මට වැඩිපුර ලැබෙන්නේ කමර්ෂල්

- නිශාදි ෆර්ගර්සන්
සැප්තැම්බර් 10, 2020

වැඩිපුර ආසා ඩ්‍රාමා කරන්න

සරසවිය නිබඳව අලුත් මුහුණු ඔබට හඳුන්වා දුන්නා. මේ සැරසෙන්නෙත් එවන් වූ අයෙකුගේ තතු විත්ති ඔබ වෙත ගෙන එන්න. ඇය නමින් නිශාදි ෆර්ගර්සන්. මේ වනවිට ඇය වෙළෙඳ දැන්වීම් රැසකින් ඔබ හමුවට ඇවිත් තිබෙනවා. එමෙන්ම රාවණා ටෙලි සිතුවමේද චරිතයක් මැව්වා. එසේ නම් තවත් හඳුනා ගනිමු ඇය.

නිශාදි, ඔබ පුංචිම කාලේ නේද  ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

ඔව්. මට වයස අවුරුදු තුනක් විතර ඇති එතකොට. ස්ටේජ් ඩ්‍රාමා එකක පොඩි කොටසකට හිටියා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් පෙනී හිටියා.

පස්සේ ඔබ ඒ වැඩ කටයුතුවලින් මඳක් ඈත් වෙනවා?

ඉගෙන ගන්න කියලා තමයි ගෙදරින් කිව්වේ. මම ටිකක් ලොකු වුණාමත් ටෙලි ඩ්‍රාමා කිහිපයකින් කතා කළත් යන්න බැරි වුණා. ඉස්කෝලේ කාලේ මොකකටවත් යන්න දුන්නේ නැහැ ගෙදරින්.

නැවතත් ඔබ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ?

ගිය අවුරුද්දේ වෙළෙඳ දැන්වීම් වලට දායක වෙමින් තමයි ආයේ ආවේ.

ඔබ වඩාත් අප දුටුවේ වෙළෙඳ දැන්වීම් වලින්?

ඔව්. කමර්ෂල් නම් ගොඩක් කළා. මාව දැක්කම සමහර අයට මතක් වෙන්නෙම වෙළෙඳ දැන්වීම් තමයි. ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ්ස් වල කමර්ෂල් රැසකට පෙනී හිටියා. තව දැන්වීම් කිහිපයක් එන්නත් තියෙනවා.

ඔබ වඩාත් කැමති වෙළෙඳ දැන්වීම්වල රඟපාන්නද?

එහෙම එකක් නැහැ. ඒත් මට වැඩිපුර කතා කරන්නේ කමර්ෂල්වලට. ආසයි ඩ්‍රාමා කරන්න. නපුරු චරිතයක් කරන්න තමයි වඩාත් කැමැත්ත තියෙන්නේ. එහෙම චරිතයකට ආරාධනා ලැබෙනකම් ඉන්නේ.

ඔබ ටෙලි ඩ්‍රාමා හැටියට රඟපාලා තිබෙන්නේ රාවණා එකේ විතරද?

තවම ඒකේ විතරයි. මට මේ දවස්වල ස්වර්ණවාහිනීයේ යන හොඳ වැඩේ නාට්‍යයෙන් කතා කළා. ලබන සතියෙ එකටත් සම්බන්ධ වෙනවා.

නිශාදිගේ ගෙවල් කොහෙද?

මම කඩුවෙල.

උපන්දිනය?

2000 සැප්තැම්බර් 21.

ඉගෙනගත්තු පාසල?

කොළඹ ලුම්බිණි විදුහල.

අනාගත බලාපොරොත්තු?

හොඳම හොඳ නිළියක් වීම තමයි.

අභියෝගාත්මක චරිතයක් ලැබුණොත් කරනවාද?

පිටපත බලලා ගැළපෙනවා නම් කරනවා.

මේ වනවිට නිශාදි පෙම්වතියක්ද?

අනේ නැහැ.

ඔබ ගැන කෙටියෙන් හැඳීන්නුවහොත්?

සංවේදී කෙනෙක්.