වේදිකාවෙන් බැහැලා යනකං මිනිස්සු මට හූ කිව්වා

ආචාර්ය පබ්ලිස් සිල්වා
අගෝස්තු 27, 2020

කලාව නැත්තං ආහාරයක්වත් හරියට භුක්ති විඳීන්න බැහැ

හෝටලේ වැඩ ඉවරවෙලා රෑ නවයේ ෂෝ එක බලනවා

ගාමිණීගේ Fight වලින් මත්වී පිටකොටුවෙදි ගහගත්තා

“ආහාර කලාව තමයි මම ප්‍රගුණ කරපු කලාව. ශරීරය පිනවන්න ආහාර කලාව ඕනේ වගේම මනස පිනවන්න කලාව ඕනේ. අද කලාව නැත්තං ආහාරයක්වත් හරියට භුක්ති විඳීන්න බැහැ. කලාව නැති නම් සන්තෝස වෙන්නත් බැහැ” කලාව ගැන විමසූ විට ඔහු කීවේ එසේය. කාටත් කන්නට බෑ කියූ කැලෑකොළ, මල් ගෙඩිවලින් නේක රස ආහාර ඉව්වේ ඔහුය. උයා අපට පමණක් නොව විදේශිකයන්ටද කැව්වේ ඔහුය. පැල්පතින් පැමිණ ‍රජමැතිඳුන්ට කෑම ඉව්වේ ඔහුය. ලොව සුපතළ ලාංකේය සූප සන්නාමය ඔහුය. හෙතෙම සූපවේදී  ආචාර්ය පබ්ලිස් සිල්වා නම් වේ. අප ඔහුගෙන් විමසුවේ සූපශාස්ත්‍රය පිළිබඳව නොව කලාව පිළිබඳවය. කලාවත් සමඟ ඔහුට ඇති සබැඳීයාව පිළිබඳවය. 

 

මේ කතාබහ පටන්ගන්න හොඳම තැන ඔබේ ගම හා සබැඳුණු කලාව.

මගේ ගම දකුණු පළාතේ රත්ගම. 1943 අවුරුද්දේ ඒ කියන්නේ මට අවුරුදු හයක් විතර ඇති. මේ කාලේ අපේ ගමේ ටීටර්, නාඩගම් තිබ්බා. එතකොට ඉතින් කලාකාරයෝ අහිකුන්ටිකයෝ වගේ තමයි. කූඩාරම් ගහගෙන නාඩගම්, ටීටර් පෙන්නනවා. සතියකින් විතර වෙන තැනකට යනවා. මම පොඩි කාලේ නාඩගම් හුඟාක් බලලා තියෙනවා. ඒ අතරින් ශ්‍රී වික්‍රමරාජසිංහ නාඩගම, සඳකිඳුරු නාඩගම හොඳට මතකයි. අනික තමයි ඒ කාලේ අපේ ගමට එනවා රූකඩ. ඒවා හරි ප්‍රසිද්ධයි. පන්සලේ තමයි ගොඩක් වෙලාවට රූකඩ නටවන්නේ. නැතිනම් විසාල මඩුවක් ගහලා රූකඩ සංදර්ශන තියෙනවා. "ලෙච්චමි - වත්තේ මහත්තයා" රූකඩ සංදර්ශනය තමයි ගමේ ප්‍රසිද්ධම. 

පවුලෙන් කලාවට තිබුණු නැ ඹුරුව කොහොමද?

මගේ තාත්තා රස්සාවක් කළේ නැහැ. අම්මා තමයි අපේ පවුල ආරක්ෂා කළේ. මගේ අම්මාගේ එකම කලාව තමයි කූඩයක් අරගෙන රත්ගම ඉඳලා හැතැප්ම හයක් ගාල්ලට ගිහින් පොළේ විසි කරන අල, ළූණු, කුණු වෙච්ච වට්ටක්කා වගේ දේවල් එයා පොඩි පිහි කෑල්ලකින් කලාවකට කපන එක. 

අම්මාත් එක්ක පොළේ බඩු විකුණපු කාලේ චිත්‍රපටි බලලා නැද්ද?

අපොයි ඔව්. ඒ කාලේ ඕනේ තරම් චිත්‍රපටි බලලා තියෙනවා. ඉස්කෝලේ යන එක තුනේ පන්තියේදි අතහැරපු දවසේ ඉඳලා ජීවිතේ ගැටගහගන්න නොකරපු දෙයක් නැහැ. ඔය කාලේ අතරින් පතර චිත්‍රපටි බලලා තියෙනවා. සමහර ඒවා නොමිලේ පෙන්නපු නිසා ගිහින් බලලා තියෙනවා. ඒ පනහ දශකයේ දෙමල, හින්දි චිත්‍රපටි පෙන්නුවේ. ලොකු ටෙන්ට් එකක් ගහලා ඒකේ තමයි පෙන්නුවේ.  "ර්ධබඩඥප ධ්දඤඪච" එහෙම බලපු චිත්‍රපටයක්. 

මුලින්ම හෝල් එකක චිත්‍රපටියක් බලපු දවස මතකද?

එහෙම නම් මතක නැහැ. ඒත් වැඩියෙන් බැලුවේ හින්දි චිත්‍රපටි. ඒවායේ නම් මතක නැහැ. සින්දු කෑලිවලට අත්පුඩි ගහනවා. (අත්පුඩි ගසමින්) චිත්‍රපටියේ ගහගන්නකොට පුටුවෙන් උඩ යනවා. (තිගැස්සෙමින්) ඒ හැරුණුකොට චිත්‍රපටි මේකයි කියලා කියන්න මතකයක් නැහැ. 

කොළඹට එන්නේ කොයි කාලේද?

මම කොළඹට එන්නේ 1952දී. ගෙදරින් පැනලා තමයි කොළඹ එන්නේ. පිටකොටුවේ එක එක රස්සා කරන්න උත්සාහ කළා. එක එක දේවල් විකුණලා ජීවිතය ගැටගහගන්න උත්සාහ කළා. ඒත් අන්තිමටම මම ධ්අඛ් කාරයෙක් වුණා. 

ඒ කාලේ චිත්‍රපටි බැලුවේ නැද්ද?

බැලුවා. අපි යන්නේ මරදානේ ගාමිණී හෝල් එකට. අපි හෝල් එකට යන්නේ චිත්‍රපටිය පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි. ටිකට් දෙන්න කිට්ටුව හෝ ගාලා පෝලිමනේ. අපේ ධ්අඛ් ගැන්සිය ගියපු ගමන්ම පෝලිම් මුකුත් නෑ. හැමෝම අපිට ඉස්සරහට යන්න දෙනවා. ඒ තරම් අපිට කට්ටිය බයයි. (සිනාසෙමින්) සමහර දවස්වලට ටිකට් නොගෙනම ගිහින් වාඩි වෙනවා. හිතුණොත් ටිකට් ගන්නවා. හැබැයි අපිට මුලින්ම ටිකට් දෙන්න ඕනේ. ගැලරියේ ටිකට් එක සත දහයයි එතකොට.

එහෙම බලපු චිත්‍රපටි මොනාද?

හතරදෙනාම සූරයෝ, පරසතුමල්, තුෂාරා වගේ චිත්‍රපටි කීපයක් විතරයි මගේ මතකයේ තියෙන්නේ. 

දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි තියෙනවාද?

ඔව්. මට ඒකේ නම මතක නැහැ. ගාමිණී ෆොන්සේකා රඟපාන්නේ. ඒකේ බිල්ඩිමක් බෝම්බයකින් පුපුරවා හරින දර්ශනය මට හොඳට මතකයි. අහ්.... නම මතක් වුණා. සන්දේශය චිත්‍රපටිය. අපේ ලෙස්ටර් මහත්තයාගේ. ඒක අපේ දේශීය චිත්‍රපටියක්. ඒ චිත්‍රපටියේ ගාමිණී ෆොන්සේකාගේ ඇක්ෂන්වලට මම හරිම ආසයි. සරම කැහැපට ගන්නගෙන එනවා. කණ පැලෙන්න ගහනවා. බිම වැටෙන්න ගහලා ඊටපස්සේ පයිනුත් එකක් දෙනවා. ඒවා අපි ඇත්තටම කළා පිටකොටුවෙදි. (සිනාසෙමින්) ඇත්තටම ගාමිණීගේ සටන් ජවනිකා බලලා අපි ඒ විදිහට පිටකොටුවෙදි ගහගත්ත දවස් අනන්තවත් තියෙනවා. 

ගල්කිස්ස මහහෝටලයට ආවාම චිත්‍රපටි බැලුවේ නැද්ද?

මම ගල්කිස්ස මහහෝටලයට ආවේ කුස්සියේ ගල් අඟුරු අදින කෙනෙක් විදිහට. එතකොට තමයි වැඩිපුර චිත්‍රපටි බැලුවේ. ගල්කිස්සේ පුෂ්පා හෝල් එකට තමයි බලන්න යන්නේ. එතකොට ටිකට් එක සත විසිපහයි. හෝටලේ වැඩ ඉවර වෙලා මම රෑ නවයේ ශෝ එක තනියම බලන්න යනවා. 

එහෙම චිත්‍රපටි බලන්න ගිහින් වුණු අමතක නොවන සිදුවීම් ඇති?

දවසක් මම රෑ නවයේ ශෝ එක බලලා එනවා. සෙන්ට් තෝමස් එක ළඟින් කන්දක් තිබුණා. ඒ කන්ද බැහැගෙන එනකොට මම අඩිය තිබ්බා. අඩිය තිබ්බ සැණින් මම විසිවෙලා ගිහින් බිම වැටුණා. ඒ එක්කම කෙනෙක් නැඟිටලා දිව්වා. බැලින්නම් මම හරකෙක්ගේ ඇඟ උඩට කකුල තියලා තියෙන්නේ. හරකා පාරේ ලැඟලා ඉඳලා තියෙන්නේ. තවත් දවසක් මම රෑ නවයේ ශෝ එක බලලා හෝටල් පාරේ ඉස්කෝලේ පහුකරගෙන එනකොට මට පිටිපස්සෙන් ගෙජ්ජි හඬක් එනවා. මම බයට අනිත් පැත්තට පැන්නා. පැනලා යද්දි ඒ පැත්තෙනුත් ඒ හඬම එනවා. මම බයවුණා. ඉතිපිසෝ ගාථාව කිය කිය ඕනේ දෙයක් වෙච්චදෙන් කියලා ආවා. මොන චණ්ඩියත් හොල්මන්වලට බයයිනේ පුතේ. (සිනාසෙමින්) බලද්දි මට පිටිපස්සෙන් නාටිකාංගනාවක් ඇවිත් තියෙන්නේ. එයා සංදර්ශනේකට ගිහින් ගෙජ්ජිත් බැඳගෙන ඇවිත් තියෙන්නේ.

පෙම්වතිය එක්ක චිත්‍රපටි බලන්න ගියාද?

නැහැ. මම විවාහ වුණේ අවුරුදු විස්සෙන්. ඒ වාසනාව මට ලැබුණේ නැහැ. (සිනාසෙමින්)

යාළුවෝ එක්ක වේදිකා නාට්ටි බලන්න ගිහින් තියෙනවාද?

වේදිකා නාට්‍ය නම් ඒ තරම් බලලා නැහැ. ඒත් මම වේදිකා නාට්‍යයක රඟපාන්න ගිහින් තියෙනවා. අපේ ගමේ කරපු වේදිකා නාට්‍යයක්. මට මතක විදිහට ඇහැලේපොළ කතාව. මට තිබුණේ ඒකේ කොමඩි චරිතයක්. මම රඟපානකොට බලාගෙන හිටපු මිනිස්සු හූවක් කිව්වා. මම ස්ටේජ් එකෙන් බැහැලා යනකන්ම ඒ හූව එහෙම්මම තිබුණා. ඒ තරම්ම මට රඟපාන්න පුළුවන්. (සිනාසෙමින්) මගෙන් ඒ චරිතය හරියට වුණේ නැහැ. 

කැමතිම චිත්‍රපටි නළුවා කවුද?

ගාමිණී ෆොන්සේකා තමයි. ගාමිණී කියන්නේ හොඳ සටන් නළුවෙක්. සටන් ජවනිකා ඇත්ත ජීවිතේ කරපු කෙනෙක් විදිහට මම ඒ චරිතයට හරිම කැමතියි. මම දන්නවා ඒ චරිතය තාත්විකද නැද්ද කියලා. එදා මෙදාතුර දැකපු හොඳම නළුවා තමයි ගාමිණී ෆොන්සේකා. 

විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?

අනේ පුතේ එහෙම වාසනාවක් මට තිබුණේ නැහැනේ. මම පොඩි වයසෙන්ම බැඳපු නිසා ඒ වගේ අදහසක් චිත්‍රපටියක් බලද්දි හිතට එන්නෙත් නැති තරම්. නමුත් ලස්සන නිළියක් දකිනකොට හිතේ මොකද්දෝ එකක් ඒ කාලේ ඇති වුණා. කැමතිම නිළිය කවුද කියලා ඇහුවොත් උත්තරේ රුක්මණි දේවි. එයා හරිම ලස්සනයි. මම එයාගේ චිත්‍රපටිවල රංගනයට වඩා භුක්‍ති වින්ඳේ ලස්සන.

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සන්දේශය. ඒකට හේතුව  මම කලින් කිව්වා. 

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ විජයබාකොල්ලය.

ඔබට සංගීතයත් එක්ක තියෙන්නේ කොහොම ගනුදෙනුවක්ද?

මගේ වාහනය එළවන්න බැහැ සින්දු නැති නම්. හුඟදෙනෙක්ගෙන් මම ඒ නිසා බැනුම් අහලා තියෙනවා. නැඟලා යන ඕනෑම සින්දුවක් මම අහනවා. 

කැමතිම සිංහල චිත්‍රපටි ගීතය මොකක්ද?

ඉස්සර මම කොල්ලා කාලේ අපි ගාලු පාරේ හිටියේ. මගේ නෝනා මහත්තයා ඉන්න හිටපු ගෙදර ළඟින් තමයි වැල්ලට යන්නේ. ඒ කාලේ මම සින්දු දන්නෙත් නැහැ. සංගීතයට කැමැත්තක් තිබුණෙත් නෑ. ඒත් එයාගේ ගෙදර ළඟින් යනකොට මම නිතරම කියන සින්දුවක් තියෙනවා. "සීයා මනමාලයා.... නාකි ඉලන්දාරියා" (තාලයට ගයමින්) මේක තමයි යන එනකොට කියන්නේ. දැන් හිතෙනවා ඇයි මම ඒ සිංදුව කිව්වේ කියලා. (සිනාසෙමින්)

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

අමරදේව මාස්ටර් තමයි. දේශාභිමාන ගීත තමයි වැඩි හරියක් ඔහු ගැයුවේ. ඒ නිසයි මම ඔහුට කැමති. 

නිතරම මුමුණන ගීතයක් තියෙනවාද?

ගීතයක් නම් මම නිතරම මුමුණන්නේ නැහැ. දැන් නිතරම මුමුණන්නේ සූරුදු, මාදුරු, කොත්තමල්ලි, රම්පේ, කරපිංචා, කුරුඳුපොතු (නොනවත්වා කියමින්) ඕක තමයි දැන් නිතරම මුමුණන්නේ. 

ඔබත් චිත්‍රපටියක් හැදුවා නේද?

ඔව්. මට ඕනේ වුණා මගේ ජීවිත කතාව මේ රටේ දරුවන්ට කියන්න. ඒක නිසා මම මගේ ජීවිත කතාව පොතක් ලිව්වා. පොත කියවපු හුඟදෙනෙක් කිව්වා "මේක හොඳ කතාවක් චිත්‍රපටියක් හදමු" කියලා. මට කීපදෙනෙක්ම ආරාධනා කළා චිත්‍රපටියක් හදමු කියලා. ඒත් මට චිත්‍රපටිය හදලා විකුණන්න අවශ්‍ය නැති නිසා ඒ ආරාධනා පිළිගත්තේ නැහැ.

ඊටපස්සේ මොකද වුණේ?

මට හිතුණා විකුණන්න නෙමෙයි පාසල්වල දරුවන්ට බලන්න දෙන්න චිත්‍රපටිය හදන්න ඕනේ කියලා. ඉන්පස්සේ මම මිල ගණන් කැඳෙව්වා. මිල ගණන් තුනක් ආවා. ලක්ෂ 6, ලක්ෂ 8, ලක්ෂ 20. එතනින් මම තෝරාගත්තා ලක්ෂ 20. ඒක ගෙනාවේ සිනමා අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල්. මමයි මුදල් වියදම් කළේ. ඉතින් අපි චිත්‍රපටිය හැදුවා. ඒක වාර්තා චිත්‍රපටියක්. මීගමුව, හලාවත, පිටකොටුව, රත්ගම මේ හැම තැනම රූගත කිරීම් තිබ්බා. චිත්‍රපටියේ ප්‍රධාන නළුවා මම. චිත්‍රපටියේ නම "සූපිකා සිරිත". 

සූපවේදියෙක් ලෙස සේවය කරද්දි සමීපව ඇසුරු කරපු කලාකාරයෝ කවුද?

මගේ කෑම කාපු හැම කලාකාරයෙක්ම වගේ මගේ කෑම රසයි කියලා තියෙනවා. කලාකාරයොත් එක්ක මගේ ලොකු සබඳතාවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව ගල්කිස්ස මහහෝටලය සහ මගේ නම. එඩ්වඩ් ජයකොඩි මහත්තයා, සුනිල් ආරියරත්න මහත්තයා මං එක්ක බොහොම හිතවත්. ඊට අමතරව අමිතාබ් බච්චන් මගේ කෑම අගය කරලා තියෙනවා. තව ප්‍රසිද්ධ ජපන් නළුවෙක් ඉන්නවා. එයා ලංකාවට ආවොත් නොවරදාම හෝටලයට ඇවිත් මගේ කෑම කාලා යනවා. 

කලාව කියන දේ පබ්ලිස් සිල්වා දකින්නේ කොහොමද?

ආහාර කියන්නෙත් කලාවක්. ආහාර කලාව තමයි මම ප්‍රගුණ කරපු කලාව. ඒත් ආහාරවලින්ම විතරක් ජීවිතයක් ජීවත් කරන්න බැහැ. ජීවත් වෙන්න නම් කලාව තියෙන්න ඕනේ. ශරීරය පිනවන්න ආහාර කලාව ඕනේ වගේම මනස පිනවන්න සංගීත කලාව, සිනමාව ඕනේ. සංගීතය ආහාරය කියනවානේ. අද කලාව නැත්තං ආහාරයක්වත් හරියට භුක්ති විඳීන්න බැහැ. කලාව නැති නම් සන්තෝස වෙන්නත් බැහැ. ඒත් අද කලාව ගැන නම් මගේ ඒ හැටි අවදානයක් නැහැ. 

ඒකට හේතුව?

ඒකට හේතු ගොඩක් තියෙනවා. අද කලාව රසවිඳීන්න තරම් හොඳ මට්ටමක තියෙනවාද කියන එක ගැටලුවක්. ඉස්සර අපිට ගීතයක් ඇහෙද්දි අත්පුඩි ගහනවා, මූණෙන් ප්‍රකාශන පළ වෙනවා. අපි ඒක හදවතින් රසවිඳීනවා. එදා නිර්මාණ හැදුණේ හදවතට. අද බහුතරයක් නිර්මාණ හැදෙන්නේ අත්දෙකටයි කකුල් දෙකටයි විතරයි. 

චිත්‍රපටියක රඟපාන්න අවස්ථාවක් ආවොත් භාරගන්නවාද?

අපොයි නැහැ. කීයටවත් භාරගන්නේ නැහැ. බැරි වැඩ කරන්න බැහැනේ. බැරි වැඩ කරන්න ගිහින් එදා අහපු හූව මතකයි. (සිනාසෙමින්) 

මේ වගකීම්වලින් නිදහස් වුණු කාලයක කලාවත් එක්ක ජීවිතේ අවසාන කාලය ගත කරන්න අදහසක් නැද්ද?

මට දැන් වයස 84යි. මම විශ්‍රාම යන්න ඉන්නේ වයස 94දී. ඉන්පසුව සින්දුවක් අහගෙන, හෝල් එකකට ගිහින් චිත්‍රපටියක් බලලා ඉන්න ආසයි.