සාම්ප්‍රදායික විදිහට තමයි එයත් මුලින්ම හිතුවේ

තරුෂි පෙරේරා ගැන අලුත් තොරතුරු
අගෝස්තු 20, 2020

ඇය සැබෑම දක්ෂ ආකර්ෂණීය ජනප්‍රිය රංගන ශිල්පිනි තරුෂි පෙරේරාය.

මේ දවස්වල ඔබව දැකගත හැකි නිර්මාණ මොනවද?

සිරස රූපවාහිනි සේවයේ "නීල පබළු" ටෙලි නාට්‍යයේ සුබා හෙවත් කුරුලුගේ මව ලෙසත්, දෙරණ රූපවාහිනි සේවයේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සමල්කාගේ මව ලෙසත් හිරු රූපවාහිනි සේවයේ අකුරු මැකි නෑ යන ටෙලිනාට්‍යයවලින් මම ප්‍රේක්ෂකයින්ව හමුවෙනවා. අකුරු මැකී නෑ දරුවත් මවත් මුල් කරගත් සැමට නැරඹිය හැකි ආදර්ශවත් නාට්‍යයක්. තව මම රඟපාපු ටෙලි නාට්‍යය දහයක් විතර තියෙනවා විකාශනය නොවුන ඒවා.

දෙවෙනි ඉනිමේ මුල් කාලයේ ඔබ මානසිකආබාධ සහිත මවක් ලෙස රඟපෑවා නේද?ඒ අත්දැකීම ගැනත් විස්තර කියමු.

දරුවෙකුට හොඳ අම්මා කෙනෙක් වුණු අයෙකුට තමයි මෙහෙම වෙන්නේ. මේතත්වයට හේතුව කුමක්ද?ඇයි එහෙමවුණේ කියන එක තමයි ඒ චරිතය තුළින් පෙන්නුම් කරන්නේ. සමාජයේ මේ වගේ දෙවල් අද අපිට දකින්න තියෙනවා කියනඑකයි ඒකේ තේරුම.තම ස්වාමියා මිය ගිය බිරිඳක්,මවක් ලෙස පත්වන අසරණභාවය මොනතරම්ද. ඒ තුළින් අද සමාජයේ අයුතු ලාභ ප්‍රයෝජන ලබා ගැනීම නිසා ඒ වගේ අයට මෙවැනි තත්වයක් උදාවෙනවා.ඒ ගැන තමයි මේ චරිතයෙන් මම නිරූපණය කරන්නේ.

වත්මන් ටෙලි නාට්‍ය කලාව පිළිබඳව ඔබේ අදහස?

අද බිහිවන ටෙලි නිර්මාණ යථාර්ථයක් නැති තරම්. උඩින්පල්ලෙන් යන චරිත තමයි මේවායේ වැඩිහරියක් දක්නට තියෙන්නේ. මේ තරඟකාරි ජනප්‍රිය රටාවේ වාණිජ අරමුණු උදෙසාම බිහිවන්නේ එවැනි නිර්මාණයි. මේවා තුළින් සමාජයේ යථාර්තය මිනිසුන්ට දැනෙන්න පුළුවන් වන අයුරින් අපිට චරිත නිරූපණය කරන්නත් පුළුවන්. ඒ විදිහේ නිර්මාණ බිහිවෙනවා නම් වඩාත් හොදයි කියන එකයි මගේ අදහස. මොකද කලා ශිල්පිනියකගේ හෝ ශිල්පියකුගේ වගකීම විය යුත්තේ උඩින් පල්ලෙන් යම් නිර්මාණයක රඟපෑම නොව ඒ චරිතය තුළට ගිලා බැහැලා ප්‍රේක්ෂකයන් අතරට සජිවීව යන විදිහට ඒවැඩේ කිරිම. ඒ වගේනිර්මාණ අද බිහිවීමත් බොහෝම අඩුයි.

අද පරපුරෙ නළු නිළියන් පිළිබඳව ඔබේ මතය කුමක්ද?

නව පරපුරෙ නළුනිළියන් අතර හොද අයත් ඉන්නවා. ඇතැම් අය ගැන නම් සතු‍ටු වෙන්න බෑ. මම පෞද්ගලිකව දෙවෙනි ඉනිමේ අනුහස් හා අවන්ත යන චරිත රඟපාන දෙන්නා ගැන සතු‍ටු වෙනවා. ඔවුන් දෙපළ ඒ වැඩේ හොඳට කරනවා. මම ඇත්තටම ඒ දෙන්නට සුබ පතනවා.

රංගන ශිල්පිනියක් ලෙස අද ඔබ තෘප්තිමත්ද?

ඇත්තටම තෘප්තිමත්. නාවලපිටිය වගේ ප්‍රදේශයක ඉඳලා කොළඹට ඇවිත් දුක් විඳලා බොහෝම ලොකු කට්ටක් කාලා තමයි අද මේ තැනට ආවේ. අපිට මේකේ ඉගෙනගන්න දෙවල් බොහෝමයක් තියෙනවා. මට මතකයි ප්‍රවීණ නාට්‍ය හා රංගනවේදි ආචාර්ය ජයලත් මනෝරත්න මහත්තයා දවසක් මට එතුමාගේ නාට්‍යයක් බලන්න පැතිකඩවල් කොහොමද කරන්නේ කියලා හොඳට බලන්න කිව්වා. ප්‍රවීණ රංගනවේදිනි අයිරාංගනි සේරසිංහ මහත්මිය, ඒ වගේම ප්‍රවීණ රංගවේදි ටෝනි රණසිංහ මහතා යන අය රඟපාපු ඒ නිර්මාණය දිහා බලලා මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අවසානයේ ටෝනි රණසිංහ මහතා එක්කත් මට රඟපාන්න පවා අවස්ථාව ලැබුණා.

දැන් ඔබ වෘත්තිය රංඟන ශිල්පිනියක්ද?

නෑ. මම මෙය වෘත්තියක් ලෙස නොවෙයි කරන්නේ.මගේම කියලා රූපලාවණ්‍යගාරයක් ගෙදරම කරගෙනයනවා. මෑතකදි නම් ඒකේ වැඩ කටයුතු නැවතුණා. මොකද මට පුතා ලැබුණට පස්සේ එයාගේ කටයුතු වෙනුවෙන් මුල් තැන දීලා වැඩ කටයුතු කරන්න සිදුවුණු නිසා. කොහොම වුණත් ඉස්සරහට ගෙදර ඉදලම ඒකේ වැඩ කටයුතුත් නැවත කරන්න බලාපොරොත්තු වෙනවා.

දැන් මහත්තයා කැමතිද ඔබ දිගටමරඟපානවට?

එයත් මුලින් කැමති වුණේ නෑ. දරුවා ලැබුණට පස්සේ මේක නවත්වලා දාලා ගෙදරට වෙලා දරුවත් බලාගෙන ඉන්න කීවා. එහෙම සාම්ප්‍රදායික විදිහට තමයි එයත් මුලින්ම හිතුවේ. නමුත් ඔහු දැන් එහෙම නෑ. ඒ වුණාට මම දරුවට, පවුල් ජීවිතේට තමයි මුල් තැන දෙන්නේ. හොඳ නිර්මාණ ලැබුණොත් ‍තෝරා බේරාගෙන ඒවාට දායක වෙනවා. අනික මම කොළඹ අවට ප්‍රදේශවල තිබෙන රූගත කිරිම් කරන නිර්මාණවලට විතරයි දායකවෙන්නේ. පවුල් ජිවිතයත් දරුවාගේ කටයුතුත් එක්ක ඉන් පිට ප්‍රදේශවල ගිහින් රංගන වැඩ කටයුතු කරන්න මටඅමරුයි. පවුල් ජීවිතයට, දරුවාගේ වැඩකටයුතු වලට තමයි මම ප්‍රමුඛතාවයලබාදෙන්නේ.