දැහැටි කියන්නේ මම අත්දැක්ක දේවල්...

රංගනයෙන් ග්‍රන්ථකරණයට පැමිණි කුමුදු නිශාන්ත
සැප්තැම්බර් 10, 2020

සමහරු අහනවා ලියන්න තරම් වෙලාවක් තියෙනවද කියලා. පොතක් ලිවීම මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙවේ. මම වසර හයක් හතක් තිස්සේ මේ දැහැටි ලියන්නේ. වෙලාව මදිකම නෙවෙයි හේතුව. අපි දවසින් දවසට අත්දැකීම් ලබනවා. අද ඉන්න කෙනා නෙවේ තව මාස කිහිපයකින් ඉන්නේ. අපි පරිණත වෙනවා. අද ලියන එක මාස තුනකින් විතර කියවපුවාම හිතෙනවා තව ආලවට්ටම් එක්ක ලියන්න පුළුවන් කියලා. ආයේ ලියනවා. අඩු පාඩු හදනවා. එහෙම දිගු කාලයක් වැය කළා මේ පොතට.

චූටියාගේ වයස අවුරුදු හයක් විතර ඇති. ඔහු ක්‍රමක්‍රමයෙන් වැඩිවියට පත් වෙනවා. චූටියාගේ සිතුවිලි බාහිර ලෝකයත් එක්ක ගැටෙන්න පටන් ගන්නවා. මෙතැනදි ඔහුට දැනෙන කාරණය ඉතාම  මානුෂීයයි. වැඩිහිටියෙකු ලෙස ජීවත් වෙද්දි තමන්ට ඕන විදිහට ජීවිතේ ගෙනියන්න බැහැ. ඊට බාහිර සමාජයෙන් බලපෑම් එනවා. අන්තිමේ චූටියාට දැනෙන්නේ, හිතට එකඟව නෙවෙයි තමන් ජීවිත් වෙන්නෙ කියලා. මේ චූටියා අපූරු චරිතයක්. ඔහු ජීවමාන වන්නේ "දැහැටි" නැමැති යොවුන් නවකතාවේ. එහි රචකයා ග්‍රන්ථකරණයට අලුත්. නමුත් ඔහු රංගන ශිල්පියෙකු විදිහටනම් ඔබට බෙහෙවින් සමීපයි. කුමුදු නිශාන්ත තමයි ඔහුගේ සැබෑ නම. එහෙත් ඔහු සංගීතේ ටෙලි සිතුවමේ මිලින්ද කියා කිව්වොත් ඊට වඩා තවත් හඳුන්වාදීම් අවශ්‍ය වන්නේ නැහැ. කුමුදු සමඟ කළ මේ සංවාදයේ වැඩි බරක් තැබුවේ දැහැටි ග්‍රන්ථය වෙනුවෙන්. ඒ මන්දයත් කුමුදු නිශාන්ත කියන ගත් කතුවරයා මෙතෙක් සැඟවී සිටිය නිසා.

කුමුදු, ඔබ දැහැටි වගේ කතාවක් රැගත් යොවුන් නවකතාවක් ලියන්න පෙලඹෙන්නෙ ඇයි?

මා විශ්වාස කරන පරිදි මනුෂ්‍යයෙකුගේ ජීවිත කාලය කොටස් දෙකකට බෙදෙනවා. එකක් උපතේ සිට අවුරුදු හයක් පමණ ගතවනතුරු ජීවිතය. මේ කාලය හරි නිකැළැල්, අවංකයි, සිනා වෙන්නෙත් හද පත්ළෙන්මයි. කියන්නේ අවංකම අදහස්. බොරුව නැහැ. වංචාව නැහැ. මවාපෑම් නැහැ. තනිකරම නැචුරල් ජීවිතය. එතැනින් පස්සේ අවුරුදු අසූව විතර වෙනකම් මිනිහෙක් ගෙවන්නේ හරි ව්‍යාජ ජීවිතයක්. එක බොරුවක් වහන්න තව බොරු සීයක් විතර කියනවා.

හිතට එකඟව නෙවෙයි වැඩ කරන්නේ. ටිකක් කල් ගත වුණාම දැනෙනවා තමන්ට ඕන අන්දමට නෙවේ බාහිර සමාජෙට ඕන විදිහටයි ජීවත් වෙලා තියෙන්නේ. අපේ බෙල්ලට නොදැනුවත්වම තොන්ඩු වැටිලා. මම මේ දේ ගැන ලොකු ව්පරමකින් හිටියේ. දැහැටි කතාව මතු වෙන්නෙ ඔ‍ය ප්‍රස්තුතය ඔස්සේ. චූටියා ලොකු වෙනවා. ඔහු දකිනවා තමන්ට තිබෙන සීමාමායිම්. ඒවා අතික්‍රමණය කරන්න උත්සහ කරපු තැන චූටියාව දඬුකඳේ ගහනවා. දැහැටි චූටියාගේ කතාවම පමණක් නෙවෙයි. මේක ඇතුළේ සමාජයීය, ආර්ථික ප්‍රශ්න ගණනාවක් මට කතා කරන්න වෙනවා. මේවා මම දැකපු අත්විඳපු දේවල්.

රංගනය අතරතුරදි ග්‍රන්ථකරණයේ යෙදෙනවා කියන්නේ ඒක වෙනමම තෘප්තියක් දැනෙන කාරණයක්?

සහතික ඇත්ත. සමහරු අහනවා ලියන්න තරම් වෙලාවක් තියෙනවද කියලා. පොතක් ලිවීම මේ අද ඊයේ වෙච්ච දෙයක් නෙවේ. මම වසර හයක් හතක් තිස්සේ මේ දැහැටි ලියන්නේ. වෙලාව මදිකම නෙවෙයි හේතුව. අපි දවසින් දවසට අත්දැකීම් ලබනවා. අද ඉන්න කෙනා නෙවේ තව මාස කිහිපයකින් ඉන්නේ. අපි පරිණත වෙනවා. අද ලියන එක මාස තුනකින් විතර කියෝපුවාම හිතෙනවා තව ආලවට්ටම් එක්ක ලියන්න පුළුවන් කියලා. ආයේ ලියනවා. අඩු පාඩු හදනවා. එහෙම දිගු කාලයක් වැය කළා මේ පොතට. මේ වෙලාවේ තව කෙනෙක්ව මතක් කරන්න ඕනේ. ඒ තමා මගේ ප්‍රිය බිරිය. කොච්චර හොඳ කතාවක් හිතට ආවත් ඒක ලියාගන්න තරම් මානසික නිදහසක් නැති වුණොත් වැඩක් නැහැනේ. වාසනාවට මගේ බිරිය මට ලොකු නිදහසක් දුන්නා දැහැටි ලියන්න.

දිගු ටෙලි වෘත්තාන්තයකට මේ කතාව යොදාගැනීමට අදහසක් තියෙනවාද?

මම මේ කතාව ලිව්වේ එහෙම හිතාගෙන නෙවෙයි. නමුත් යළි යළිත් පොත කියවද්දි මට යම් යම් සිද්ධීන්වල රූප රාමු මැවුණා. මට මෙන්ම කවුරු හෝ වෙනත් නිර්මාණකරුවෙක්ට එලෙස මැවුණොත් පොත ඉල්ලාවි. මට ප්‍රශ්නයක් නැහැ.

කවදද, කොහෙද දැහැටි එළිදක්වන්නේ?

මේ මාසේ 16 වැනිදා සවස බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයෙදි දැහැටි එළිදැක්වෙනවා.