මේ තමයි සූර පප්පා

ගුවන්විදුලි ජීවිතයේ අඩ සියවස සමරන හිලේරියන් පෙරේරා
සැප්තැම්බර් 3, 2020

 

 

ටිං ටිං එකේ තොම්සන් හා තොම්සන්. ඒකෙම ප්‍රොෆෙසර් කැල්ක්‍යුලස්, දඟයා එකේ දඟයගේ තාත්තා, යකාරි හිමිං ගමන් වගේ කියන්න පුළුවන්. මට ඔය අතරින් ටිං ටිං එකේ චරිත විශේෂයි. ඒකේ චරිත තුනක්නේ. කැල්ක්‍යුලස්ට හඬ කැව්වේ මගේම ශිල්ප ක්‍රම භාවිත කරලා.

 

සාමාන්‍යයෙන් මුනුපුරු මිනිබිරියෝ තමන්ගේ පියාගේ පියා හෝ මවගේ පියාට අමතන්නේ සීයා කියලා. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට තරමක් වෙනස් වුවත් සීයා නාමය තමයි ප්‍රසිද්ධ.

නමුත් හිලේරියන් පෙරේරා නැමති පැරැණි කලාකරුවාගේ මුනුපුරු මිනිබිරියෝ ඔහුට කතා කරන්නේ සූර පප්පා කියලා. ඒකට හේතුව ඔහු සූර පප්පා වීම. ඔබ මා බෙහෙවින් ප්‍රිය කළ සූර පප්පා කතා මාලාවේ හිලේරියන් තමයි සූර පප්පාට හඬ මුසු කළේ. ලොව කොතරම් සූර පප්පා සබැඳී නිර්මාණ බිහිවුවත් අපේ සූර පප්පා තරම් රසවත්ව හඬ කවා නැති බව තමයි බහුතරයකගේ මතය. එතරම්ම හඬ මනාව එහි ගළපා තිබුණා. හිලේරියන් වසර ගණනාවක් හඬ කැවීමේ නියැළුණත් සූර පප්පා නිසා ඔහු ඉහළ ජනප්‍රියත්වයක් ලැබුවා.

මේ වනවිට ඔහු කලාලොවට ඇවිත් දැන් අඩ සියවසකටත් වඩා වැඩියි. දිගු කලකට පසු හිලේරියන් එක්ක කළ මේ කතාවට මූලික වූයෙත් එයයි.

 

 

ඔබ කලාවට එන්නේ කොහොමද? ඒ රසවත් අතීතය මතක් කළොත්?

එක්දාස් නවසිය හැට හතරේ වගේ. එතකොට මම පාසල් යනවා. මියුසික් එහෙමත් ඉගෙන ගත්තා. මගේ ගම පානදුරේනෙ. මේ පැත්තෙ කෙනෙක් මම ඔය කලා වැඩවලට සම්බන්ධයි කියලා දැනගෙන ගෙදරටම ඇවිත් බවදුක කියලා නාට්‍යයකට කතා කළා. ඒක ප්‍රාදේශීයව පෙන්නපු එකක්. ඒකෙන් පස්සේ දිගින් දිගටම ප්‍රාදේශීයව පෙන්නපු නිර්මාණ ගණනාවකටම එකතු වුණා.

කලාවට ඇති ළැදිකම නිසාම ගාමිණී හත්තෙට්ටුවේගම සහ හේමසිරි ලියනගේ කරපු නාට්‍ය පාඨමාලාවට එකතු වුණා. ඔය අතර ගාමිණී සර් මට ලියුමක් දෙනවා.

 

කාට දෙන්න කියලද?

එතකොට අපේ කෝස් එක ඉවරයි. සර් ලියුම පරාක්‍රම නිරිඇල්ලට දෙන්න කිව්වා. එතකොට ඔහු සෙක්කුව නාට්‍යය පටන්ගෙන තිබුණේ. කොළඹ තර්ස්ටන් එකේ තමයි රිහසල්. මම එතැනට ගිහින් ලියුම දුන්නා. මගෙන් ඇහැව්වා සින්දු කියන්න පුළුවන්ද කියලා. මම ඔව් කිව්වා. එදා ඉඳලා මම සෙක්කුව නාට්‍ය කණඩායමත් එක්ක කෝරස් ගායකයකු හැටියට රට වටා ගියා.

 

ඔබේ ගුවන්විදුලි ජීවිතයටත් අඩ සියවසක් නේද?

ඔව්. හැට නවයේ හැත්තෑවේ වගේ තමයි මම ගුවන්විදුලියට එන්නේ.

 

ඒ කාලේ ලෙහෙසි නැහැ නේද ගුවන් විදුලියට සම්බන්ධ වන්නට?

මට ලොකු ආසාවක් තිබ්බ ගුවන්විදුලියට එකතු වෙන්න. ඒත් කෝ සම්බන්ධකම්. මම නිතරම රේඩියෝව ඇහැව්වා. ඔන්න එක දවසක් මට ඇහෙනවා ගුවන්විදුලියට හඬ නළුවන් ගන්නවා කියලා. මම අයැදුම්පතක් දැම්මා. දැන් වගේ ටෙලිෆෝන් නැහැනේ. ලිපියකින් දන්වා තිබුණා එන්න කියලා. ඔහොම තුන්පාරක් ගිහින් පරීක්ෂණ තුනකට ඉඳලා ඉන් සමත් වෙලා තමයි ගුවන්විදුලියට ආවේ. අධ්‍යාපන සේවයේ වැඩ සටහන්වලට හඬ කැව්වා. ඊට පස්සේ ගුවන්විදුලි රඟමඬලට ගියා. ලතාගේ කතාව, මුවන්පැළැස්ස වගේ නාට්‍ය ගණනාවක විවිධ චරිත කළා.

 

ඔබ වෘත්තීය හඬ කැවීමේ ශිල්පියෙක්. හම්බුවෙන මුදල ප්‍රමාණවත් වුණාද ජීවිතය ගෙවන්න?

මට කිසිම රැකියාවක් කරන්න හිත දුන්නේ නැහැ. කලාවෙන්ම ඉස්සරහට යන්න බැලුවේ. ඒ කාලේ ඕවා ගැන එච්චර හිතුවේ නැහැ. නමුත් අද පොඩි පසුතැවීමක් තියෙනවා. මුදල් හම්බ නොකෙරුව එක ගැන. ගුවන්විදුලියෙත් ස්ථීරව සේවය කරන්නත් ලැබුණු චාන්සස් මඟහැරියේ වේදිකා නාට්‍ය වැඩ නිසා. නාට්‍ය කරන්න රට වටේ යන්න වෙනවනේ. රැකියාවට හිර වුණාම ඒ නිදහස නැති වෙනවා.

දැන් මම එන්නේ ඔබව වඩාත් ජනප්‍රිය කළ සූර පප්පා ගාවට.

ගුවන්විදුලියෙන් රූපවාහිනියට ආවට පස්සේ මට චරිත ගණනාවක් ලැබුණා. සිරසේ ශාන්ති නාට්‍ය ඔයාලට මතක ඇති. ඒකෙන් පස්සේ එයාලා කරපු සෑම හඬ කැවීමකටම මට කතා කළා.

සූර පප්පා නිසා මගේ හඬ හුඟක් ජනප්‍රිය වුණා. මම ඔය මඟුල් ගෙවල් මළ ගෙවල්වලට යනවනේ. එතකොට කවුරු හරි කෙනෙක් කිව්වොත් අහවලා ඇවිත් කියලා කට්ටියම මගේ වටා රොක් වෙනවා. මට එතකොට වෙන්නේ සූර පප්පා කොටස් කරලා පෙන්නන. සමහරු ඇවිත් සෙල්ෆි ගහනවා, විස්තර කතා කරනවා. මමත් සතුටින් උත්තර දෙනවා. සූර පප්පා කොච්චර හිතට අල්ලලාද කියලා කිව්වොත් මගේ පුතාගේ ළමයි මට කතා කරන්නේ සූර පප්පේ කියලා. මේ වෙලාවේ මට මතක් වෙනවා අපි නොදන්න ලයිව් එකේ ආකාශ්ව. ඒ චරිතය තුළින් මගේ රූපේ මිනිස්සු අතර ජනප්‍රිය වුණා.

 

ඔබ හඬ කැවූ අනෙකුත් කාටූන් චරිත පෙළ මතක් කළොත්?

ටිං ටිං එකේ තොම්සන් හා තොම්සන්. ඒකෙම ප්‍රොෆෙසර් කැල්ක්‍යුලස්, දඟයා එකේ දඟයගේ තාත්තා, යකාරි හිමිං ගමන් වගේ කියන්න පුළුවන්. මට ඔය අතරින් ටිං ටිං එකේ චරිත විශේෂයි. ඒකේ චරිත තුනක්නේ. කැල්ක්‍යුලස්ට හඬ කැව්වේ මගේම ශිල්ප ක්‍රම භාවිත කරලා.

 

මෙතෙක් කල් ලද දැනුම තව පිරිසකට බෙදලා දෙන්න අදහසක් නැද්ද?

තියෙනවා. මම එහෙම වැඩපිළිවෙළක් පටන් ගත්තා. අවශ්‍ය අයට හඬ කැවීම පිළිබඳ හදාරන්න මගෙත් එක්ක සම්බන්ධ වන්න පුළුවන්.

 

පවුලේ විස්තර කියමු?

මගේ නොනා ශ්‍රියාලතා විතානගේ. ඇයත් නිළියක්. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා. අචින්ත සහ අකලංක. ලේලිය රශ්මිනි සිල්වා.

 

ඔබට අමතන්නේ කොහොමද?

0786199656 හෝ 0715447147 යන අංකවලින් පුළුවන්.