මම කැමරාවට බය නැහැ

නිළි රැජනගේ තුන්වැනි පරපුර කුෂේන්‍යා ෆොන්සේකා
සැප්තැම්බර් 24, 2020

“ප්‍රේමය නම්” සිනමාපටය ඔබ හමුවට ගෙන ආ කල්පන ආරියවංශ හා වින්දන ආරියවංශ දෙසොහොයුරන්ගේ තිරරචනයක් සහ අධ්‍යක්ෂණයක් වන “රූකඩ පැංචි” සිනමාපටය අද (24) සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලාවලදී තිරගත කෙරේ. එහි ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන්නේ මාලිනී ෆොන්සේකාගේ තෙවැනි පරපුර නියෝජනය කරන කුෂේන්‍යා ෆොන්සේකා. රූකඩ පැංචි ගැන කතාබහකට අපි කුෂේන්‍යාව එකතු කරගත්තේ මෙලෙසයි.

සම්පූර්ණ නම මොකක්ද? 

කුෂේන්‍යා සයුමි ෆොන්සේකා

වයස කීයද?

මගේ වයස 14යි. 

රූකඩ පැංචි කියන්නේ කුෂේන්‍යාගේ පළවෙනි චිත්‍රපටයද?

නැහැ. මම මීට කලින් "දැකලා පුරුදු කෙනෙක්" චිත්‍රපටයේ රඟපෑවා. හැබැයි මම එතකොට ගොඩක් පොඩියි. 

ඔබ රඟපන්නේ මෙහි ප්‍රධාන චරිතය. බය හිතුණේ නැද්ද?

නැහැ. මට බය හිතුණේ නැහැ. අනිත් අය කැමරාවට බයයිනේ. හේතුව මොකක්ද දන්නේ නැහැ මට එහෙම බයක් හිතෙන්නේ නැහැ. 

"රූකඩ පැංචි" චිත්‍රපටයට කුෂේන්‍යාට ආරාධනා කරන්නේ කවුද?

කල්පන අංකලුයි වින්දන අංකලුයි තමයි මට මේ ෆිල්ම් එකට එන්න කියන්නේ. මගේ සීයා (ආනන්ද ෆොන්සේකා) ගත්ත photos වලින්, ශානි නැන්දා (සමනලී ෆොන්සේකා) දාලා photos වලින් තමයි එයාලා මාව දැකලා තියෙන්නේ. ඊටපස්සේ මාව අංකල්ලා පොඩි interview එකකට වගේ අරගෙන තමයි ෆිල්ම් එකේ රඟපාන්න අවස්ථාව දුන්නේ. 

මේ චිත්‍රපටයේ කුෂේන්‍යාගේ චරිතය ගැන කිව්වොත්?

ඒ ගෑනු ළමයා බුද්ධිමත් කෙනෙක්. එයා ගොඩක් රූකඩ එක්ක ඉන්න කැමති කෙනෙක්. එයා මුළු ලෝකයේම දැනුම හොයනවා. 

රූකඩ පැංචි, රූකඩ එක්ක කතා කරන්න පුරුදු වුණේ කොහොමද?

මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. පසුව පිටපත කියවලා මාස දෙකක් විතර කල්පන, වින්දන අංකල්ලා මාව පුහුණු කළා කට හොල්ලන්නේ නැතුව කතා කරන ගමන් රූකඩය හසුරුවන්න. එයාලා මට රූකඩ දෙකක් ගෙනල්ලා දුන්නා. විශේෂයෙන් වින්දන අංකල් "ඔයා මෙහෙම කරන්න, මෙහෙම කරන්න" කියලා ඉගැන්නුවා. 

මේ චිත්‍රපටයේ කුෂේන්‍යා එක්ක සිනමාවේ දැවැන්ත චරිත රඟපානවා. ඒ අයගෙන් ලැබුණු සහයෝගය කොහොමද?

ඒ අය එක්ක වැඩ කරන්න ගොඩක් ලේසියි. ජැක්සන් අංකල් (ජැක්සන් ඇන්තනී) මට ගොඩක් කියලා දුන්නා රඟපාන විදිහ. ලොකු ආච්චිත් (මාලිනී ෆොන්සේකා) මේකේ රඟපෑව නිසා මට ගොඩක් උදවු කළා. 

කුෂේන්‍යා කියන්නේ නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ තෙවැනි පරම්පරාවේ නියෝජනයක් නේද?

ඔව් ඒ මගේ ලොකු ආච්චි. ඒ මගේ තාත්තාගේ  තාත්තාගේ ලොකු අක්කා. ඒ කියන්නේ මගේ සීයාගේ (ආනන්ද ෆොන්සේකා) ලොකු අක්කා. 

ඒ පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මට ගොඩක් උදවු ලැබෙන්නේ ශානි නැන්දාගෙන්. (සමනලී ෆොන්සේකා) ෆිල්ම් එකේ රඟපාන්න යන්න කලිනුත් එයා කෝල් කරලා ඔයා මෙහෙම කරන්න මෙහෙම කරන්න කිව්වා. ඊට කලින් එයා එක්ක දෙබස් කියන විදිහ පුරුදු වුණා. ඒ වගේම සීයායි (ආනන්ද ෆොන්සේකා), ලොකු ආච්චියි (මාලිනී ෆොන්සේකා) උදවු කළා. 

ඔබට පාසලෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?

මගේ පාසල කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලය. චිත්‍රපටය තිරගත වෙනකං මගේ පංති භාර ගුරුතුමිය ඇතුළු ඉස්කෝලේ යාළුවෝ හැමෝම නොඉවසිල්ලෙන් ඉන්නේ. shooting නිසා ඉස්කෝලේ යන්න බැරි වෙලා අතපසු වුණු වැඩ ටික කරගන්න මට මගේ යාලුවෝ ගොඩක් උදවු කළා. 

කුෂේන්‍යාත් අනිත් අය වගේ දිගටම රංගන ක්ෂේත්‍රයේ ඉන්නද බලාපොරොත්තු වෙන්නේ?

මගේ එහෙම බලාපොරොත්තුවක් කලින් තිබුණේ නැහැ. මම කැමති නර්ථනයට. ඒත් අම්මාලා දැන් කියනවා හොඳ චරිතයක් ලැබුණොත් කරන්න කියලා. මමත් දැන් හිතන් ඉන්නේ එහෙම තමයි.