකවානු, එයට දායකවූ පිරිස, නළුනිළියන්, මඟදි නතරවූ චිත්‍රපට වගේ තොරතුරු රැසක් මෙයට ඇතුළත්. ඒ වගේම කලාකරුවන්ගේ පින්තූර පහළොස්දහසක් පමණ මෙහි තියනවා. මේ වනවිට සිංහල සිනමාව පමණක් ගැන තිබෙන විශ්වාසනීයම වෙබ් පිටුව  films.lk කියලා අන්තර්ජාතිකව පිළිගන්න තත්ත්වෙට ඇවිල්ලා තියනවා කියලා මම කියන්නේ බොහොම නිහතමානි සතුටකින්.

 

කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ මෙමඟින් යහමින් මුදල් උපයනවා කියලා?

දැන් වෙබ් පිටුව පටන්ගෙන වසර දොළහක්නේ.මේ කාලය අතරතුරදි මගේ අතින් වියදම් වුණා මිසක මම සත පහක ආදායමක් ලැබුවේ නැහැ. හුදෙක්ම මම මේ කාර්යය කරන්නේ ආත්මතෘප්තිය සඳහා පමණයි. මට වෙනමම කණ්ඩායමක්වත් නැහැ. මගේ උදව්වට ඉන්නෙ බිරිය පමණයි.

 

ඔබෙන් තොරතුරු වෙනත් වෙබ්වලට ගන්න අයත් ඇති?

ඔව්.මගෙන් විස්තර වෙනත් අය අරගෙන තමන්ගේ වගේ පළකරන අය ඕනෑතරම් ඉන්නවා. මට ඒක කිසිම ගැටළුවක් නැහැ. ඒ වගේම එදාට වඩා අද වෙබ් පිටු අනන්තවත් තියනවා. මට ඒ කිසිවක් අභියෝග නෙවේ.

 

ඔබේ වෙබ් පිටුව කෙනෙකුට උදවුවක් වුණ අවස්ථාවක් මතක් කළොත්?

එහෙම සිද්ධීන්නම් කිහිපයක්ම තියෙනවා.මම එකක් කියන්නම්. සරත් දික්කුඹුර කියන නළුවට එයාර්පෝර්ට් එකකදි ප්‍රශ්නයක් වෙලා. තමන් නළුවෙක් කියන දේ ඔප්පු කරලා පෙන්නන්න කියලා එතැන හිටපු නිලධාරීන්. ඔහුට එවලේ මතක් වෙලා තියෙන්නේ මගේ වෙබ් පිටුව. ඔහු ඉක්මනින්  films.lk.එකට ගිහින් ඒකේ පළවූ තමන්ගේ විස්තර පෙන්නලා තමයි නළුවෙක් කියලා සනාථ කරලා තියෙන්නේ. පස්සේ මට ඔහු ස්තූති කළා සිද්ධිය කියලා.