ඒ කාලේ මම හරියට මානසිකව විඳෙව්වා

මේධා ජයරත්න
අගෝස්තු 6, 2020

ය පළමුව නිවේදිකාවකි. ඉඩ ලද සැණින් රංගනයට අවතීර්ණ විය. අද වනවිට ඇය වඩාත් ජනප්‍රිය නිළියක ලෙසිනි. ඇය එදා මෙන්ම අදත් හැඩකාරය. රංගනයට ලැබෙන ආරාධනාද නිමක් නැත. රුව දුටු පමණින් ඔබ ඇය හඳුනා ගත්තත් මෙහි ඇගේ නම සටහන් කිරීම අපේ යුතුකමකි. මේධා ජයරත්න නැමැති ඇය පිළිබඳ නානාප්‍රකාර ආරංචි කලින් කල පැතිර ගියා ය. ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුරංග ලක්මාල් හා විවාහ වූ මේධා දරු දෙදෙනෙකුගේ සුරතල් විඳීමින් සුන්දරව ජීවිතය ගෙව්වාය. අද වනවිට ඇය ගෙවන්නේ තනිකඩ දිවියකි. ඒ පිළිබඳ මෙතැනදී මේධා හඬ අවධි කරනු ඇත.

ඉතින් මේධා,කොහොමද රඟපෑමේ කටයුතු?

අකුරු මැකී නැහැ සහ මඩොල් කැලේ වීරයෝ කියන මම රංගනයෙන් දායක වූ නාට්‍ය දෙකක් විකාශය වෙනවා. අකුරු මැකී නැහැ එකේ මම දිල්හානි කියලා ගුරුවරියක්. අනෙක් නාට්‍යයේ ප්‍රධාන චරිතය කරන දරුවගෙ අම්මා හැටියට රඟපානවා.

දැන් ඔබට වැඩිපුර ලැබෙන්නේ මවගේ හෝ ඒ මැදිවියේ චරිතද?

මට කතාකරන්නේ ඒවගේ චරිතවලට තමයි. මගෙත් විශේෂ අකැමැත්තකුත් නැහැ ඒ වගේ චරිත රඟපාන එකට. අපි දැන් ඉන්න වයසත් එක්ක ලැබෙන චරිත වෙනස් වෙනවා. කාලයක් පෙම්වතියගේ චරිතම කළා. දැන් ඒවා ලැබෙන්නේ නැහැ කියලා දුක් වෙන්නේ නැහැ. අපි දැනෙනවානේ අපිට ගැළපෙන චරිත මොනවද කියන එක. ක්ෂේත්‍රය කාලෙන් කාලෙට අලුත් වෙනවා. කට්ටිය එනවා යනවා. පෙම්වතිය වෙනවා අම්මාගේ චරිත ලැබෙනවා. හරියට ඇත්ත ජීවිතේ වගේ තමයි.

බැරි වෙලාවත් ඔබට නිර්මාණයක පෙම්වතියගේ චරිතය ලැබුණොත්?

තවමත් පෙම්වතියගේ චරිතයට ආදරෙයි. එහෙම චරිතයක් ලැබුණොත් මට විශ්වාසයි මට රඟපාන්න පුළුවන්.

ඔබ මේ දවස්වල ටිකක් වහංවෙලා ඉන්න උත්සහ කරන බවක් පේනවා?

අනේ එහෙම දෙයක් නැහැ. ජීවිතේ කාලෙන් කාලෙට විවිධ පෙරළි සිද්ධ වෙනවා. ඒකත් එක්ක පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියා මිසක් සැඟවෙන්න ට්‍රයි කළේ නැහැ.

ඔබේ විවාහය බිඳ වැටුණා?

ඔව්. අපි දෙන්නා ඩිවෝස් වුණා. ඒකට හේතු කියන්නවත් එයාගේ වැරදි කියන්නවත් යන්න මම උත්සහ කරන්නේ නැහැ. දෙයක් වෙන්න තිබුණා. ඒක එහෙම්මම සිදු වුණා.

ඔබ දෙපොළට දරුවන් දෙදෙනෙකු ඉන්නවා. බාලයා ගැහැනු දරුවෙක්. ඔබට මවක් විදිහට ඒ දෙන්නා ගැනවත් හිතලා වෙන් නොවී ඉන්න තිබුණා?

එහෙම තිබුණා. මම දරුවො ගැන හිතන්නේ නැතුව නෙවෙයි. අම්මා කෙනෙක් හැටියට යම් යම් අවස්ථාවන් වලදි මමත් අසරණයි.

ඔබ දරුවන්ගෙන් ඈත් වුණු මුල් කාලේ කොහොමද තනියම ඉන්න හිත හදා ගත්තේ?

සියල්ලන්ගෙන් ඈත් වෙලා හුදකලාවූ මුල් කාලේ මම හරියට මානසිකව විඳෙව්වා. මගේ නිර්මාණ වැඩ අඩාළ වුණා. නිතරම දරුවෝ මතක් වුණ නිසා තමයි වැඩිපුරම එහෙම වුණේ. දැනටත් මම ළමයින්ගේ අවශ්‍යතා හොයලා බලනවා. එයාලා බලන්න යනවා. මගේ අඩුවක් නොදැනෙන්න වැඩ කරන්න නොහැකි වුණත් පුළුවන් හැම වෙලාවකම මොනවා හෝ දෙයක් ඔවුන් වෙනුවෙන් කරනවා.

ඔබ ආයේ විවාහ වෙන්න හදනවා කියලත් කතාවක් ඇසෙනවා?

නැහැ. ආයේ විවාහ වෙන්න කිසිදු අදහසක් නැහැ. මගේ අනාගතය මොනවගේ වෙන්න ඕනෙද කියලා සැලසුමක් නැතුවයි මේ ටික කාලේ ජීවත් වෙන්නේ.

ඔබේ හිටපු සැමියා ඔහුගේ නිර්මාණයකට ඔබට කතා කළොත්?

මගේ වෘත්තීය රංගනය. කිසියම් වූ අධ්‍යක්ෂවරයකු නිර්මාණයකට කතා කළොත් ගැළපෙනවානම් ඒ චරිතය බාර ගන්නවා. සුරංගටත් ඒ කාරණය පොදුයි. මම පෙර රඟපාපු ඔහුගේ නිර්මාණයක හඬ කැවීම් වගයකට මට කතා කරලා මම ඒක කරලා දීලා ආවා. එහෙම කතා නොකර ඉන්න තරම් අපි තරහ වෙලා නැහැ.

ඔබේ මුහුණු පොතට ඔබ එක්කොට තිබෙන ඡායාරූප දුටුවාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔබ හරිම සැහැල්ලු ජීවිතයක් ගෙවනවා කියලා?

සැහැල්ලු නැහැ ජීවිතේ සංකීර්ණයි. ඔය ෆොටෝ ෂූට් කරන්නේ වෘත්තීය ඡායරූප ශිල්පීන්ගේ ආරාධනාවන් මත. ඔවුන් හෝ ඊට සබැඳී අය තමයි මාව හැඩගන්වා කැමරාව ඉදිරියේ මේ මේ විදිහට ඉන්න කියලා මට කියන්නේ. මට ඒ වෙනුවෙන් ගෙවීමක් ලැබෙනවා. එහෙම ඉන්න ෆොටෝ තමයි මුහුණ පොතේ තිබෙන්නේ. නැතුව මම හිතලා මම ඩිසයින් කරලා ගත්තුවා නෙවෙයි.

මේධා නිවේදන කලාව අමතක කරලද?

ආයතනගතව නිවේදිකාවක් විදිහට වැඩ කළේ නැති වුණත් වෙනත් පුද්ගලික නාලිකා කිහිපයකම පොඩි පොඩි වැඩ කළා. ප්‍රසිද්ධ නාළිකාවකින් ඇරැයුමක් ලැබුණහොත් ඒ ගැනත් සිතා බලනවා. අපි ආවේ නිවේදිකාවෝ විදිහටනේ. තමත් ඒ වෘත්තියට ආදරෙයි. ගරු කරනවා.

ඔබේ සමකාලිනයෝ අද නාලිකාවල ඉහළ තනතුරු දරනවා?

ආයතනයක ඉන්නවා කියන්නේ ලොකු කට්ටක්. එයාලා ඒ කට්ට කාලා කැපවීමෙන් තැනකට ඇවිත් තියනවා. සතුටුයි ඔවුන් ඉන්න තැන ගැන. ඒ වගේම මම ආයතනයක ඉන්නේ නැතුව එළියට ආවා. එහෙම ඇවිත් මගේ වෘත්තීය ජීවිතය හදාගත්තා වගේම ජයග්‍රහණයන්ද ලැබුවා.

නිෂ්පාදිකාවක් වෙන්නටත් බලාපොරොත්තු වුණා නේද?

අපි නාට්‍යයක් කළා කියලා හිතන්නකෝ. ඒක විකාශය කරගැනීමේ ගැටලු තියනවානේ. කිසියම් වූ චැනල් එකකින් විකාශ කාලයක් දෙන්න එකඟ වුණොත් අන්න එදාට මම නිර්මාණයක් කරනවා.

 

ප්‍රශාන් වර්ණකුලසූරිය