වාසනාවට හැමදේම කලින් හඳුනගත්තා...

සුසන්තා චන්ද්‍රමාලි
සැප්තැම්බර් 3, 2020

 

 

කලක් ඇය පුංචි තිරයේ අහිංසකාවයි. එදා මෙන්ම අදත් ඇගේ සුන්දර වුවනේ මන්දහාසය එලෙසමය. සුසන්තා චන්ද්‍රමාලි යන නම කියූ සැණින් ඔබ නිසැකවම ඇය හඳුනාගනු ඇත. ඉකුත් දිනවලදී සුසන්තා ගත කළේ නිහඬ දිවිපෙවෙතකි. කලා කටයුතුවලින් පවා ඇය මඳක් ඈත්ව සිටියාය. සුසන්තා පිළිබඳ යළිත් කතාබහක් ඇරැඹෙන්නේ පසුගිය සතියේ ඇගේ දියණි තිසුරි යුවනිකා සිය මුහුණුපොතේ ඇතුළත් කළ සේයාරූ කිහිපයක් නිසාය. සුසන්තා අසනීප වෙලාද? බොහෝ දෙනෙකුගේ සිතට නැඟුණු පැනය එයයි.

 

 

සුසන්තාට අප පළමුව නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා..

ස්තුතියි ඔබලාට.

 

කොහොමද දැන්?

වෛද්‍ය ප්‍රතිකාර ලබමින් හොඳීන් ඉන්නවා.

 

ඔබට මොකද වුණේ කියලා දැනගන්න කැමතියි?

නීරෝගීකම තමයි උතුම් සම්පත. ඒකටනේ අපි හැමෝම වෙහෙසෙන්නේ. මට ඒ නිරෝගී සුවය නැති වුණා. කෙලින්ම කිව්වොත් මට පිළිකාවක් වැලඳුනා. ලෝකේ මට ඇහුණු අමිහිරිම ආරංචිය ඒක. ඒත් මගේ වාසනාවට ඒක කල් තියා හඳුනගන්න පුළුවන් වුණා. වෛද්‍යවරු යුහුසුලුව ක්‍රියා කරලා මට ට්‍රීට්මන්ට් කළා. තවමත් ඒවා ඒ විදිහටම කරනවා. මට මේ තත්ත්වෙන් ඉන්න පුළුවන් වුණේ රෝගය කල් තියා හඳුනගත්තු නිසා. මේ වෙලාවේ මම පින් දෙනවා මට නැවත ජීවිතේ දුන්නු වෛද්‍යවරුන්ට.

 

 

 

 

ඔබ අසනීප වෙලා කියලා ඔබේ ඇතැම් සමීපතමයන් පවා දන්නේ නැහැ?

කැන්සර් එකක් කියන්නේ හැමෝම බය අසනීපයක්. ඒ වගේම නීරස මාතෘකාවක්. මට හිතුණා ඒ වගේ දෙයක් ගැන ඇයි මගේ යහළු යෙහෙළියනට කියලා ඔවුන්ව කලබල කරන්නේ කියලා. ඒකයි නිහඬව හිටියේ. ඒත් හැමදාම එහෙම ඉන්නත් බැහැනේ. මගේ බෙහෙත්හේත්වලට වුණත් හැකි පරිදි අපිම වියදම් කරගන්නවා.

 

මේ මොහොතේ ඔබේ නම භාවිත කරමින් අකටයුතුකම් සිදුවෙනවා කියලා ඔබේ මුහුණුපොතේ සඳහන් කරලා තිබුණා?

ඔව්. අවස්ථාවාදීන් කොහෙත් ඉන්නවානේ. මගේ නමින් ව්‍යාජ ගිණුම් කිහිපයක් මේ වනවිටත් හැදිලා. ඒවාවල මගේ විස්තර සේරමත් දාලා. සමහරු මගේ අසනීපය භාවිත කරමින් මුදල් එහෙමත් ඉල්ලලා තියෙනවා කියලත් ආරංචියි. මේ වෙලාවේ මට කියන්න තියෙන්නේ ඒවාට රැවටෙන්න එපා කියලා.