ඔහුගේ ජීවිතය නර්තනයයි

විශ්ව ශංඛනාත්
ඔක්තෝබර් 8, 2020

මේ විශ්ව ශංඛනාත්, අලුත් නැටුම් අධ්‍යක්ෂවරයෙක්...

නර්තනයට යොමු වෙන්න ඕන කියන හැඟීම මට මුලින්ම ඇති වුණේ වයස අවුරුදු 10 දී පමණ. මම පුදුමකාර විදිියට ප්‍රිය කරපු නළුවෙක් තමයි රිතික් රෝෂන්. ඔහු රංගන ශිල්පියෙක් වගේම අති දක්ෂ නර්තන ශිල්පියෙක්.  මම කුඩා කාලයේදී  ඔහුගේ නර්තන විලාසිතාවන් අනුකරණය කරන්න පටන් ගත්තා. මම අධ්‍යාපනය ලබපු විෂන් ජාත්‍යන්තර පාසලේ පැවති විවිධ ප්‍රසංගවලදී ඒ අනුසාරයෙන් බටහිර ආරයේ නර්තනාංග සහ බොලිවුඩ් නර්තනයන් ඉදිරිපත් කළා. ඒවාට මගේ යහළු යෙහෙළියන්ගෙන් බොහොම හොඳ ප්‍රතිචාර ලැබුණා.

ක්‍රම ක්‍රමයෙන් වයසින් මුහුකුරා යද්දී මට දැනුණා හුදෙක් අනුකරණයට එහා ගිය දෙයක් මට නර්තනය තුළින් කිරීමට හැකි බව. මම තෘතියික අධ්‍යාපනය  ලබපු IDM ආයතනය විසින් මෙහෙය වූ Talent Search තරඟාවලියේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය හිමිවීමත් සමඟම මම තීරණය කළා  නර්තනය  ඔස්සේ දිගු ගමනක් යන්න. ඉතින් ඒ විදියට ආපු  ගමන් මඟේ මම අද වෘත්තීමය නර්තන ශිල්පියෙක්, නර්තන ආචාර්යවරයෙක් විදියට කටයුතු කරනවා. ඒ ගැන මම අතිශයින් තෘප්තිමත්.

දෙරණ රූපවාහිනී නාළිකවෙන් විකාශනය වූ City Of Dance නර්තන තරගාවලිය තමයි මම සහභාගි වූ පළමුවන රියැලිටි වැඩ සටහන. මගේ අක්කා තමයි ඒ සඳහා අයදුම්පතක් ඉදිරිපත් කරලා තිබුණේ මගේ අනු දැනුමකින් තොරවම. ඒ 2010 වර්ෂයේදී. එහිදී දෙවන වටයෙන්ම මම තරගයෙන් ඉවත් වෙනවා.  නමුත් එයින් පසු බසින්නේ නැතිව 2011 සහ 2012 වර්ෂවලදී එම තරගාවලිය සඳහා මම ඉදිරිපත් වුණා.

Derana City of Dance  හි සිව් වැනි අදියරේදී ජනප්‍රිය රංගන ශිල්පී තිරාෂා සෙව්වන්දි සමඟින් තරග වැද  අවසන් තරගකරුවන් පස් දෙනා අතරට පැමිණීමට අපට හැකි වුණා.  අනතුරුව මේ තරගාවලියේ පස් වන  අදියරේදී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමටත්, දක්ෂතම කේවල නර්තන ශිල්පින් දෙදෙනා අතරට පත්වීමටත් මට හැකියාව ලැබුණා. ඉන් අනතුරුව 2016 වසරේදී දෙරණ නාළිකාව මඟින් මෙහෙය වූ Star City රියැලිටි වැඩසටහනට සම්බන්ධවීමට මට අවස්ථාව උදා වෙනවා. එහිදී ජනප්‍රිය නළු රන්ජන් රාමනායකගේ Golden Kings කණ්ඩායමේ සාමාජිකයෙක්  ලෙසින් තරඟ වැද සමස්ත තරගාවලියේ අනු ශූරතාව දිනා ගැනීමට අපට හැකි වුණා.

ඉන් පසුව දෙරණ Little Star රියැලිටි තරඟාවලියේ 8 වන අදියර සඳහා මම නර්තන ආචාර්යවරයකු ලෙස දායක වෙනවා.  හැබැයි ඒ තිරයෙන් පිටුපස සිටයි.  එහිදී මා විසින් ඉදිරිපත් කළ තරගකාරිය වන විශ්මි පබසරා එම අදියරේ ජනප්‍රියම තරුව බවට පත් වුණා. මා විසින් බිහි කළ ලංකාවේ ළාබාලතම හිප් හොප් නර්තන ශිල්පිනිය වන්නේ ඇයයි.

පසුව මම Hiru Super Dancer - Season 2  තරගාවලියේ දී තරඟ බිමිට පිවිසෙන්නේ නර්තන ආචාර්යවරයෙකු ලෙසයි. එහිදී නර්තානාංග පුහුණු කරවීමට මට දරුවන්  සිව් දෙනෙකු ලැබෙනවා. ඒ අතුරින් විශ්මි සංජනා සහ දෙනෙත් ආකර්ෂා යන  දෙදෙනා අවසාන තරගකරුවන් පස් දෙනා අතරට ගෙන ඒමට මට හැකි වෙනවා. ඇත්තෙන්ම එය මා ලද ලොකු ජයග්‍රහණයක්.  මෙයින් දෙනෙත් ආකර්ෂා අවසන් මහා තරඟාවලියට සුදුසුකම් ලැබ සමස්ත තරඟාවලියේ තෙවන  ස්ථානයට පත් වෙනවා. ගුරුවරයෙක් විදියට මීට වඩා ලබන්න පුළුවන් තවත් සතුටක් තියෙනවාද?

Hiru Super Dancer තරඟාවලියේ විනිසුරුවරයකු  ලෙසින් කටයුතු කළ ජැක්සන් ඇන්තනි මහතා කියන්නේ කලා ක්ෂේත්‍රයේ අති  දැවැන්තයෙක්. උපුලි පණීභාරතයන් කියන්නේ පාරම්පරික නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය ඇදුරතුමියක්. තරුණ ගායන  ශිල්පියෙක්,  නර්තන ශිල්පියෙක් විදියට අපි හැමෝගෙම ආදරය දිනා ගත්  දුෂ්‍යන්ත වීරමන් මහතාත් එම විනිශ්චය  මණ්ඩලයේ කටයුතු කළා. මේ සියලු දෙනාගෙන් ලැබුණු අගය කිරිම, පැසසුම් උපදෙස් නිසා තව තවත් නව නිර්මාණ බිහි කිරීමට මම යොමු වුණා.

ඒ වගේම Derana City of Dance තරගාවලියේදී විනිසුරු මඩුල්ල ලෙසින් අපට  හමු වූ ගුරු චන්න විජේවර්ධනයන්, ගුරු චන්දන වික්‍රමසිංහයන්, කෙවින් නුගාරා ඇදුරුතුමන්වත්  සිහිපත් කළ යුතුමයි. මම ඉදිරිපත් කළ එක්තරා Contemporary  නර්තනයකින් පසුව ගුරු චන්න විජේවර්ධනයන් මාව Air Freezer  නමින් ඇමතුවා. ඒ දේවල් හරිම සුන්දර මතකයන්.

මියුසික් වීඩියෝ ගණනාවකට  හා වෙළඳ දැන්වීම් කිහිපයකටම මම දායක වෙලා තියෙනවා. හැබැයි අවසන් ඉනිම ටෙලි නාට්‍යයෙන් පස්සේ වෙනත් ටෙලි නිර්මාණවලට නම් සම්බන්ධ වුණේ නැහැ.

සිනමා පටයකට නර්තන අධ්‍යක්ෂණයෙන් දායක වෙන්න ලැබුණොත්

මම කිසිදු විටක එය මඟ හරින්නේ නැහැ. ඉතාම කැමැත්තෙන් එය භාර ගෙන නිර්මාණය සඳහා මගෙන් විය යුතු උපරිමය නොපිරිහෙලා ඉටු කරනවා.

වෘත්තීමය පැත්තෙන් සාර්ථක වෙන්නත්, නර්තනය තුළින් දිගු ගමනක් යන්නත් මගේ පවුලෙන් ලැබුණු සහයෝගය ඇත්තටම වචනවලින් කියලා නිම කරන්න බැහැ. මගේ තාත්තා නමින් ලක්වින් රණසිංහ.  ඔහු දැන් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ජිම්නාස්ටික් පුහුණුකරු  ලෙසින් සෙවය කරනවා. මගේ අම්මා කාංචනා රණසිංහ. ඇය  ගෘහණියක්. මගේ අක්කා  සංඛපාලි රණසිංහ. ඇය වෘත්තියෙන් ඉංග්‍රිසි ගුරුවරියක්. පවුලේ එකම පිරිමි දරුවා කලාවට යොමු වීම වරදක් කියලා කවදාවත් මගේ  දෙමාපියන් හිතුවේ නෑ. ඔවුන් අදටත් මගේ නර්තන නිර්මාණ පුදුම විදියට රස විඳනවා. 

0771612341 අංකය ඔස්සේ ඔබට විශ්වට සුබ පැතීමට හැකියාව පවතී.