සමහර අවස්ථාවලදි මම පැරදුණා

ටෙලි තුනකින් අප හමුවට එන - පූජනී භාග්‍යා
අගෝස්තු 20, 2020

මට තවම විසිදෙකයි

ඔබ වඩාත් කැමති අපි අපේ නාට්‍යයයේ සකුරාටද... එසේත් නැත්නම් අහස් මාළිගා නාට්‍යයේ ශෙහානිටද.. නාඩි නාට්‍යයයේ තිසරිත් මේ වනවිට ඔබේ සිත් සොරාගෙන ඇති. එකී චරිතවලට පණපොවන්නිය   ඇයයි. නමින් හඳුන්වා දුනහොත් පූජනී භාග්‍යාය. සකුරා, ශෙහානි සහ තිසරි නිසා ඇය මේ දිනවලදී අතිශය කාර්යබහුල වී සිටින්නීය. එමෙන්ම ඇය පිළිබඳ කටකතාවක්ද පැතිර ය‍යි. ඒ නව පරපුරේ නළුවෙක් මෙන්ම ගායකයකුද වන ගයාන් ගුණවර්ධන සහ පූජනී පෙම්වතුන් කියාය. ඒ ගැනද ඇය මේ කතාව අතරතුරදී අදහස් දැක්වීය. 

පූජනී, හිටි හැටියෙම ඔබට ගොඩක් නිර්මාණ ලැබිලා?

මේ නාට්‍ය තුන නිසා තමයි එහෙම වුණේ. සමහරු හිතනවා මම බිසී කියලා බොරු කියනවා කියලා. එහෙම නෙවේ ඇත්තටම වැඩ. ඔයත් එක්ක මේ කතා කරන්නෙත් 'නාඩි' ලොකේශන් එකේ ඉඳන්. මේ වෙලාවේ මම නාට්‍ය තුනේ ඩිරෙක්ටර්ලව මතක් කරනවා. නාඩි ලිලන්ත කුමාරසිරි, අපි අපේ රවීන්ද්‍ර විජේරත්න, සහ අහස් මාළිගා ප්‍රභාත් රෝෂන්.

එකම වෙලාවේ ඔබ ඉන්න නාට්‍ය දෙකක් විකාශය වෙනවා. ඔබ නරඹන්නේ මොන නාට්‍යයද?

සිරසේ අපි අපේ නාට්‍යය ටෙලිකාස්ට් වෙනකොට හිරු එකේ අහස් මාළිගා යන්නෙත් ඒ වෙලාවටමයි. මම සම්ප්‍රදායක් විදිහට ටීවි එකේ මගේ නාට්‍ය නරඹන්නේ නැහැ. යූ ටියුබ් එකෙන් තමයි සේරම කොටස් ටික බලන්නේ.

එහෙම බලද්දි ඔබේ රඟපෑමේ අඩුපාඩු එහෙමත් හසු වෙනවා ඇති?

ඔව්. කොරෝනා කාලේ අපි ගෙදරටම වෙලා හිටියනේ. ඒකාලේ රංගනය ඇඟෙන් ටිකක් ගිහිල්ලා තිබුණේ. ආයේ රඟපාන්න ආවාට පස්සේ කරපු නාට්‍ය කොටස් ටික බලපුවාම ඒක හොඳටම තේරුණා. ඒවා නරඹලා නරඹලා තමයි අඩුපාඩු හදාගත්තේ. මම කොහොමත් නිරන්තරයෙන් වෙහෙසෙනවා රඟපෑම ඉගෙනගන්න.

නිළියක් හැටියට ඔබ ආකර්ෂණීය වෙන්න නිතරම වෙහෙසෙනවද?

මේ අහන්නෙකෝ. අයියා ඔය ප්‍රශ්නය අහපු එක හොඳයි. මගෙ යාළුවන් මගෙන් නිතරම අහනවා "පූජනී ඔයා ඔය ලස්සනට ඉන්න රහස මොකක්ද" කියලා. සමහරුන්ට තියන ප්‍රශ්නේ ජිම් නොයා මගේ බොඩි ෂේප් එක ගානට තියාගෙන ඉන්නේ කොහොමද කියන එක. අනේ මම කිසිදු විශේෂ දෙයක් කරන්නේ නැහැ. අඩුම තරමේ කෑමවත් පාලනය කරන්නේ නැහැ. රිසිසේ කනවා බොනවා. සතුටින් ඉන්නවා. මම විශ්වාස කරනවා දුක සතුට තමයි අපිව නීරෝගී හෝ ලෙඩ කරන බලවේග කියලා.

ඔබ සහ ගයාන් පෙම්වතුන්ද?

අපිව පෙම්වතුන් කරලා ඉවරයි සමහරු. කසාද බන්දවන්න ඔන්න මෙන්න තියෙන්නේ. (පූජනී මහ හඬින් සිනාසෙයි) මේක වුණේ අපි දෙන්නා මනමාලියෙකුටයි මනමාලයෙකුටයි ඇන්දා ෆොටෝ ෂූට් එකකට. ඒවා ෆේස්බුක් දැම්මේ. ඒ පින්තූර ටික අරගෙන් යූ ටියුබ් එකේ හරියට ගොසිප් හදලා දාලා එක එක අය. මම කිව්වා වගේ සමහර දේවල් දාලා. මගෙන් විස්තර අහනවා ඉවරයක් නැහැ. ඔය වැඩෙන් හොඳක් වුණා. ගයාන් අයියාටයි මටයි කපල් එක විදිහට රඟපාන්න නාට්‍යයකුත් සෙට් වුණා දෙවැනි අම්මා කියලා. ඒක තිස්ස විජේකෝන් අයියාගේ අධ්‍යක්ෂණයක්.

පූජනී ආදරයෙන් පැරදිලා තියනවද?

කෙටියෙන් කිව්වොත් මෙහෙමයි. සමහර අවස්ථාවලදී ආදරයෙන් පැරදිලා තියනවා.

ගෙදරින් විවාහ වෙන්න කියලා බල කරන්නේ නැද්ද?

අපෝ මට තවම විසිදෙකයිනේ. තවම කසාදයක් ගැන හිතලාවත් නැහැ. මගේ අම්මා හරි ආසයි මම නිළියක් විදිහට තව ඉස්සරහට යනවට. මංගල යෝජනානම් නිතරම එනවා. අම්මලා කොහොමත් ආස නැහැ මට යෝජිත විවාහයක් කරලා දෙන්න. මටම තමා හොයාගන්නවා නම් කෙනෙක් හොයා ගන්න කියලා කියන්නේ. ඉස්කෝලේ යන කාලේ හිතාගෙන හිටියේ අවුරුදු විසිතුනේදි විවාහ වෙනවා කියලා. ඒත් නාට්‍යයවල රඟපපා දර්ශනතල වල කාලය ගත වෙද්දි ඕවා ඔක්කොම අමතකයි.

කවදා හරි ජනප්‍රිය නිළිය වෙන්නද හිතාගෙන ඉන්නේ?

කොහෙත්ම නැහැ. ජනප්‍රිය නිළිය සම්මානට හිමිකම් කිව්වොත් ගන්නවා. එපා කියන්නයැ. ඒත් මට ඕනේ මාව කවදා හරි හොඳම හෝ නැගී එන නිළිය වගේ කැටගරි එකකට නොමිනේට් වෙන්න. සම්මාන නැතත් නොමිනේට් වුණත් ඇති.