තරුමිණි නිසා අත පය නිල් වුණා..

ධරණි සමඟ එන අලුත්ම තාරකාව හේශානි ලියඳීපිට
සැප්තැම්බර් 24, 2020

දෙරණ නාළිකාවේ විකාශය වන නවතම ටෙලි සිතුවමයි ධරණි. එය ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකගේ අධ්‍යක්ෂණයක් වන අතර ජානක සිරිවර්ධන නිෂ්පාදනය කරනු ලබයි. ධරණි ටෙලි සිතුවම සමඟින් තවත් නවක තාරකාවක් ටෙලි අඹරට පායා ඇවිත්‍ ය. ඇය නමින් හේෂානි ලියඳීපිටයි. හේෂානි ටෙලි නාට්‍ය කලාවට ආගන්තුක වුවත් වෙළෙඳ දැන්වීම් ඔස්සේ නිරන්තරයෙන් අප හමුවට ආවාය. ඇය ධරණිහි තරුමිණි වෙමින් මේ වනවිට ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා සිටින්නීය.

 

හේෂානි, ඔබට ධරණි සඳහා අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම වෙළෙඳ දැන්වීම් ගණනාවක රඟපෑවා. එහෙම ඉන්න අතරතුරදි නාට්‍යවලට කතා කළා. මම ගියේ නැහැ. වෙළෙඳ දැන්වීම් කළෙත් මම දන්න හිතවත් අයගේ පමණයි. මේ වසරේ පැවැත්වුණු දෙරණ අවුරුදු කුමරි සඳහා ඇප්ලයි කළා. එහි ෆස්ට් ප්ලේස් ආවේ මම. කොවිඩ් කාලෙන් පස්සෙ ඔය තරගාවලියෙන් ජය ලැබූ සියලු දෙනාට දෙරණින් කතා කළා. එහිදී ඔවුන් ඉදිරියෙදි පටන් ගන්න නිර්මාණ ගැන පැවසුවා. ධරණි ගැනත් කිව්වා. එතැනදි පැවැත්වූ ස්ක්‍රීන් ටෙස්ට් එකකින් පසුව තමයි මට තරුමිණි කියන චරිතය ලැබුණේ. මේ වෙලාවේ දෙරණේ ලක්සිරි සර්, සුබා අක්කා, චරිත් කොතලාවල, ධරණී අධ්‍යක්ෂ ශ්‍රියන්ත, පිටපත් රචක නිදුක් මදුශික අයියාලාවත් නිශ්පාදක ජානක සර්ටත් ස්තූති කරන්න ඕනේ.

 

තරුමිණි කියන්නේ කවුද?

තරුමිණි කියන්නේ බොහොම ආදරණීය චරිතයක්. ඇයගේ සැමියා තරුණ වයසෙදිම මිය ගිහින්. දරුවො දෙන්නත් එක්ක ඇය ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙනවා. සංකීර්ණ චරිතයක්.

 

පළමු ටෙලි නිර්මාණයේ ඔබට සටන් දර්ශන එහෙමත් තියෙනවා. කොහොමද ඒ අත්දැකීම?

අත්දැකීම හරිම සුන්දරයි, ඒ වගේම භයානකයි එක අතකින්. තරුමිණිගේ පියා මාර්ශල් ආර්ට් මාස්ටර් කෙනෙක්. ඔහු දියණියට ශිල්පය උගන්වලා තියෙනවා අවශ්‍ය වෙලාවන්වලදි පාවිච්චි කරන්න. ෆයිට් දර්ශන කිහිපයක්ම තියෙනවා. ඔසඳ සමන් බණ්ඩාර තමයි ෆයිට් ඩිරෙක්ටර්. සමහර ෆයිට්වලදි අපි අතින් වැරදුණාම ඔහුගේ රතු කට්ට පනිනවා. එහෙම වුණාම සද්ද නැතුව ඉන්න එක තමයි කරන්නේ. දවස් දෙක තුනක් එකම තැනට පහරවල් වැදිලා නිල් වෙනවා. අයිස් තිය තිය තමයි රඟපාන්නේ. එක සැරේ පස් දෙනෙකු එක්ක ෆයිට් කරන්න වුණු අවස්ථාත් තිබුණා. කෙසේ වෙතත්,මම හිතනවා පළමු ටෙලි නාට්‍ය රංගනය සීනි බෝල එකක් නොවී මෙවන්වූ චරිතයක් වුණ එක මගෙ වාසනාවට සිද්ද වෙච්ච දෙයක් කියලා.

 

දැන් ජනප්‍රියත්වයත් ඔබ සොයාගෙන ඇවිල්ලා ඇති?

ඔව්. පාරේ තොටේ යද්දි ඒක හොඳටම දැනෙනවා. නොසිතූ විරූ ජනප්‍රියත්වයක්නේ ලැබුවේ. ඒත් මගේ නිදහසට බාධාවක් වුණේ නැහැ. මාස්ක් එක පාවිච්චි කරන නිසා සුපුරුදු පරිදි එහෙ මෙහෙ යන්න පුළුවන්. ඒත් අඳුන ගන්න අය ඉන්නවා. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක්. එහිදීත් නොසෑහෙන්න ප්‍රතිචාර ලැබෙනවා.

 

උපාධිය ගත් පසුත් දිගටම ක්ෂේත්‍රයේ රැඳෙනවාද?

මම රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් රඟපෑම අතහරින්නේ නැහැ. හොඳ චරිත කරමින් ක්ෂේත්‍රයේ රැදෙන්නයි උත්සහ කරන්නේ.

 

ඔබේ ගම කොහෙද?

මම කොළඹ.

 

ඉගෙනගත් පාසල?

කොළඹ යශෝධරා බාලිකාව.

 

උපන්දිනය?

අනූහයේ ජූනි දහනවය.

 

නිශ්ශංක විජේරත්න