ඒක කිව්වොත්..දිනෙත් සහ අනූජ් තරහා වෙයි

- අමන්දා සිල්වා
අගෝස්තු 27, 2020

නොපෙන්වා ඉන්න තරම් මගේ ඇඟ කැත නැහැනේ

ෂෙලීනා නමින් සිනමාපටයක් මේ දිනවලදී තිරගත වේ. එහි ෂෙලීනාට රඟපාන්නිය ඇයයි. පුංචි තිරයට ඇය ආගන්තුක නොවුණත් රිදී තිරයට ඇය පිවිසෙන්නේ ෂෙලීනා සිනමාපටයෙනි. අමන්දා සිල්වා ලෙසට ඇය ඔබට අපි  හඳුන්වා දෙමු. මේ කතාබහ ඒ සුරූපිනිය සමඟිනි.

අමන්දා, ඔබට කොහොමද ෂෙලීනා චිත්‍රපටයට එකතු වන්න ලැබෙන්නේ?

මම චිත්‍රපට කරල තිබුණේම නැහැ. ටෙලිනම් සෑහෙන්න සංඛ්‍යාවක රඟපෑවානේ. ෂෙලීනාට නිළියක් හොයමින් ඉඳලා තියනවා. ෆිල්ම් එකේ ඉන්න දිනෙත් අයියා තමයි මාව යෝජනා කරලා තියෙන්නේ. පිටපත බලපුවාම මම සෑහීමකට පත් වුණා. මට රඟපාන්න දෙයක් තියෙනවා කියලත් හිතුණා. මේ කාරණා නිසා ෂෙලීනා සඳහා මම කැමති වුණා.

චිත්‍රපටයේ ඔබේ පෙම්වතුන් හැටියට දිනෙත් ද සිල්වා සහ අනුජ් රණසිංහ රඟපානවා. මේ දෙදෙනා අතරින් ඔබට වඩාත් ගැළපෙන නළුවා කවුද කියලා මම ඇහැව්වොත්?

දෙන්නම මගෙ හොඳම යාළුවෝ. ඒක නිසා එක් අයෙකුගේ නමක් කියලා දෙන්නාවම තරහ කරගන්නේ නැහැ මේ වෙලාවේ.

අඟ පසඟ වැඩිපුර පේන ඇඳුම් පැළඳුම් තමයි ඔබ වැඩි වශයෙන් ෂෙලීනා චරිතය රංගනයේදී භාවිත කරලා තියෙන්නේ?

නොපෙන්වා ඉන්න තරම් මගෙ ඇඟ කැත නැහැනේ. ඒක නිසා මම මට සුදුසු ඒ විදිහේ ඇඳුම් අඳීනවා. හැබැයි ඒ බොඩි ශේප් එක තියාගන්න බැරි වුණොත් කවදාහරි අන්න එදාට මම ඇඟ වැහෙන්නම ඇඳුම් අඳීවි. දැනට එහෙම අවශ්‍ය නැහැනේ.

ඔබේ උස ගැන ඔබ තෘප්තිමත්ද?

ඔව්. ඇයි මම තෘප්තිමත් නොවන්නේ. මම 5යි 9ක් උසයි. මේ උස නිසා මට මොඩ්ලිං වලදි එහෙම ලොකු වාසියක් වුණා. යම් යම් අවස්ථා වලදි සමහරු මාව නිර්මාණයකට ගන්න දෙවතාවක් හිතනවා. මාව ගත්තොත් මගේ උසටම නළුවත් ඉන්න ඕනනේ. ඒත් එහෙම ලොකු අවාසිදායක අවස්ථා උදා වෙලා නැහැ.

ළඟදි ඔබ ටෙලියකින් දැක්කේ නැහැ?

ආරාධනා ලැබුණා. නොයෙක් හේතුමත මට යන්න බැරි වුණා.

කෝ ඔබේ සැමියා දිමුතු?

දිමුතු ඇමෙරිකාවේ ඉන්නේ. ඔහු එහෙ ස්ථීර පදිංචිකරුවෙක්. මමත් තව ටික දවසකින් එහෙට යනවා.

එතකොට ඔබේ නිළි ජීවිතේ?

මම රංගනෙයෙන් සමු ගන්නේ නැහැ. හොඳ නිර්මාණයකට කතා කළොත් මම ලංකාවට එනවා. ඉස්සර වගේ නෙවෙයි දැන් තාක්ෂණය දියුණුයිනේ. මම අමෙරිකාවේ හිටියත් ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් වගේ ඕන එකකින් මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

සැමියා කියන්නේ නැද්ද දැන් ඔය රඟපෑවා ඇති කියලා?

කවදාවත්ම නැහැ. නැත්නම් මෙච්චර නිදහසේ මගේ වැඩ කරගෙනයන්න බැහැනේ. මොනදේ, කොච්චර නිර්මාණ ලැබුණත් මම මූලිකත්වය දෙන්නේ මගෙ පවුල් ජීවිතේට. ඒකයි මේ අමෙරිකාවේ යන්න හදන්නෙ.

ජීවිතයේ නොලැබිච්ච දේවල් ගැන  පසුතැවීමක් තියෙනවාද?

කොහෙත්ම නැහැ. ජීවිතේ ලැබෙන්න ඕන දේවල් ලැබෙනවා නේ? අවශ්‍ය නැත්නම් ඒ දේ නෑ ම තමා. පසුතැවිලා වැඩක් නැහැ. අනාගතයට හොඳීන් මුහුණ දෙන්න බැහැනේ ඕවා ගැන හිත හිත හිටියොත්.

ඔබේ සීයා අපට සිටි ජ්‍යෙෂ්ඨ නළුවෙක්?

ඔව්. හැබැයි වැඩිදෙනෙක් ඒ ගැන දන්නේ නැහැ. මගේ සීයා තමයි පියදාස විජේකෝන්. ඔහු ඉස්සර සිනමාවේ නැතුව බැරි නළුවෙක්. මගේ මාමා තමයි ජනප්‍රිය නළු ප්‍රියන්ත විජේකෝන්.

අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?

මගේ තාත්තාව මතක් කරන්න පොඩි ඉඩක් දෙන්න. තාත්තා තමයි මගේ කලා ලෝකයේ හැම වැඩක්ම පිටුපස ඉන්නේ. ඔහු දිරිමත් කිරීම නිසයි මම අද යම් තැනක ඉන්නේ. මගෙ මමාවත් මතක් කරනවා මේ වෙලාවේ.