අපේ සිනමාවේ ෆෝ ඉන් වන්

ප්‍රවීණ් ජයරත්න
සැප්තැම්බර් 17, 2020

මීට වසර පහළොවකට පෙර ඩිල් ෆිල්ම්ස් ආයතනය සොයාගෙන මා ගියේ ගැහෙන හදිනි. ජාතික චිත්‍රපට සංස්ථාවේ සිනමාකරණ ඩිප්ලෝමාවේදී මා ලියූ දම්වැල තිර රචනය කෙටි චිත්‍රපටයක් කිරීමට තෝරා ගැනිණ. සංස්ථාවෙන් මිලිමීටර 35 පටල පට සහ සංස්කරණ කටයුතු සඳහා දළුගම සරසවි චිත්‍රාගාරය නොමිලේ ලබා දෙන අතර අධ්‍යක්ෂණය හදාරන්නා ඉතිරි නිෂ්පාදන වියදම් දරාගත යුතු විය. ඇති වූ සතුට නිසා බරක් පතළක් නොසිතා ඒ කොන්දේසිවලට එකඟව විනාඩි පහක පමණ කෙටි චිත්‍රපටයක් ලෙස රූගත කළ දම්වැල හි රසායනාගාර කටයුතු සඳහා වියදම් දැරිය යුතු වූයේ අධ්‍යක්ෂවරිය වූ මා විසිනි. ඒ වනවිටත් රසායනාගාර කටයුතු නම් ඉන්දියාවට යවා කරගත යුතුය යන මතය දැඩිව තිබුණි. එහෙත් මට එවැන්නක් සඳහා වත්කමක් නොවිණි. ඩිල්මන් ජයරත්න මහතා හමුවන්නැයි ගුරුවරුන්ගෙන් ලද උපදෙස මත බරු දහසක් එල්වාගත්තා බඳු හදින් යුතුව හොඳම මිතුරකු සමඟ ඩිල් ෆිල්ම්ස් ආයතනයට ගිය මගේ සිත පුළුන් රොදක් සේ සැහැල්ලු වන්නට මිනිත්තු පහක්වත් ගත වූයේ නැත. ඒ සිනමාව හදාරන්නන්ට කරන අනුග්‍රහයක් ලෙස සියලු රසායනාගාර කටයුතු නොමිලේ කර දීමට ඩිල්මන් ජයරත්න මහතා ඉදිරිපත් වීමත් සමඟය. ඒ මොහොතේ මෙරට සිනමාව වෙනුවෙන් ඔහු තනිව කරන සේවය අවබෝධ වීමත් සමඟ ඇති වූ ගෞරවය මගේ සිතින් කිසිදා පළා නොයයි.

ඔහුගේ ඇවෑමෙන් වසර ගණනාවකට පසු මෑත යුගයේ සරසවිය වෙනුවෙන් ලිපි සැකසීමට අධ්‍යක්ෂවරුන් හමුවන්නට එහි යන මට දක්නට ලැබෙන්නේ එදාට වඩා බෙහෙවින් නවීන යන්ත්‍රෝපකරණ සහිත මැදිරි රැසකි. ඒ වෙනස කළේ ඔහුගේ පුත් ප්‍රවීණ් ජයරත්නය. මැදිරි නවීකරණය වුවද මානුෂීය ගුණය පියාගේ යුගයේ මෙන්ම යැයි ආරංචි ද පවතියි. ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාපති උපාධිය එංගලන්තයේ හදාරන අතරතුර කැමරාකරණය, සංස්කරණය, වර්ණ සංයෝජනය සහ ශබ්ද සංයෝජනය යන සිනමාවේ ප්‍රධාන අංග හතරක නවීන තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ ප්‍රවීණයකු ලෙස ජය ගැනීමට නමටම ගැළපෙන අයුරින් ප්‍රවීණ් ජයරත්න සමත් විය. ඔහුගේ වයසටත් වැඩි චිත්‍රපට සංඛ්‍යාවකට මේ අංශවලින් දායකත්වය සපයමින් සම්මානයට පාත්‍රවෙමින් ප්‍රවීණ් ජයරත්න ළඟා වන්නේ වඩාත් බහුකාර්ය සිනමාකරු ලෙස විරුදාවලිය ලත් රොබර්ට් රොඩ්රිගුස් මෙන් ගිනස් පොත කරාද?

ගිනස් වාර්තාවක් තබන්න ඔබ ලැබිය යුත්තේ තව එක සම්මානයයි?

(සුපුරුදු නිහතමානී සිනහවෙන් යුතුව) ම්.. ඔව්. කැමරාකරණයට.

ඔබ විදෙස්ගත වූ කාලේ සිනමාව හැදෑරුවාද?

ලන්ඩන් කියන්නේ ලෝකේ ජනප්‍රියම නගරයක්. ප්‍රසිද්ධ අය ආවත් පෝලිමේ හරි ගිහින් බලන්න අවස්ථාව වැඩියි රට පොඩි නිසා. යූ ටියුබ් එන්න කලින් 96-2000 කාලේ, මම ඒ වැනි අය සහභාගී වූ වැඩමුළු රැසකට සහභාගී වුණා. හැබැයි ෆිල්ම් ස්කූල් කියන ඒවාට ගිහින් කරන්න දෙයක් මට නැහැ කියන දේ ඒ රටේ දේශකවරුන්ට වගේම මටත් දැනුණා. සිනමා රසායනාගාරයක් ගෙදරම තිබෙන ප්‍රායෝගිකව චිත්‍රපට ක්ෂේත්‍රයේ නියැළෙන පවුලක ළමයකුට ඉගෙන ගන්න අමුතු දෙයක් නැතිබව ලන්ඩන් ෆිල්ම්ස්කූල් එකේ අයත් නොකියා කීවා. නිර්මාණශීලීත්වය උගන්වන්න බැරි බව හැමෝම පිළිගන්නවානේ. ඉතින් මම ව්‍යාපාර පරිපාලනය ඉගෙන ගත්තා. තාත්තා මාව ගෙන්වාගත්තා.

ඔබ මුලින්ම සම්බන්ධ වුණේ මියුසික් වීඩියෝවලට?

හරියට හරි. මගේ නම රසිකයන් අතරට ගියේ ඒවායින්. පස්සේ තාත්තාම ඉදිරිපත් කළ රන්කෙවිට පාට් වන් චිත්‍රපටයේ සංස්කරණය සහ ශබ්ද සංයෝජනය කරන්න අහම්බෙන් අවස්ථාව ලැබුණා. ඊළඟට ආසයි මං පියාඹන්න චිත්‍රපටයට සම්බන්ධ වුණා. හාට් එෆ්එම් චිත්‍රපටයේදි ලංකාවේ පළමු වතාවට ඩීඅයි තාක්ෂණය හඳුන්වාදෙන්න මට පුළුවන් වුණා. මම තාක්ෂණයට කැමැති කෙනෙක් නිසා සම්බන්ධ වුණු හැම චිත්‍රපටයකින්ම පියවරෙන් පියවරට ඉදිරියට යන්න මට හැකි වුණා. ලෝකේ සිනමා තාක්ෂණය ඩිජිටල්කරණයෙන් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ රෙඩ් වන් කැමරාව සමඟ. 2008 දි රූගත කළ රන්කෙවිට පාට් ටූ චිත්‍රපටය එයින් රූගත කිරීමත් සමඟ ලංකාවේ පළමුවැනි ඩිජිටල් කැමරාශිල්පියා වන්නේ මම. රූපගත කිරීමට අමතරව සංස්කරණය, ඩේටා මැනේජ්මන්ට් සිස්ටම් එක ආදි සියලු දේම කරගෙන ගියා.

2009 ඩිල්මන් මහත්තයා මෙලොවින් සමුගත්තා?

තාත්තා කළ දේවල බරපතළකම මට දැනෙන්න ගත්තේ තාත්තා නැති වුණාට පස්සේ. කාර්යාලයේ සේවක පඩි නඩි, වැඩ කටයුතු ආදිය බැලීම නිර්මාණකරුවෙක් හැටියට මට කරදරයක්. ඒත් ඒ වගකීම් සමඟ මම අවුරුදු දහයක් පමණ ටයිපටියට සහ සභාපති මේසයට හිර වුණා. හැබැයි ඒ අතර මම අලුත් කැමරා, සංස්කරණ මැදිරි, 5.1 සරවුන්ඩ් සවුන්ඩ් මික්සිං ක්‍රම පළමුවරට ලංකාවේ ආරම්භ කරලා වරිග පොජ්ජ චිත්‍රපටයෙන් පටන්ගෙන චිත්‍රපට 27කට වඩා දැන් කරලා තිබෙනවා. ඩීසීපී එකක් ලංකාවේ හදාගන්න තාක්ෂණයත් අපි එක්කරගත්තා. එතෙක් ඉන්දියාවෙන් විශාල මුදලකට කුලියට ගත් ලෝකේ හොඳම ඇරි ඇලෙක්සා කැමරාවත් අල්ට්‍රා ප්‍රයිම් කාචත් ලංකාවට ගෙනාවා. ඒ අතර ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මට හමුවෙනවා. ඔහු සමඟ ඩිල් ෆිල්ම්ස් ඇක්ටින් ඇකඩමිය ආරම්භ කරනවා. සිසුන්ට වෘත්තීය මට්ටමේ තාක්ෂණික පහසුකම් සහිතව, විශාල චිත්‍රාගාරයක චිත්‍රපට පිළිබඳ අධ්‍යයනයට පහසුකම් එයින් සැලසෙනවා. ඉදිරියේ තිරගත වන්න නියමිත මිදුණු විශ්වය චිත්‍රපටයේ වාරෙණ්‍ය ඇක්ටින් ලැබොරටරි විදිහට දකින්නේ ඒ චිත්‍රාගාරය. ඒ වගේම ආසන 15කින් යුතු සරවුන්ඩ් සවුන්ඩ් ඇතුළු නවීණ පහසුකම් සහිත මිනි තියටර් එකක්, තවත් ආසන 70ක ශාලාවක්, හඬකැවීම් අංශ ඔක්කොම අර තාත්තා හිටිය ගොඩනැඟිල්ල ඇතුළෙම හදන්න මම ඒ කාලය ගත කළේ නිෂ්පාදකවරයකුට ඉන්දියාවේ නොගොස් ලංකාව තුළම එකම තැනකින් චිත්‍රපටයට අදාළ සියලු කටයුතු කරගැනීමට අවස්ථාව සලසන්න. ඇත්තෙන්ම තාත්තා දැන් ආවොත් ගොඩනැඟිල්ලේ පිටත අඳුනා ගනී. ඒත් ඇතුළත අඳුනගන්න එකක් නැහැ.

මිදුණු විශ්වයට ඔබ ආකාර හතරකින් සම්බන්ධයි?

ඔව්. කැමරාකරණයෙන්, සංස්කරණයෙන්, ශබ්ද සංකලනයෙන් වගේම වර්ණ සංකලනයෙන්. ඒක ලංකාවේ වෘත්තිය මට්ටමේ එක්තරා වාර්තාවක්. සමහර විට මිදුණු විශ්වය කතාවේ වරෙණ්‍යගේ චරිතය ගොඩ නැඟීමෙදී අපේ ෂූටින් ෆ්ලෝ එක ජයන්ත අය්යාට යම් ආධාරයක් වෙන්න ඇති කියලත් මට වෙලාවකට හිතෙනවා. කොහොම වුණත් හරියටම අවුරුදු දහයකට පස්සේ 2019 ජයන්ත අය්යා මගෙන් චිත්‍රපටයේ කැමරාකරණය කරන්න කැමැතිද ඇහුවාම මට පුදුම ජොලියක් ගියේ. මොකද මිදුණු විශ්වය වගේ දැවැන්ත චිත්‍රපටයකින්ම ආපසු එළියට එන්න ලැබීම සහ කාර්යාලීය කටයුතුත් බාධාවකින් තොරව කරන්න පුළුවන් කියන විශ්වාසය මටම ඇති වීම විශාල සහනයක් වුණා. ඒ වගේම මේ චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නේ චිත්‍රපට පණහක පමණ වර්ණ සංයෝජකයා හැටියට වැඩ කළ අත්දැකීම් සමඟ. ඒ දැනීම සහ මම විෂුවල් ඉෆෙක්ට්ස් පවා කරන නිසා ඇති වූ අවබෝධය කැමරාකරණයේදී, ආලෝකකරණයේදී මොනතරම් පහසුවක් වුණාද කියන සතුට මට තිබෙනවා. සමහර දේවල් ඒ මොහොතෙම විසඳගන්නත්, තවත් දේවල් අන් අයගේ කාලය නාස්ති නොකර පරිගණක මේසයේදී විසඳගන්න පුළුවන් බවටත් තිබෙන අවබෝධය ඉතා වැදගත් වුණා.

ඔබ චිත්‍රපටයක කැමරාකරණ භූමිකාව අර්ථදක්වන්නේ?

ලෝකයේ කැමරා අධ්‍යක්ෂ සහ කැමරා ශිල්පී ලෙස මේ භූමිකාව තල දෙකකට බෙදෙනවා. කැමරා අධ්‍යක්ෂවරයා ආලෝකකරණය ආදිය මඟින් චිත්‍රපටයට තමන්ගේ පිළියම් මනාව යොදනවා. කැමරා ශිල්පියා කියන්නෙ ඒ යන්ත්‍රය මෙහෙයවන්නා යන අර්ථයෙන්. වාර්තා වැඩසටහනක හෝ ප්‍රවෘත්තියක ඇති දේ ඇති සැටියෙන් කිරීමට වඩා සිනමා කැමරාකරණය වෙනස්. සමහර විට අධ්‍යක්ෂවරයා අනුවත් ඒ භූමිකාව වෙනස් වනවා. අධ්‍යක්ෂවරයා සම්පූර්ණයෙන්ම උදාහරණ ඉදිරිපත් කරමින් මේ ආකාරයෙන් කැමරාව මෙහෙයවිය යුතුයි කියන අවස්ථා වගේම කැමරා අධ්‍යක්ෂවරයා සමඟ කතා කරමින් මෙවැනි භාවයක් සඳහා කැමරාව හැසිරිය යුත්තේ කොහොමද යන්න සාකච්ඡා කරනවා. සේවිං ප්‍රයිවට් රයන් හොඳම උදාහරණය. පළමු ලෝක යුද්ධය පිළිබඳ ප්‍රේක්ෂකයා සතු අදහස අනූව දශකයේ ගන්නේ ඒ කැමරා අධ්‍යක්ෂවරයාගේ තාක්ෂණික දැනුමත් සමඟින්. කැමරාකරුට වර්ණ සංයෝජක සමඟ දැඩි අන්‍යෝන්‍යාවබෝධයක් තිබිය යුතුයි. අපේ තාත්තලාගේ කාලේ වර්ණ තාක්ෂණය වෙනස් වුණේ අවුරුදු ගාණකට වතාවයි. ඩිජිටල් වුණ පසු එය ඉතා ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා කැමරාකරු මෙන්ම සංස්කාරක, වර්ණ සංයෝජක වගේම ශබ්ද සංයෝජකත් අලුත් මෘදුකාංග ආදිය ගැන යාවත්කාලීන දැනුමකින් සිටිය යුතුයි. විශේෂයෙන් අධ්‍යක්ෂගේ කතාව ග්‍රහණය කරගැනීමේදී කැමරාකරු නිර්මාණයේ සෑම රූපරාමුවකම තිබෙන පික්සල් 2048ඔ848 පිළිතුර ලෙස එන සෑම තිතකටම වගකිව යුතුයි. අධ්‍යක්ෂවරයාගේ චිත්තරූප ආලෝකය ඔස්සේ ලියන්නා කැමරාකරුයි.

එතකොට සංස්කාරක?

අධ්‍යක්ෂ මනසින් දකින දේ අලෝකය මඟින් ලියන්නේ කැමරා අධ්‍යක්ෂයි. එය ගොතන්නේ සංස්කාරකයි. මම වැඩි වශයෙන් චිත්‍රපටවලට සම්බන්ධ වුණේ සංස්කරණයෙන්. ලෝක පිළිගැනීමට අනුව සංස්කාරක හා සංස්කරණ ශිල්පියාත් වෙනස්. මෙය ආන්දෝලනාත්මක ලෙස ගත යුතු ප්‍රකාශයක් නෙවෙයි. යන්ත්‍රය මෙහෙයවන්නාට වඩා සංස්කාරකවරයෙක් අතින් තමයි කෘතියක් හැදෙන්නේ. එහි තේරුම චිත්‍රපටය හදන්නේ සංස්කාරක කියන අදහස නෙවෙයි. අධ්‍යක්ෂවරයා විවිධ රූපරාමු, කැමරා කෝණ ඔස්සේ එකතු කරලා දර්ශනයක් කොටුකරගැනීම සඳහා ගන්නා අමුද්‍රව්‍යවලින් අවශ්‍ය අනවශ්‍ය කොටස් සහ අවශ්‍ය භාවය කුමක්ද යන්න ඔප මට්ටම් කර අධ්‍යක්ෂවරයාගේ දැක්ම ඔහුට අවශ්‍ය පරිදි එළි දක්වන්නේ සංස්කාරකයි.

ශබ්දයෙන් චිත්‍රපටයක රූපයෙන් නොකියවෙන අර්ථ නිරූපණය වනවා?

ශබ්ද කියන්නේ දෙබස් විතරක් නෙවෙයිනේ. භාවයේ ලොකු ප්‍රතිශතයක් ශබ්ද මඟින් නිරූපණය වනවා. බොහෝ වෙලාවට සංස්කරණයේදී ඩමි මියුසික් කියලා දෙයක් භාවිත කරනවා අවශ්‍ය භාව ප්‍රකාශනය කරගන්න. ඊට පස්සේ සංගීත අධ්‍යක්ෂවරයා තමයි තමන්ට කැමැති විදිහට එයට සංගීතය සපයන්නේ. ඒත් අපි කතාවේ මූඩ් එක හදාගන්න, මොනවගේ කාලයකද, පරිසරයකද, අවස්ථාවකද යන්න ශබ්ද ඇසුරෙන් නිර්මාණය කරගන්න ඩමි සවුන්ඩ්ස් භාවිත කරන්නේ. උදාහරණයකට මිදුණු විශ්වයේ කැමරාකරණය සමඟ මම පසුතලයේ සිටි නිසා රාජිනී හිල්මන් කාරයකින් යද්දි ඒ ශබ්දය නිවැරැදිව යොදාගන්න පුළුවන් වුණා. ඒත් සෑම චිත්‍රපටයකම ශබ්ද සංයෝජක පසුතලයේ ඉන්නේ නැති නිසා මෙවැනි දේවල් පිළිබඳව විශාල දැනුම් සම්භාරයක් ඔහුට තිබිය යුතුයි. නිර්මාණය සියුම්ව සුසර වන්නේ නියම ශබ්ද සංයෝජනයත් සමඟ. ඒත් ලෝකේ සමහර විට යළි යළිත් චිත්‍රපට සංස්කරණය වන අවස්ථා නැතුවා නෙවෙයි. ජෝර්ජ් ලූකස් නැමැති සිනමාවේදියා 'කවදාවත් අධ්‍යක්ෂවරයෙක් චිත්‍රපටයක් මුදාහරින්නේ නැහැ. චිත්‍රපටය ඔහු අතින් බේරී යනවා මිසක' කියා කීවේ ඒ නිසයි.

වර්ණ සංයෝජක ගැනත් ඔබට කිව හැකියි?

ඩිජිටල් තාක්ෂණය එන්න කලින් මිලිමීටර 35 හෝ 70 සේයාපටවලින් රූපගත කරද්දි වර්ණ භාවය අපි හැදුවේ පසුතලයේදීමයි. ඒ කාලේ තිබුණේ ඇනලොග් ෆිල්ටර්ස් නිසා නිල්පාට ඇඳුමක් රතු කරන්න හරි අමාරුයි. ඒත් අද නිල් අහස තැඹිලි කරන්න පුළුවන්. පසුතලය සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන්. මම මේ විෂයේදී සිංහල වචන භාවිත කරනවාට විරුද්ධයි. මොකද අපේ ඩිල් ෆිල්ම්ස් සිනමා ඇකඩමියේ පවා මේ විෂයන් උගන්වන්නේ ඉංග්‍රීසි වචනවලින්. එය ඇත්තෙන්ම අපි අර්ධ සේවාවක් හැටියට කරගෙන යන්නේ. වෘත්තීය මට්ටමේ පසුබිමක නවකයන් පුහුණු කිරීමට. එය අපේ ආයතනයේ අතුරු ඵලයක් ලෙස කරගෙන යන්නක්. සිනමාව කියන්නේ අධි තාක්ෂණික කර්මාන්තයක්. ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා නිර්මාණාත්මක වශයෙන් මිල කරන්න බැරි වුණත් ඩාවින්චිට වැය වන්නේ අද කාලෙන් හිතුවොත් ඩොලර් විසිපහක තිහක පිරිවැයක්. හැබැයි ලාබම චිත්‍රපටයවත් ඒ පිරිවැයෙන් කරන්න බැහැ. ශිල්පීන්, තාක්ෂණික මෙවලම් ආදිය බෙහෙවින් භාවිත වෙනවා. ඒ නිසා වෘත්තීය මට්ටමේ අයට පවා මෙයට සහභාගී වෙලා අලුත් දේ පිළිබඳ යාවත්කාලීන වන්න පුළුවන්. ඇත්තෙන්ම අධ්‍යක්ෂවරුන් විතරක් නෙවෙයි නිෂ්පාදකවරුන් වුණත් මේ වගේ දැනුමක් ඇතුව ක්ෂේත්‍රයට එනවා නම් අපේ කර්මාන්තය මීට වඩා බොහෝ වෙනස් වෙනවා. අනෙක අපි අන්තර්ජාලයේ හෝ සොයද්දි ඒ ඉංග්‍රීසි වචනයෙන් සෙවුවොත් තමයි වෘත්තීය මට්ටමේ පිළිතුරක් අපට ලැබෙන්නේ. සිංහලෙන් හෙව්වාට ඒ පහසුකම ලැබෙන්නේ නැහැ තවම. කලර් ග්‍රේඩින්වලදි අපට භාවය අනුව වර්ණය වෙනස් කරන්න පුළුවන්. කතාව කියන්න අපට පාට හොඳීන් යොදන්න පුළුවන්. අද්භූත කතාවක නම් නිල් සුදු වර්ණවලින් සීතල භය ගතියක් ගන්න අපට පුළුවන්. සතුට, හාස්‍යය, දුක ආදිය නියෝජනය කරන වර්ණ තිබෙන නිසා කලර් තෙරපි එකකින් නිර්මාණයක් හොඳීන් ඔපමට්ටම් කරන්න වර්ණ සංයෝජනය භාවිත කළ හැකියි. ඒකත් චිත්‍රපටයක වැදගත් භූමිකාවක්.

නිෂ්පාදකවරුන් ගැන මේ කාලේ බොහෝ කතාබහට ලක් වෙනවා?

ඇත්තෙන්ම අපේ රටේ නිෂ්පාදකවරු අර්ථ දක්වා තිබෙන්නේ වැරැදි විදිහට. පිටරටවල නිෂ්පාදක තමයි නළුවරණය, අධ්‍යක්ෂවරයා තේරීම ආදිය කරන්නේ. අපේ අර්ථපතියා තමයි නිෂ්පාදක ලෙස දක්වන්නේ. හැබැයි රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර අධ්‍යක්ෂණය කරන ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ මම විධායක නිෂ්පාදක ලෙස කටයුතු කරනවා. හැබැයි මම සතයක් වත් යොදවලා නැහැ. ඔවුන් මට ගෙවනවා ඒ රාජකාරිය කරනවාට.

ලංකාවට චිත්‍රපට පාසල් අවශ්‍යද?

ඇත්තෙන්ම ලංකාවේ ෆිල්ම්ස්කූල් දැනට වැඩියි. සමහර ආයතන නවකයන්ගේ ඔළු විකෘති කරන, අනවශ්‍ය ආකල්ප පැළ කරන තැන් බවට පත්වෙලා තිබෙනවා. ලංකාවේ තමයි වාණිජ සහ කලාත්මක කියලා බෙදීමක් චිත්‍රපටවලට ඇතිකරගෙන තියෙන්නේ. පිටරටවල වර්ගීකරණයක් තිබුණට ඒවා ඔස්කාවලට පවා යනවා. චිත්‍රපටයක හාස්‍යමය කොටසක් තිබුණා කියලා ඒක පහත් චිත්‍රපටයක් වන්නේ නැහැ. එහෙම නැහැ කියලා සම්භාව්‍ය වන්නෙත් නැහැ. ලංකාවේ වැඩි වශයෙන් සම්මානයට ලක්වන්නේ එක්තරා වට්ටෝරුවක කෘතිවලට. එය අනාගතයේ සිනමාවට පිවිසෙන අයගේ නිර්මාණවල නිදහසට විශාල බාධාවක්. ඒ නිසා සිනමා ජූරිවල ඉන්න අයටත් වගකීමක් තිබෙනවා මේ කර්මාන්තය හැඩ කරන්න. උදාහරණයකට පර්ෆෙක්ට් ස්ටෝම් කියන චිත්‍රපටය ඒ කාලේ ග්‍රැෆික්වලින් වතුර සුළිය හැදුවට හොඳම තාක්ෂණ භාවිතය සඳහා සම්මානයක් දුන්නා. එයින් වුණේ ඊළඟ වසරේ ඊටත් වඩා දෙයක් රකන්න සිනමාකරුවන් උනන්දු වන එක. ඇත්තෙන්ම සම්මාන ඇගයීමක් කරනවා කියන්නේ කෙනකුට පොඩි ජොලියක් දැනෙනවානේ. ඒක හරි වටිනවා අනාගතයට. ඒ නිසා ජූරි සාමාජිකයන් පවා ස්වාධීන මතධාරී යාවත්කාලීන පුද්ගලයන් විය යුතුයි. අනෙක අපේ රටේ අවුරුදු 35 විතර වන අධ්‍යක්ෂවරුන් පිරිසක් දැන් බිහි විය යුතුයි. හැබැයි ඔවුන් උලෙළ සඳහා නොවෙයි පොදු ප්‍රේක්ෂක රසාස්වාදය උදෙසා චිත්‍රපට නිර්මාණය කරන්නන් විය යුතුයි.

මොනවද ඔබේ ඉදිරි කටයුතු?

ඇත්තෙන්ම ලංකාවේ දැන් වැඩිහරියක් චිත්‍රපටවල කටයුතු කෙරෙන්නේ අපේ ඩිල්ෆිල්ම්ස් මඟින්. ඒක මට ලොකු ආඩම්බරයක් වගේම ලොකු ජයග්‍රහණයක්. මිදුණු විශ්වය වගේම ශ්‍රී සිද්ධාත් ප්‍රදර්ශනය වනකල් ආසාවෙන් බලා ඉන්න චිත්‍රපට දෙකක්. ලංකාවට ඇත්තෙන්ම අවශ්‍ය හොඳ කතා කියන්නන්. අනෙක් තාක්ෂණික ශිල්පීන් සහ තාක්ෂණය ඕනෑතරම් ලංකාවේ තිබෙනවා. හැබැයි අපට නැත්තේ නිර්මාණාත්මක බව සහ අඩු පිරිවැයෙන් වැඩි වැඩක් කළ හැකි වීම. ඒ නිසා ලංකාවේ සිනමාවට සිදු විය යුත්තේ ආකල්ප ගොඩ නැඟීම සහ දිරිමත් වීම. පාඨමාලාවලින් උපාධියක් ලැබීමෙන් ප්‍රායෝගික දැනුම ලබන්න බැහැ. මෙය ප්‍රායෝගික විෂයක්. එනිසා ප්‍රතිභා සම්පන්න පිරිසක් සහ කර්මාන්තයේ ප්‍රමිතිකරණයක් අවශ්‍යයි. මම මේ කර්මාන්තයෙන් ජීවත්වන තුන්වැනි පරපුර. අපේ සීයා රොබට් ජයරත්න කෑගල්ල ජයරත්න ස්ටුඩියෝව අයිති නිශ්චල ඡායාරූප ශිල්පියෙක්. තාත්තා ඔබ දන්නවා. මගේ පුතා නම් මේ දේවල්වලට යොමුවෙයිද දන්නේ නැහැ. මම බලකරන්නෙත් නැහැ. අන්දන්නන් සහ ඇන්දෙන්නන් නැතිවන තුරු මේ කර්මාන්තය ගොඩ ගන්න අපහසුයි. ඒත් මම මේ ක්ෂේත්‍රයට ආදරෙයි. ඒ නිසා අපේ ආයතනයෙන් දිය හැකි සෑම පහසුකමක්ම චිත්‍රපටකරණයට යොමුවන අයට සපයන්න කැමතියි. තමන්ගේ චිත්‍රපටය සමඟ එනවානම් අපට කතාව තවදුරටත් ඔප මට්ටම් කරන්න රචකයාගේ කැමැත්ත අනුව පුළුවන්. ස්ක්‍රිප්ට් ඩොක්ටරින් කියන්නේ ලෝකේ පිළිගත් දෙයක්. ඉන් පස්සේ සියලුම කටයුතු අපිට පුළුවන් චිත්‍රපටය වෙනුවෙන් සංවිධානය කර දෙන්න. සමහර විට මගේ තරගකාරී ශිල්පියෙකු වුණත් යොදාගන්න පුළුවන්. අපට ඕනේ නිර්මාණකරුවා තමන්ගේ ඔළුව නිදහස් කරගෙන නිර්මාණයේ යෙදෙන්න. හොඳ නිර්මාණ හදන්න. ඒ සහාය දෙනවා වගේම මම කැමැතියි සිනමාවේ මාෆියාවක් ඇති වෙනවා නම්. ඒ නිකම්ම මාෆියාවක් නෙවෙයි. මට කවුරුහරි තර්ජනාත්මකව කියනවා නම් ප්‍රවීණ් ඔයා වැඩ කරන්න ඕනේ අපිත් එක්ක විතරයි. අනිත් අයත් එක්ක බෑ කියලා. ඒ තරමට අපේ කර්මාන්තය දියුණු කරගන්න මගේ වපසරිය තුළ මට කළ හැකි දේ කිරීම තමයි මගේ ඉලක්කය.