නපුරු අයට මමත් නපුරුයි

-ක්‍රිෂී ඩියානා
සැප්තැම්බර් 17, 2020

ක්‍රිෂී, ඔබ කොහොමද රංගන කටයුතුවලට සම්බන්ධ වන්නේ?

මම පොඩි කාලේ ඉඳලා කලාවට ළැදියි. පෙර පාසලට ගිය මුල්ම දවසේ කිසිම චකිතියක් නැතිව ස්ටේජ් එකට නැඟලා නටලා තියෙනවා. ඒක දැකලා අම්මා තමයි මාව කලාව පැත්තෙන් ඉස්සරහට යවන්න ඕනේ කියලා ඒ පැත්තට යොමු කරලා තියෙන්නේ. අම්මා නම් කියන්නේ මම පොඩිම කාලේ සෙල්ලම් කළාට වඩා රඟපෑවා කියලා.

ඔබේ පළමු රංගනය ඇතුළත් වුණේ?

උදාර පල්ලියගුරු නිර්මාණය කළ 'ක්‍රයිම් සීන් 'කියන මාලා නාටකයට තමයි මුළින්ම දායක වුණේ.

රන් එතනාගේ චරිතයෙන් ඔබ වඩාත් මිනිසුන් අතරට ගියා?

ඔව්. මේ වෙලාවේ සක්කාරං නාට්‍යයේ ඩිරෙක්ටර් අරුණ ජයවර්ධන මහත්මයාව මතක් කරන්න ඕනේ. රන් එතනා නිසයි මාව බොහෝ දෙනා හඳුනා ගත්තේ.

සක්කාරං ටෙලිනාටය නිසා ඔබ රංගන ජීවිතයේ අමතකම නොවන අත්දැකීම වින්දා නේද?

ඒක නම් ඇත්ත. නාට්‍යයේ ෂූටිං තිබ්බේ නුවර. මට ගඟක බැහැලා නාන දර්ශනයක් තිබුණා. සීතලේ ගැහි ගැහි සෑහෙන්න වේලාවක් වතුරේ බැහැලා හිටපු මොහොත කවදාවත්ම අමතක වෙන්නේ නැහැ.

ඊට පසුව දායකවූ නිර්මාණ?

සකලගුරු නාට්‍යයේ චරිතයක් කළා. ජනක චමින්ද අත්තනායකගේ අලුත් නාට්‍යයේ මම ඉන්නවා. මම ඒකේ සෙකන්ඩ් රෝල් එක කරන්නේ.

රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තිබේද?

මම හරි ආසයි මානසික රෝගයකින් පෙළෙන කෙල්ලකුගේ චරිතයක් කරන්න. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකුගේ චරිතයක් කරන්නත් ආසයි.

ඔබගේ වෘත්තිය?

නිළිකම තමයි.

වෘත්තීය නිළියක් හැටියට රැඳී ඉන්න පහසුද?

ටිකක් අපහසුයි. මට මේ ගමන යන්න ලොකු හදිස්සියක් නැහැ. හිමින් ගමනක යෙදෙමින් හොඳ චරිත කරන්නයි සැලසුම් කරගෙන ඉන්නේ.

ක්‍රිෂීගේ ගම කොහෙද?

මම බෙලිඅත්තේ. දැනට පදිංචි වෙලා ඉන්නේ කැලණිය පිළපිටියේ.

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත්?

අහිංසක කෙනෙක්. නපුරු අයට හරිම නපුරු කෙනෙක් කියලත් ලියන්න.

ක්‍රිෂී මේ වනවිට පෙම්වතියක්ද?

ඒ ගැන විස්තර ඉදිරියෙදි කියන්නම්.

කාට හරි තුති පුදන්න තියෙනවාද?

මගේ ගෙදර අයට සහ රංගන අවස්ථා ලබාදුන් සැමට ස්තූති කරනවා.