මම ආවේ කලාවට නෙවෙයි

ගාල්ලට ගීතා කුමාරසිංහ
අගෝස්තු 20, 2020
දයාන් විතාරණ

 

‘ගීතා කුමාරසිංහ’ ඔබ හඳුනන්නේ කවරකු ලෙසද? ඈ පිළිබඳ අටුවා ටීකා ටිප්පනි ලාංකේය ජනතාවට ඇවැසි නැත. අපට පෙර පරම්පරාවේ සිට මෙරට වැසියන් ඇය හඳුනා ගන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙසිනි. පසුව ඇය චිත්‍රපට නිෂ්පාදිකාවක් මෙන්ම දේශපාලනඥවරියක් යන විශේෂණ පදවලටද හිමිකම් කියන්නට වූවාය. සරසවිය සම්මාන ඉතිහාසයේ එකවර හොඳම නිළිය, ජනපි‍්‍රය නිළිය, හොඳම නිෂ්පාදිකාව, ජනපි‍්‍රයම නිෂ්පාදිකාව යන සම්මාන හතර දිනාගත් එකම ශිල්පිනිය ඇයයි. පසුගිය මහමැතිවරණයෙන්ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් මෙන්ම සමස්ත දිවයිනෙන්ම ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු එකම කලාකාරිණිය ද ඇය යැයි කීවොත් නිවැරැදිය. එහෙත් අද ඇය සරසවිය සමඟ පවසන කතාව කුමක්ද? ඇය මේ වන විට තමන් පිළිබඳ දරන ස්ථාවරය කුමක්ද? මේ ඇයගේම වචනවලින් ඒ පිළිබඳ තබනා සටහනයි...

 

අපි මුලින්ම කතා කරමු ඔබේ ජයග්‍රහණය ගැන?

ඇත්තටම එය අභියෝග මැද ආ ජයග්‍රහණයක්. මම මුලින්ම කැමැතියි මෙහි ආරම්භය ගැන කතා කරන්න. මම මේ වෙද්දි අවුරුදු දහයකින් රඟපාලා නැහැ. හැබැයි මම හිතනවා ඒක මම කරපු ලොකුම මෝඩකමක් කියලා. මගේ කලා ජීවිතය අතහැරලා මිනිසුන් වෙනුවෙන්ම වැඩ කරන්න ගත්තා. හුඟාක් වැඩ කරලා තමයි ඔය තත්ත්වයට ආවේ. ඒක ලේසි දෙයක් වුණේ නැහැ. ඒ සියලු අභියෝග මැද තමයි මේ ජයග්‍රහණය ලැබුවේ.

 

ඒ අභියෝගවලට හේතුව කාන්තාවක් වීමද?

කාන්තාවක් වීම හරිම අපහසුතාවක්. විශේෂයෙන්ම නළු නිළියන්ට ඡන්දය දෙන්න එපා කියලා කතාවක් ගියානේ. මම දන්නේ නැහැ ඒ මොකද කියලා. ඒත් මම සිනමාවේ රඟපාන්නේ නැතුව තමයි මේ මැතිවරණය කළේ. ඒකයි මගේ ජයග්‍රහණයේ වැදගත්කම.

 

 

නළු නිළියන්ට ඡන්දය දෙන්න එපා කියලා කතාවක් ගියේ ඇයි?

ඔව් ඉතින් ඔය ආපු කට්ටිය කරපු දේවල් දැක්කනේ. පාර්ලිමේන්තුවට ආව අය මොනවද කළේ. ඒ අය සමාජයට, කාන්තාවන්ට, කලාවට හෝ නළු නිළියන්ට කාටවත් වැඩක් කරල නෑ. ඇත්තෙන්ම එය මටත් පහරක් වුණා. දේශපාලනයේ හොඳ ගමනක් යන්න තිබිච්ච දෙයක් මට නැති වුණා ඒක නිසා. මම දැක්කා ජාතික ලැයිස්තුවලින් ආ සමහරු නළු නිළියන් හැටියට නම් කරලා කියනවා. මොකක්හරි පොඩි ටෙලි නාට්‍ය කෑල්ලක රඟපෑවත් නළු නිළි ගොඩට දානවා. ඒක සමස්තයටම වදිනවානේ.

 

ඒ කියන්නේ ඔබ නිළියක් වීම ජයග්‍රහණයට හේතුවක් නොවේ කියන එකද?

අනිවාර්යයෙන්ම සියයට සියයක් ජනතාව හැටතුන්දහසක් මට ඡන්දය දුන්නේ මම නිළියක් නිසා නෙවෙයි. මම ගමට කරපු වැඩ නිසා. අවරුදු දහයක් දේශපාලනය කරනකොට 2010 ඉඳන් මේ දක්වා පොල් ගෑවා නෙවෙයිනේ. ගොඩාක් වැඩ කළා.

 

ඔබ තමයි මේ වර කලා ක්ෂේත්‍රය නියෝජනය කර ජන්දයෙන් පත් වූ එකම කාන්තාව ලෙස පාර්ලිමේන්තුවට යන්නේ?

හැබැයි මම කොයි වෙලාවකවත් කිසිම කලාවක් ගැන හිතලා නෙවෙයි දේශපාලනය කළේ. කිසිම කලාකාරයෙක් මට උදවු කළෙත් නැහැ. මම ඡන්දේ ඉල්ලුවේ, මම ඉන්නේ, මිනිසුන්ට උදවු කරන්න.

 

හැබැයි...

හැබැයි කියලා බෑ කතා කියන්න. කලාකාරයෝ මට උදවු කළෙත් නැහැ. මම කලාවක් නග්ගන්න නෙවෙයි දේශපාලනයට ආවේ. මම ගමකින් ඡන්දෙ ඉල්ලලා අවුරුදු දහයක් දේශපාලනේ කරලා ගාල්ල දිස්ත්‍රික්කයෙන් මිනිස්සු අතරට ගිහින් ඒ මිනිසුන්ට දේශපාලනෙන් අවශ්‍ය දේ කළා මිසක් මම මේ කලාවක් කරන්න ආව කෙනෙක් නෙවෙයි.

කවුද මට උදවු කරපු කලාකාරයෝ? කලාවකින් මට මොකක්ද වෙච්ච දේ?

 

ඔබ කතාකරන්නේ කලාකරුවන් ගැන. ඒත් ඔබ පිළිබඳ රටම හඳුනගන්නේ සිනමා කලාව නිසා?

මේකනේ මුතුමාලි... ඒකත් මගේ ජීවිතේ මම හදාගත්ත දෙයක්නේ. මම සිනමාවට ආවා. මම හරියට මගේ වැඩේ කළා. මම චිත්‍රපට සීයකට වඩා රඟපෑවා. සම්මාන ගත්තා. ඒකයි මේකයි මම සම්බන්ධ කරගන්න සූදානම් නැහැ. මේ දේශපාලනය කරනවා කියන්නේ වෙනම කතන්දරයක්. දැන් කවුරුහරි කියයි සිනමාවේ කට්ටිය ගිහින් මොනවාද කළේ කියලා. මහින්ද මහත්තයා මාව නිකම්ම ලිස්ට් එකෙන් දැම්මනම් මට කියතැහැකි ඔන්න මම කලාව කරන්න ආවා කියලා. මම බොහොම අභියෝග මැද මගේ පෞද්ගලික ධනය වියදම් කරගෙන කරපු දේශපාලනයක් මේක.

 

ඒත් ඔබ කලාවට ආදරය කරනවානේ?

කලාවට ආදරය කරන එක වෙනයි. දේශපාලනය වෙනයි. ඕගොල්ලෝ සීත කාමරවල ඉඳන් පෑනකින් ලියනවා වගේ ලේසි නෑ ගාල්ලේ දේශපාලනය කරන එක. කලාකාරයන් වෙනුවෙන් අතදෙන්න මං ආවේ කියලා මම ඡන්දේ ඉල්ලුවෙත් නැහැ, මගේ කොලේකවත් සඳහන් වුණෙත් නැහැ.

 

හොඳයි ඔබ ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඉදිරි කාලයේ කිරීමට සැලසුම් කරන්නේ?

අනිවාර්යයෙන්ම ඉදිරි සේවය හැටියට පාර්ලිමේන්තුවේදි මට සිදුවෙනවා මොන විදිහෙන් හරි ලංකාවේ සියයට 52ක් කාන්තාවන් වෙනුවෙන් හඬක් නඟන්න. අපේ ආණ්ඩුව වැරැදි වැඩක් කරනවා නම් ඒකට විරුද්ධවත් කතා කරන්න. මම බොහොම ස්වාධීනව අදහස් දරන ගැහැනියක් හැටියට කටයුතු කරනවා.

 

ගම්බද හා නාගරික කාන්තාවන්ගේ ප්‍රශ්න වෙනස්?

ගාල්ල දිස්ත්‍රික්කය හැදිලා තිබෙන්නේ ආසන දහයකින්. ඒ ආසන දහයටම විශාල නගර තිබෙනවා. ඒවායේ ඉන්නේ ඉස්සර වගේ හිතන මිනිස්සු නෙවෙයි. ඒ අය හොඳට මනසින් දියුණු වූ අය. සියයට පනහකට වඩා නාගරීකරණයට නතු වූ අය. ඒ නිසා මට තිබෙන්නේ සමස්තයක් වශයෙන් කාන්තාවගේ ප්‍රශ්න මිසක් නගරයේද ගමේද කියන ප්‍රශ්නය නෙවෙයි. අද මේ රටේ කාන්තාවන්ගෙන් විශාල ප්‍රමාණයක් ගෘහස්ථ හිංසනයට, ලිංගික අතවරයට ලක්වෙලා තිබෙනවා. අද කාන්තාවන් වෙනුවෙන් වෙන් වුණ අමාත්‍යාංශයක් නැහැ. එහෙම වෙලාවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් මට ලොකු කාර්යයක් කරන්න තිබෙනවා. මගේ උද්යෝග පාඨය තිබුණේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් එන එකම කාන්තාව කියලයි. මිනිස්සු ඒකටයි මට ඡන්දේ දුන්නේ. මම එකම එක කලාකාරයෙක්ගෙන්වත් කිසිම උදවුවක් ගත්තේ නැහැ ඡන්ද ව්‍යාපාරයට.

 

එතකොට කාන්තා හා ළමා කටයුතු සම්බන්ධ වන අමාත්‍යාංශය..

කවුද කීවේ ඔයාට එහෙම අමාත්‍යාංශයක් තියෙනවා කියලා? ඔයා දන්නවාද එහෙම එකක් නෑ කියලා දැන්. (ඇය තර්ක කරයි. එහෙත් නව බෙදීම් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා විෂයයන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යාංශයක් පවතී. ඇය නැවත කියයි.) මේක අහන්නකෝ කාන්තාවන්ගේ ඉල්ලීම්, ප්‍රශ්න අපට ලැබෙන කාලය තුළ පාර්ලිමේන්තුවෙදි අපේ කටහඬ අවදි කරලා ඒ අමාත්‍යාංශයට යොමු කරනවා.

 

කාන්තා කටයුතු සම්බන්ධ අමාත්‍යාංශයක් ඔබට දුන්නොත්?

මට ඕනේ නැහැ කාගෙවත් පස්සේ ගිහින් මොනවා හරි ඉල්ලන්න. මම කරන්නේ මට ලැබිච්ච වැඩේ හරියට කරන එක. මට අත්‍යාවශ්‍යයි මේ රටේ දහසකුත් ප්‍රශ්න තිබෙන කාන්තාවන්ට, ඇඟලුම්, පිටරට සල්ලි හොයන්න ගිහින් ඉන්න කාන්තාවන්, කෘෂිකර්මික වගාවන්වල කටයතු කරන කාන්තාවන්, සමස්ත ස්ත්‍රී වර්ගයාටම තිබෙන ප්‍රශ්න... මම නියෝජනය කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කය. හඳුනාගත් ප්‍රශ්න තිබෙනවා.

 

 

ඒවායින් ප්‍රබලම ප්‍රශ්න ලෙස හඳුනාගෙන තිබෙන්නේ මොනවාද?

ප්‍රබලම ප්‍රශ්නය තමයි කාන්තාවන්ගේ සුරක්ෂිතතාව, ගෘහස්ථ හිංසනය, ලිංගික හිංසනය, කාන්තාවන්ට නිසි තැන ලබාගන්න බැරි ප්‍රශ්නයක් තිබෙනවා. අපිව යවලා තියෙන්නේ ඒවා කතාකරන්න නැතුව පාර්ලිමේන්තුවට ගිහින් බත්කාල එන්න නම් මම එන්න ඕනෙ නෑනේ මෙතෙන්ට.

 

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඇතිද?

මම දන්නේ නැහැ. අනෙක් මිනිස්සුන්ට ඇති නම් මට ඒකෙ ප්‍රශ්නයක් නැහැ. එහෙම නම් කාන්තාවෝ දැනගන්න ඕනේ ඒක දිනාගන්න. ඒක අනෙක් අයට කරන්න පුළුවන් එකක් නෙවෙයිනේ. ඔය කලා ලිපි ලියනවා වගේ නෙවෙයි දේශපාලනේ වෙනමම කතන්දරයක්. මම දේශපාලනේ කළේ කලාව වෙනුවෙන් මොනවා හරි කරන්න කියලා නෙවෙයිනේ. ඒ නිසා මට අමතර දෙයක් ලෙස කවුරුහරි කීවොත් කලාකාරයන්ට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇයි ඔබ ඒ ගැන බලන්නේ නැත්තේ කියලා මට ඒ ගැන බලන්න පුළුවන්. අනිවාර්යයෙන් මම කතාත් කරනවා. ඒත් මගේ ප්‍රධාන ඉලක්කය සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවට සිදුවන අතවර පිළිබඳ හා ඔවුන් ඒවායින් මුදවා ගැනීම. බලන්න ක්ෂුද්‍ර මූල්‍ය ණය ගැන. කොච්චර ගණනක් අද බෙල්ලේ වැල දාගෙනද? ක්ෂුද්‍ර මූල්‍ය ණය දීපු මිනිස්සු ණයබරින් මැරි මැරී වැටෙන රටක් මේක. මම ඇවිත් තිබෙන්නේ ඒ ගැන කතා කරන්න.

 

ඒ සඳහා යෝජිත වැඩපිළිවෙළක් ඔබ සතුද?

මම හදාගත්ත වැඩපිළිවෙළක් තිබෙනවා ඒක හෙට අනිද්දා වෙනකොට පාර්ලිමේන්තුවට අපි දාමු. ඒක ලිපියකට කියන්න බැහැ. ඒ එන එන විදිහ බලලා, රටේ සිද්දවෙන දේවල් බලලා, පක්ෂෙ අදහසුත් අරගෙන මම ඒකට ඉදිරිපත් වෙනවා.

 

කොරෝනා සමයේ කාන්තාවන්ගේ මේ ගැටලු කොහොමද?

කොරෝනා නිසා අදත් දහස් ගණන් කාන්තාවෝ දුක් විඳීනවා. රුපියල් පන්දාහ ලැබුණා තමයි. ඒත් ඊට පස්සේ සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා. ගාල්ල දිස්ත්‍රික්කයේ බොහෝ මිනිසුන් සංචාරක ව්‍යාපාරයෙන් ජීවත් වුණේ. හෝටලයක් රෙස්ටුරන්ට් එකක් ආප්ප කඩයක් හරි දාගෙන හිටිය අයට ඒවා වහන්න වෙලා. පෞද්ගලික ආර්ථිකය කඩා වැටිලා. යන්තම් කාලා ජීවත්වෙන මිනිසුන් කොටසක් ඉන්නේ. උදේට කෑවොත් දවල්ට කන්න බැරි තත්ත්වයක්. විශාල ප්‍රශ්න ගොඩකට මැදිහත් වෙච්ච කාන්තාවන් ඉන්නවා. මම විශ්වාස කරනවා රජය කාන්තාවන් වෙනුවෙන් මොකක් හරි වැඩපිළිවෙළක් කරගෙන යයි කියලා. ඒ සඳහා ඉල්ලීම් කරන්න, බල කරන්න මට අයිතියක් තියෙනවා. කාන්තාවක් ලෙස දේශපාලනයට ආවේ ඒකට.

 

කාන්තාවක් ලෙස දේශපාලනය කිරීමේදී පිරිමින්ට වඩා වෙනස් විදිහට හිතන්නත් පුළුවන් විය යුතුයි?

හිතන එක නෙවෙයි. සමාජයේ වගවන විදිහක් තිබෙන්නේ. දේශපාලනය කරන මිනිස්සු කියන්නේ දේශපාලන අංකූරෝ ඉන්නේ සියයට සියයක්. දේශපාලනයට අය ඇවිත් තියෙන්නෙත් තාත්තාගේ මිනිය කරේ තියාගෙන ස්වාමි පුරුෂයාගේ මිනිය කරේ තියාගෙන වගේ ප්‍රශ්න තුළින්. මම ආවේ කිසිම ප්‍රශ්නයක් නැතුව. මම දේශපාලන පසුබිමකින් ආව කෙනෙක් නෙවෙයි. ඒත් මම අවුරුදු දහයක් තුළ පසුබිම හදාගත්තා. වැඩකරලා මහන්සිවෙලා මිසක මට රිදී බන්දේසියක තියලා ආවේ නැහැ. කලාවට තිබෙන ආදරය, කැපවීම ඒවත් තියෙනවා. ඒත් මම අවුරුදු දහයක් තුළ කිසිම කලාකටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ.

 

ඒත් ඔබේ කලාජීවිතය අමතක කරන්නත් බෑ. ඒ නිසා කවුරුහරි ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කීවොත්?

නෑ. මම තාම එහෙම එකක් ගැන හිතලාවත් නැහැ. මට ඊට වැඩිය හිතන්න දේවල් තියෙනවනේ. මේ හැටතුන්දාහ ඡන්දෙ දුන්නේ කලාව ගැන කතා කරන්න නෙවෙයිනේ. එහෙම නම් කලාව ගැන කතා කරන කෙනෙක්ව දාන්න තිබුණේ. දැන් ඔය ගියානෙ කට්ටිය. ඒ අය පැරදුණානේ. මිනිසුන්ට ඒවා ඕනේ නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයෙ මිනිස්සු මගෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඔය බෙන්තර ඇල්පිටිය ආසනේට අවුරුදු විසිගාණකින් මන්ත්‍රී කෙනෙක් නැතුව ඉඳලායි හම්බුණේ. කාන්තාව වෙනුවෙන් හඬක් නඟන්න මම හිතන්නේ අද මම විතරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉන්න එකම කාන්තාව. ඔය ඉන්න 225න් 224කටම වඩා ජීවිතේ ගැන දන්න විශාල අත්දැකීමක් තිබෙන කෙනෙක් හැටියට මට එහෙම කරන්න බැරි නම් මම ආයේ දේශපාලනේ කරන්නේ නැහැ. මේ අවුරුදු පහේදි මට කරන්න ඕනෙ දේවල් කරන්න බැරි වුණොත් මම ආයේ එන්නේ නැහැ. මට වැඩක් නැහැ. මිනිසුන්ව රවටන්න බැහැනේ අපට.

 

ඒක බරපතළ ප්‍රකාශයක්. රටක දේශපාලන ව්‍යුහය තුළ යම් අවස්ථාවක කියූ දේ ඒ විදිහටම කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට තව කාලයක් ගත වෙන්න පුළුවන්. මෙතෙක් අපි එවැනි දේ අත්විඳ තිබෙනවා?

ඊළඟ වතාව ගැන ඒ අයට ඕන තීරණ ගන්න පුළුවන්නේ. ඇයි නංගි ඔහොම කියන්නේ. මම ආවේ මේ දේශපාලන ව්‍යුහය තුළ උදවු කරන්න. ඒ නිසා ඒවා ගැන කතා කරන්න එපා. මම අලුත් දේශපාලනයක් පාර්ලිමේන්තුව තුළ කරමින් මේ රටේ සුවහසක් කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න සූදානම්.

 

ඒ කාන්තාවන් අතරට නිළියොත් අයිතියිනේ?

නිළියන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න වෙනම නිළියක් සිටිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.

 

හැබැයි ඉතින් පාර්ලිමේන්තුවේ වුණත් ගීතා කුමාරසිංහ කියන රූපෙ දකිනකොට අපට මුලින්ම මතක්වෙන්නේ චිත්‍රපට නිළියක්?

ඒකට ඉතින් මට කරන්න දෙයක් නෑ. හැබැයි ඔහොම කියනකොට මමත් හිතාගෙන ඉන්නේ හෙට අනිද්දම මොකක් හරි කලා කටයුත්තකට සහභාගී වෙන්න. එතකොට මට හිතාගන්න පුළුවන් කලාවේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. මොකද අවුරුදු දහයක් ඉවත් වෙලා ඉඳලා මම කලා ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රශ්නවත් හරියට අඳුනන්නේ නැහැ. හැබැයි මට ඒකට වෙලාවක් තිබෙයිද දන්නේ නැහැ. මොකද මට ගමෙන් ගමට ගිහින් ස්තූති කරන්නත් තියෙනවා. මට විසි අටදාහක් ඡන්දෙ දුන්න බෙන්තර ඇල්පිටිය ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕනේ. නිකං බත් කකා ඉන්න අයට නම් ඕවා වැඩ නෙවෙයි. ඔය සමහරු ඉන්නවානේ පාර්ලිමේන්තුවට යන්නේ.. (ඇය ඉතිරිය ගිල ගත්තාය) මම පාර්ලිමේන්තුවට ගියේ පෞද්ගලිකව යමක් ගන්න නෙවෙයි. නැත්නම් ස්විස්ටර්ලන්තය වගේ රටක පුරවැසිභාවය අයින් කරගත්තාම මට කොච්චර විශාල දේවල් අහිමි වුණාද? ඒ සියල්ල කළේ මිනිසුන් වෙනුවෙන්නේ. ඒ ගැන තමයි මම කල්පනා කරන්නේ. මම හිතන්නේ රට ගැන. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇමෙරිකානු පුරවැසිභාවය අයින් කරගත්තා රටේ ජනාධිපති වෙන්න. ඊට දෙවැනි වෙන්නේ නෑනේ මමත් අරවගේ රටකින් පුරවැසිභාවය අයින් කරගෙන රටේ මිනිස්සු වෙනුවෙන් ඒ අයගේ ප්‍රශ්න වෙනුවෙන් වගවෙන්න අඩුම තරමින් පාර්ලිමේන්තුව නියෝජනය කරන කෙනෙක් හැටියට යෑම.

 

ඔබට කාන්තාවන් වෙනුවෙන් කරනවා වගේ කලාව වෙනුවෙනුත් යෝජනාවලියක් ඉදිරිපත් කළ හැකියිනේ?

නංගි දැන් ඔය ගිය පාර සමහරු ගියා. ඒත් එයාලට කරන්න දෙයක් තිබුණේ නෑනේ කලාවට. ඒක එයාලගේ වැරැද්දක් නෙවෙයි. දේශපාලනයේ වැරැද්දක්. ඔය අමාත්‍යාංශ ඔක්කොම විද්‍යානුකූලවනේ හඳුනාගෙන තිබෙන්නේ මේ මේ දේවල් මෙයාට කරන්න පුළුවන් කියලා. කලාකරුවන්ටත් යුතුකමක් තිබුණා කලාකාරියක් ඡන්දය ඉල්ලද්දි මැදිහත්වෙලා උදවුවක් කරන්න. ඒ අයටත් වුවමනාවක් නැත්නම් එහෙම කෙනෙක් පාර්ලිමේන්තු යවන්න, මාව යවපු අය ගැන නෙවෙයිද මම හිතන්න ඕනේ.