"පවන" තමයි අපට තිබුණු එකම පවන

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග
සැප්තැම්බර් 3, 2020

 

"කලාව ළඟ තමයි ජීවිතය තියෙන්නේ. අනිත් හැමදෙයක්ම මට හිතෙනවා ආටෝපයක් කියලා. මනුස්සයෙක් කලාවත් එක්ක ඉන්නවා නම් එයා කවදාවත් ජීවිතයේ තනිවෙන්නේ නැහැ." ඒ කලාව වනාහී ඔහුගේ සිතැඟිය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකි. ශූර විශ්වවිද්‍යාල පරිපාලකවරයෙකි. ඉතා දක්ෂ ශාස්ත්‍රඥයෙකි. කීර්තිමත් ව්‍යාපාරික උපදේශකවරයෙකි. දෙස් විදෙස් සම්මානිත මහාචාර්යවරයෙකි. ඒ සියල්ලටමත් වඩා ඔහු කලාවට හිතැති කලා රසවින්දකයෙකි. හෙතෙම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග වේ. අප ඔහුගෙන් විමසුවේ ඔහුගේ කලා භාවිතය පිළිබඳවය. කලාවට ඔහුට ඇති ළබැඳීයාව ගැනය.

මේ කතාව පටන් ගන්න හොඳම තැන තමයි ඔබේ ගම හා සබැඳුණු කලාව.

මගේ ගම බත්තරමුල්ල. ඒ කියන්නේ කොළඹ. ඒ නිසා මට දුරබැහැරයි කියන්න තරම් ගමක් නැහැ. බත්තරමුල්ල කියන්නේ අගනගරේ කොටසක් වුණාට ඒ කාලේ හරිම ලස්සන ගමක්. මම හෝඩිය පන්තියට ගියේ 1970දී. 60 දශකයේ අගභාගයේ මතකය තමයි මට තියෙන්නේ. පන්සල තමයි ගමේ හැමදෙයටම මූලික වෙන්නේ. ගමේ ශ්‍රවණාගාරය පන්සලම තමයි. බත්තරමුල්ලේ පූර්වාරාමය තමයි අපේ පන්සල. අපි පන්සලත් එක්ක ගමේ නාට්‍ය පෙන්වනවා. ඒ නාට්‍යවල අපිත් චරිත තමයි. (සිනාසී) ඒවා මොනාද කියලා මට කියන්න මතක නැහැ. නාට්‍ය පිටපත ලියන්නේ, අධ්‍යක්ෂණය කරන්නේ සහ රඟපාන්නේ අපි. ඒක හරිම සුන්දර අත්දැකීමක්.

කලාවට ඔබේ පවුලෙන් තිබුණු නැඹුරුව කොහොමද?

මම ඉපදෙන්නේ 1964දී. ඒ කාලේ ටෙලිවිෂන් නැහැ. අපේ ගෙදර තිබුණා ලොකු රේඩියෝ එකක්. අපේ ජීවිතවල ලොකු වටිනාකමක් තිබුණා උදේ වරුවේ විකාශය වුණු දේශාභිමානී ගීතවලට. අපේ අම්මාට හොඳට සින්දු කියන්න පුළුවන් කියලා මතකයි. එයා ප්‍රියදර්ශනී අත්තනායක.

පාසලේදී සෞන්දර්ය කියලා විෂයක් හැදෑරුවාද?

මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය. මම පාසලේදි චිත්‍ර කලාව කියලා එකක් හැදෑරුවා.

ආනන්ද විද්‍යාලය කියන්නේ කලා කටයුතු සපිරි පාසලක්. පාසලේ කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?

මම පාසලේ පෙරදිග තූර්යවාදන කණ්ඩායමේ හිටියා. මම වාදනය කළේ තම්මැට්ටම සහ දවුල. ඒ කාලේ ආනන්ද විද්‍යාලයේ සෞන්දර්ය විෂය භාර ගුරුවරයා වුණේ ලයනල් රන්වල මහත්මයා. එතුමා සමඟ කලා කටයුතු රැසකට අපි සම්බන්ධ වුණා.

ලයනල් රන්වලයන්ගේ ඇසුර ගැනත් අපි කතා කරමු?

එතුමා ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක්. එතුමා ඇත්තටම ගුරුවරයෙක්ටත් වඩා අපිට තාත්තා කෙනෙක් වගේ. ඔහු අපේ වයසට ඇවිත් තරුණයෙක් වගේ හිතලා මතලා කටයුතු කෙනෙක්. එතුමාගේ ඇසුර ඒ කාලේ අපිට හරි වටිනවා. අපිට ඒ කාලේ පීරියඩ් එකක් කට් කරනවා කියන එක හරි ලොකු දෙයක්. අපි පීරියඩ් එකක් කට් කරලා යන්නේ සංගීත කාමරයට රන්වල සර් හොයාගෙන. ඒ වගේ ඇසුරක් තිබුණු නිසා තරුණ කාලේ තරුණයෝ හසු වන විවිධ නරක දේවල් අපෙන් මඟහැරුණා කියලා මම හිතනවා. ලයනල් රන්වල මහත්තයාගේ වේදිකා නාට්‍ය හැම එකකම වගේ මම රඟපාලා තියෙනවා. අපි සමස්ත ලංකා ජයග්‍රහණය පවා ලබලා තියෙනවා.

මරදාන කියන්නේ ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ තිඹිරිගෙය. ආනන්දේ ඉන්න කාලේ ඉස්කෝලේ යාළුවෝ එක්ක වේදිකා නාට්‍ය බලන්න ගිහින් ඇති.

ඔව්. "හුණුවටයේ කතාව" තමයි එහෙම බලපු නාට්‍යවලින් මට හොඳට මතක. බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය පිළිබඳව මට ලොකු උනන්දුවක් තිබුණා. නාට්‍ය පිටපත් තියෙන පොත් කියවලා තියෙනවා. හුණුවටයේ කතාව බැලුවාට පස්සේ වේදිකා නාට්‍ය බලන්න ආශාවක් ඇති වුණා. ඊටපස්සේ වේදිකාගත කරපු නාට්‍ය බොහෝමයක් ආනන්දේ ඉද්දි මම බලලා තියෙනවා. හුණුවටයේ කතාවේ දෙබස් පවා මට මතකයි. ඒකේ "අසඩක්"ගේ චරිතය අපේ හෙන්‍රි ජයසේන මහත්මයා ඉතා මැනවින් නිරූපණය කළා. ඔහුගේ මුහුණේ හැඟීම් නිරූපණය පවා මට හොඳට මතකයි.

මුලින්ම හෝල් එකක චිත්‍රපටියක් බලපු දවස මතකයිද?

දවස නම් මතක නැහැ. බලපු චිත්‍රපටිය තමයි "බ්‍රහ්මචාරී". නන්දා - කොස්වත්ත කියන හෝල් එකේ බැලුවේ. එතකොට මට වයස අවුරුදු පහයි. ගෙදර අම්මලා එක්ක ගිහින් බැලුවේ.

ඉස්කෝලේ කට් කරලා යාළුවෝ එක්ක චිත්‍රපටි බැලුවේ නැද්ද?

එම්පයර් ශාලාව කියන්නේ අපි නිතරම යනෙන තැනක්. ඒකට ආවේ හින්දි චිත්‍රපටි විතරයි. මම උසස් පෙළ කරන කාලේ අනිවාර්යයෙන් සතියකට දෙතුන් වතාවක් ඉස්කෝලේ කට් කරලා චිත්‍රපටියක් බලනවාම තමයි. (සිනාසෙමින්) "අභිමාන්" ඉඳලා "ගීත්" මේ ඔක්කොම බැලුවා මම. අපි අනිවාර්යයෙන් 10ට ඉස්කෝලෙන් පැනලා 10.30 ෂෝ එක බලනවාම තමයි. අපිට අදාළ නැහැ චිත්‍රපටිය කීවෙනි සැරේද බලන්නේ කියලා. අපිට ඕනේ ඒ සිනමා අත්දැකීම.

එහෙම ගිහින් සිංහල චිත්‍රපටි බැලුවේ නැද්ද?

බොරැල්ලේ ලිඩෝ හෝල් එකේ පෙන්නපු හැම චිත්‍රපටියක්ම වගේ බැලුවා. "කල්‍යාණි ගංගා", "වැලිකතර" මෙකී නොකී හැම චිත්‍රපටියක්ම වගේ මම බැලුවා.

දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි තියෙනවාද?

අපි චිත්‍රපටියක් බලන්න යනකොට චිත්‍රපටිය මොකක්ද කියලා අදාළ නැහැ. අපි යන්නේ චිත්‍රපටිය බලන්න.

පෙම්වතියොත් එක්ක චිත්‍රපටි බලලා නැද්ද?

පෙම්වතියොත් එක්ක චිත්‍රපටි බලලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාල කාලයේදී. පෙම්වතියත් එක්ක චිත්‍රපටි කීපයක් බැලුවා මතකයි.

විශ්වවිද්‍යාලයේ කලා කටයුතුවලට සම්බන්ධ වුණේ නැද්ද?

අපේ කාලේ තමයි 89 භීෂණ සමය. මම විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ. අපි එතකොට හතර වැනි අවුරුද්දේ. පාසලේදී කලාවට තිබුණු නැඹුරුව සහ ගමේ පන්සලේදී කලාවට තිබුණු නැඹුරුව අවංකවම ඒ කාලේ තිබුණේ නැහැ. නමුත් මට මතකයි සනත් නන්දසිරි මහත්තයා නිතරම විශ්වවිද්‍යාලයට එනවා යනවා. ප්‍රණීත් අබේසුන්දර අපේ ජ්‍යෙෂ්ඨයෙක්. ඔහු ගොඩක් සනත් නන්දසිරි මහත්තයාට සින්දු ලියලා තිබුණා. ඒ නිසා සනත් නන්දසිරි මහත්තයා විශ්වවිද්‍යාලයේ කලා උලෙළවල ගීත ගායනා කළා. අමරදේව මාස්ටර් එනවා මට මතකයි.

වෘත්තිය ජීවිතය තුළ සමීපව ඇසුරු කරපු කලාකරුවන් කවුද?

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තමයි. එතුමා කලා සාගරයක්. අපි අසූ ගණන්වල භීෂණයට යට වුණාම අපේ විශ්වවිද්‍යාලයේ හැම තැනම ලවුඩ්ස්පීකර් ගැටගහලා අපිට අහන්න සැලැස්සුවේ සුනිල් ආරියරත්නයන් රචනා කරපු නන්දා මාලනිය ගයපු "පවන" ප්‍රසංගයේ ගීත. අපි රෑ එළි වෙනකං ඇහුවේ ඒ ගීත. පවන තමයි තරුණ අපිට තිබුණු එකම පවන. පසුකාලීනව ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරද්දි මහාචාර්යතුමා ගුරුවරයෙක් වගේම මට හොඳ යාළුවෙකුත් වුණා.

ඔබ අනුකරණය කළ චිත්‍රපටි නළුවෙක් ඉන්නවාද?

මම අඩි 6කටත් වඩා උස කෙනෙක්. මම පාසලේදීත් ක්‍රීඩකයෙක් ලෙස යම් පෞරුෂයක් හදාගත්ත කෙනෙක්. මම බැලුවා එක ඉංග්‍රීසි චිත්‍රපටියක්. මට එහි නම මතක නැහැ. ඒ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වුණේ ගුවන් නියමුවෙක්. මට ඒ නළුවා මතකත් නැහැ. ඒ නළුවාත් මම වගේම උසයි. ඔහු සපත්තු පොලිෂ් කරලා, කළු කලිසම සහ සුදු කමිසය අඳීන්නේ. ඒ පෞරුෂයට මම නොසෑහෙන්න ඇළුම් කළා. මම අදටත් රාජ්‍ය සේවකයෙක් විදිහට අඳීන්නේ අර නළුවා වගේ.

කැමතිම චිත්‍රපටි නළුවා කවුද?

මම ගාමිණී ෆොන්සේකාට කැමතියි. ඔහුට හොඳ පෞරුෂයක් තිබුණා. ඒ පෞරුෂයටම ගැළපෙන හොඳ කටහඬක් තිබුණා. බටහිර සිනමා පෞරුෂවලට නොදෙවෙනි චරිතයක් ඔහු.

විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?

ඇත්තටම විවාහ කරගන්න හිත ඇදිලා ගිය නිළිය මට මතක විදිහට සිනමාවේ හිටපු එකම උපාධිධාරිනිය. ඊට අමතරව මම කැමතියි ස්වර්ණා මල්ලවාරච්චිට, අනෝජා වීරසිංහට. ඒ අය රඟපාන එක නතර කළාම අපිට චිත්‍රපටි බලන්න එපා වුණා.

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

එක චිත්‍රපටියකට කැමතියි කියලා කියන්න අමාරුයි. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සියලුම චිත්‍රපටිවලට මම කැමතියි. අදටත් මම ඒවා බලනවා. ඒ වගේම "විරාගය" චිත්‍රපටියට මම කැමතියි. මහාචාර්ය සුනිල් ආරියරත්නගේ චිත්‍රපටිවලටත් මම කැමතියි. මම ඒවා පුදුමාකාර ආසාවකින් බලපු චිත්‍රපටි. මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහට සේවය කරද්දි මම ඒවා පෙන්නුවා විශ්වවිද්‍යාලයේ ළමයින්ට. අපේ කාලේ විඳපු ඔවුන්ගේ කාලේ විඳීන්න නැති ඒ සිනමා රසාස්වාදය දරුවන්ට ලබාදෙන්න මම උත්සාහ කළා.

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

අන්තිමටම බැලුවේ "The Newspaper".

ජපානයේ ජීවත් වන කාලේ ජපන් කලාව කොහොමද ඔබේ ජීවිතයට බලපෑවේ?

ජපානය කියන්නේ වෙනම කලා ලෝකයක්නේ. ජපානයේ කියන්නේ කලාවට නොබෙල් ත්‍යාගය බලපු විද්වතුන් ඉන්න රටක්. ලෝක ප්‍රසිද්ධ චිත්‍රපටි සහ කලා කෘතීන් ගණනාවක් මම ජපානයේදී බලලා තියෙනවා. මම ඒ රටට ආවේණික වුණු කලාවට හරිම කැමතියි.

සංගීතයත් එක්ක ඔබට තියෙන ගනුදෙනුව කොහොම එකක්ද?

කලාවෙන් මම විඳවන්න කැමති නැහැ. මට ඕනේ හොඳ රසවිනඳනයක්. මම විවේකීව ඉන්න හැම වෙලාවකම වගේ ගීත අහන කෙනෙක්. හැබැයි මම අහන්නේ විඳීන්න පුළුවන් ගීත.

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

චිත්‍රපටිවල නම් ඉතින් අනිවාර්යයෙන්ම එච්.ආර්. ජෝතිපාල තමයි. ඊට අමතරව මම ගොඩක් අහන්න කැමති ක්ලැරන්ස් විජේවර්ධනගේ ගීත. ඔහුගේ හීත සැනසිල්ලේ රසවිඳීන්න පුළුවන්.

නිවිසැනසිල්ලේ ඉද්දි නිතර මුමුණන ගීතය මොකක්ද?

ඒත් ක්ලැරන්ස්ගේ ගීත තමයි. ඔහුගේ "ගමෙන් ලියුමක් ඇවිල්ලා" ගීතයට මම කැමතියි.

සම්පත් අමරතුංග කලාව කියන දේ දකින්නේ කොහොමද?

කලාව ළඟ තමයි ජීවිතය තියෙන්නේ. අනිත් හැමදෙයක්ම මට හිතෙනවා ආටෝපයක් කියලා. සුන්දරත්වය, ආදරය, විරහව, සතුට, කලකිරීම, වීරත්වය මේ සියල්ලම අපේ ජීවිතවලට ළං කරන්නේ කලාව. කලාව නැතුව කෙනෙක්ට ජීවත් වෙන්න අමාරුයි. කලාව තමයි අපිට ජීවත් වීමේ කලාව කියලා දෙන්නේ. මනුස්සයෙක් කලාවත් එක්ක ඉන්නවා නම් එයා කවදාවත් ජීවිතයේ තනිවෙන්නේ නැහැ.

මහාචාර්යවරයකුගේ චරිත කතාවක් සිනමාවට නඟන්න ඇරයුමක් ලැබුණොත් ඔබ තෝරාගන්නේ කාගේ චරිතයද?

මහාචාර්යවරයකු නම් ඉතින් අනිවාර්යයෙන්ම සුනිල් ආරියරත්නයන්ගේ චරිතය තමයි මම තෝරගන්නේ. ඒක රසවත් සිනමා අත්දැකීමක් වේවි.

චිත්‍රපටියක රඟපාන්න ආරාධනාවක් ආවොත් ඒක භාරගන්නවාද?

එහෙම ආරාධනාවක් ආවොත් ඒ ආරාධනාව ගැන මම සලකා බලනවා. මම කැමති නැහැ ප්‍රතික්ෂේප කරන්න.

විශ්‍රාම ගිය කාලයක චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න ඇරයුමක් ආවොත් මොකද කරන්නේ?

කවදාවත් නිෂ්පාදනය කරන්න භාරගන්නේ නැහැ. මහාචාර්යවරයකුට ඒක කරන්න බැහැ. නමුත් කලාවට උදවු කරන්න අවස්ථාවක් ආවොත් මම පසුබට වෙන්නේ නැහැ.

 

විමල් කරුණාතිලක