ගායකයා කියන අකුරු හතරට මම හරියට ආදරය කළා

හිරු ස්ටාර් යොවුන් ගායන තරුව උදාර කෞශල්‍ය
සැප්තැම්බර් 10, 2020

හිරු ස්ටාර් තරඟ බිමේදී ඔබ හමුවන මේ යොවුන් ගායන තරුව උදාර කෞශල්‍ය. ඔහු මේ වනවිට හිරු ස්ටාර් තරඟාවලියේ අන්තිම තිස්පස් දෙනා අතරට පැමිණ සිටියි.

උදාර ඔබේ ගම් පළාත කොහෙද?

මම අහුන්ගල්ලේ.

ඉගෙන ගත්තෙ?

බලපිටිය රේවත ජාතික පාසලෙන්.

ගායකයකු වන්නද සිහින මැව්වේ?

අම්මෝ ඔව්. ගායකයා කියන අකුරු හතරට මම හරියට ආදරය කළා. වෙන ක්ෂේත්‍රයක රැකියාවක් කරන්න කොහෙත්ම අපේක්ෂා කළේ නැහැ. සංගීතය තමයි මගේ වෘත්තීය විදිහට තෝර ගන්න හිතාගෙන හිටියේ. ඒ අදහස තියාගෙන බොහෝ තැන්වල රස්තියාදු වුණා. ගීත හදාගෙන ගුවන් විදුලි නාලිකාවක් නාලිකාවක් ගානේ ගියා. ඒත් කවුරුවත් ප්‍රචාරය කළේ නැහැ. සංගීත සංදර්ශනවල සින්දු කියන්න ඉල්ලුවා. එළි වෙනකම් ඉඳලත් අවස්ථා නැතුව හිටපු වෙලාවල් තිබුණා. දැන් ඊට හාත්පසින්ම වෙනස්. පිටරටවල පවා සංචාරය කරන්න ලැබුණා. සංගීත සංදර්ශනවලට නිරන්තරයෙන් ඇරැයුම් ලැබෙනවා. මේ හැමදෙයක්ම ලැබුණේ හිරු ස්ටාර් නිසා.

ඔබ වැඩිපුරම ගයන්නේ වේග රිද්මේ ගීත?

වේග රිද්මේ ගීතවලට මිනිස්සු ආසයි. මට ඒක හොඳටම දැනෙනවා සින්දු කියලා වේදිකාවෙන් බහිද්දි. හෙම්බත් වෙලා ඉන්න ජීවිතයට වේග රිද්මේ ගීතයක් අහපුවාම සැනසීමක් ලැබෙනවානේ. මට වඩාත් ගැළපෙන්නේත් වේග රිද්මේ ගීත. මට හිතෙනවා මගේ තේරීම හරි කියලා.

කොහොමද ලැබෙන ජනප්‍රියත්වය දැනෙන්නේ?

කියලා වැඩක් නැහැ. සමහර වෙලාවට නින්දක් නැහැ. එච්චරට කෝල්ස් එනවා. සතුටුයි ඉතින්. මේක තමයි මම දැකපු හීනේ.

 

නිශ්ශංක විජේරත්න