අපේ අම්මත් බබානෝනාගේ අත්දැකීමට මුහුණ දුන්නා

නීටා ප්‍රනාන්දු
අගෝස්තු 27, 2020

ළඳක මහිම සමඟින් ලතා නමින් රිදී තිරයට අලුත් තරුවක් පෑයුවේය. ඒ 1965 වසරේදීය. ඉන්පසු වසර පහළොවක පමණ කාලයක් තුළ චිත්‍රපට හතළිහක පමණ ඒ තාරකාව දිදුළන්නට විය. ඒ අතරින් වඩාත් කතාබහට ලක් වූයේ දුහුළු මලක් චිත්‍රපටයේ නිලූපාය. ‌රවීන්ද්‍ර රන්දෙණිය සමඟ බොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජ දහනේ සැරිසරන ඇය පෙම් රැහැනින් බැඳ සිතුම් වසඟ කළ ආදරයක පැටලුණේ, ටෝනි රණසිංහ සමඟ රන්කෙන්දෙන් බැඳ අතැඟිලි එක් කළ ආදරය විඳීන අතරය. සිය සිනමා දිවියේ පළමු හැරවුම් ලක්ෂ්‍යය එයින් සනිටුහන් කළ ඇය 1981 වසරේ චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස සූරියකාන්ත දායාද කළාය. ඉන් පසු දශක දෙකකට ආසන්න කාලයක් සිංහල සිනමාවෙන් සැඟවුණු ඒ තාරකාව යළි ප්‍රේක්ෂකයන් වෙතට ආවේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ පවුරු වළලු සිනමා කෘතිය නිෂ්පාදනය කරමින් සමඟ තවත් ආන්දෝලනාත්මක චරිතයක් වන වයලට් ලෙසිනි. වැන්දඹු මිත්තනියක  වූ වයලට් සිය පරණ පෙම්වතාගෙන් ගැබ්ගැනීම නිසා ජීවිතයෙන් වන්දි ගෙව්වාය. වයලට් වෙනුවෙන් ඇයට 1998 සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම නිළිය සම්මානයට අමතරව මවු රටින් විචාරක, සිග්නීස් ඕසීඅයිසී සහ ජනාධිපති සම්මාන මෙන්ම සරසවිය සම්මාන උලෙළේ විශ්ව ප්‍රසාදිනී සම්මානයද   හිමි විය. එතැන් සිට සිනමා කෘති කීපයකට දායක වූ ඇය දෙවැනි වරටත් සිංහල සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කරමින් 2019 වසරේ ප්‍රංශයේ නීස් අන්තර්ජාතික සිනමා උලෙළේදී හොඳම නිළිය සම්මානය දිනා ගත්තේ විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ පාංශු චිත්‍රපටයේ අතුරුදන් වූ තම පුතු සොයන්නට වෙහෙසෙන කුලහීන කාන්තාවක් වූ බබා නෝනා ලෙසය. ඇය අන් කිසිවකුත් නොව ප්‍රවීණ රංගවේදිනී නීටා ප්‍රනාන්දුය.   

පාංශු ප්‍රදර්ශනය ඇරඹුණා?

ඔව්, අගෝස්තු 21 වැනිදා පාංශු මංගල දර්ශනය පැවැත්වුණා. එයට සහභාගී වූ ඇතැම් අය කොරෝනාවට කලින් මේ චිත්‍රපටය නරඹා තිබුණා. ඔවුන් කීවේ චිත්‍රපටය නරඹන වාරයක් පාසා ඊට පෙර නොදුටු අංග නිර්මාණයෙන් දකින්න පුළුවන් වුණා කියලයි. ඒ වගේම ඔවුන් කීවේ පවුලේ සැමට එකට නැරඹිය හැකි, කාලෙකින් නොදුටු ගණයේ චිත්‍රපටයක් බවයි. 

මෙය ඔබේ දෙවැනි අන්තර්ජාතික සම්මානය ලබාදුන් චිත්‍රපටය?

මට මගේ මවු බිමට දෙවැනි වරටත් අන්තර්ජාතික සම්මානයක් ගෙන ඒමට හැකි වීම ගැන ලොකු සතුටක් තිබෙනවා. මම ආදරය කරන සිනමාවෙන් මගේ රටට යම් සේවයක් කර තිබෙනවා කියන එක ගැන මට සෑහීමකට පත්වන්න පුළුවන් ඒ නිසා. 

ළඳක මහිම සිට පාංශු දක්වා ගමන ගැන මොකද හිතෙන්නේ?

ඇත්තෙන්ම මම වේගවත් ගමනක් නෙවෙයි ආවේ. පාසල් ශිෂ්‍යාවක් ලෙස මුලින්ම ක්ෂේත්‍රයට පිවිසිලා, අවුරුදු අටක් දහයක් පමණ ප්‍රවීණ රංගන ශිල්පීන් සමඟ චරිත නිරූපණයේ යෙදීමෙන් අත්දැකීම් ලැබුවා. මම අදටත් හැඟීම් ප්‍රකාශනය පිළිබඳ ඉගෙන ගනිමින් ඉන්නේ. මගේ වාසනාවට මට හැම ප්‍රධාන නළුවකු, නිළියක සමඟම රඟපාන්න අවස්ථාව ලැබුණා වගේම මට ලැබුණු සෑම චරිතයක්ම ප්‍රධාන චරිතයක් වුණා. එහෙම ක්‍රමක්‍රමයෙන් මට එකතු වුණු ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා. දුහුළු මලක්, හදවත් නැත්තෝ, ළසඳා, මංගලා වගේ චිත්‍රපටවලින් ප්‍රේක්ෂකයන් දැඩිව මාව වැලඳ ගත්තා. මගේ සිනමා ජීවිතයේ සන්ධිස්ථානය වුණේ විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ දුහුළු මලක් කියන්න මම ඕනෙම වෙලාවක ලැහැස්තියි. සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ චිත්‍රපට ගණනාවක රඟපාලා එය ටික කාලයකට හෝ අතහරින්න මට සිදු වුණා. ඒත් මම මගේ පළමුවෙනි ආදරේ මගේ මහත්තයාට  දීලා දෙවැනි ආදරය ලෙස සිනමාව හිතේ රඳවා ගත්තා. ඒත් ඔහුගේ හිතේ තුළ පොරොන්දුවක් වගේ තිබුණා සිනමාවට මාව නැවත ගේනවා කියන හැඟීම. සූරියකාන්ත නිෂ්පාදිකාව ලෙස මට එන්න පුළුවන් වුණේ ඒ නිසා. එයා හිතුවා ගසක් උදුරා දැම්මා වගේ මාව මේ ක්ෂේත්‍රයෙන් ඉවත් කරන එක සුදුසු නෑ කියලා. ඒ නිසා 'මම ඔයාව ගෞරවාන්විතව නැවත සිනමාවට එක් කරනවා' කියලා තමයි පවුරු වළලු නිෂ්පාදනයට යොමු වුණේ. සිනමාවේ මගේ ඒ දෙවැනි ගමනට උදවු කළේ ප්‍රසන්න විතානගේ සහ ටෝනි රණසිංහ. ප්‍රසන්න කීවා 'නීටක්කාගේ සිනමාවේ දෙවැනි ගමනට මම වගකියන්න ඕනේ' කියලා. ඔහු ඒ කියූ විදිහටම ඉටු කළා. ටෝනි නිසා තමයි මම ප්‍රසන්නව හඳුනාගත්තේ. මගේ මහත්තයා ඊලියන්ට නිවාඩු නැති නිසා චිත්‍රපටය මැදදි කැනඩා යන්න සිදු වුණා. ටෝනි තමයි තමන්ගේ කොටස් නැති අවස්ථාවල පවා දර්ශන තලයේ රැඳෙමින් මට නිෂ්පාදන කටයුතු සාර්ථක කර ගැනීමට සහෝදර කලාකරුවකු වශයෙන් සහාය වුණේ. 

පවුරු වළලු මෙන්ම පාංශුත් ඔබේ රංගන දිවියේ වෙනස් අත්දැකීම්? 

ඔව්. පාංශු මගේ රංගන ජීවිතයේ තුන්වැනි සන්ධිස්ථානය ලෙස තමයි මම සලකන්නේ. නංගි කොහොම මේක හිතයිද මම දන්නේ නැහැ. ඒත් මේ චිත්‍රපට තුනම කතා කරන්නේ ආදරය ගැන. දුහුළු මලක් අසම්මත සම්මත ආදරය ගැන, පවුරු වළලු ප්‍රථම ප්‍රේමය නැවත අසරණ වී ඉන්නවා දැකලා ගෙදරට අරගෙන මානුෂික හැඟීම් මත ආදරය අලුත් වීම ගැන, පාංශු ලෝකයේ තිබෙන ලොකුම ආදරය මාතෘ ප්‍රේමය ගැන. 

මාතෘ ප්‍රේමයට ජාති කුල ආගම් පක්ෂ පාට හෝ මිනිසුන්ද තිරිසනුන්ද යන්න පවා අදාළ නොවන බව පාංශු පෙන්වා දෙනවා?

ඇත්ත. මුළු ලෝකයේම උප නූපන් දරුවන් වෙනුවෙන් ආදරය කරන අම්මා කෙනෙක් අපේ රටේ 1988-89 කාලේ දහසකුත් එකක් අම්මලා මේ වගේ සිදුවීම්වලට මුහුණ දුන්නා. බබා නෝනා ඒ සියලු දෙනාව නියෝජනය කරන මවක්. ඒ යුගය නොදුටු, අත්විඳීන්න නොලැබුණු තරුණ තරුණියන්ට හොඳයි මේ චිත්‍රපටය ඒ කාලයේ මොන වගේද රට පැවතුණේ කියලා අවබෝධ කරගන්න, අපි අතීතයේ කොයි තරම් දුක් වින්දාද කියා දැනගන්න. අපේම මිනිස්සු අප සමඟම ගහමරා ගැනීම මොනතරම් අකාරුණිකද යන්න තේරුම්ගන්න. ඒ වගේම අම්මා කෙනකුට කිසිම ජාතියක්, කුලමල භේදයක් නැහැ. 

ඔබගේ පරපුරට රංගනය හදාරන්න වුණේ රඟපාමින්?

රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් කියන්නේ මේ ලෝකේ මේ සමාජයේ අප අතර ගැවසෙන චරිතවලට පිවිසෙන්නෙක් කියන දෙයයි මගේ හැඟීම. ඒ වගේම අපට චරිතයක් ලැබුණාම එය තමන්ට ගැළපෙනවාද යන්නත් අප තේරුම් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අධ්‍යක්ෂවරයෙක් චරිතයකට ශිල්පියකු තෝරන්නේ එයට ඔහු හෝ ඇය සුදුසු බව සිතන නිසානේ. අපේ වගකීම වන්නේ ඒ චරිතයේ විශේෂත්වය කුමක්ද? අප එයට පිවිසෙන්නේ කෙසේද? එහි අප ජීවත් විය යුත්තේ කෙසේද යන්න අවබෝධ කරගැනීමයි.

එසේ අප රංගනයේදි තවත් කෙනකුගේ චරිතයට ඇතුළු වීම හරියට කළාද කියලා තීරණය කරන්නේ ප්‍රේක්ෂකයන්. සමහරු කියනවා රංගන පාසලක් තිබුණා නම් හොඳයි කියලා. ඒත් මම හිතන්නේ මොන දේ තිබුණත් නැතත් ඉගෙන ගන්න, හදාරන්න කැමති කෙනා ඒ දේ කොහෙන් හරි හොයාගන්නවා. කැපවෙනවා. හැබැයි පාසලකින් සිද්ධාන්ත ඉගෙන ගන්න තිබීම හොඳයි. කොහොම වුණත් රංගනය ඇඟෙන් එන දෙයක්. ලස්සන මූණක්, දිග කොණ්ඩයක්, උසමහත ඇඟක් තිබුණ පමණින්ම රඟපාන්න පුළුවන් වන්නේ නැහැ. 

බබා නෝනා වැනි චරිතයකට ඔබ ප්‍රවිෂ්ට වන්නේ ?

අපේ ගෙදර අපි පොඩි කාලේ ආව රෙදි නැන්දා. එයා ගෙදර පඩි පෙළේමයි වාඩි වෙන්නේ. මම ඔය චිත්‍රපටයේ රෙදි පොට්ටනිය ඔළුවේ තියාගෙන යනවා වගේමයි යන්නේ. බාහිර පෙනුමත් ඒ වගේ. චරිතයකට ඇබ්බැහි වෙනකොට අත්දැකීම් තිබීම වැදගත් වනවා කියන්නේ ඒ නිසයි. 

මම තව දෙයක් කියන්නම් විශ්වාස කරනවා නම්... මේ අම්මගේ චරිතයේ එන හැඟීමට මම ප්‍රවිෂ්ට වුණේ අපේ අම්මාගෙන්. අපේ අම්මා දැන් ජීවතුන් අතර නැහැ. විසාකේස දැනගෙන හිටියෙත් නැහැ මෑතක් වනතුරුම අපේ අම්මා මේ බබා නෝනාගේ අත්දැකීමට මුහුණ දුන්නා කියලා. ඇත්තටම මගේම සහෝදරයකු 1971 චෙගුවේරා කාලේමේ විදිහටම ඇදගෙන ගියා. අපේ අම්මත් අඬ අඬා එයාව හැමතැනම හෙවුවා. අපට අම්මාට දැනෙන හැඟීම නැහැ. ඒත් මල්ලි නිසා හිතට ඒ දේ දැනෙනවා. කොහොම හරි අන්තිමට අපේ සහෝදරයා නම් බේරිලා ආවා. ඒ කාලය තුළ අම්මා කොයි තරම් හිරගෙදර ගියාද? බබා නෝනාටත් වුණේ ඒ දේමයි. හැබැයි මම කිසි කෙනකුට කීවෙ නැති වුණත් මේ සිදුවීම ගැන විසාකේස දක්ෂ වුණා ස්ටෝරි බෝඩ් එකක් ඇසුරෙන් මේ චරිතය මගේ සිතට කාවද්දන්න. මට අම්මාගේ ආශීර්වාදයත් තියෙන්න ඇති මේ චරිතය කරද්දි. 

මට මතකයි පීනන්න බැරි කතාවකුත්?

(සිනාසෙමින් කියයි) නංගි මගෙන් ඇහුවානේ චරිතෙකට ප්‍රවිෂ්ට වීම ගැන. ඒ සඳහා තිබිය යුතුයි කැප වීම. තමන්ට අවශ්‍ය දේ ඉගෙන ගන්න මහන්සි වෙන්න ඕනේ, හොයන්න ඕනේ. මම තදින්ම ඒ දේ කරන කෙනෙක්. දුහුළු මලක් කරන කාලේ අපට ඒ තරම් දැනුමක් තිබුණේ නැහැ. අනෙක ඒක ලෝකේ බොහෝ තැන්වල එදත් අදත් හෙටත් සිදුවන පොදු දෙයක්නේ. චරිතයත් තරමක් දඟකාරයි වගේනේ පේන්නේ. හැබැයි හැඟීම් ප්‍රකාශනයේ වෙනස්කම් තිබෙන්න ඕනේ. ඒත් මේ බාබා නෝනා චරිතේ බාර අරගෙනත් මාස හයකට පස්සේ මම කීවා 'අනේ මට දුකයි, මට පීනන්න බැහැ. ඒ නිසා පීනන්න පුළුවන් කවුරුහරි කෙනෙක් මේකට ගන්න කියලා' ඒ පාර මගේ පිහිණුම් උපදේශක උඩුබෙලි අතට පිහිනන්න මට පුහුණු කළා. ඒ නිසා තමයි අර ආයුධයත් බඩේ බැඳගෙන උඩු අතට පීනන දර්ශනයක් තිබෙන්නේ. මහා විශාල ජල කඳක් නංගි ඒ වැවේ. මම ඒ වෙලාවේ වතුරට බැස්සේ මොනවා වුණත් කමක් නැහැ කියන හිතිවිල්ලෙන්. ඒ වෙලාවෙ බය තිබුණේ නැහැ. දර්ශනය ලස්සනට එන්න ඕනේ කියන දෙයයි හිතේ තිබුණේ. හැබැයි පස්සේ බය වැඩියෙන් දැනුණා.

දුහුළු මලක් වෙනුවෙන් ලැබුණු ප්‍රතිචාර මතකද?

අපොයි ඔවු. මට බොහෝ විචාරකයන් කීවේ නූලක යනවා වගේ පරෙස්සමින් නිරූපණය කරලා තිබෙනවා කියලයි.  

කලක් ඉවත් වී සිට යළි සිනමාවට අවතීර්ණ වෙද්දි එවැනි චරිතයකින් පැමිණීමට බය හිතුණෙ නැද්ද?

නෑ, මට කොයි වෙලාවකවත් කිසිම චරිතයක් පිළිබඳ එහෙම හිතෙන්නේ නැහැ. හැබැයි මම චිත්‍රපටය ප්‍රදර්ශනය වෙද්දි විදේශගත වෙලා නිසා ශාලාවලට යන්න බැරි වුණා. ඒත් මට විජය ධර්ම ශ්‍රී කීවා දුහුළු මලක් බලන්න ආව සමහර ජෝඩුවල පිරිමි ශාලාව තුළදිම රණ්ඩු වගේ කළාලු 'තොපි අපි නැති වෙලාවට කරන දේවල් පේනවා නේද?' කියලා. හොඳ වෙලාවට මම ලංකාවේ නොහිටි නිසා ගුටිබැට නොකා  බේරුණා. (සිනාසෙයි) 

පවුරු වළලුවල වයලට් සුලභ චරිතයක් නෙවෙයි?

මට කතෝලික පරිසරයක් තිබුණ නිසා තමයි පාපොච්චාරණය කරන අවස්ථාව වැනි දේ හරියට නිරූපණය කරන්න පුළුවන් වුණේ. සිංගප්පූරු අන්තර්ජාතික සිනමා උලෙළේ ඒ කොටස තමයි නිර්දේශිත නම් කියද්දි ප්‍රදර්ශනයට  සැලැස්වූයේ. ඒ අයගේ සිත්ගත් කොටස වෙන්න ඇති එය. ඒ චරිතය හොයාගන්න මට ප්‍රසන්න බොහොම උදවු කළා. ඔහු කීවා මට වයලට්ගේ චරිතයට අවශ්‍ය කැනඩාවේ ඉඳන් හොඳට කාලා බීලා සැපට හැදුණු නීටා නෙවෙයි, දරුවන් නිසා මහන්සි වන හැබැයි ස්වාමියා අතහැරුණු කාන්තාවක් කියලා. ඒ නිසා මම කෑම බීම පාලනය කරලා ඇට පෑදුණු පෙනුම ගත්තා. වේශ නිරූපණයක් කියලා පවුඩර් දාලා මූණ පිළිවෙළ කළේ නැහැ මේකප් නැති මූණේ දුඹුරු පාට පැන්සලෙන් ඉරි කීපයක් ඇඳලා තවත් දුක් විඳපු පෙනුමක් තමයි ගත්තේ. මම වැඩ කළ සෑම අධ්‍යක්ෂවරයෙක් සමඟම හොඳට අදහස් හුවමාරු කරගැනීම මෙතනදි වාසියට හිටියා. ඇත්ත, වයලට්ගේ චරිතය සුලභ අත්දැකීමක් නෙවෙයි. ඒ නිසා ප්‍රසන්න (විතානගේ) ගෙන් මට එයා හිතන විදිහ ගැන අවබෝධයක් ලබා ගෙන ඉතිරි කොටස මගේ පරිකල්පනීය ශක්තිය යොදවා තේරුම් ගෙන තමයි චරිතය ඉදිරියට ගෙන යන්න වුණේ. එතැනදි මම මගේ අදහස් කියන්නත් බය වෙන්නේ නැහැ.

පාංශු ගැනත් ප්‍රතිචාර දැන් ලැබෙමින් පවතිනවා ඇති?

හුඟක් දෙනෙක් හදවතින්ම කීව දේ මම මේ කියන්නේ. නැතුව මගේ ලොකු කමක් නම් නෙවෙයි. නීටා ඇරෙන්න මේ චරිතය කරන්න කෙනෙක් නැහැ කියලා බොහෝ දෙනෙක් මට කීවා. ඒක මට ලොකු ප්‍රශංසාවක්. ගෞරවයක්. ඒ ගැන මට හරි සතුටුයි. මම විසාකේසට ස්තුතිවන්ත වෙනවා මේ වගේ විරල චරිතයකට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන්.

මේ වතාවෙත් බලු පැටියෙක් හමුවුණා නේද?

අනේ ඔව්. මගේ ඒ පුරුද්ද හරි ප්‍රසිද්ධයිනේ. කොච්චර ද කීවොත් එක පත්තරයක ගියා 'ෂූටින් ගිය නීටත් එක්ක ගෙදර එන ඈයෝ' කියලා. එක වතාවක් වසන්ති (චතුරාණි) එක්ක අපි සුදු නෝනා කියලා නමකුත් දාලා නහය මුක්කම් බලු පැටියෙක් අරගෙන ආවා. අනුරාධපුරේ පාංශු රූපගත කරද්දිත් ඒ චිත්‍රපටයේ ඉන්න බලු පැටියා මා එක්ක හොඳටම යාළු වුණා. ඒත් කට්ටිය කතා වුණාලු නීටක්කා මේ බලුපැටියාවත් ගෙදර ගෙනෙයි වගේ කියලා. ඇත්තෙන්ම විසාකේස විශ්වාසෙන් හිටියලු එයාට අසරණ බලු පැටියෙක් ලැබෙයි කියලා බබානෝනගේ තනිවුණු චරිතයට වගේම සත්ත්ව කරුණාව දක්වන්න තමන් කන බනිස් කෑලි මේ බලුපැටියට දෙනබව පෙන්වන්න අවශ්‍ය දර්ශනවලට. ඇත්තෙන්ම පුතා නැතිව දරු කැක්කුමෙන් පාළුවේ ඉන්න මවකට ඒ වගේ හිතවත්කමක් වැදගත්. එයාව මල්ලක දාගෙන බස් එකේ ගෙනියනවා පෙන්වන්නේ ඒකනේ... මට ඉක්මනින්ම සත්තු හීලෑ වෙන හින්දා කරදරයක් නැතුව එයාව මල්ලේ දාගෙන අරගෙන යන්න පුළුවන් වුණා. හැබැයි අර මිරිස් වේලන දර්ශනයේදි නම් මට මෙයාව හුරතල් කරන්න ගිහින් මෝටර් සයිකලය එන බව අමතක වුණා. විසාකේස හිනාවෙවී කියනවා 'නීටා කැමරාව වැඩකරනවා පටිගත වෙනවා' කියලා. ඒ නිසා ටේක් ටූ එකකට යන්නත් වුණා. කොහොම හරි ඒ පැටික්කිටත් නෝනි කියලා නම දාලා ගෙදර එක්කන් ආවා.

ආපසු සිනමාවට හැරෙමු...ඔබ වඩාත් විශ්වාසය තබන්නේ ජනප්‍රිය සිනමාව ගැනද කලාත්මක සිනමාව ගැනද?

සිනමාව කීවාම මට ඒ දෙකම එකයි. අපි ජනප්‍රිය සිනමාවෙන් ප්‍රේක්ෂකයන්ගේ සිතට සතුටක් ගෙන දීලා හදවත්වල තැන්පත් වුණා. ඊට පස්සේ ප්‍රේක්ෂකයන් චිත්‍රපට නරඹන්නේ ඒ ශිල්පියා නිසා. එවිට ඔවුන් කෘතිය කලාත්මක වර්ගයේද, ජනප්‍රිය ප්‍රවර්ගයේද කියලා හොයන්නේ නැහැ. පෞද්ගලිකව මම ඕනෑම කෙනකුගේ කලා නිර්මාණයකට ගරු කරනවා. මොකද එයට දායක වූ පිරිසගේ ඩාදිය මහන්සිය පිරිවැය එහි තිබෙන නිසා.

චෝදනාවක් තිබෙනවා සමහරු චිත්‍රපට හදන්නේ පිටරට උලෙළ සහ සම්මාන බලාගෙනමයි කියලා?

එහෙම කරන්න පුළුවන් සල්ලි හොඳට තියෙනවා නම්. පාංශු වුණත් හැදුවේ පිටරට සම්මාන බලාගෙන නෙවෙයි. ලංකාවේ එක්තරා යුගයක සිදුවුණු කතාවක් වර්තමාන පරපුරට දායාද කිරීමට. විසාකේස කියන්නේ ඔහුට නොවෙයි මේ නිර්මාණයට දායක වූ අය ඇගයීමට ලක් වෙනවා නම් තමයි සතුටු කියලා. චිත්‍රපටය හැදුවට පස්සේ තමයි ඔහු හිතුවේ ඇයි මේ රටේ සිදුවුණ සිදුවීම ලෝකයට නොකියන්නේ කියලා. මොකද ක්‍රීඩාව හැරුණු විට සිනමාව තමයි අන්තර්ජාතික වශයෙන් අපේ සංස්කෘතිය හඳුන්වා දෙන්න පුළුවන් මාධ්‍යය වන්නේ.   

වත්මන් නළු නිළි පරපුර සහ සිනමාව ගැන ඔබේ අදහස?

සිනමාව වරින් වර කොහොමත් අභියෝගවලට මුහුණ දුන් ක්ෂේත්‍රයක්. 1980 ගණන්වලත් ප්‍රශ්න ආවා. සහරාන්, කොවිඩ්, බෙදාහැරීමේ ප්‍රශ්න තිබුණා වුණත් මේ සිනමාවේ හුය අත් නොහැර යන ප්‍රවීණ සහ නවක පිරිසක් ඉන්නවා. අලුත් පරපුරෙත් බොහෝ දක්ෂතා තිබෙන පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ ගායන නර්ථන හැකියාවන් ඔප් නංවාගන්න අවස්ථාවත් තිබෙනවා. ඒ වගේම නවීන තාක්ෂණය ඔවුන්ට තිබෙනවා. මේ වෙද්දි සිනමා ක්ෂේත්‍රයේත් නිර්මාණ වැඩි වශයෙන් බිහිවෙමින් පවතිනවා. මම හිතන්නේ සිනමා ක්ෂේත්‍රයේ අයගේ අනාගතය යහපත් වෙයි. හැබැයි තරගකාරීත්වයත් වැඩි වෙයි. ඒකත් එක අතකට හොඳයි. අපි හැම දෙයක් ගැනම සුබවාදීවනේ හිතන්න ඕනේ.