තාක්ෂණික දියුණුවේ තරමට ගුණාත්මක බව වැඩිවෙලාද?

ප්‍රවීණ කැමරා ශිල්පී අයේෂ්මන්ත හෙට්ටිආරච්චි
අගෝස්තු 6, 2020

පට කුඩා කල සිටම යම් අරමුණක් සිතෙහි පැළපදියම් වන්නේ නම් ඒ ඉලක්කය සපුරා ගන්නට අපේ ජීවිතය මෙහෙයවෙනු ඇත. එයට පසුබිම තැනෙනු ඇත. එහෙත් ඒ කියන තරම් පහසුවෙන් නම් නොවේ. චලන චිත්‍රය තම සන්තානගත ඉලක්කය වූ අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගේ නම ඉදිරියට ප්‍රවීණ කැමරා ශිල්පී තනතුර එක්වන්නේ ද ඒ අයුරිනි. අන්තර්ජාතික සම්මාන දක්වා ඔහු එය සාක්ෂාත් කරගත් ආකාරය මෙන්ම දශක හතරක පමණ කාලයක් පුරා ආ ඒ ගමනින් පසු සිය ජීවිතයේ ඉස්මතුව ඇති අලුත් අරමුණ පිළිබඳ සරසවිය සමඟ ඔහු පැවසුවේ මෙසේය.

මම මාතර කැකුණදුර වුණාට පදිංචිය පන්නිපිටියේ. පාසල් ගියේ ධර්මපාල විද්‍යාලයට. ඉස්කෝලේ කාලෙත් මට කැමරාවක් තිබුණා. සාමාන්‍ය පෙළ කා‌ලෙම යාළුවන්ගේ නැන්දලාගේ මාමලාගේ පවා පින්තූර ගත්තේ මම. ඒකට හේතුව අපේ පවුල් පසුබිම. ෆොටෝෆෝකස් අපේ බාප්පගේ. මම ඥාති මල්ලිලා එක්ක තමයි නිතර කාලේ ගත කළේ. මේ වෙද්දි මම ඒ ආයතනයේ අධ්‍යක්ෂවරයෙක්.

නිසල රූ සමඟ කොතරම් කටයුතු කළත් මගේ ආසාව තිබුණේ සල රූවලට. හැත්තෑ ගණන්වල තිබුණේ සුපර්එයිට් වගේ කැමරා. ඉස්කෝලේ යන කාලෙම මමයි, ජාලිය හෙට්ටිආරච්චි - බාප්පාගේ පුතායි සුපර් එයිට්වලින් විනාඩි 45 ක කෙටි චිත්‍රපටයක් කරලා ජර්මනියේ තරගයකට යැව්වා. අවසන් වටයට තේරුණා කියලා අපට සහතිකයකුත් එවලා තිබුණා.

පාසල් සමයෙන් පස්සේ?

ඉස්කෝලෙන් අයින් වුණේම ඒ ස්ටූඩියෝවේම වැඩ කරන්න. නොබැඳී ජාතීන්ගේ සමුළුවේදී, බීඑම්අයිසීඑච් එකට යන්න පුළුවන් නිල ඡායාරූප ශිල්පියකු හැටියට අපේ බාප්පා කටයුතු කළා. පදනම් ආයතනයේ තමයි අනෙක් අය හිටියේ. බාප්පා ගන්න පින්තූර විදේශීය මාධ්‍යවේදීන්ට දීමයි අපේ රාජකාරිය. ඒ වෙලාවේ, 1976 තමයි මම මුලින්ම ටෙලිවිෂනය සහ ඒ කැමරා දැක්කෙ. අද වගේ නෙවෙයි ඒකක් අඩි දෙකහමාරක් තුනක් විතර විශාලයි. ඒවා ඔසවාගෙන ආවෙත් හේරදාර සුද්දෝ. බැටරි බෙල්ට් එක හරියට සෙබළෙකුගේ පතුරොම් පටයක් වගේ ඇඟ වටේ තිබුණේ. මට එදා හිතුණේ 'බුදු අම්මෝ මේක ලේසියෙන් උස්සාගෙන වැඩ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි' කියලායි. එහෙම වුණත් මගේ උනන්දුව නම් අඩු වුණේ නැහැ.

එතැනදි කෙනෙක් මට මුණගැසුණා, අයිත්මාන් කියලා. මගේ නමත් අයිෂ්මාන්ද කියලා ඔහු ඇහුවා. ඒකයි හොඳීන්ම මතක හිටියේ. ඔහු සමඟ ටෙලිවිෂන් වැඩ දිහා බලාගෙන හිටියා. ඊළඟට මම කළු සුදු පටල වෙනුවෙනුත්, පස්සේ වර්ණ රසායනාගාරයක් හදලා ඒ වෙනුවෙනුත් ප්‍රොසෙසින් සහ ප්‍රින්ටින් පාඨමාලා හැදෑරුවා.

ඒ අතර අපේ චිත්‍රාගාරයට එන ඇන්ඩෲ ජයමාන්න, ඩිල්මන් ජයරත්න වගේ මහත්වරු එක්ක හිතවත් නිසා දැනගත් ඕසීඅයිසී ආයතනය පැවැත් වූ රූපවාහිනී පාඨමාලාවත් කළා. දැන් ඇඟට දැනෙන්න ගත්තා වීඩියෝ කියන්නේ මොකක්ද කියලා.

ගාමිණි සපරමාදු, මගේ හිතවතා ටෙලිෆින් කියලා ආයතනයක් පටන් ගන්නවා සම්බන්ධ වෙන්න කැමතිද කියලා ඇහුවේ ඒ අතර. මම උඩපැනලා කැමැත්ත ප්‍රකාශ කළාට බාප්පාගේ චිත්‍රාගාරය දාලා යන්නත් බැහැ. හීන් සැරේ ඇහුවාම බාප්පා කීවා 'පුතා කැමැති ඒකටම නම් යන්න' කියලා. ඒ 1982 රූපවාහිනිය පටන්ගෙන බොහොම ටික කාලෙකදි. එහි මම මුලින්ම සම්බන්ධ වුණේ 'නුඹ නාඬන් සෙනෙහෙලතා' කියන ලංකාවේ හතරවැනි විතර ටෙලි නාට්‍යයට. එය ගීතා කුමාරසිංහගේ පළමුවෙනි ටෙලිය. සිරිල් වික්‍රමගේ, ක්ලීටස් මෙන්ඩිස්, රත්නා සුමනපාල, රාජා සුමනපාල, නිහාල් සිල්වා, දෙනවක හාමිනේ වගේ ලංකාවේ නළු නිළියන් සේරම වගේ හිටියා. මම ප්‍රධාන කැමරා ශිල්පියා. ඒ වෙද්දි අපි කාටවත් ටෙලි නාට්‍ය අත්දැකීමක් නැහැ. ඒත් අර පාඨමාලාව නිසාත්, ඒ කාලේ සුමිත්ත අමරසිංහ මහත්මයා සමඟ චිත්‍රපට ගැන කතා බහ කරලා ඇති කරගත්ත දැනුමත් අනුවයි ආලෝකකරණය එහෙම කළේ. ඇත්තෙන්ම මුලින්ම අපි අඳුරේ අතපත ගානවා වගෙයි ටෙලිනාට්‍ය කෙරුවේ.

යම් දර්ශනයකට පසු අනෙක් දර්ශනය ආරම්භ විය යුත්තේ කොහොමද වගේ දේවල් පිළිබඳ ඕසීඅයිසී එකේදි සංස්කරණය හැදෑරීමෙන් ලැබූ දැනුමකුත් තිබුණ නිසා ගොඩ ගියා. පසු කාලෙක නිහාල්සිංහ මහත්මයා සමඟත් සම්බන්ධ වෙමින් දැනුම ලබා ගත්තා. ඔහොම යද්දි තමයි දූදරුවෝ ටෙලි නාට්‍යයට කතා කළේ. පස්සේ සුසිල නිෂ්පාදන සමඟ නෑදෑයෝ, සත්පුර වැසියෝ, සඳලු තලය, බෝනික්කෝ වගේ නිර්මාණ රැසකට දායක වෙලා, මේ වෙද්දි ටෙලි නාට්‍ය 200ට වඩා කැමරා අධ්‍යක්ෂ ලෙස කටයුතු කර තිබෙනවා. වෙළෙඳ දැන්වීම් නම් කීයද කියලා මතක නැති තරම්. ඔය අතර තමයි උදයකාන්ත වර්ණසූරියගේ පළමුවෙනිම ටෙලි නාට්‍යය 'මැණික් කැටයම' කළේ. පසුව කොරටු‌වේ ගෙදර දීර්ඝ ටෙලි නාට්‍යයටත් මටම කතා කළා. ඒ එක්කම වගේ කේ.ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්මයාගේ ගමන, ප්‍රමාද වැඩියි වගේ නාට්‍යවලට සම්බන්ධ වුණා.

ලංකාවේ දැනට කෙරුණ එකම දෙමළ ටෙලි නාට්‍යය 'කාලංගල්' හරිම ලස්සන කතාවක්. අපේ නිෂ්පාදන කණ්ඩායමයි, ඩී.ඊ. වර්ණසිරි කියන අධ්‍යක්ෂවරයායි,දෙමළ දන්න නිසා නිහාල් සිල්වායි විතරයි සිංහල. අනෙක් ඔක්කොම දෙමළ. හැබැයි හරිම හොඳ අය. කුඩා කර්මාන්ත ආයතනයට කළ කතාවක්. ඉන් පස්සේ කවදාවත් එහෙම වැඩක් මම දැක්කේ නැහැ.

සිනමාවට සම්බන්ධ වුණේ?

සුමිත් කුමාර අධ්‍යක්ෂණය කළ 'රාම සැරය' කියලා චිත්‍රපටයකින්. ඒත් ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ. මගේ කැමරා අධ්‍යක්ෂණවලින් පළමුවෙන්ම තිරගත වුණේ උදයකාන්තගේ 'පායා එන්න හිරු සේ' චිත්‍රපටය. ඉන් පස්සේ ඔහු සමඟ දිගින් දිගටම සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණා. මේ වෙද්දි චිත්‍රපට 20ක පමණ කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

මෑත කාලේ සම්බන්ධ වුණේ, ශ්‍රීයාණි අමරසේන නිෂ්පාදනය කළ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ 'යාත්‍රා' චිත්‍රපටයට. එයට යුරෝ ඒෂියා ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් කියන උලෙළේ හොඳම කැමරාකරණයට සම්මාන ලැබුණා. ඒ උලෙළේ ආසියාවෙන් ඉදිරිපත් වුණ චිත්‍රපට අතරින් සම්මානයක් ලද එකම ආසියාතිකයා මම. අනෙක් සියලු සම්මාන ගියේ ඇමෙරිකාවට, කැනඩාවට, යුරෝපා රටවලට. ඒත් කොරෝනා නිසා සහතිකය පමණයි ලැබුණේ සම්මානය මේ තත්ත්වය සමනය වුණාම ලංකාවට ගෙන ආ හැකියි.

ඔබ කැමරාකරණය හඳුන්වන්නේ කොහොමද?

ඕනෑම නිර්මාණයක, තිර රචනයට හානි නොවන ලෙස, අධ්‍යක්ෂටත් අවශ්‍ය ආකාරයට වගේම ප්‍රේක්ෂකයාටත් අවබෝධයක් ඇතිවන විදිහට රූපරාමුවක් සකස් කරගැනීම කැමරාකරණය වගේම එය නිසි ලෙස කළ හැකි පුද්ගලයා තමයි කැමරාශිල්පියකු වන්නේ. අප මොන දේ කළත් අවසානයේ එය සාමාන්‍ය ප්‍රේක්ෂකයාට තේරුම්ගත හැකි විය යුතුයි. හඬපටයක් නැතත් රූපරාමුවලින් සිදු වී ඇත්තේ කුමක්ද යන්න බලන්නාට තේරුම්ගත හැකි වන ආකාරයෙන් ග්‍රහණය කරගැනීමයි හැකියාව. සිනමාව කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් වුවත් චාලි චැප්ලින්ගේ නිහඬ කතාවලට ලෝකෙම හැඬුවා, සිනාසුණා. අද තාක්ෂණය බෙහෙවින් දියුණු වුණත් අපේ නිෂ්පාදනවලදි ඇතිවන ආර්ථික ගැටලු නිසා අපට අවශ්‍ය දේම කරගන්නට බැරිව යන අවස්ථා තිබෙනවා. වැදගත්ම දේ අප තාක්ෂණය භාවිත කළ යුත්තේ එහි වහලෙක් ලෙස නොවේ. නිර්මාණයට ආභරණයක් විදිහට තාක්ෂණය යොදා ගැනීමයි අපේ දක්ෂතාවය.

අද ජංගම දුරකථනයෙන් පවා චිත්‍රපට හැදෙනවා?

කමක් නැහැ. මොකකින් හරි චිත්‍රපට හැදුවට. ඒත් චිත්‍රපටයක් හදලා හරිවිදිහට බලන්න, රසවිඳීන්න නම් චිත්‍රපට ශාලාවක ඒ පරිසරයේම නරඹන්න ඕනේ. යමක් පෙනීම සහ නැරඹීම කියන්නේ දෙකක්. ටෙලි නාට්‍ය දකිනවා මිස බලනවා නෙවෙයිනේ. ඒත් ශාලාවකදි චිත්‍රපටයක් කැමැත්තෙන් ගිහින් බලනවා.

ඉස්සර වාසනා චක්‍රය කරද්දි කේ.ඩී දයානන්දයි, රවීන්ද්‍ර ගුරුගේයි මමයි කිසිම තාක්ෂණයක් නැතුව අවශ්‍ය රූපරාමු ගැන සන්නිවේදනය කරගත්තා. අද වෝකි ටෝකි සියල්ලම තිබෙනවා, ඒත් තාක්ෂණයේ දියුණුවේ තරමට වැඩසටහන්වල ගුණාත්මක බව වැඩිදියුණු වෙලා තිබෙනවාද? දේවල් ලේසිවන තරමට නිර්මාණාත්මකබව යට යනවා. හැම දේම මිනිසුන්ට නිකම්ම දෙනකොට හිතන්න දෙයක් ඉතිරි වන්නේ නෑ. අනෙක අද කාලේ මහන්සියෙන් ගෙදර එන ප්‍රේක්ෂකයන්ට නිවී හැනේ නින්දට යන්න පුළුවන් නිර්මාණයක් ලබා දෙනවා මිස තවත් ප්‍රශ්නයක් එක්ක ඇඳට යන්න දෙන්න හොඳ නැහැ. ඉතිහාසයක් නැති රටවල මිනිසුන් අනාගතයේ ලෝක බලය තහවුරු කරගන්න උඩින් යන මිනිසුන් පෙන්නුවාට අපේ වගේ සංස්කෘතියක්, ඉතිහාසයක් ඇති රටවල පරිසරය සමඟ යන කතාවක් ඊට වඩා බොහොම නිර්මාණාත්මකයි, ප්‍රබලයි. නිර්මාණයකින් අපට පුළුවන් නම් ඉවසීම සමාජයට ලබා දෙන්න, ඒක හරිම වැදගත්. අද පාරක ගියත් අපට නැත්තේ ඉවසීමනේ.

කොරෝනා කාලේ?

කොරෝනා අපට ඉවසීම, අල්පේච්ඡතාවය, මනුෂ්‍යත්වය සහ පරිසරයට ආදරය කිරීම ගැන කියලා දුන්නා. ඒක කොතෙක් කාලයක් මේ ලෝකේ මිනිසුන්ට මතක තියේවිද නම් දන්නේ නැහැ. කොරෝනා කාලේ අපේ ධර්මපාලේ විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පති කීවා ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යමක් කරමු කියලා. ඉතින් අපි එකතු වෙලා පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන් සඳහා උගන්වන ගුරුවරුන් ගෙන්වලා, පාඩම් පටිගත කරලා වැඩසටහන් අසූවකට අධික සංඛ්‍යාවක් ර්‍ථචතඪචදඵඥඤභ කියන නමින් යූටියුබයට මුදා හැරියා, සියලුම ළමයින්ට නරඹා ඉගෙන ගන්න පුළුවන් වන විදිහට. ඒක බොහොම ජනප්‍රිය වුණා. ඒක හරිම සතුටක්.

ඉදිරි කටයුතු?

යාත්‍රා, මිස් ජෙනිස්, විර්යා තිරගත වන්න නියමිතයි. තවත් වැඩ කීපයකට කතා කළා. ඒත් මේ කාලයේ ස්වභාවය මත කවදා කොයි විදිහට පටන්ගන්න වෙයිද කියලා අවිනිශ්චිතයි.

අනාගත බලාපොරොත්තුව?

මට ඉන්නේ ඉස්නා ෂෙහානි සහ ගයංගි චමත්යා දියණියන් දෙදෙනා පමණයි. බිරිඳ ශකිලා කලින් දැන්වීම් ප්‍රචාරණ ආයතනයක කටයුතු කළා. දුවලා දෙන්නාම ඡායාරූපකරණය පැත්තට යොමු නොවුණත් කිසි කරදරයක් නැතිව හොඳ ඡායාරූපයක් ගැනීමේ හැකියාව තිබෙනවා. අපේ යාළුවෝ කණ්ඩායමක් එකතු වෙලා ගස් වර්ග දෙසිය තිස් ගාණ පැළ ඕනෑ තරම් රෝපණය කර දෙන ක්‍රමයක් තිබුණා 80 දශකයේ ඉඳන්. අදටත් ඒ වර්ග ඔක්කොම නැතත් ඔබට යම් ගසක් සිටුවීමට අවශ්‍ය නම් එය ගෙවත්තට ගැළපෙනවා නම් අපි නොමිලේ සිටුවා දෙනවා. සුනාමි කාලේ කුමන කැලයේ කැඩී බිඳී ගිය කුඩා වැව් එකොළහක් පිළිසකර කරන්න අපට හැකි වුණා. නියඟය කාලේ බවුසර්වලින් ඒ සතුන්ට අවශ්‍ය ජලය පොකුණුවලට සැපයුවා. රටට තව තවත් සේවය කරන්න මම ආසයි. මට කොළඹ එපා වෙලා තියෙන්නේ. පවුලේ අයටත් මම කියලා තියෙන්නේ, දුර පළාතක ගිහින්, කටුමැටි බිත්ති හරි කමක් නෑ ගෙයක හැබැයි ජීවත් වෙන්න ප්‍රමාණවත් මුදල් ඇතිව කරදරයක් නැතිව නිදහසේ ජීවත් වීම තමයි දැන් මගේ ලොකුම ආසාව.

 

නිශ්ශංක විජේරත්න