සංගීත සන්දර්ශනවලට යනවා මතකයි ආයෙමත් එනවා මතක නැහැ

ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක
ඔක්තෝබර් 8, 2020

“කලාව කියන දේ ඉතින් හැම කෙනෙක්ටම ඕනේ දෙයක්නේ. ඒක නැතුව මනුස්සයෙක්ට ජීවත් වෙන්න බැහැ. කලාව නැතුව ජීවත් වෙන්න කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ ජීවිතය යාන්ත්‍රික වෙනවා” කලාව ගැන ඔහු අපට පැවසුයේ එසේය. දන්නා අයගේ නොදන්නා කලාව සොයාගෙන යන ගමනේදී අපට හමුවුණා රාජ්‍ය නිලධාරියෙක්. ඔහු ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති නීතීඥ කිංස්ලි රණවක.  කලාව සියල්ලන්මට පොදු සාධකයක් වේ නම් ඔහුටත් එය එසේ විය යුතුයි. එම නිසා අප ඔහුට සම්මුඛ වූයේ කලාව ගැන විමසීමටයි.

මේ කතාව අපි ගමෙන්ම පටන් ගමු?

මගේ ගම දකුණු පළාතේ. මාතර... දකුණු පළාත කියන්නේ විවිධ කලා අංගවලට ප්‍රසිද්ධ පැත්තක්නේ. නැටුම්ද, නාඩගම්ද සොකරිද රූකඩද කෝලම්ද මේ හැමදේම දකුණු පළාතේ තිබුණා. ඇත්තටම කලාව මුලින්ම අපි දැක්කේ ගමෙන්. අපි පොඩි කාලේ ගමේ වැඩිහිටි අය නාඩගම් එහෙම නැටුවා. පන්සල තමයි මේ වැඩවලට මූලික වුණේ. මම පහේ පන්තියේ ඉඳලා ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට. ඉතින් සති අන්තේ නිවාඩුවට ගමේ එන්න ඉස්පාසුවක් නැහැ මේවා බලන්න. ඒ කාලේ අපිට ටෙලිවිෂන් නැහැ. කලාව කියලා දැක්කේ අපි මේ දේවල්. ඒත් දැන් ළමයි නාඩගම් කෝලම් කියන්නේ මොනවද කියලා දන්නෙත් නැතුව ඇති. 

පාසල් කාලය කලාවත් එක්කද ගත කළේ?

ඉස්කෝලේ ඉතින් සෞන්දර්ය කියලා විෂයක් අපි ඉගෙනගත්තේ නැහැ. චිත්‍ර කර්මය කියලා විෂයක් තිබුණා ඒක හැදෑරුවා. මොකද ඒක හැමෝටම හදාරන්න වුණා. ඉස්කෝලේ පන්ති රැස්වීම්වලදී නම් අපි සිංදු කියලා නාට්ටි රඟපාලා තියෙනවා. ඒත් සෞන්දර්යට ලොකුවට ඇබ්බැහි වෙලා හිටියේ නැහැ. මම උසස් පෙළට කළේ විද්‍යා විෂයන්. 

චිත්‍රපටි බලන්න පටන් ගත්තේ කොයි කාලේද?

මාතර ගෙදර ඉද්දි පොඩිම කාලේ චිත්‍රපටි බැලුවා මතකයි. මගේ තාත්තා හමුදා නිලධාරියෙක්. මාතර කෑම්ප් එකේ හිටියේ. ඒකේ හමුදා සොල්දාදුවෝ එක්ක මාව යවනවා චිත්‍රපටි බලන්න. මාතර එස්.කේ. සිනමාශාලාවට තමයි බලන්න ගියේ. කොළඹ ආවාට පස්සේ නම් නැවතිලා හිටපු ගෙදර අය එක්ක චිත්‍රපටි බලන්න ගියා කියලා මතකයි. බලපු චිත්‍රපටි නම් මතක නැහැ. 

ඉස්කෝලේ ඉද්දි යාළුවෝ එක්ක චිත්‍රපටි බැලුවේ නැද්ද?

ආනන්දේ කියන්නේ ඉතින් වටේම සිනමාශාලානේ. යාලුවෝ නම් හැමෝම වගේ ඉස්කෝලෙන් කට්ටි පැනලා ෆිල්ම් බලන්න ගියා. ඒත් මට එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද මම නතර වෙලා හිටියේ තාත්තාගේ හිතවතෙක්ගේ ගෙදරක. එයා යුද හමුදාවේ කර්නල් කෙනෙක්. ඒ ගෙදර නීති සෑහෙන්න තදයි. ඉඳලා හිටලා චිත්‍රපටියක් දෙකක් කොහොමහරි බලන්න ගියා. 

මොනවද එහෙම බලපු චිත්‍රපටි?

විජය කුමාරණතුංග ඉන්න චිත්‍රපටි තමයි වැඩිපුරම බැලුවේ. පෙම්බර මධූ, හන්තානේ කතාව, හතරදෙනාම සූරයෝ, මේ දෑස කුමටද, දුලීකා, සිකුරුලියා වගේ චිත්‍රපටි තමයි බැලුවේ. 

චිත්‍රපටි බලන්න ගිහින් වුණු අමතක නොවන සිදුවීම් නැද්ද?

අපි ෆිල්ම් බලන්න ගියේ රිට්ස්, එල්ෆින්ස්ටන්, සැවෝයි වගේ හෝල්වලට. මරදානේම නවාතැන් ගත්ත නිසා පයින්ම ගිහින් පයින්ම එන්නේ. එතකොට ඉතින් මඟදි වුණු පොඩි පොඩි සිදුවීම් තියෙනවා. ඒවා ඒ තරම් විශේෂ දේවල් නෙමෙයි.එහෙම චිත්‍රපටි බලන්න ගිහින් වෙච්ච අමතක නොවන සිදුවීමක් නැහැ. මොකද යාළුවෝ එක්ක කල්ලි ගැහෙන්න ඒ තරම් ලොකු කාලයක් මට තිබුණේ නැහැ. 

ඒ කියන්නේ ඒ කාලේ තරුණයින්ට තිබුණු චිත්‍රපටි උන්මාදය ඔබට තිබුණේ නැහැ.

නැහැ. එහෙම පිස්සුවෙන් චිත්‍රපටි බලන්න අපිට ඉඩක් හම්බුණේ නැහැ. මොකද අම්මලා තාත්තලාට ඕනේ වුණේ හොඳට උගන්වන්න. ඒ කාලේ තරුණයෝ නළු නළියන්ගේ පින්තූර කාමරයේ ගහන් හිටියානේ. මම බෝඩිම් වෙලා හිටපු නිසා එහෙමවත් ඉඩක් ලැබුණේ නැහැ. ඒවා ගහන්න ගියා නම් ගුටි කන්න වෙනවා. (සිනාසෙමින්) 

විශ්වවිද්‍යාල කාලයේ කලාව හා බැදුණු මතක ඇති?

මම කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපීඨයේ ඉගෙනගත්තේ. විශ්වවිද්‍යාලයේ ඉතින් හැමෝම විනෝදෙන් තමයි හිටියේ. නීති පීඨයේ හිටපු නිසා කලා වැඩ කියලා ලොකුවට දේවල්වටල සම්බන්ධ වෙන්න හම්බුණේ නැහැ. අපේ විශ්වවිද්‍යාලයේ තිබුණා summer hut  දෙක තුනක් හවස්ට ඒවයේ යාළුවෝ එක්ක මධුවිතක් පානය කරන ගමන් සිංදු කියන එක නම් නිතරම කළා. 

කැමතිම චිත්‍රපටි නළුවා කවුද?

ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වගේ නළුවන් තමයි ඒ කාලේ අපිට දකින්න ලැබුණේ. අනිත් නළුවෝ කොච්චර පේන්න හිටියත් අපේ ඇහැ වැඩියෙන් රැඳුණේ ගාමිණී , විජය ළඟ. ඒකට හේතුව මම හිතන්නේ ඔවුන්ගේ පෞරුෂය. තරුණයෝ කාලේ අපි කොහොමත් වීරයන්ට කැමතිනේ. මේ දෙන්නා සටන් කරන්න ගියත්, ප්‍රේම කරන්න ගියත්, එක වගේම මිනිස්සුන්ගේ ඇස් දෙක ළඟ නතර වුණා. 

ඒ කාලේ නිළියක් විවාහ කරගන්න හිතුණේ නැද්ද?

නිළියක් විවාහ කරගන්න නම් හිතලාවත් තිබුණේ නෑ. හෝල් එකට ගිහින් චිත්‍රපටිය බැලුවා, ආවා විතරයි. ඒවා ඔළුවේ තියාගත්තේ නැහැ. ගාමිණී, විජය එක්ක රඟපාපු නිසා මාලනී ෆොන්සේකා, සබීතා පෙරේරා වගේ නිළියන්ට කැමතියි. ඒ ඔවුන්ගේ රඟපෑමට. විශේෂයෙන් ස්වර්ණා මල්ලවාරච්චිට කැමතියි. එයාගේ රඟපෑම ඉතා ඉහළයි. 

කැමතිම සිංහල චිත්‍රපටිය ගැනත් කියමු?

බලපු චිත්‍රපටිවලින් හැම දර්ශනයක්ම වගේ මට මතක "නොම්මර 17" තමයි. අනිත් ඒවා බැලුවාට දැන් මතකයෙන් ගිලිහිලා. මගේ මතකයේ ඒක වැඩිපුරම රැදුණු නිසා මම හිතනවා මම කැමතිම චිත්‍රපටිය නොම්මර 17 කියලා 

අන්තිමටම බැලුව චිත්‍රපටිය මොකක්ද?

The Newspaper. ඒක බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ නිෂ්පාදනයක්නේ. ඒක ටිකක් වෙනස් ආකාරයක නිර්මාණයක්. සමාජයේ කවුරුත් කතා නොකරන මාතෘකාවක්. වාණිජ සිනමාවට වඩා ඒ වගේ වෙනස් විදිහේ සිනමා නිර්මාණවලට මම කැමතියි. 

සංගීතයත් එක්ක ඔබට තියෙන ගනුදෙනුව කොහොමද?

මට විතරක් නෙමෙයි හැමෝටම සංගීතයත් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙනවානේ. සංගීතය කියන්නේ මිනිස්සු නිතරම සන්සුන් කරන කලා අංගයක් විදිහට මම දකින්නේ. කොයිතරම් කාර්යබහුල වෙලාවක වුණත් කනට ප්‍රිය ගීතයක් ඇහෙනවා නම් ඒක අහගෙන ඉන්නවා. සංගීතයට තිබුණු කැමැත්ත නිසාම මට සංගීතයට සම්බන්ධ යාළුවෝ ගොඩක් හිටියා.         ග්‍රේෂන් ආනන්ද, ෂෙල්ටන් පෙරේරා වගේ ගායන ශිල්පියෝ බොහොම ළඟින් ඇසුරු කළා. හවසට හමු වුණා. 

ඔවුන්ගේ මතකයන් නැවත සිහිපත් කරමු?

ග්‍රේෂන් ආනන්ද, සතිෂ් පෙරේරා, ෂෙල්ටන් පෙරේරා, ප්‍රියා සූරියසේන වගේ ගායනයෝ බොහොම සමීපව ඇසුරු කරන්න මට අවස්ථාව ලැබුණා. මම විශ්වවිද්‍යාලයේ ඉන්න කාලේ මගේ යාළුවොන්ගේ යාළුවෝ එයාලා. පසුකාලීනව එයාලා මගේ හොඳම යාළුවෝ වුණා. කලාකාරයෝ කියන්නේ කොහොමත් හොඳ හදවතක් තියෙන අයටනේ.මේ හැමෝම ඉතාම. හොඳ මිනිස්සු. ඒ හැමෝම එක්ක මම කාලා බීලා තියෙනවා, ගමන් බිමන් ගිහින් තියෙනවා. විශේෂයෙන් සංගීත සංදර්ශන ගොඩකට සහභාගි වෙලා තියෙනවා. 

එහෙනම් අමතක නොවෙන සිදුවීම් ඕනේ තරම් ඇති?

ඒ 90 දශකයේ. මම කොළඹ බෝඩින් වෙලා හිටියේ. එතකොට ග්‍රේෂන්, ෂෙල්ටන් මේ හැමෝම සංගීත සංදර්ශනවලට යන්නේ එකට. ඉතින් එයාලා සින්දු කියලා එනකං මම බලාගෙන ඉන්නවා. ඒ කාලේ හරිම විනෝදයි. සංගීත සංදර්ශනවලට යනවා විතරයි මතක. සමහර දවස්වලට එනවා  මතකම නැහැ. (සිනාසෙමින්)

කටහඬට ලෝභ හිතුණ ගායකයෙක් ඉන්නවාද?

මිල්ටන් මල්ලවාරච්චිගේ කටහඬට තමයි එහෙම හිතුණේ. ඒ තරම් මධුර හඬක් වෙන කෙනෙක්ට නැහැ. ඕනේම විදිහටකට හසුරුවන්න පුළුවන් හඬක් ඒක. මම සජීවීව ඔහු ගයනවා දැකලා තියෙන නිසා ඒක කියන්න පුළුවන්. 

කලාව කියන දේ කිංස්ලි රණවක දකින්නේ කොහොමද?

කලාව කියන දේ ඉතින් හැම කෙනෙක්ටම ඕනේ දෙයක්නේ. ඒක නැතුව මනුස්සයෙක්ට ජීවත් වෙන්න බැහැ. කලාව නැතුව ජීවත් වෙන්න කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ ජීවිතය යාන්ත්‍රික වෙනවා. මොනදේ කළත් කලාව මනුස්සයෙක්ට අත්‍යාවශ්‍ය දෙයක්. කලාව කිව්වාම ඒක ලොකු පරාසයකට විහිදිලා යනවානේ.  මනුස්සයා තුළ එක් කලා අංගයක් හරි පිහිටලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉස්සර ලංකාවේ මිනිස්සු බොහොම කලාකාමීව ජීවත් වෙන්නත් කලාත්මක වෙන්නත් සමාජ පසුබිම බලපෑවා. ඒත් දැන් එහෙම කලාත්මක මිනිස්සු නැහැ. ඔබත් මමත් ඇතුළුව ඔක්කොම යාන්ත්‍රික වෙලා. 

වර්තමාන සිනමාව ගැනත් ඔබට අදහසක් ඇති.

දැන් ඉතින් බලන්න එහෙම චිත්‍රපටි හැදෙන්නේ නැහැනේ. උදාහරණයක් විදිහට ඒ කාලේ කොමඩි චිත්‍රපටි ගැන කතා කළොත් ඉස්සර කොමඩි අපි බැලුවා. හොඳට හිනාවුණා. දැන් කොමඩි බලලා කිචි කැව්වත් හිනා යන්නේ නැහැ. කොමඩි විතරක් නෙමෙයි සිංදුවක් ගත්තත් සටන් ජවනිකාවක් ගත්තත් ඒ කාලේ තිබුණු සිනමාත්මකකම දැන් නැහැ. 70, 80 දශකවල කලා නිර්මාණවලින් මිනිස්සුන්ට යම් පණිවිඩයක් දුන්නා. දැන් නිර්මාණ හැදෙන්නේ රසවිඳීන්න විතරයි. ඒවාත් එකක් හැදුවාම රැල්ලට යනවා. ප්‍රධාන ධාරාවෙන් බැහැර වෙලා විකල්ප ධාරාව ගැන කතා කළොත් යම් මට්ටමක සතුටකින් කතා කරන්න පුළුවන්. සමාජයට යම් පණිවිඩයක් ලබාදෙන තාර්කික නිර්මාණ හැදෙනවා. දැන් වාණිජ සිනමාව මට පේන්නේ විකාරයක් වගේ. 

ටෙලිවිෂන් එක ගැන මොකද හිතන්නේ?

ඒකත් සිනමාව වගේම තමයි. මුල් කාලයේ හොඳ ටෙලිනාට්ටි, වැඩසටහන් හැදුණා. දැන් ඉතින් වැඩි හරියක් බලන්න තියෙන්නේ Nonstop indian කතානේ. ඒවායේ ගත යුතු හරයක් නෑ. කතාව එහාටයි මෙහාටයි කරකවකව කතාව දිග්ගස්සනවා. මට තියෙන පුදුමේ ඒ කාලේ හොඳ චිත්‍රපටි ටෙලිනාට්ටි බලපු මිනිස්සුම දැන් මේවත් බලන එකනේ. සිනමාවේ පරිහානියට ටෙලිවිෂන් එකත් බලපෑවා කියලා මම හිතනවා. මිනිස්සුන්ගේ කාර්යබහුල ජීවිතයත් එක්ක සිනමාශාලාවකට ගිහින් චිත්‍රපටියක් බලන්න තරම් කාලයක් නැති වුණාම ටෙලිවිෂන් එකේ යන මොකක්හරි එකක් බලන්න මිනිස්සු පෙලඹෙනවා. සල්ලි දීලා ටිකට් එක ගන්නවාට වැඩිය නිකං දකින්න ලැබෙන එකනේ වටින්නේ. 

චිත්‍රපටියක රඟපාන්න ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?

පොඩි කාලේම අම්මා කිව්වා බැරි දේවල් කරන්න එපා කියලා. (සිනාසෙමින්) ඒ නිසා එහෙම අදහසක් පොඩි කාලෙවත් තිබුණේ නැහැ. මම චිත්‍රපටියක රඟපෑවොත් මහා විනාසයක් වේවි. (සිනාසෙමින්)

වෘත්තියෙන් විශ්‍රාම ගිය කාලයක කලාවත් එක්ක ජීවිතයේ සැදෑ සමය ගත කරන්න කැමති නැද්ද?

එහෙම බලාපොරොත්තුවක් තියෙනවා. කෙළින්ම යන්නේ ගමට. මාතරට. එහෙ හරි ලස්සනයි. එහෙ ගිහින් නිදහසේ ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. එතකොට ඉතින් සින්දුවක් අහලා චිත්‍රපටියක් බලලා ඉන්න බැරියෑ.