ඒ කාලේ පෙම්වතියන්ට ආදරේ කළේ ගාමිණි වගේ

ඩඩ්ලි සිරිසේන
අගෝස්තු 6, 2020

"ව්‍යාපාර ගණනාවක් පාලනය කරන කෙනෙක් විදිහට මම ඒ ඇති වෙන මානසික පීඩන හැමදේම නැති කරගන්නේ සින්දුවක් අහලා, නාට්ටියක් බලලා. අපි මේ හැමදේම කරන්නේ සතුටට. සතුටින් ඉන්න හොඳම විදිහක් තමයි කලාව කියන්නේ". කලාව ඔහු දකින්නේ එසේය. හෙතෙම ලංකාවේ ඉහළම පෙළ නියෝජනය කරන ව්‍යාපාරිකයෙකි. අතිදක්ෂ ව්‍යවසායකයෙකි.  ශුෂ්ක කලාපයේ කටු කොහොල් මාවත් දිගේ පැමිණ ස්වෝත්සාහයෙන් තම ජීවිතය ජයගත් ව්‍යාපාර කළමනාකරුවෙකි. ඒ සියල්ලටමත් වඩා ඔහු සිනමා උමතුවෙන් පෙළුණු තරුණ වියක් හිමි අයෙකි. හෙතෙම අරලිය සමූහ ව්‍යාපාර ජාලයේ සභාපති ඩඩ්ලි සිරිසේන වේ. අප ඔහුගෙන් විමසුවේ ව්‍යාපාර ගැන නොව කලාව ගැනය. කලාව සමඟ ඔහුට ඇති සමීපත්වය ගැනය. මේ දිගහැරෙන්නේ ඒ කතාබහයි. 

ඔබේ ගම සහ ඒ හා බැඳුණු කලාව මේ කතාවට හොඳ ආරම්භයක් වේවි.

කලාව පිළිබඳ මහත් ගැටලුවක් තිබුණු ප්‍රදේශයක් තමයි පොළොන්නරුව කියන්නේ. නිදහස ලැබුවාට පසුව බණ්ඩාරනායක මහත්තයාගේ ජනපද ව්‍යාපාර හරහා මිනිස්සු ඇවිත් පදිංචි වෙලා තමයි පොළොන්නරුව සහ ඒ අවට ජනාවාස හැදුණේ. අපි පොඩි කාලේ සමාජයේ කලාවට තිබුණු සම්බන්ධය හරිම අඩුයි. නමුත් කාලීනව පොළොන්නරුවේ අධ්‍යාපන මට්ටම් දියුණු වෙලා ඉහළට එද්දි ප්‍රසිද්ධ සංගීතඥයෝ ප්‍රසිද්ධ ගායකයෝ, නළු නිළියෝ පසුකාලීනව තමයි බිහි වුණේ.

කලාවට ඔබේ පවුලෙන් තිබුණු නැඹුරුව කොහොමද?

මගේ මවුපියෝ දෙන්නාටත් එහෙම ලොකුවට කලාවට කියලා උනන්දුවක් හැකියාවක් තිබුණේ නැහැ. ඒත් අයියා (මෛත්‍රීපාල සිරිසේන) නම් එදා ඉඳලාම ඔය ටීටර් එහෙම කරලා තියෙනවා. 70 දශයේදී විතර ටීටර් කළේ ප්‍රජා මණ්ඩලවලින්. අයියා තමයි ඒ වැඩවලට ගමේ ප්‍රමුඛත්වය දැරුවේ. 

අයියා එක්ක ටීටර් බලන්න ගිහින් තියෙනවාද?

බලන්න ගියා විතරක් නෙමෙයි රඟපාලත් තියෙනවා. අයියා හිටියේ "අංගුලිමාල" ටීටර් එකේ කුමාරිකාවට. මම රඟපෑවේ අංගුලිමාලගේ පොඩි කාලේ චරිතයට. ඒ මගේ ජීවිතේ කිසිම බරක් පතළක් නැතුව ගෙවුණු සුන්දර කාලයක්. 

පාසල් යන කාලේ සෞන්දර්ය කියලා විෂයක් හැදෑරුවාද?

පාසල් යන කාලේදී සංගීතය විෂයක් හැටියට හැදෑරුවා. පොඩිම කාලේ ඉස්කෝලේ සාහිත්‍ය සමිතිවල සින්දු එහෙම කියලා තියෙනවා මම. ගායනා කිරීමේ යම් හැකියාවක් තියෙනවා. රංග කලාව කියන විෂය හැදෑරුවේ නැති වුණාට පාසලේ නාට්‍යවල රඟපාලා තියෙනවා "එළාර - දුටුගැමුණු" නාට්ටියේ මම දුටුගැමුණු කුමාරයාට රඟපාලා තියෙනවා. ඒ වගේම අපි ඒ දවස්වල පෙරහැරවල නටලා තියෙනවා. ඒ කාලේ මට ලී කෙළි වන්නම් දහයක් නටන්න පුළුවන්. දැන් නම් ඒවා මතක නැහැ. (සිනාසෙමින්) 

මුලින්ම හෝල් එකක චිත්‍රපටියක් බලපු දවස මතකද?

මුලින්ම චිත්‍රපටියක් බැලුවේ 7 වසරෙදි ඉස්කෝලෙන් එක්කන් ගිහින්. "රන්මුතුදූව" තමයි බැලුවේ. 

පාසල් යන කාලේ යාළුවෝ එක්ක ගිහින් චිත්‍රපටි බලලා තියෙනවාද?

මගේ ජීවිතේ වැඩිපුර විනෝද වුණේ චිත්‍රපටි බැලුවේ මගේ තරුණ කාලේ තමයි. ඒ අතරින් පාසල් කාලය මට විශේෂයි. මට හිටියා හොඳ යාළුවෝ ටිකක් උපාලි, ආනන්ද, සිසිර කුමාර, සුනිල් විමලවීර කියලා. ඒ කාලේ හරි රසවත්. මේ යාළුවෝ තුන් හතරදෙනා එක බයිසිකලේ නැඟලා කොහොමහරි චිත්‍රපටි බලන්න යනවා. චිත්‍රපටි බලලා එන ගමන් බේකරියකින් පාන් අරගෙන කාලා තමයි ගෙදර එන්නේ. අපි චිත්‍රපටි බලන්න ගියේ ජයන්ති - පොළොන්නරුව, දීපානි - පොළොන්නරුව කියන හෝල්වලට.  

එහෙම ගිහින් බලපු චිත්‍රපටි මොනවාද?

තුෂාරා, සුජීවා වගේ චිත්‍රපටි. ගාමිණී ෆොන්සේකා රඟපාපු චිත්‍රපටි සියල්ලම වගේ මම බලලා තියෙනවා. විජය කුමාරතුංග රඟපාපු චිත්‍රපටි බලන්නත් ඒ කලේ මම හරිම කැමතියි.

දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි තියෙනවාද?

හපොයි ඔව්. ඕනේ තරම් තියෙනවා. දැන් ඒවා මතක නැහැ. සාගරයක් මැද, හුලවාලි, සුජීවා, තුෂාරා, ආවා සොයා ආදරේ. පෙම්බර මධූ. මේ හැම එකක්ම දෙවතාවකට වැඩිය බලලා තියෙනවා. අපි චිත්‍රපටි දෙතුන් වතාව බලන්න පෙළඹුණේම චිත්‍රපටියේ අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයාගේ දක්ෂකම නිසා. මම ඒ සිනමා මානසිකත්වයට බොහොම ප්‍රිය කෙනෙක්. විශේෂයෙන් "පෙම්බර මධූ" චිත්‍රපටියට අවසාන දෙකක් තියෙනවා. ඒවා වාණිජමය අරමුණෙන් කරපු ප්‍රයෝග වෙන්නැති. ඒත් ඒ චිත්‍රපටියේ අවසාන දෙකම තිරගත කළා දවස් දෙකකට. ඉතින් අවසාන දෙකම බලන්න ඕනේ නිසා දෙවතාවක් "පෙමබර මධූ" බැලුවා. 

පෙම්වතියත් එක්ක ගිහින් චිත්‍රපටි බලලා තියෙනවාද?

පෙම්වතියක් එක්ක නෙමෙයි පෙම්වතියෝ පස් හය දෙනෙක් එක්ක මම චිත්‍රපටි බලලා තියෙනවා. 

මොනවාද ඒ බලපු චිත්‍රපටි?

පෙම්වතියෝ එක්ක චිත්‍රපටි බලද්දි චිත්‍රපටිය ගැන එච්චර අවධානයක් යොමු කරන්නේ නැහැනේ. (සිනාසී) ඔයත් මාර ප්‍රශ්නනේ අහන්නේ දරුවෝ. 

චිත්‍රපටි බලන්න ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීම ඇති?

ඒ කාලේ හෝල්වල දවල්ට චිත්‍රපටි පෙන්නන්නේ සෙනසුරාදා ඉරිදා විතරයි. අනෙක් දවස්වල රෑ 6.30, 9.30 දර්ශන විතරයි පෙන්නුවේ. අපි යාලුවෝ කල්ලිය නිවාඩු දවසට දවල්ට බයිසිකල්වල නැඟලා චිත්‍රපටි බලන්න යන්නේ. එක අවුරුද්දක පොසොන් සතියේ පෙන්නුවේ "සිංගප්පූරු චාලි". අපි ගිහින් 10.30, 2.30, 6.30, 9.30, 12.30 (රෑ), 3.30 හැම දර්ශනයක්ම එකම ෆිල්ම් ඒකේ බැලුවා යාලුවෝ එක්ක. ඒ තරම් චිත්‍රපටි උන්මාදයක් අපිට තිබුණා. 

ඩඩ්ලි සිරිසේන කියන්නේ ගැටවර කාලේ චිත්‍රපටි පිස්සුව තදටම තිබුණු කෙනෙක්ද?

ඔව්. චිත්‍රපටි පිස්සුව තදටම තිබුණා. ඒ කාලේ ටෙලිවිෂන් නැති නිසා තරුණයෝ සිනමාශාලාවල කාලේ ගත කළේ. මමත් එහෙමයි. චිත්‍රපටි පිස්සුව වගේම මට බෑන්ඩ් පිස්සුවත් තදටම තිබුණා. 

ඒ ගැනත් විස්තර කියමු?

අපි "යාළුවෝ ටික එකතු වෙලා සංගීත කණ්ඩායමක් හැදුවා. ඒකේ නම "ඉභනඥප ජ්පඪඥදඤඵ". මම තමයි ඒ සංගීත කණ්ඩායමේ මුදල් භාරව වැඩ කළේ. ඒ කාලෙත් මම කළේ පරිපාලනය. සංගීත භාණ්ඩ වාදනය කරනවාට වඩා මම කැමති වුණේ පරිපාලනයට. ඒ 1980දී. එක සිංහල අවුරුද්දක අපි ගමේ අයගෙන් සල්ලි එකතු කරලා ප්‍රසංගයකුත් කළා. ප්‍රසංගය කරලා  රු.175ක ලාභයකුත් අපි එකතු කරගත්තා. 

යාළුවෝ එක්ක වේදිකා නාට්‍ය බලන්න ගිහින් නැද්ද?

ඇත්තටම එක කාලයකදී චිත්‍රපටි බැලීමට වැඩිය අපි වේදිකා නාට්‍ය බලන්න වැඩි අවදානයක් යොමු කළා. ඒ දවස්වල සිනමාවට වඩා වැඩි කාලයක් ජීවිතේ වේදිකාව වෙනුවෙන් වෙන් කළා. නාට්‍යවලට ලොකු කැමැත්තකුත් තිබ්බා. කැලණි පාලම, පාතලයේ සොල්දාදුවෝ, සිංහබාහු, මනමේ, නරිබෑනා වගේ වේදිකා නාට්‍ය බැලුවා. චිත්‍රපටියක තියෙන කෘත්‍රිම ගතියට වඩා වේදිකාවේ තියෙන සජීවී ගතියට මම කැමතියි. 

ඔබ අනුකරණය කරපු චිත්‍රපටි නළුවා කවුද?

මම ගාමිණී ෆොන්සේකා මහත්තයාව තමයි අනුකරණය කළේ. ප්‍රතිභාපූර්ණ නළුවෙකුගේ තියෙන හැම ලක්ෂණයක්ම ඔහුට තියෙනවා. ශරීරීය, කතාබහ, ඇඳුම් පැලඳුම්, සටන් ජවනිකා, ඔහු ආදරේ කරන විලාසය මේ හැමදේම අනිත් නළුවන්ට වඩා විශේෂත්වයක් තිබුණා. ඇත්තටම මම ඒ කාලේ පෙම්වතියන්ට ආදරේ කළේ ගාමිණී ආදරේ කරන විදිහට. 

ඒ කාලේ විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?

ඒ කාලේ හිටපු නිළියෝ ඔක්කොම ඉතින් අපිට වඩා වයසයි. මාලනී ෆොන්සේකා, ගීතා කුමාරසිංහ, නීටා ප්‍රනාන්දු මේ ඔක්කොම අපිට වඩා වයසින් වැඩියි. හැබැයි මම ප්‍රිය කරන නිළිය තමයි ස්වර්ණා මල්ලවාරච්චි. ඇත්තටම විවාහ කරගන්න හොඳයි කියලා ඒ කාලේ හිතුණේ ස්වර්ණා මල්ලවාරච්චි තමයි. 

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

"සාගරයක් මැද" චිත්‍රපටියට මම ප්‍රිය කරනවා. සමාජය දිහා වෙනත් කෝණයකින් මිනිස්සුන්ට බලන්න පොලඹවපු චිත්‍රපටියක් ඒක. ප්‍රේම ජවනිකාවලින් ටිකක් එහාට සමාජ යථාර්ථය, සමාජයේ යුතු අකටයුතුකම් ගැන කතාබහක් මම ඒ "සාගරයක් මැද" චිත්‍රපටියෙන් දැක්කා. ඊට අමතරව සුද්දිලාගේ කතාව, දුහුළු මලක් වගේ චිත්‍රපටිවලට මම කැමතියි. විශේෂයෙන්ම "දුහුළු මලක්" චිත්‍රපටියේ නීටා, ටෝනි, රවීන්ද්‍ර තුන්දෙනාම ඉතාම තාත්වික රංගනයක් කළා. "වෙණ වයා නද දෙමූ නීරෝ වගේ අපි", "රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කළ ආදරයයි" වගේ ගීත ඒ චිත්‍රපටයේ ලස්සන වැඩි කළා. 

ඔබ හින්දි චිත්‍රපටිවලට ප්‍රිය කරපු කෙනෙක්ද?

හින්දි චිත්‍රපටියක් කියලා මම ඉස්සෙල්ලාම බැලුවේ "ඒනදච ඤඥඵඩ". ඊටපස්සේ "ට්ඥඥබඩ" බැලුවා මතකයි. "ට්ඥඥබඩ" එකේ හුඟක් ජනප්‍රිය, මාර ලස්සන සිංදු ටිකක් තිබුණා. ඒවා තාමත් ජනප්‍රියයි. මම ඉඳලා හිටලා රධභබභඡඥ එකෙන් ඒ සිංදු තාමත් අහනවා. කැමතිම නළුවා අමිතාබ් බච්චන් තමයි ඉතින්. 

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

මෑතකදී නම් හෝල් එකක ගිහින් චිත්‍රපටි බැලලා නැහැ. මට මතක විදිහට අන්තිමටම රීගල් එකේ "සුද්දිලාගේ කතාව" බැලුවේ. 

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

වෙන කවුද ඉතින් එච්.ආර්. ජෝතිපාල තමයි. ජෝතිගේ මම දකින විශේෂත්වය තමයි ඔහුගේ හඬ ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ටෝනි රණසිංහ, රෝයි ද සිල්වා මේ හැම නළුවෙක්ටම ගැළපුණා. මම විශ්වාස කරනවා ඔහු ඒ ඒ ගායකයාට අනුව කටහඬ වෙනස් කරලා සිංදු කියනවා ඇති කියලා. 

නිතරම මුමුණන ගීතය මොකක්ද?

නිවිසැනසිල්ලේ ඉද්දී හැම වෙලාවෙම කියන්නේ "ජීවිතේ තරුණ කාලේ". ඒ සිංදුව මගේ ජීවිතයට හරි ප්‍රායෝගිකයි. 

කලාව කියන දේ ඩඩ්ලි සිරිසේන දකින්නේ කොහොමද?

මේ මනුස්ස ජීවිතයට ජීවත් වෙන්න ආහාර අත්‍යවශ්‍යයි වගේම ඒ හා සමානවම කලාවත් මනුස්සයෙකුට අත්‍යවශ්‍යයි. ව්‍යාපාර ගණනාවක් පාලනය කරන කෙනෙක් විදිහට ඒ ඇතිවෙන මානසික පීඩන හැමදේම නැති කරගන්නේ සින්දුවක් අහලා, නාට්ටියක් බලලා. මිනිස් ජීවිතයේ ඉහළම දේ සතුට. අපි මේ හැමදේම කරන්නේ සතුටට. සතුටින් ඉන්න හොඳම විදිහක් තමයි කලාව කියන්නේ. කලාව වගේ සමාජයේ උසස් තැනක් තියෙන්න ඕනේ දෙයකට ලංකාව තුළ දීලා තියෙන තැන ගැන මට කනගාටුවක් තියෙනවා. 

ලංකාවේ කලාවට නිසි තැනක් නොමැති වීමට හේතුව මොකක්ද?

1948 නිදහසෙන් පසුව මේ ලංකාවේ හොඳම කාලයේ හිටියේ අපිද කියලා මට වෙලාවකට හිතෙනවා. මේ ගැන යාළුවො එක්කත් මම නිතරම කතා කරනවා. මොකද 60 දශකයේ සිනමාවට වඩා 70 දශකයේ සිනමාව ගුණාත්මකත්වයෙන් ඉහළට ආවා. 80 දශකයේදී ස්වර්ණමය යුගයට ආවා. ඒ නිසා දැන් තරුණ පරපුරත් එක්ක බලනකොට ඒ කාලේ තරුණයෝ වුණු අපිට ඇත්තටම සතුටුයි සහ ආඩම්බරයි. නමුත් දැන් කලාව තියෙන තැන ගැන මම කනගාටු වෙනවා. රටක් විදිහට ගත්තාම අනිත් සෑම පැත්තකින්ම දියුණු වුණු අපි සිනමා කලාවෙන් ඉතාම අගතිගාමී තත්ත්වයට ඇවිත් තියෙන්නේ.

ඒකට හේතුව ?

කාලයක් ලංකාවේ නිෂ්පාදනය කරපු චිත්‍රපටිවලින් 75%ක් විහිළු, කොමඩි චිත්‍රපටි. මේ කොමඩි බලන්න මිනිස්සු සල්ලි වියදම් කරලා ගියේ නැහැ. සිනමාවෙන් මිනිස්සුන්ගේ මානසිකත්වය හොඳ අතට හදන්න පුළුවන්. ලොකු සමාජ බලපෑමක් කරන්න පුළුවන් දෙයක් විහිළු තහළු පැත්තට ගිහින් පරිහානියට පත් වුණු එක ගැන මට තියෙන්නේ කණගාටුවක්. අපි 60, 70, 80 දශකවල සිනමාව දැක්කා. ටිකෙන් ටික දියුණු වුණා මිසක් පරිහානියට පත් වුණේ නැහැ. සිනමාවට විතරක් නෙමෙයි වේදිකාවටත් ඒක තමයි වුණේ. වේදිකා නාට්‍යවලටත් හාස්‍යට බර වෙලා ගුණාත්මකත්වය අමතක වුණා. 

ව්‍යාපාරිකයෙකුගේ චරිත කතාවක් සිනමාවට නඟන්න අවස්ථාවක් ලැබුණොත් ඔබ තෝරාගන්නේ කාගේ චරිත කතාවද?

මම හිතන්නේ ඒකට වඩාත්ම උචිත මම කියලා. මේ වගේ දේශපාලන පසුබිමක් තිබුණු රටක ගමේ හැදිලා ගමේ ඉස්කෝලෙට ගිහිල්ලා ගෙදරින් එක රුපියලක්වත් නොලැබී ශ්‍රී ලංකාවේ ප්‍රධාන ව්‍යාපාර තුනක පළවෙනි තැනට එන්න පුළුවන්කම ලැබීමම ඒකට හේතුවක්. ඒ වගේම මගේ කතාවේ චිත්‍රපටියකට අදාළ ආදරය, දුක්සෝ සුසුම්, ජයග්‍රහණ මේ හැමදේම තියෙනවා. 

කවුරුහරි ආරාධනා කළොත් චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. චිත්‍රපටියක් කරන්න කාගෙන් හරි ආරාධනාවක් ආවොත් පිටපත හොඳ නම්, විකුණන්න පුළුවන් නම්, මිනිස්සු නැවත සිනමාශාලාවට ගෙන්න ගන්න පුළුවන් නම් නිෂ්පාදනයට මම සූදානම්