කලාවේ පරිහානියට හේතුව නව ලිබරල් ආර්ථිකය

ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ ඩිව් ගුණසේකර
අගෝස්තු 13, 2020

 

" දේශපාලකයෙක් කලාකාරයෙක් වෙනවා නම් ඒක වඩා රසවත් සහ අර්ථවත් වෙනවා. ඒත් මට බැරි වුණෙත් ඒකම තමයි. මම ඒ ගැන කණගාටු වෙනවා" ඒ කලාව ගැන ඔහුගේ සිතැඟිය. හෙතෙම කීර්තිමත් රාජ්‍ය සේවයකයෙකි. දේශපාලන සමාජ ආර්ථික ආදී විෂය පරාසයන් පිළිබඳ ප්‍රාමාණික උගතෙකි. මෙරට ප්‍රබල දේශපාලන නායකයෙකි. හිටපු කැබිනට් අමාත්‍යවරයෙකි. හැට වසරක් සක්‍රීය දේශපාලනයේ නිරත ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකි. ඔහු නමින් දොන් එඩ්වින් වීරසිංහ ගුණසේකර හෙවත් ඩිව් ගුණසේකර වේ. මේ වන විට සක්‍රීය දේශපාලනයෙන් ඉවත්ව සිය සැදෑ සමය නිහඬව ගත කරන ඔහුගෙන් අප විමසුවේ ඔහුගේ කලාව පිළිබඳවය. කලාවට ඔහුට තිබුණු ඇබ්බැහිය පිළිබඳවය. මේ ඒ මතක ඔහු ආවර්ජනය කළ ආකාරයයි.

මේ කතාවේ ආරම්භයට හොඳම තැන ඔබේ ගම. ඒ හා බැඳුණු කලාව ගැන අපි කතා කරමු?

මගේ ගම මාතර කිවුල. දකුණු පළාත කියන්නේ කොහොමත් කෝළම්, නාඩගම්වලට ප්‍රසිද්ධ පළාතක්. අපේ ගමෙත් ඉස්සර ටීටර් පෙන්නුවා. මට මතකයි මම ගොඩක් පොඩි කාලේ මගේ මවුපියෝ එක්ක ටීටර්, නාඩගම් බලන්න යනවා. ගමේ පන්සලේ තමයි ඒවා තියන්නේ.

බලපු ටීටර්වල නම් මතක් කළොත්?

ගොඩක් බලලා තියෙනවා. ඒවයේ නම් මතකයක් නැහැ අපිට මතක ඒවාට රඟපාපු නළුවෝ ඇඳපු ඇඳුම් ආයිත්තම්. පොඩි ළමයිනේ අපි එතකොට. අපිට ඇහැ යන්නේ තොරොම්බල්වලට. ඒ වගේම ඒ නාඩගම්වල තිබුණු සටන් ජවනිකාවලට.

පාසලේ සෞන්දර්ය කියලා විෂයක් හැදෑරුවාද?

මම පාසල් කීපයක ඉගෙන ගත්තා. කිවුල/ හුංගම මධ්‍ය මහා විද්‍යාලය, දික්වැල්ල විජිත විද්‍යාලය, මාතර රාහුල විද්‍යාලය. මේ පාසල් තුනේම මම ඉගෙනගත්තා. පාසලේදී

චිත්‍ර කර්මය කියලා විෂයක් හදාරලා තියෙනවා මම. ජස්ටින් විජේවර්ධන ගුරුතුමාගෙන් මම චිත්‍ර කර්මය හැදෑරුවේ. ඊට අමතරව පාසලේ විවිධ කලා කටයුතු සංවිධානය කරන්න එහෙම උදවු කරලා තියෙනවා.

හෝල් එකක මුලින්ම චිත්‍රපටයක් බලපු දවස මතකද?

මුලින්ම අවුරුදු දොළහෙදී මම හෝල් එකක චිත්‍රපටයක් බැලුවේ. ඒ හතළිහ දශකයේ. එතකොට මම ඉස්කෝලේ යන්න බෝඩිම් වෙලා හිටියේ. මම රෑට යාළුවෝ එක්ක හොර රහසේ බෝඩිමෙන් පැනලා ගිහින් චිත්‍රපට බලන්න යන්නේ. රෑ නවයේ දර්ශනේ බලන්න යන්නේ. ගැලරියේ වාඩි වෙලා අපි චිත්‍රපට බලන්නේ. ඒ දවස්වල සිංහල සිනමාවක් කියලා එකක් නැහැ. දෙමළ සහ හින්දි චිත්‍රපට තමයි පෙන්නුවේ. ඊට ටිකක් පස්සේ කාලේ තමයි ඉංග්‍රීසි චිත්‍රපට හෝල්වල පෙන්නුවේ. මම හතේ අටේ පංතිවලදී බැලුවේ ඉංග්‍රීසි චිත්‍රපට.

යාළුවෝ එක්ක ගිහින් චිත්‍රපටි බලපු කාලයට අපි යමු?

ඒ කාලේ ඉතින් අපි ගැටයොනේ. ගැටවර කාලේ වැඩිපුරම කළේ චිත්‍රපටි බලන එක තමයි. ඒ කාලේ ඉංග්‍රීසි චිත්‍රපටි බැලුවා. "Spy Smasher", "Burn"  වගේ චිත්‍රපට බැලුවා මට මතකයි. සිංහල චිත්‍රපටයක් කියලා අපි මුලින්ම බැලුවේ "කඩවුණු පොරොන්දුව". මාතර Broadway තියටර් එකේ අපි චිත්‍රපටි බැලුවේ. ගැලරියේ ටිකට් තමයි අපි ගත්තේ. මොකද අපිට first class, second class, balcony ටිකට් ගන්න තිබුණේ සල්ලි නැහැ. කඩවුණු පොරොන්දුවෙන් පස්සේ ආපු සෑම සිංහල චිත්‍රපටයක්ම මම බැලුවා. එඩී ජයමාන්නයි රුක්මනී දේවියි තමයි ඒ කාලේ අපේ ප්‍රියතම නළුවා සහ නිළිය. චිත්‍රපටිවල වැඩියෙන්ම මම ආකර්ෂණය වෙන්නේ සටන් ජවනිකාවලට. එහෙම නැත්තං විහිළු තහළුවලට. මුල් කාලේ චිත්‍රපටි සරල වින්දනයක් දෙන විහිළු තහළු එක්ක යන්නේ. ඊටපස්සේ පෙම් කතා ආවා. ඊටපස්සේ ඓතිහාසික කාරණා තියෙන චිත්‍රපටි හැදුණා. ටික ටික මිනිස්සු සමාජේ එක්ක ගැවසෙන කොට විවේචනාත්මක ඇහැකින් චිත්‍රපට බලනවා. ක්‍රමානුකූලව සිනමා රසවින්ඳනයත් වෙනස් වුණා.

පෙම්වතියත් එක්ක චිත්‍රපට බලලා තියෙනවාද?

පෙම්වතියො එක්ක චිත්‍රපට බැලුවේ කොළඹට ආවාට පසුව. අපි හැම සතියේම චිත්‍රපටි බලන්න ගියා. එහෙම ගිහින් බලපු චිත්‍රපට නම් මතක නැහැ. මම මගේ පඩියෙන් ගාණක් චිත්‍රපටි බලන්න වෙන් කළා. කොළඹ තියෙන හැම සිනමාශාලාවකම, හැම දර්ශන වාරයක්ම මම චිත්‍රපට බලලා තියෙනවා.

දෙතුන් වතාවක් බලපු චිත්‍රපට තියෙනවාද?

සාමාන්‍යයෙන් මම චිත්‍රපට දෙතුන් වතාවක් බලන කෙනෙක් නෙමෙයි. ඒත් මම කැමතිම අධ්‍යක්ෂවරුන්ගේ චිත්‍රපට දෙතුන් වතාවක් බලලා තියෙනවා. රේඛාව, ගම්පෙරළිය වගේ චිත්‍රපට දෙතුන් වතාවක් බලලා තියෙනවා.

කැමතිම නළුවා කවුද?

කැමතිම නළුවා තීරණය වෙන්නේ ඔහු කරන චරිතය අනුව. මුලින්ම එඩී ජයමාන්න, මාර්ක් සමරනායක, වගේ විහිළු චරිත කරපු නළුවන්ට මම කැමැත්තෙන් හිටියා. පස්සේ දුෂ්ටයාගේ චරිතය රඟපාපු ඩොමී ජයවර්ධනට කැමැත්තෙන් හිටියා. ඊට පසුකාලීනව හෙන්රි ජයසේන, ගාමිණී ෆොන්සේකා වගේ නළුවන්ට මම කැමැත්තෙන් හිටියා.

ඔබ අනුකරණය කරපු නළුවෙක් හිටියාද?

චිත්‍රපට බලපු මුල්ම කාලේ ඉංග්‍රීසි නළුවෙක් හිටියා හෙරල්ඩ් ල්‍යෝඩ් කියලා. එයා කොණ්ඩේ පීරන්නේ ඉස්සරහට බම්ප් එකක් තියලා. ඒ කාලේ අපේ ඉස්කෝලේ කොල්ලෝ ඔක්කොම ඒ වගේ කොණ්ඩේ පීරන්න පුරුදු වුණෙ ඒ වගේම. ඉතින් මමත් එහෙම කාලයක් කොණ්ඩේ පීරුවා. (සිනාසෙමින්)

විවාහා කරගන්න හිතුණු චිත්‍රපට නිළිය කවුද?

එහෙම නිළියෝ නම් විවාහ කරගන්න හිතිලා නැහැ. ඒත් මම කැමති චිත්‍රපට නිළියො ඉන්නවා. මම කැමතිම නිළියෝ අතර මුලින්ම ඉන්නේ පුන්‍යා හීන්දෙණිය. ඇගේ රූපය, කටහඬ, රඟපෑම හැමදෙයකටම මගේ හිත ගියා. රුක්මනී දේවි, ෆ්ලොරීඩා ජයලත්, අනුලා කරුණාතිලක වගේ නිළියන්ටත් මම කැමතියි. පසුව සිනමාවට ආපු මාලනී ෆොන්සේකා, ස්වර්ණා මල්ලවාරච්චි වගේ ප්‍රතිභාපූර්ණ නිළියන්ටත් මම කැමතියි.

කැමතිම සිංහල චිත්‍රපටය මොකක්ද?

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපට ඔක්කොටම මම කැමතියි. රේඛාව, සංදේශය, නිධානය, ගොළු හදවත, බැද්දේගම, අක්කර පහ, දෑස නිසා. මේ හැම එකකටම වගේ මම කැමතියි. චිත්‍රපට බලලා බලලා පසුකාලය වෙනකොට මම සිනමාවේ ගුණාත්මකත්වය මැන්නේ අධ්‍යක්ෂවරයාගෙන්.

කැමතිම චිත්‍රපට අධ්‍යක්ෂවරයා කවුද?

කැමතිම අධ්‍යක්ෂවරයා ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඊට අමතරව තිස්ස අබේසේකර, හෙන්රි ජයසේන, ධර්මසේන පතිරාජ වගේ අධ්‍යක්ෂවරුන්ට මම කැමතියි. ඔවුන්ගේ චිත්‍රපට ඉතිහාසයේ රැඳී පවතිනවා. සමාජයට පාඩමක් දෙන, ශිෂ්ට සම්පන්න, ආදර්ශමත්, යමක් ඉගෙනගන්න පුළුවන් වගේම රසවින්ඳනයක් ලබාදෙන්න පුළුවන් චිත්‍රපටි ඔවුන් හදලා තියෙනවා. විශේෂයෙන් ලෙස්ටර්ගේ චිත්‍රපට මැරෙනකං අමතක වෙන්නේ නැහැ මට.

හින්දි සිනමාවේ ඔබ ප්‍රිය කරන දේවල් ගැන කතා කරමු?

හින්දි චිත්‍රපටි ඕනේ තරම් බලලා තියෙනවා. ඒත් ඒවා අධ්‍යයනය කරලා නැහැ. බලලා රසවින්දට පස්සේ මට ඒවා අමතක වෙනවා. හින්දි සිනමාවේ මගේ මතකයේ තියෙන එකම දේ තමයි කලාත්මක ගීත ටික. විශේෂයෙන් ලතා මංගේශ්කාර්ගේ ගීතවලට මම කැමතියි.

වේදිකා නාට්‍ය බලන්න ගිහින් නැද්ද?

මොකද නැත්තේ. ඕනේ තරම් බලන්න ගිහින් තියෙනවා. මනමේ, සිංහබාහු, නරි බෑණා වගේ වේදිකා නාට්‍ය බලලා තියෙනවා. සරච්චන්ද්‍රගේ හැම චිත්‍රපටයක්ම වගේ බලලා තියෙනවා මම. තාමත් ඉඳලා හිටලා වේදිකා නාට්‍ය බලන්න යනවා.

ඔබ වැඩියෙන් ප්‍රිය කරන්නේ වේදිකා නාට්‍යවලටද චිත්‍රපටවලටද?

වැඩියෙන් කැමති වේදිකා නාට්‍යවලට. වේදිකාව කියන්නේ හරිම සජීවි තැනක්. සිනමාව වගේ ව්‍යාජ නැහැ. අදටත් ලංකාවේ වේදිකා නාට්‍ය නළුවෝ තමයි නළුවෝ කියලා මම සලකන්නේ. වේදිකාවට තියෙන කැමැත්තටම මමත් කාලයක් නළු පිස්සුව තිබුණා.

ඒ ගැනත් කතා කරමු අපි?

එතකොට මම රජයේ සේවකයෙක්. ඒ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ. ටී.බී. ඉලංගරත්නගේ "හඳහන" වේදිකා නාට්‍යයට නළුවන් තෝරාගන්න පරීක්ෂණයක් තිබ්බා. මමයි මගේ යාළුවොයි ඒකට ගියා. මාව ඉන්ටර්විව් කරලා කිව්වා මගේ කටහඬ වේදිකාවට ගැළපෙන්නේ නැහැ කියලා. (සිනාසෙමින්) ඉලංගරත්න ඒ කාලේ ඇමති කෙනෙක්. වේදිකා නාට්‍යවලට මගේ තිබුණු කැමැත්ත නිසාම ඉලංගරත්න මහත්තයා මට වේදිකා පරිපාලනය භාරදුන්නා. ඒ වැඩේ මම හොඳට කළා. ඒ විතරක් නෙමෙයි රඟපාපු අයට දෙබස් මතක් කරන වැඩෙත් මම එවෙලේ කළා. ඊටපස්සේ දේශපාලන වේදිකාවේ වැඩත් එක්ක මට වේදිකා නාට්‍ය මඟහැරුණා.

ජීවිතයට සමීපතම ගීතය මොකක්ද?

එහෙම එකක් කියලා නැහැ. ඒත් නන්දා මාලනියගේ හැම ගීතයකටම මම කැමතියි. ඒ කාලේ ප්‍රගතිශීලී ලස්සන ගීත ටිකක් නන්දා කිව්වා. ගීත නම් මේකයි කියලා කියන්න මතක නැහැ. මගේ මතකයේ තියෙන්නේ ඉතිහාසය, සමාජ විද්‍යාව, දේශපාලනය වගේ දේවල්නේ. (සිනාසෙමින්)

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

පණ්ඩිත් අමරදේවට තමයි නොම්මර එකට කැමති. අමරදේවගේ ගීත හරි අර්ථවත්. ඒවා සදා අමරණීයයි. එකක්වත් මැරෙන්නේ නැහැ. ටී.එම්. ජයරත්නගේ ගීතවලටත් කැමතියි මම.

දේශපාලන ජීවිතයේදි ඔබ සමීපව ඇසුරු කරපු කලාකාරයෝ කවුද?

තිස්ස අබේසේකර මගේ ඉතාම කුළුපඟ මිත්‍රයෙක්. ඔහු අපේ රටේ කලාකරුවන් අතර බුද්ධිමතෙක්. කාලාව විතරක් නෙමෙයි දර්ශනවාදය, ආර්ථික විද්‍යාව වගේ හැම විෂයක් පිළිබඳවම හසල දැනුමක් තිබුණු කෙනෙක්.

ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙන් හැටියට කලාව කියන දේ ඔබ දකින්නේ කොහොමද?

කලාව කියන්නේ අපේ ජීවිතයේ කොටසක්. දේශපාලකයෙක් කලාකාරයෙක් වෙනවා නම් ඒක වඩා රසවත් සහ අර්ථවත් වෙනවා. ඒත් මට බැරි වුණෙත් ඒකම තමයි. මම ඒ ගැන කනගාටු වෙනවා. ඒත් මම කලාව අතහැරපු කෙනෙක් නෙමෙයි. මම හොඳ කලා රසවින්දකයෙක්. ඒ ගැන මම සතුටු වෙනවා.

ලංකාවේ වර්තමාන කලාව ගැන ඔබේ අදහස?

කලාව දැන් තාක්ෂණීකරණය වෙලා තියෙන්නේ. ඔක්කොම දේවල් ටෙලිවිෂන් එකට ඇවිත් තියෙන්නේ. ඒකෙන් මුළු සංස්කෘතියම වෙනස් වෙලා තියෙනවා. හරවත් දේවල් නැති වෙලා තියෙනවා. ඒකට දේශපාලනය සහ ආර්ථිකයත් හේතුවක්. නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වලා දීපු දවසේ ඉඳලා දේශපාලනය සහ සමාජය වෙනස් වුණා. ඒ නිසා සංස්කෘතිය වෙනස් වුණා. ඒ හරහා මිනිස්කම නැති වෙනවා. කලාවත් ඒ සංස්කෘතියෙම කොටසක්. කලාවත් තියෙන ඕනේ මනුෂ්‍යයා සඳහා. නමුත් දැන් කලාව තියෙන්නේ මුදලාලිලා සඳහා. තනිකරම කලාව වානිජකරණයට යට වෙලා.

චිත්‍රපටයක රඟපාන්න ආරාධනා ඇවිත් තියෙනවාද?

අපෝ නැහැ. එහෙම ආරාධනා ඇවිත් නැහැ. එහෙම ආරාධනා ආවත් මම භාරගන්නේ නැහැ. බැරි වැඩ කරන්න බැහැනේ.

දේශපාලන චරිත කතාවක් සිනමාවට නඟන්න කිව්වොත් ඩීව් ගුණසේකර තොරගන්නේ කාගේ චරිතයද?

එහෙම අවස්ථාවක් මට ලැබුණොත් මම රනිල් වික්‍රමසිංහයි මහින්ද රාජපක්ෂයි දාලා චිත්‍රපටයක් හදනවා. චිත්‍රපටයකට ඕනේ සියලුම කාරණා ඒ චරිත දෙක තුළ තියෙනවා.

 

 

කවින්ද පෙරේරා