“සොමියට වරෙන් පුතා” අහලත් මට වින්දනයක් ලබන්න පුළුවන්

මොහාන් සමරනායක
ජූලි 30, 2020

"කලාව මනුෂ්‍ය සමාජයේ යහපත උදෙසා භාවිත විය යුතුයි කියලා මම තදින්ම විශ්වාස කරනවා. කවර හෝ කලා කෘතියක් මනුෂ්‍යයාගේ ප්‍රගමනයට ඉවහල් වෙන්නේ නැති නම් එහි කුමන නිර්මාණාත්මක ලක්ෂණ තිබුණත් පළක් නැහැ කියලා මම විශ්වාස කරන්නවා" කලාව ගැන ඔහු අපට පැවසුවේ එසේය. ඔහු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි. මාධ්‍ය ආයතන කීපයක මුල්පුටු හෙබවූ ප්‍රවීණ මාධ්‍යවේදියෙකි. ලෝක දේශපාලනය පිළිබඳ පුළුල් දැනුමක් හෙබි විචාරකයෙකි. වර්තමානයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාද ඔහුය. හෙතෙම මොහාන් සමරනයක වේ. සමාජ, දේශපාලන, ආර්ථික ආදී විෂයන් පිළිබඳ නිතර කතාබහ කරන ඔහුගෙන් අප විමසුවේ කලාව ගැනය. කලාව සමඟ ඔහුට ඇති සමීපත්වය ගැනය. ඔහුට හැඟෙන පරිදි ඔහු කලාව රසවිඳීන ආකාරය ගැනය. මේ දිගහැරෙන්නේ ඒ කතාබහයි.

ඔබ පුංචි කාලේ අම්මා කියපු නැලවිලි ගීතවල මතකය මේ කතාවට හොඳ ආරම්භයක් වේවි.

පුංචි කාලේ අම්මා කියපු නැලවිලි ගීත මට නිශ්චිතවම මතක නැහැ. නමුත් මට මගේ බාල සොහොයුරිය නලවන්න කියපු ගීත මතකයි. මගේ ගම කළුතර, අගලවත්ත කුරුපිට කියන දුෂ්කර ගම. ඉතින් අම්මා නිතරම කියන්නේ ගම්බද කාන්තාවන් දරුවන් නලවන්න කියපු ගීත.

කලාවට ඔබේ පවුලෙන් තිබුණු නැඹුරුව කොහොමද?

මගේ තාත්තා ගමේ අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව ටිකක් ඉගෙන ගත්ත පුද්ගලයෙක්. ඔහුට සමාජ, දේශපාලනය ගැන හොඳ දැනුමක් තිබුණා. ඔහු ප්‍රබල සමසමාජවාදියෙක්. ඔහු හොඳ කවියෙක්. මගේ තාත්තා සිරි සමරනායක. ඉතා ප්‍රශස්ත මට්ටමේ කවියෙකු නොවුණත් සිව්පද ආරෙන් කවි රචනා කිරීමේ හැකියාවක් ඔහුට තිබුණා. ඔහුට පුළුවන් හිටිවන කවි කියන්න. එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, සිරිමාවෝ බණ්ඩාරනායක වගේ දේශපාලන චරිත සහභාගී වුණු රැස්වීම්වල පවා මගේ තාත්තා කවි කිව්වා. බොහෝ විට ඒ දවස්වල ඡන්ද රැස්වීම්වලදී සෙනඟ රඳවා ගැනීම සඳහා භාවිත කළ ජනප්‍රිය කථිකයෙක් මගේ තාත්තා. ඔහු තරුණ කාලෙදි ගමේ නාට්‍ය හදලා පෙන්වලා තිබුණා. ඒ නිසා යම් කලාකාමී ආභාෂයක් මට තාත්තාගෙන් ඇවිත් ඇති කියලා මම හිතනවා.

පුංචි කාලේ කලාවට ඔබේ තිබුණු නැඹුරුව ගැන කිව්වොත්?

ශේක්ස්පියර් කියලා තියෙනවා "සංගීතයේ සිනිදු ස්වරයෙන් චංචල නොවන හදවතක් ඇති මනුෂ්‍යයා මනුෂ්‍යයෙක් නොවේ" කියලා. ඒ වගේම තමයි මමත්. කුඩා කල සිටම කලාවට යම් ආශාවක් ලැදියාවක් මට තිබුණා. ඒ කාලේ ගම්වල මුදල් වියදම් කරලා ඉහළ මට්ටමේ නාට්‍ය පෙන්නුවේ නැහැ. නමුත් ගමේ ඇතැම් පිරිස් එකතු වෙලා නාට්‍ය දර්ශන පෙන්නුවා. මම ඒවා බලපු බව මතකයි. පාසල් යන කාලේ මම කවි ලිව්වා. නවයුගය, සිළුමිණ වගේ පත්තරවල මගේ කවි කලාතුරකින් පළවෙලා තියෙනවා.

පාසල් යන කාලේ සෞන්දර්ය කියලා විෂයක් හැදෑරුවාද?

නැහැ. නමුත් මම උසස් පෙළට කළේ කලාව විෂයන්. සෞන්දර්ය විෂයන් එයට අන්තර්ගත වුණේ නැහැ. පාසල් යන කාලේ මම "ගුත්තිල නාඩගම" කියලා නාට්‍යයක් කළා. ඒක විශාල ලෙස ප්‍රචලිත වුණේ නැහැ. මම උසස් පෙළ කළේ මතුගම පාන්තීය සුමංගල පිරිවෙනේ. එහි කලා උලෙළකදී ඒ "ගුත්තිල නාඩගම" ප්‍රදර්ශනය කළා. ඒ නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබුණා ශිෂ්‍යයන්ගෙන්.

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ විශිෂ්ට කලා ශිල්පීන් බිහි කළ කලා උල්පතක්. විශ්වවිද්‍යාලයේදී කොහොමද කලාව එන්නත් වෙන්නේ?

මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුකත් වෙන්නේ 1968දී. නවකවද සමයෙන් පසුව සතියක් පමණ පේරාදෙණිය "වලේදී" වේදිකා නාට්‍ය පෙන්නුවා. සිංහබාහු, මනමේ, හුනුවටයේ කතාව, කොරා සහ අන්ධයා වැනි ඒ කාලේ ප්‍රචලිත අදත් අපි ආදරෙන් සිහි කරන නාට්‍ය නොකඩවා බලන්න ලැබුණා. ඒ නාට්‍යවලින් අපි විශාල වින්දයක් ලැබුවා. මට අදටත් මතකයි හුණුවටයේ කතාව. ඒකට මම කොච්චර ආසා වුණාද කියනවා නම් නාට්‍ය බලලා ඒ කතාවට පාදක වුණු පොත හොයාගෙන කියෙව්වා. විශ්වවිද්‍යාලයේදී විවේකයෙන් කාලය ගත කරද්දි පවා අපි කිව්වේ මනමේ, සිංහබාහු නාට්‍යවල ගීත තමයි. ප්‍රේමයෙන් මනරංජිතවේ වගේ ගීත ඒ කාලේ අපි නිතරම මුමුණනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්වත්. ඒ වගේම විශ්වවිද්‍යාලයේදී මාසෙකට දෙවතාවක් වගේ චිත්‍රපට බැලුවා. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගම් ඒ අවදියේදී සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට නොමිලේ ප්‍රදර්ශනය කරනවා. අක්කර පහ, අහස්ගව්ව වගේ චිත්‍රපට මට මතකයි විශ්වවිද්‍යාලයේදී බැලුවා.

මුලින්ම හෝල් එකක චිත්‍රපටයක් බලපු දවස මතකද?

දවස නිෂ්චිතවම මතක නැහැ. උසස් පෙළ විභාගයට පෙනී ඉන්න කාලේදි තමයි මුලින්ම චිත්‍රපට බැලුවේ. මොකද මම හැදුණේ වැඩුණේ දුෂ්කර ගමක. සිනමාශාලාවලට අපිට යන්න හැකියාවක් තිබුණේ නැහැ. උසස් පෙළ කරන්න සුමංගල පිරිවෙනට ගිහින් බෝඩ්මක නතර වෙලා ඉන්න කාලේදී යාළුවෝ එක්ක මුලින්ම ගිහින් හින්දි චිත්‍රපටයක් බැලුවේ කියලා මතකයි. ඒ කාලේ දිනමිණ පුවත්පතේ ජයවිලාල් විලේගොඩගේ සිනමා විචාරය කියවන්න අමතක කරන්නේ නැහැ මම. පසුව විටින් විට ගිහින් චිත්‍රපටි බැලුවා. අපි යාළුවෝ කණ්ඩායම ගිහින් ඉඳගන්නේ ගැලරියේ. හේතුව ඒ කාලේ අපේ අතේ මුදල් ගැවසුණේ නැහැ. ගැලරියේ ටිකට් එකට අපි ගෙව්වේ සත පනස් පහයි.

එහෙම ගිහින් බලපු චිත්‍රපට මොනවාද?

ධීවරයෝ, චණ්ඩියා, අල්ලපු ගෙදර වගේ චිත්‍රපට සහ ඒ කාලේ ජනප්‍රිය වුණු හින්දි චිත්‍රපට විශාල සංඛ්‍යාවක් බලලා තියෙනවා.

දෙතුන් වතාවක් බලපු චිත්‍රපට තියෙනවාද?

ඔව්. චිත්‍රපටයක් දෙතුන් වතාවක් බලන්නේ ඒකට ගොඩක් ආශක්ත නම් විතරයිනේ. මටත් එහෙම චිත්‍රපට කීපයක් තියෙනවා. ගම්පෙරළිය, විරාගය, නිධානය යන චිත්‍රපට දෙවාරයකට වඩා මම බලලා තියෙනවා. ඒ කාලේ සමහර තරුණයින්ට චිත්‍රපට උන්මාදයක් තිබුණා. නමුත් මගේ අවදානය වැඩියෙන් යොමුවුණේ දේශපාලන, සමාජ, ආර්ථික වගේ විෂයන්වලට.

පෙම්වතියත් එක්ක චිත්‍රපට බලලා නැද්ද?

විශ්වවිද්‍යාලයට යන කාලේ මට පෙම්වතියක් හිටියේ නැහැ. මොකද ඒ තරමට වාමාංශික දේශපාලනයේ ක්‍රියාකාරීව හිටපු නිසා. පසුකාලීනව පෙම්වතිය (බිරිඳ) මුණ ගැහුණාම ඇය සමඟ චිත්‍රපට බලලා තියෙනවා. සුද්දිලගේ කතාව ඇයත් එක්ක බලන්න ගියා මතකයි මට. ඇයත් කලාවට බොහොම ලැදි කෙනෙක්. දැනුත් අපි විවේකයක් ලැබුණාම කොළඹට ඇවිත් ටවර් රඟහලේ හෝ ලයනල් වෙන්ට් එකේ නාට්‍යයක් බලනවා.

ඒ කාලේ ඔබ අනුකරණය කරපු නළුවෙක් හිටියාද?

ගාමිණී ෆොන්සේකා වගේ කොණ්ඩේ හදාගන්න ඒ කාලේ මට ඕනේ වුණා. ඒ විදිහට කොණ්ඩේ තියාගන්න උත්සාහ කළා. ඔහුට මෙන් මට කොණ්ඩයක් නොතිබුණු නිසා ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. ගාමිණී ෆොන්සේකා තමයි මම කැමතිම නළුවා ඒ කාලේ. ඉන්පසු කාලයේ විජය කුමාරණතුංගට බෙහෙවින් ඇළුම් කළා ඔහුට තිබුණු දේශපාලන සංවේදී බව නිසා. ඔහු පෞද්ගලිකව අඳුනන්නේ නැති නමුත් පසුකාලයේ විජය අනුස්මරණ දේශන කීපයක්ම කරලා තියෙනවා. ඊට අමතරව රවීන්ද්‍ර රන්දෙණිය, මහේන්ද්‍ර පෙරේරා, හේමසිරි ලියනගේ, සෞම්‍ය ලියනගේ, ජයලත් මනෝරත්න වගේ රංගන ශිල්පීන්ට මම කැමතියි. ඔවුන් සියලු දෙනාම ෆැන්ටසි නළුවා කියන සංකල්පයෙන් ඔබ්බට ගිහින් මිනිස් චරිත බොහොම තාත්විකව නිරූපණය කරපු අය.

කැමතිම චිත්‍රපට නිළිය කවුද?

මම නළු නිළියන්ට කැමති වෙන්නේ මගේ රසඥතා මට්ටම අනුව ඔවුන් තුළ මම දකින නිර්මාණාත්මක චරිත නිරූපණ දක්ෂතාව අනුවයි. මාලනී ෆොන්සේකා කියන්නේ මම බොහොම කැමති නිළියක්. මුල් කාලයේ ඇයට ඇළුම් කරන්නේ ඇගේ රුවට. නමුත් පසුකාලීනව නිධානය වගේ චිත්‍රපටවල ඇගේ රඟපෑම ඉතා ඉහළයි. ඒ වගේම ස්වර්ණා මල්ලවාරච්චිටත් කැමතියි ඇගේ තාත්වික චරිත නිරූපණය නිසා.

මාධ්‍ය ජීවිතයේදී සමීපව ඇසුරු කරපු කලාකරුවන් කවුද?

මාත් එක්ක යම් ප්‍රමාණයකට හිතවත්කමක් ඇඳුනුම්කමක් ඇති වුණු කලාකරුවන් අතර ඉහළින්ම ඉන්නේ ප්‍රේමකීර්ති ද අල්විස්. මම ගුවන්විදුලි සංස්ථාවෙ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් හැටියට වැඩ කළා 1980දී. ප්‍රේමකීර්තියි මම දෙන්නාම ගුවන්විදුලියේ ප්‍රවෘත්ති අංශයේ එකට වැඩ කළේ. මම සංස්කරණය කරපු ප්‍රවෘත්ති ප්‍රකාශ ගණනාවක් කියපු කෙනෙක් තමයි ප්‍රේමකීර්ති. මට මුණගැහුණු කලාකරුවන්ගෙන් සුන්දරම කලාකරුවා ඔහුයි. ඒ වගේම බුද්ධදාස විතානාරච්චි, එඩ්වඩ් ජයකොඩි, රවින්ද්‍ර රන්දෙණිය වගේ කලාකරුවන් සමඟ යම් ප්‍රමාණයක දැන ඇඳුනුම්කමක් තියෙනවා.

 

කැමතිම සිංහල චිත්‍රපටය මොකක්ද?

මම කැමතියි "විරාගය" චිත්‍රපටයට. විරාගයට පාදක වන මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය නවකතාව මම කිහිප වරක් ඉතාම ආශාවෙන් කියවලා තියෙනවා. ඒක ශෝකී චරිතයක් වටා ගෙතුණු කතාවක්. උපේක්ෂා සහගත, අන්‍යන්ට වෛර නොකරන යහපත් මනුෂ්‍යයෙකුගේ ඛේදවාචකයක් ඒ කතාවට අන්තර්ගත වෙලා තියෙන්නේ. නිධානය, දඩයම, සුද්දිලාගේ කතාව, හන්තානේ කතාව, බඹර වලල්ල, බඹරු ඇවිත්, අහස් ගව්ව වගේ චිත්‍රපටවලට විවිධ හේතු නිසා මම කැමතියි. විශේෂයෙන් පතිරාජගේ සිනමාවට මම කැමතියි.

ධර්මසේන පතිරාජයන්ගේ සිනමාව ගැන කතා නොකළොත් එක මේ කතාබහට අඩුවක් වේවි.

ඔහුගේ සිනමාවට නිතරම තේමාව වුණේ පීඩිත මිනිස්සුන්ගේ ජීවිතය. ඔහු සිනමාවෙන් ආමන්ත්‍රණය කළේ පීඩිත මිනිස්සුන්ට. ඒ චිත්‍රපට තුළ සටන්කාමී ස්වභාවයක් තිබුණා. මම විශ්වාස කරන මාක්ස්වාදී දර්ශනයේ යම්කිසි ආභාෂයක් ඒ නිර්මාණවල ගැබ් වෙලා තිබුණා. ඉතා ඉහළ මට්ටමේ භාෂාවක් සහිත මානාව ගයන ගීත ඒ චිත්‍රපටවල තිබුණා. පතිරාජගේ සිනමා නිර්මාණවල මම කැමති ගණයේ නළු නිළියෝ හිටියා. විජය කුමාරණතුංග, අමරසිරි කලංසූරිය, සිරිල් වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා, ස්වර්ණා මල්ලවාරච්චි වගේ රංගන ශිල්පීන් ඒ නිර්මාණවල හිටියා. නමුත් පසුකාලීනව ඔහුගේ දේශපාලනය මට උභතෝකෝටිකයක්.

ප්‍රිය කරන චිත්‍රපට ගීතය මොකක්ද?

කළුදිය දහර චිත්‍රපටයේ "මාස්ටර් සර්" ගීතයට මම බොහොම කැමතියි. ඒකට හේතු රාශියක් තියෙනවා. ප්‍රධානම හේතුව ඉන් කියවෙන්නේ දේශපාලන අදහසක්. මම පිළිගන්න පංති අරගලය ගැන එහි කතා කරනවා. නමුත් එහි තියෙන්නේ ප්‍රතිගාමී අදහසක්. ඒත් රමණීය විදිහට ඒ ගීතය තුළ සමහර දේවල් ස්පර්ශ කරලා තියෙනවා.

අන්තිමටම බලපු චිත්‍රපටය මොකක්ද?

අන්තිමට හෝල් එකක් බැළුවේ සෝමරත්න දිසානායකගේ "සුනාමි" චිත්‍රපටය.

සංගීතය සමඟ ඔබට තියෙන ගනුදෙනුව කොයි වගේද?

මම ගීත අහන්න බොහොම ප්‍රිය කරන කෙනෙක්. මම රෑට නින්දට යන්නෙත් ගීත අහලා. පණ්ඩිත් අමරදේව, නන්දා මාලනී, අමරසිරි පීරිස් වගේ ගායක ගායිකාවන්ගේ ගීත මම නිතරම රසවිඳීනවා. ඒ වගේම මම නිහාල් නෙල්සන්ගේ සමහර ගීතවලටත් කැමතියි. උදාහරණයක් විදිහට "ගුණේ අයියගේ බජව් දාන කාමරේ" වගේ සිංදුවක් නියෝජනය කරන්නේ පංතිවලට බෙදුණු සමාජයේ එක ප්‍රපංචයක් වෙන ලුම්පන් පංතිය. ඒ නිසා "සොමියට වරෙන් පුතා" අහලාත් මට වින්දනයක් ලබන්න පුළුවන්.

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

පණ්ඩිත් අමරදේවගේ කටහඬට මම ලොබ බැඳලා තියෙනවා. ඒ වගේම අමරසිරි පීරිස්, නෙවිල් ප්‍රනාන්දුගේ කටහඬටත් කැමතියි.

මොහාන් සමරනායක කලාව කියන දේ දකින්නේ කොහොමද?

කෙනෙක්ට ජීවිතය විඳීන්නට භෞතික පරිභෝජනය පමණක් නොවෙයි මානසික හා ආධ්‍යාත්මික සුවයත් අවශ්‍යයි. ඒ ආධ්‍යාත්මික සුවය ලබාදෙන ක්ෂේත්‍රයක් විදිහටයි මම කලාව දකින්නේ. දීර්ඝ කාලයක සිට කලාවේ කාර්යභාර්ය මොකක්ද කියලා විවාදයක් තියෙනවා. තවමත් ඒ විවාදය තියෙනවා. නමුත් තාමත් හැමෝම පිළිගන්න පිළිතුරක් ලැබිල නැහැ. මම හිතන්නේ කලාව රස නිෂ්පත්තිය කළ යුතුයි. රස මිනිස්සු තුළ ජනනය කළ යුතුයි. ඒ එක්කම කලාව මනුෂ්‍ය සමාජයේ යහපත උදෙසා භාවිත විය යුතුයි කියලා මම තදින්ම විශ්වාස කරනවා. කවර හෝ කලා කෘතියක් මනුෂ්‍යයාගේ ප්‍රගමනයට ඉවහල් වෙන්නේ නැති නම් එහි කුමන නිර්මාණාත්මක ලක්ෂණ තිබුණත් පළක් නැහැ කියලා මම විශ්වාස කරන්නවා. ඒකට හොඳම උදාහරණය රුසියානු සාහිත්‍යය සහ ගෝර්කි, ටෝල්ස්ටෝයි වගේ ලේඛකයෝ. කලාව රසභාව ඇති කර මිනිසුන් කුල්මත් කරනවාට අමතරව ඔවුන්ට සමාජය දෙස පරාර්ථකාමීව, සානුකම්පිතව බලන්න පුළුවන් හැඟීමක් ඇති කිරීමට දායක විය යුතුයි.

ටෙලිවිෂන් කලාවේ ප්‍රවීණයෙක් ලෙස වර්තමාන ටෙලිවිෂන් කලාව ගැන මොකද හිතන්නේ?

රූපවාහිනියෙනුත් මම කලාවේ කලින් කියපු කාර්ය ඉටු කරන්න පුළුවන්. ටෙලිනාට්‍ය ගැන කතා කළොත් මුල් යුගයේදී හොඳ කලා කෘති බිහිවුණා. පරාක්‍රම නිරිඇල්ල, නිහාල් ප්‍රනාන්දු වගේ අය හොඳ ටෙලිනාට්‍ය නිර්මාණය කළා. පසුකාලීනව ටෙලිනාට්‍ය කලාව ඉතාම නරක විදිහේ ව්‍යාපාරයක් බවට පත් වුණා. අපි ජීවත් වෙන්නේ ධනේෂ්වර සමාජයක. ධනේෂ්වර සමාජයේ හැමදේම විකුණනවා හැමදේම විකිනෙනවා. ධනේෂ්වර සමාජයේ කලාව වෙළඳ භාණ්ඩයක් වෙලා රසිකයෝ පාරිභෝගිකයෝ වෙලා තියෙන්නේ. මේ රූපවාහිනිය ඉස්සරහා ඉඳලා හැදෙන පරම්පරාවත් අරාජික, නාස්තිකාරී, ධනය ඉපැයීමේ වියරු වැටුණු පිරිසක් බවට පත් වෙලා.

වර්තමාන සිනමාව ගැන ඔබේ අදහස?

දැන් චිත්‍රපට කර්මාන්තයක් ලංකාවේ නැති තරම්. ඒ සඳහාත් හානිකර සාධක රාශියක් බලපාලා තියෙනවා. දැන් හැදෙන වාණිජ චිත්‍රපට ගැන කතා කළොත් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කළ හැකි සියලු අංග කළවම් කරලා නිර්මාණය කරන මනෝ විකාරයක් හැටියටයි මට පෙනෙන්නේ. ඒ වගේම මෑත කාලයේදී පිටරටින් ලැබෙන සල්ලි උදෙසා චිත්‍රපට කරන නරක ප්‍රවණතාවක් ආවා. ඒ චිත්‍රපට නිර්මාණාත්මක ඇති, ඒවාට ජාත්‍යන්තර සම්මාන ලැබෙන්නත් ඇති. නමුත් පශ්චාත් යුද සමයේ හැදුණු චිත්‍රපට ගැන මට තියෙන්නේ කලකිරීමක්. මෑත කාලයේදී මනුෂ්‍යයාගේ රසවින්දනය වෙනුවට පිටරට සම්මාන බලාපොරොත්තුවෙන් චිත්‍රපට හැදෙන ප්‍රවණතාවක් තියෙනවා.

ලෝක දේශපාලන චරිතයක් ගැන සිනමා නිර්මාණයක් කරන්න අවස්ථාව ලැබුණොත් ඔබ තෝරාගන්නේ කාගේ චරිතයද?

ඒ වගේ අවස්ථාවක් ලැබුණොත් මම තෝරගන්නේ චේ ගෙවාරාගේ චරිතය. ඔහුගේ චරිත කතාව ඉතා සිනමාත්මකයි.