නිළියක් විවාහ කරගෙන අමාරුවේ වැටෙන්න අදහසක් තිබුණේ නෑ

පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ
සැප්තැම්බර් 10, 2020

චිත්‍රපටිවල තිබුණු ගතිය වේදිකා නාට්‍යවල නැහැ

ආනන්දේ ඉද්දි චිත්‍රපටි සම්මන්ත්‍රණ කළා

දෙතුන් වතාවක් බැලුවේ ගැහැනු ළමයි

මම චිත්‍රපටි බැලුවේ උමතුවකින් නෙමෙයි, අවබෝධයකින්

කොරෝනා වසංගතයත් සමඟ ඇලළී ගිය පසුගිය වකවානුවේ මාධ්‍ය මගින් ඔබ හමුවට ආ ඔබ ආමන්ත්‍රණය කළ කා අතරත් වැඩිපුරම කතාබහට ලක්වුණු චරිතයකි ඔහු. ඔහු දක්ෂ වෛද්‍යවරයෙකි. විශිෂ්ට සේවයක් කළ රාජ්‍ය නිලධාරිවරයෙකි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඔහු කළ සේවය ප්‍රසංශනීයය. ඔහු පරිසර අමාත්‍යංශයේ වත්මන් ලේකම්වරයාය. ඔහු නමින් වෛද්‍ය අනිල් ජාසිංහ නම් වේ. කලාව ගැන කතාබහකට මෙවර අප එකතු කරගත්තේ ඔහුවය. ඔහු ඔහුගේ කලාව ගැන තතු අප සමඟ පැවසුවේ මෙසේය..

ගම හා සම්බන්ධ කලාවෙන්ම මේ කතාවට අපි මුලපුරමු?

මගේ ගම මාතර කඹුරුපිටිය. ගමේ තොවිල් නම් අනන්තවත් මම දැකලා තියෙනවා. ඒ කාලේ හැම ගෙදරකම වගේ එක එක හේතු මත තොවිල් නටනවා. තොවිල් නටද්දි ගහපු බෙරපද, කියපු මන්තර, නටපු යක්කු තාම මට මතකයි. 

 පාසල් යන කාලේ සෞන්දර්ය කියලා විෂයක් හදාරලා තියෙනවාද?

මම පාසල් තුනකට ගියා. කඹුරුපිටිය විද්‍යාලයට ගියා. ඊටපස්සේ ගාල්ල මහින්ද විද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ විභාගය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට ගියා. මම පොඩිම කාලේ සෞන්දර්ය විෂයක් කියලා චිත්‍ර විෂය හැදෑරුවා. 

මුලින්ම හෝල් එකක චිත්‍රපටියක් බලපු දවස මතකද?

මාතර බ්‍රෝඩ්වේ කියලා සිනමාශාලාවක් තිබුණා. ඒකේ මම මුලින්ම චිත්‍රපටියක් බැලුවා. එතකොට මම ගොඩක් පොඩියි. ඒ චිත්‍රපටියේ නම මට හරියටම මතක නැහැ. චිත්‍රපටිය අතරතුර විවේක කාලයේදී වික්ටර් රත්නාකයගේ ගීතයක් දර්ශනය වෙනවා. මම හිතන්නේ ඒ "පොඩි මල්ලි" චිත්‍රපටිය. 

ආනන්ද විද්‍යාලයට ආවාට පස්සේ චිත්‍රපටි බැලුවේ නැද්ද?

අපොයි. ඕනේ තරම් බලලා තියෙනවා. මම ආනන්දෙට යන්නේ 1975දී. එතකොට එල්ෆින්ස්ටන් කියන්නේ දැන් වගේ රඟහලක් නෙමෙයි. ඒ කාලේ ඒක සිනමාශාලාවක්. තරුණ කාලේ මට වේදිකා නාට්‍ය ගැන ඒ තරම් උනන්දුවක් තිබුණේ නැහැ. ඒ කාලේ මම කැමති චිත්‍රපටිවලට. 

ඒ කියන්නේ ඉස්කෝලෙන් පැනලා ගිහිල්ලත් චිත්‍රපටි බලලා ඇති?

එහෙම ගිහින් ඕනේ තරම් චිත්‍රපටි බලලා ඇති. උදේ 10.30 දර්ශනය බලන්න යන්නේ ඉස්කෝලෙ තාප්පෙන් පැනලා. ගුරුවරුත් ඉතින් ඒ කාලේ දන්නවා අපි යන්නේ කොහෙද මොකටද කියලා. හැබැයි අපි කවදාවත් එහෙම චිත්‍රපටි බලන්න ගිහින් ගුරුවරුන්ට අහුවෙලා නම් නැහැ.

මොනවද එහෙම ගිහින් බලපු චිත්‍රපටි?

ගැහැනු ළමයි, බඹරු ඇවිත්, හුලවාලි, සිකුරුලියා, රත්තරං අම්මා, ආරාධනා වගේ චිත්‍රපටි බැලුවා. ඊට අමතරව හින්දි චිත්‍රපටි, ඉංග්‍රීසි චිත්‍රපටි ඕනේ තරම් බලලා ඇති. එල්ෆින්ස්ටන්, බොරැල්ල ලිඩෝ, රිට්ස් , රීගල්, ගාමිණී, කොම්පඤ්ඤ වීදියේ රියෝ, එම්පයර්, මැජස්ටික් මේ හැම සිනමාශාලාවකම චිත්‍රපටි බලලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඉඳගන්නේ සෙකන්ඩ් ක්ලාස් එකේ. බෝඩිම් වෙලා ඉන්න නිසා අතේ මිටේ ඒ තරම් මුදල් නැහැ.   ටිකට් එක සත හැත්තෑපහයි. ඒ විතරක් නෙමෙයි මම ආනන්දේ ඉද්දි චිත්‍රපටි සම්මන්ත්‍රණ කළා. 

ඒ ගැනත් විස්තර කියමු?

"අනඳ නුවණ සමාජය" කියලා ළමා සමාජයක් ආනන්දේ තිබුණා. මම කාලයක් ඒකේ සභාපති විදිහට වැඩ කළා. ඒකේ මම කරපු ලොකුම වැඩේ තමයි සිනමා සම්මන්ත්‍රණ. මම හිතන්නේ වෙනත් කිසිම පාසලක එතෙක් ඒ වගේ චිත්‍රපටි පෙන්නලා ඒ මට්ටමින් විචාර විවරණ පැවැත්වුණේ නැතිව ඇති. මම සිනමා සම්මන්ත්‍රණ දෙකක් කළා. ගැහැනු ළමයි සහ බඹරු ඇවිත් චිත්‍රපටි දෙක. ගැහැනු ළමයි චිත්‍රපටිය ගැන සම්මන්ත්‍රණය කරන්න කලින් මම සුමිත්‍රා පීරිස් මුණගැහෙන්න ගියා. රචක කරුණාසේන ජයලත්ගේ ගෙදරට යනවා. ඒකේ රංගන ශිල්පින් ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. ඒ සම්මන්ත්‍රණයට ආවා කරුණාසේන ජයලත්, නිමල් දයාරත්න සහ එහි අනෙක් රංගන ශිල්පීන් චිත්‍රපටිය බලලා ඒ ගැන විචාර, විවේචන චිත්‍රපටියට සම්බන්ධ වුණු අයත් එක්ක කළා. ඒ වගේම බඹරු ඇවිත් චිත්‍රපටිය දවසේ ධර්මසේන පතිරාජ, විජය කුමාරතුංග, ඩොනල් කරුණාරත්න විමල් කුමාරද කොස්තා වගේ රංගන ශිල්පීන් සහභාගි වුණා. ඒ සම්මන්ත්‍රණ දෙක ගොඩක් සාර්ථක වුණා. ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුණා. 

දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි තියෙනවාද?

ගැහැනු ළමයි චිත්‍රපටිය කීපවතාවක් බැලුවා. හැබැයි ඒ බලන්න තියෙන වුවමනාවට නෙමෙයි. ඉස්සර ෆිල්ම්හෝල් එකේ සෙනඟ අඩු වෙනකොට ළමයින්ට ඉඳගන්න දෙනවා. සෙනඟ අඩු වුණාම හෝල් එකෙන් ෆිල්ම් එක ගලවනවා. ඒ ගලවන එක වලක්වන්න චිත්‍රපටියේ නිෂ්පාදකවරු ළමන්ට ඉඳගන්න ඉඩ දෙනවා. බොරැල්ලේ රිට්ස් එකේ අපි එහෙම චිත්‍රපටි බැලුවා. ඊට අමතරව "අභිමාන්" දෙවතාවක් බැලුවා. 

අනිල් ජාසිංහ කියන්නේ තරුණ කාලේ චිත්‍රපටි උමතුවක් තිබුණු කෙනෙක්ද?

එහෙම උමතුවකින් සිනමාව දිහා මම බැලුවේ නැහැ. සිනමාව ගැන උනන්දුවක් තිබුණා මට. ඒක අවබෝධයක් ඇතිව සිනමා කලාවට තියෙන ආශාවෙන් කරපු දෙයක්. 

වේදිකා නාට්‍ය බලලා නැද්ද? 

වේදිකා නාට්‍ය එහෙම බලන්න උනන්දුවක් තිබුණේ නැහැ. අනික ඒ කාලේ වේදිකා නාට්‍යවල ටිකට් එකේ ගාණත් ටිකක් වැඩියි. ඒ වගේම ෆිම්ල් එකේ වගේ ගතියක් නෑ වේදිකා නාට්‍යවල. 

වෛද්‍ය විද්‍යාව හදාරන්න සෝවියට් දේශයට ගිය කාලේ එහි කලාව ඔබට සමීප වුණේ කොහොමද?

රුසියාව කිව්වාම අපිට ඊළඟට සිහිපත් වෙන්නේ නවකතා සාහිත්‍යයනේ. ඉතින් රුසියානු නවකතා මම පොඩි කාලේ කියවලා තියෙනවා. එහෙට ගියාම මට ඕනේ වුණා වේදිකා නාට්‍ය බලන්න. වේදිකා නාට්‍ය කීපයක් බලලා තියෙනවා. රුසියානු චිත්‍රපටි ගොඩක් බැලුවා මම. එක චිත්‍රපටියක් මට හොඳට මතකයි. ඒකේ සිංහල නම "එන්න නරඹන්න". රුසියාවේ බටහිර චිත්‍රපටි ප්‍රදර්ශනය කළේ නැහැ. රුසියානු චිත්‍රපටි විතරයි පෙන්නුවේ. ඒ වගේම අපි එහෙදි හැම නිදහස් දිනයකටම             ජභතබභපඥත ඵඩධඹ එකක් කරනවා. ලංකාවේ ජභතබභපඥත ඵඩධඹ එකට ලොකු ඉල්ලුමක් තියෙනව. එහිදී ගායන සඳහා මම සහභාගි වෙලා තියෙනවා. 

පෙම්වතියත් එක්ක චිත්‍රපටි බැලුවේ නැද්ද?

රුසියාවේ ඉද්දි බැලුවා. එතකොට මට පෙම්වතියක් හිටියා. 

කැමතිම චිත්‍රපටි නළුවා කවුද?

චිත්‍රපටි බලන කාලේ හැමෝගෙම වගේ මමත් කැමති ගාමිණී ෆොන්සේකාට තමයි. ඊට අමතරව විජය කුමාරතුංග, අමරසිරි කලංසූරිය වගේ රංගන ශිල්පීන්ට මම කැමතියි. 

විවාහ කරගන්න හිතුණු නිළිය කවුද?

නිළියක් විවාහ කරගෙන අමාරුවේ වැටෙන්න අදහසක් තිබුණේ නෑ ඒ කාලේ. (සිනාසෙමින්) විවාහ කරගන්න අදහසින් නෙමෙයි ඒත් ඒ කාලේ මම ගොඩක් ප්‍රිය කළා මාලිනී ෆොන්සේකාට. ඒ වගේම ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ වගේ නිළියන්ටත් මම කැමතියි. 

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

මුළු සිංහල සිනමාවම ගත්තොත් මම කැමතිම බඹරු ඇවිත් චිත්‍රපටියට. ධර්මසේන පතිරාජගේ සිනමාවට මම කොහොමත් කැමතියි. පතිරාජ ලංකාවේ සිනමාවට නවීන සිනමා කලාවක් ගෙනාවා. ඔහු තමයි වමේ සිනමාව ලංකාවට හඳුන්වලා දුන්නේ. ඒ කාලේ අපිටත් ඉනින් රැඩිකල් අදහස් තිබුණානේ. ඒ නිසාමත් නෙමෙයි ඔහුගේ යථාර්ථවාදී සිනමාවට මම කැමතියි. බඹරු ඇවිත් චිත්‍රපටියේ මිනිස්සුන්ගේ ජීවිතය ගැන බොහොම බරපතළ විදිහට කතා කරනවා සහ ඒ සමාජ සංස්ථාව විවේචනය කරනවා. ඒ වගේම වාණිජ සිනමාව ටිකක් යථාර්ථවාදී වුණු "දුහුළු මලක්" චිත්‍රපටියටත් මම කැමතියි. 

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

මෑතකදී මම "තණ්හා රතී රගා" බැලුවා මතකයි. ඒක ගොඩක් හොඳ චිත්‍රපටියක්. ඒ වගේම ප්‍රසන්න ජයකොඩිගේ "28" චිත්‍රපටිය බැලුවා. කාලෙකින් පස්සේ ස්වර්ණා මල්ලවාරච්චි රඟපාපු "ඇගේ ඇස අග" චිත්‍රපටිය බැලුවා. ඒත් මේවයින් අන්තිමටම බැලුවේ මොකක්ද කියලා මතක නැහැ.

ඒ කියන්නේ ඔබ විකල්ප ධාරාවේ සිනමාවට වඩා ප්‍රිය කරන කෙනෙක්ද?

ඔව්. මම කොහොමත් එහෙම ප්‍රධාන ධාරාවට ඒ තරම් කැමති කෙනෙක් නෙමෙයි. ඒ නිසාමයි සිනමාව පිළිබඳ උමතුවක් මට තිබුණෙත් නැත්තේ. 

කැමතිම චිත්‍රපටි අධ්‍යක්ෂවරු ගැනත් කතා කරමු?

පැරණි සිනමාකරුවන් ගත්තොත් මම කැමතිම ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ ධර්මසේන පතිරාජ. වර්තාමාන සිනමාකරුවන් ගත්තොත් අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ වගේ සිනමාකරුවන්ට මම කැමතියි. 

සංගීතයත් එක්ක ඔබට තියෙන්නේ කොහොම ගනුදෙනුවක්ද?

දැන් කාර්යබහුල නිසා බැරි වුණාට මම නිතරම ගීත අහපු කෙනෙක්. දැනුත් විවේක වෙලාවට ගීතයක් අහගෙන ඉන්න කැමතියි. ඉස්සර මම නිතරම ගුවන්විදුලිය අහනවා. වෙළෙඳ සේවයේ රෑ දහයාමාරට ලස්සන සංගීත වැඩසටහනක් ගියා. ඒක හරිම ලස්සනයි. 

කැමතිම චිත්‍රපටි ගීත මොනවාද?

බඹරු ඇවිත් චිත්‍රපටයේ "හඳුනාගත්තොත් ඔබ මා", හුලවාලි චිත්‍රපටයේ "කුඩාගමේ මද්දහනේ" මේ ගීත දෙකටම කැමතියි. 

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

සුනිල් එදිරිසිංහ. මම සජීවව කිසිම සංගීතයක් නැතිව ඔහුගේ ගීත අහලා තියෙනවා. ඒ වෙලාවේ තමයි මට වැටහුණේ ඒ කටහඬ සහ ගායනය ප්‍රබලයි කියලා. 

ඔබ නිතරම මුමුණන ගීත මොනවාද?

පායා ඇයි හිනැහෙන්නේ, දුරස්වන්නට මේ ලෙසින්, දෑස නිළුපුල් තෙමා වගේ ගීතවලට මම කැමතියි. 

වෘත්තිය ජීවිතයේදී සමීපව ඇසුරු කරපු කලාකාරයෝ කවුද?

නවරත්න ගමගේ, සුනිල් එදිරිසිංහ, ජයලත් මනොරත්න වගේ කලාකාරයෝ වෘත්තිය ජීවිතයේදී සමීපව ඇසුරු කරලා තියෙනවා.

අනිල් ජාසිංහ කලාව කියන දේ කොහොමද දකින්නේ?

මිනිස්සුන්ගේ භෞතික ශරීරයේ පැවැත්මට බෙහෙත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි වගේම තමයි මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයේ පැවැත්මට කලාව අත්‍යාවශ්‍යයි. කලාව හැමෝටම අවශ්‍ය දෙයක්. ඕනෙම කෙනෙක් දැනුවත්ව හෝ දැනුවත්ව කලාව හා සම්බන්ධ වෙනවා. කලාව රසවින්දනයට වගේම ජීවිත යථාර්ථය අවබෝධයටත් කලාව වැදගත්. 

වෛද්‍යවරයෙක්ගේ ජීවිත කතාවක් සිනමාවට නඟන්න කිව්වොත් ඔබ තෝරාගන්නේ කාගේ ජීවිත කතාවද?

එහෙම සිනමාත්මක ජීවිත කතාවක් තියෙන්නේ මහාචාර්ය සේනක බිබිලේට තමයි. වෛද්‍යවරයෙක් හැටියට ඔහු ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නා. ඔහු දේශපාලනය කරලා තියෙනවා. ඔහු මියගියෙත් විදේශයක. ඒ ජීවිතය පෙරළි ගොඩක් තිබුණු එකක්. සිනමාපටයකට ඕනේ සියලුම අමුද්‍රව්‍ය ඒ ජීවිත කතාවේ තියෙනවා.