එන්න! රූකඩ පැංචි ගැන කල්පන හා වින්දනගේ

කතාව අහන්න
සැප්තැම්බර් 17, 2020

 

 

 

වින්දන සහ කල්පන දෙබෑයන් ගැන ඔබ අප සියලු දෙනා හඳුනා ගන්නේ "ප්‍රේමය නම්" සම්මානනීය චිත්‍රපටය සමඟය. ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශයන්ගේ පුතුන් වූ මේ දෙසොහොයුරෝ නිවුන් දරුවන් නොවුවද සංසාරික පුරුද්දකට මෙන් සිතන්නේ පතන්නේ ක්‍රියා කරන්නේ කතාකරන්නේ සිනාසෙන්නේ එකටමය. චිත්‍රපට හදන්නේද එකටය. අය්යා කල්පන කතාකරගෙන යන වචන පේළියේ ඉතිරි කොට කියන්නේ වයසින් වසර තුනහමාරක් බාල මල්ලි වින්දනය. සිංහල කතානාද සිනමාවේ මෙවන් සොහොයුරන් දෙදෙනකු තිරරචනයේද යෙදෙන චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වීම වාර්තාවකි. ඔවුන් සමඟ කළ මේ කතාබහෙන් හැඟී යන්නේ ඒ වාර්තාවට තවත් කොටස් එක් කිරීමට සූදානමක් ඇති බවය. ඒ ඔවුන් දෙදෙනා අලුතින්ම තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ සිනමා නිර්මාණය 'රූකඩ පැංචි' සමඟිනි. මේ කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ සොයුරු අදියුරන් සරසවියට රූකඩ පැංචී ගැන කී විස්තරයයි...

 

 

කවදද රූකඩ පැංචි අපට දකින්න ලැබෙන්නේ?

 

දෙදෙනාම- ලබන බ්‍රහස්පතින්දා ඉඳන් ඊඒපී මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමාහල්වලදි.

 

නමේ හැටියට ළමයින්ට වඩාත් සුදුසුයි වගේ?

 

වින්දන- ම්... එහෙම රාමු කරන්න බෑ. දරුවන් සංකේතාත්මකව පෙනී සිටීම නිසාම චිත්‍රපටයක් ළමා කතාවක් වන්නේ නැහැ.

කල්පන- හැබැයි දරුවන් ප්‍රධාන චරිත නිරූපණය කරන, ළමයින්ටත් වැඩිහිටියන්ටත් එක සමානව රස විඳීය හැකි චිත්‍රපටයක්.

 

මේ ඔබේ දෙවැනි චිත්‍රපටය?

 

වින්දන- ඔව්. ප්‍රේමය නම් අපි ලංකාවේ ඉතා සීමිත ප්‍රදර්ශනයක් කළේ. එයට පවා ඉතාමත් ධනාත්මක ප්‍රතිචාර ලැබුණා.

කල්පන- තාමත් අපට ප්‍රතිචාර ලැබෙනවා. අලුතෙන් ඩීවීඩීවලින් හෝ බලන අය, නිතර රූපවාහිනී නාළිකාවල විකාශය වද්දි බලන අය අදටත් අපට කතා කරනවා.

 

දෙදෙනෙක් එක්ක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරද්දි අත්දැකීම වෙනස්?

 

කල්පන- බොහෝ වෙලාවට ලෝකේ සහෝදරයෝ තමයි එකතුවෙලා අධ්‍යක්ෂණය කරන්නේ. එහෙම නැති කීප දෙනකුත් ඉන්නවා. අපි දෙන්නම පොඩි කාලේ ඉඳන්ම චිත්‍රපට කරන්න ආසා, එකට චිත්‍රපට බලන, ඒ ගැන නිතරම කතා කරන, එකට හිතන දෙන්නකු නිසා අපට දෙදෙනකු කියා දැනෙන්නේ නැහැ. ඉතාම කලාතුරකින් තමයි දෙන්නාගේ රුචිකත්වය වෙනස් වෙන්නේ.නිර්මාණයක ගුණාත්මකභාවය වෙනුවෙන් වාදවිවාද කළත් අවසානයේ එකම දේටයි එකඟ වන්නේ. වස්තු බීජයක් ඔස්සේ කතාවක් ගොඩනඟද්දි වුණත් අපි අදහස් හුවමාරු කරගෙන ලියන්නේ. මට නොපෙනෙන පැත්තක් මල්ලිට පේනවා වෙන්න පුළුවන්. ඒ අදහස් කීවාම අපි ඒ ඔස්සේ වඩා හොඳ තැනකට නිර්මාණය ගේනවා.

වින්දන- එයට වඩාත් වැදගත් වන්නේ දෙදෙනා අතර සිනමා මාධ්‍යය සම්බන්ධව තිබෙන දැක්ම, අවබෝධය, රසවින්දනය සහ රසඥතාවය සමපාත වීමයි. විටෙක එය අපට පහසුවක්, මොකද එක්කෙනකු දකින දේට වඩා දෙදෙනකු දකිද්දි අතපසුවීම් වෙන්න තිබෙන ඉඩ අවමයි. කොහොමත් නිර්මාණයකදී මමත්වය අතහරින්න ඕනෙනේ...

 

මමත්වය අතහරින්න ඕනෙ?

 

වින්දන- විශේෂයෙන්ම ප්‍රේක්ෂකාගාරයට නිර්මාණයක් ගෙනෙන්නේ අපට බල බල රසවිඳීන්න නෙවෙයිනේ. ප්‍රේක්ෂාගාරය පැත්තෙන් හිතද්දි මමත්වය අතහැරලා ඔවුන්ට දැනෙන, රසවිඳීය හැකි නිර්මාණයක් බවට එය පත් කරන්න ඕනේ. එතනදි ස්වයං විවේචනයක් අවශ්‍යයි.

කල්පන- චිත්‍රපටයක් හදන්න කලින් මේ චිත්‍රපටය මොකක්ද කියන එක අපි දෙන්නගෙ ලෝකේ අපි දැකල තිබෙන්න ඕනා. නිර්මාණයේ දෘශ්‍ය ශෛලිය, සංගීතයෙන් ලැබෙන අනුප්‍රාණය, චරිත තෝරා ගැනීම, කලා අධ්‍යක්ෂණය ආදී සියල්ල විමසීම දෙදෙනාට නිරායාසයෙන් වන දෙයක්.

වින්දන- මෙය දුලබ නිසා තෙවැනි පාර්ශ්වයකට විස්මයක් වන්න පුළුවන්. හැබැයි පොඩි කාලේ ඉඳන්ම පුරුද්දක් නිසා එය අපට දැනෙන්නේ නැහැ. අනෙක චිත්‍රපට දෙකේදීම ටේක් එකකට අපි දෙන්නම එකඟ නැත්නම් අය්යයි මමයි දෙන්නා දිහා බලාගන්න විදිහෙන් දෙන්නා දන්නවා තීරණය. ඒක එතන ඉන්න අයට තේරෙන්නෙත් නැහැ සමහර විට. ඒ තරම් අන්‍යෝන්‍ය අවබෝධයක් තිබෙන්නේ.

කල්පන- සමහර වෙලාවට දෙන්නා වැඩ බෙදාගෙනත් කරනවා. මම කැමරා ශිල්පියා සමඟ දර්ශන තලයේ කටයුතු බලද්දි මල්ලි රංගන ශිල්පීන්ගේ දෙබස් ආදිය ගැන අවධානය යොමු කරනවා. දෙන්නා දෙපැත්තක ඉඳන් බලා හිටියත් අපේ තීරණය එකමයි.

 

තිර රචනයටවත් ඇයි තුන්වැනියකුගේ අදහසක් නොගන්නේ?

 

දෙදෙනාම- අපට අපේ හැකියාව, රචනා කෞශල්‍යය විශ්වාසයි.

වින්දන- අපේ නිර්මාණයක ප්‍රස්තුතයේ සිට අවසානය දක්වා අප දෙදෙනාගේ සුසංයෝගයෙන් කෙරෙන්නේ. තුන්වැනි පාර්ශ්වයක මානයක් ගේනවා නම් ඒ කැමරා ශිල්පී ජාන් ෂෙන්බර්ගර් පමණයි. අපි ආසා දේ අපේ කැමැති විදිහට අපේ කුසලතාව මත අපි නිර්මාණය කරන්නේ ප්‍රේක්ෂකයාගේ කාලයට මුදලට සහ කැපවීමට වටිනාකමක් දෙන ආකාරයෙන්.

කල්පන- එයට අපට තවත් පාර්ශ්වයක දැක්ම අවශ්‍ය වන්නේ නැහැ. අපට න්‍යාය පත්‍ර නැහැ. අපට පොඩි කාලේ ඉඳන්ම කතා කීමේ පුරුද්දක් තිබුණා. විශාල සාහිත්‍ය ඇසුරකුත් තිබුණා. ලොව පුරා විශිෂ්ට සිනමාකරුවන් ගත්තොත් ඔවුන්ගේ මහා පොදු සාධකය තමයි ඉතා දැඩි ලෙස සාහිත්‍ය ඇසුරු කිරීම.

වින්දන- ඒ වගේම අපි දෙන්නට පුරුද්දක් තිබෙනවා කුඩා කාලේ ඉඳන්ම දකින දේ චිත්‍රයට නැඟීමට. අපේ පොත් කවර පවා ඇඳගත්තේ අපි. අනෙක පුළුවන් විදිහට කෙටි කතා එහෙමත් ලියනවා. ගෙදර සංගීත සන්දර්ශන පවත්වනවා, නාට්‍ය කරනවා ඒවා රෙකෝඩ් කරනවා. සිනමාව කියන්නේ කතා කීමේ කලාවනේ. මිනිසාට බලපෑම් කළ හැකි ප්‍රචලිතම, සමීපතම මාධ්‍යය. පුංචි කාලේම තාත්තා හින්දා අපට මේ දේවල වගේම කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශාල පිරිසකගේ ඇසුර ලබන්න, නිර්මාණවලට සහභාගී වන්න අවස්ථාව ලැබුණා. ඒ නිසා අපි නිර්මාණයකට එලැඹෙන්නේ ඒ කලාවන් පිළිබඳ සන්නද්ධ වෙලා.

කල්පන- අපි හැමතිස්සෙම අපට අහන්න දකින්න ලැබුණු වස්තු බීජයක් ඇසුරෙන් ස්වතන්ත්‍ර නිර්මාණය කරන්නේ. ප්‍රේමය නම් සඳහා පාදක වුණෙත් ඇත්ත කතාවක්. රූකඩ පැංචිත් ඒ වගේ ලෝකෙ කොහේවත් මීට කලින් දකින්න නොලැබුණු කතා වස්තුවක්. ආසන්න කතාවක් තිබෙන්න පුළුවන්.

 

මොනවද මෙහි විශේෂත්වයන්?

 

කල්පන- රූකඩ පැංචි හැදුණේ වෙනත් චිත්‍රපට වගේ නෙවෙයි. සාමාන්‍යයෙන් වෝල්ට් ඩිස්නිවල ප්‍රධාන ධාරාවේ චිත්‍රපටයක් නිර්මාණය කරද්දි මුලින්ම කරන්නේ ඒ චිත්‍රපටයේ ලෝකය නිර්මාණය කිරීම. පික්සාරෝ වගේ සජීවීකරණ ආයතන ඒ චරිත, පරිසරය, වර්ණ ආදිය ගැන අවුරුදු ගාණක් පර්යේෂණය කරලයි නිර්මාණය කරන්නේ. අපි රූකඩ පැංචිත් ඒ වගේ ලෝකය නිර්මාණය කරලා තමයි පිටපත ලියන්න ගත්තේ.

 

වස්තුබීජයට නිමිත්ත මුලින්ම පහළ වුණේ?

 

දෙදෙනා- දෙන්නටම.

 

ඒක අහම්බයක්?

 

කල්පන- මල්ලිගේ තමයි මුලින්ම අත් රූකඩ ගැන අදහස තිබුණේ. මට තිබුණේ නූල් රූකඩ ගැන රූකඩ මඩුවක් ගැන අදහසක්. මල්ලිට ඒක බීච් කානිවල් එකක් හැටියට හිතිලා තියෙන්නේ. අපි දෙන්නම කානිවල්වලට ආසයි පොඩි කාලේ ඉඳලම.

වින්දන-ඊට පස්සේ අපි ලංකාවේ සංකල්පීය කානිවල් එක නොවන, 19 වැනි ශත වර්ෂයේ යුරෝපයේ උතුරු ඇමෙරිකාවේ ප්‍රකට වුණු දැවැන්ත කානිවල් එක, එය පවුලක් වගේ තැනින් තැනට යෑම, එය මෙහෙයවන රිං මාස්ටර් කෙනකු සිටීම ඔස්සේ තමයි කතාව ගොඩ නැඟුවේ. ඊට පස්සේ අය්යා සම්පූර්ණ කතාව ස්ටෝරිබෝඩ් එකක් වගේ ඇන්දා. සුරංගනා කතා පොත්වල, චිත්‍රපටවල අපි දුටු චරිත එකතු වන විනෝදය සතුට සපයන තැනක් ලෙස ඒ කානිවල් එක යොදාගත්තා. හැබැයි සාමාන්‍ය සමාජයෙන් හුදෙකලා වූ නිසා එහි යනවා එනවා මිස රැඳෙන්න බැහැ.

කල්පන- අන්න ඒ ලෝකයේ රූකඩ පැංචි සහ අනෙක් චරිත මොනවගේද? ඔවුන්ගේ ඇඳුම් පැලඳුම්, පරිසරයේ වර්ණ ආදිය එක්ක චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය සහ නිර්මාණකරණය මගේ අතින්ම සිදු කළා.

 

ඒ සංස්කරණයේදී වර්ණ සංයෝජනය ලෙසද නැත්නම් දර්ශන තලයේදීම ගන්නා විදිහටද?

 

කල්පන-ඇත්තෙන්ම අපේ කැමරා ශිල්පියා ඒ වෙද්දි ඇමෙරිකාවේ සිටියේ. ඔහු මෙයට අවශ්‍ය අලෝකයේ වර්ණ ලබා ගැනීමට අලුතෙන් විදුලි බුබුලු නිෂ්පාදනය කෙරෙවුවා. අපි ගෙන්වූ ලයිට් හය ඒ වෙද්දි ලංකාවේ තිබුණේ නැහැ.

වින්දන- අපි සති දෙකක් බෙන්තර බීච් එකේ රූපගත කිරීම් කළේ. දිනපතාම එකසිය පණහක පමණ සෙනඟක් සහ නළු නිළියන් ඇතුළු පිරිස හැටක් පමණ හිටියා. අපි එළියට නොපෙන්නුව‌ට එය දැවැන්ත වැඩක්. අපි වැඩමුළු කරලා, ඒ ප්‍රධාන චරිතය කරන දුව සමඟ මාස දෙකක් ඉඳලා හෑන්ඩ් පපට් පුරුදු කරලා තමයි නිර්මාණයට සූදානම් වුණේ.

 

නළුවරණය ගැනත් කියමු?

 

දෙදෙනාම- අපි පෞද්ගලික චිත්‍රපට නිර්මාණකරුවන්නේ... එතකොට අපේ අත්දැකීම්, චරිත ලක්ෂණ නිරායාසයෙන් මේ චරිතවලින් නිරූපණය වනවා. ඉතින් ලුවී කියන රිං මාස්ටර්ගේ චරිතයේ නටන්න, ගයන්න, වයන්න පුළුවන් ආදරණීයබව ඇති අවුරුදු හැටක තරුණයකුට ජැක්සන් ඇන්තනී මහත්මයා හැර වෙන ලංකාවේ කිසිකෙනෙක් නැහැ කියලා හිතුණා. රූකඩ පැංචි මෙහි ප්‍රධාන චරිතය. අපි කවදාවත් ළමයින් කැඳවලා තෝරන්නේ නැහැ. අපි හොයලා බලලා අපිම ගිහින් කතා කරනවා මිසක. කුෂේන්යා දැකලා තිබුණු නිසා අපි ගිහින් කතා කළා. ෆොන්සේකා පරපුරේ නිසා දක්ෂතාව, නළු පෞරුෂය ගැන වගේම වෘත්තීයභාවය ගැන කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අනෙක් චරිතත් එහෙම තමයි.

 

අද සිනමාවට අලුත් වස්තුබීජ නැතිකම පිළිබඳ මැසිවිල්ලක් තිබෙනවා?

 

වින්දන- අපි නිර්මාණකරුවන් ලෙස කිසිම දෙයක් ගැන මැසිවිලි කියමින් කාලය නාස්ති කරලා වැඩක් නැහැ. ලෝකයේ කතාකීමේ කලාවේ පරපුරට අයත් වෙනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒ සඳහා ප්‍රස්තුත ගොඩනැඟෙන්න තමන් යම් පරිසාධන මට්ටමකට එන්න ඕනෙ. සමහර විට අපට උපතින් නැතත් ඒ හැකියාව ගොඩනඟා ගන්න