ගැහැනියකගේ හද දවන ඉකිබිඳීමක්

ඔක්තෝබර් 8, 2020

නිලක්ෂි ගායිකාවක් විදියට  මේ රටේ කලා ක්ෂේත්‍රය තුළ උඩුගං බලා යන තැනැත්තියක්. අපේ ටෙලිනාට්‍ය පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ ඇගේ හඬ පෞරුෂය  නොයෙක්වර  ඉස්මතු වුණු අවස්ථා මට මතකයි. ‘මිණි ගං දෑල’ ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කිරීම වෙනුවෙන්  වරක් ඇය හොඳම ටෙලිනාට්‍ය පසුබිම් ගීත ගායිකාව  වෙනුවෙන් සම්මානයටද නිර්දේශ වුණා. 

කාන්තාවකගේ  ජීවිතේ විවාහය කියන්නේ තීරණාත්මක සාධකයක්. කුඩා දැරියක්, යෞවනියක්ව මවුපියන්ගේ ආදර  රැකවරණ මැද හැදෙමින් ඉන්න ඇය විවාහයෙන් පස්සේ ජීවිතේ ගෙවෙන්නේ වෙනත් තැනක, වෙනස් විදිහකට, හැදුණු වෙනත් පුද්ගලයෙකුගේ ජීවිතේ බෙදා හදාගෙන. එහෙම ඒකාත්මික වෙන්න ලොකු මානසික  බැඳීමක් නිර්මාණය වෙන්න ඕන.  ඒක  තවත් සවි ශක්තිමත් වෙන්නේ ලේ බැඳීමකුත් එක්ක දරු මල්ලන් ඉපදෙන කොට. ඒ බැඳීම අර මානසික බැම්මටත් වඩා ගැහැනියගේ සිත  සවි ශක්තිමත් කරන්නක්.  තම කුසින්  වැදූ දරුවන්  කෙරේ උපන් අසීමිත ආදරය සේම,  ඒ  දරුවන්ට  උත්පත්තිය දුන්න ස්වාමි පුරුෂයා කෙරේ ඇති වන බැඳීමත් ගැහැනියගේ ජීවිතේ  සිඳ බිඳලිය නොහැකි යදමක් වගේ.

ඒත් මේ   විවාහ බැම්ම සිඳ බිඳ පුපුරවා ඇද හැලෙන්න යන්නෙත් බොහොම සුළු කාරණා. වර්තමාන  සමාජ සංස්ථාව තුළ විවාහය දෙදරා  ගිය කාන්තාවන්  ඕන තරම් හොයා ගන්න පුළුවන්. සිත් රිදීම්, සිත් තැවුල් මත දිවි ගෙවන මෙන්ම, මවුපියන්ගේ විරසකය මත සිත්  තැවුල් විඳින අසරණ  දරුවන්ද අපි ඕනතරම් දැක තිබෙනවා.

වෙනතක බැඳුණු තම ආදරණීය ස්වාමියා වෙනුවෙන්  ගැහැනියකගේ හිතේ ඇතිවන හද රිදවන ඉකිබිඳුමක් පසුගිය දිනක ගීතයකින් ඇසුණා. ගීතය ගායනා කරන්නේ විශාරද නිලක්ෂි හැලපිටිය. මේ රිදුම ඔබට කොහොම දැනේවිදැයි අහලා බලන්න.

මගේ කොමළ පැටවුන්ගේ අප්පච්චි

මල් හී සර වැදුණාදෝ

රන් දම් බිඳ වැටුණේදෝ

මගේ කොමළ පැටවුන්ගේ අප්පච්චි

රන් යහනේ ඉඩ මදිවාදෝ

මල් යහනට ඇය වැඩියාදෝ

මල් වාරම් කවි ඇසුණාදෝ

රන් කඳ මගෙ දෝස උනාදෝ

රැක පතිදම් අසමින් සැමදා

සැම දුක්  ඉවසන්නම් මතුදා

පැටවුන් මව් බිසවුන් විලසා

මැසිවිල්ලක් නොකියම් කිසිදා

මගේ කොමල පැටවුන්ගේ අප්පච්චී

වෙනතක බැඳුණු ස්වාමියා වෙනුවෙන් ඇගේ සිතේ උපදින්නේ වෛරයක්. ක්‍රෝධයක් නොවෙයි. සියල්ල  ඉවසා දරා ගනිමින් පතිවෘතාව රකින  දිරිය ගැහැනියකගේ හද  රිදවන හැඟුම්  මේ ගීතයෙන් අපට  දනවනවා. ඒ  හද රිදුම  වැඩියෙන් දැනවෙන්නේ නිලක්ෂිගේ සංවේදී හඬ මෙන්ම  දර්ශන වික්‍රමතුංගගේ සංගීතයත් තරින්දගේ පදත් යන තුන්වැදෑරුම් කරුණු නිසා කියලා මට හිතුණා. නිලක්ෂි මේ ගීතයේ පසුබිම ගැන මෙහෙම කතාවක් කිව්වා.

“මේ ගීතය රචනා කරන්නේ දැනට ඔස්ට්‍රේලියාවේ  ජීවත්වෙන තරින්ද ගුණවර්ධනයි.  මුලින්ම  මම ඔහුව හඳුනා ගන්නේ මුහුණු පොත හරහායි. පස්සේ කලෙක දැනගන්නවා ඔහුත් ගම්පහ ප්‍රදේශයේ ඉපදුණ මාත් සමඟම සමකාලීනව පාසල් ගිය කෙනෙක් බව. කොහොම හරි තරින්ද මට මේ වචන ටික ලියලා එව්වෙත් මුහුණුපොත හරහාමයි. අපට මේ වගේ ගීත දිනකට විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඒ ගීත අතරින් හොඳ පදරචනාවක්  තෝර ගැනීමත් අපි විසින් කළ යුතුයි. මම සැමවිටම  මගේ හඬින් යම් සාධාරණයක් කළ හැකි ගුණාත්මක  බවින් මෙන්ම  සාහිත්‍යාත්මක බවින් යුත් පදරචනා  තෝරා ගන්න උත්සුක වෙනවා. ඒ තෝරා ගැනීම අතර  මේ ගීතය ඉහළින්ම තිබුණා.

තරින්ද මේ ගීතයෙන් කතා කරල තිබුණ වස්තු විෂය වර්තමාන සමාජයේ බොහෝ විට අප අත්දකින කාරණාවක්. තරින්දත් වෘත්තියෙන් නීතිඥයෙක්. මමත් නීතිඥවරියක්. ඒක නිසා මේ අත්දැකීම අපි දෙන්නටම  පොදුවේ වින්ද දෙයක්. විවාහය  දෙදරලා ගිය කාන්තාවන් නීතියේ සරණ පතමින් එන අවස්ථා අපි ඕනතරම්  දැකලා තියෙනවා. ඔවුන්ගේ ජීවිත අස්සේ හංගගෙන  ඉන්න මහා දුක් සුසුම් අපි  අහලා තියෙනවා. ඒ හින්දම මේ ගීතයේ වචන ටික දැක්කම මමත් සංවේදී වුණා.

වර්තමානයේ අපි  බොහෝ විට අලුත් ගීතයක් රස විඳින්නේ යූ ටියුබය හරහායි. නිලක්ෂිගේ මේ ගීතය මගේ  ඇස ගැටුණෙත් ඒ  විදියට. රසික රසිකාවියන්  රැසක් ඇගේ මේ ගීතයට ප්‍රතිචාර දක්වලා තිබුණා. නිලක්ෂිට  තියෙන්නේ ඉතාම පැහැදිලි තියුණු හඬක්. සැමියාගේ වෙනතක බැඳුණු සෙනෙහසින් හද රිදවාගත් ගැහැනියගේ ඉරිතලා ගිය හදවතේ ශෝකී රාවය ඇගේ කටහඬිනුත්  දර්ශනගේ සංගීතයෙනුත්  තීව්‍ර කර  අප හදවත් තුළ කම්පනයක් ඇති කරවනවා.

නිලක්ෂි ගායිකාවක් විදියට  මේ රටේ කලා ක්ෂේත්‍රය තුළ උඩුගං බලා යන තැනැත්තියක්. අපේ ටෙලිනාට්‍ය පසුබිම් ගීත ක්ෂේත්‍රය තුළ ඇගේ හඬ   පෞරුෂය නොයෙක්වර ඉස්මතු වුණු අවස්ථා මට මතකයි. ‘මිණි ගං දෑල’ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගායනා කිරීම වෙනුවෙන්  වරක් ඇය හොඳම ටෙලිනාට්‍ය පසුබිම් ගීත ගායිකාව වෙනුවෙන් සම්මානයටද නිර්දේශ වුණා. මේ දිනවල ඇගේ හඬ අපට ඇසෙන්නේ ස්වාධීන රූපවාහිනියේ විකාශය වන ‘ගරුඬ මුහුර්තිය’ ටෙලිනාට්‍යයේ තේමා ගීතයෙන්.  ඉදිරියෙත්  ටෙලිනාට්‍ය ගීත කිහිපයකින්ම ඇගේ හඬ අපට  සමීප වෙනවා.

නිලක්ෂි ජනගී පර්යේෂිකාවක් ලෙසින් විවිධ අත්දැකීම් ලබපු  මෙන්ම විවිධ නිර්මාණකරණයේ යෙදෙන ගායිකාවක්. ඇයත් ප්‍රවීණ ගායන ශිල්පී සමන් ලෙනින්  සමඟ පවත්වන ‘භූමි’ නම් ප්‍රාසංගික අත්දැකීම මේ අතර සුවිශේෂයි. මේ දිනවල ඇය කාර්ය බහුල වෙලා ඉන්නේ එලඹෙන 30 වැනිදා ගාල්ලේ හෝල්දි ගෝල් ශාලාවේදී පැවැත්වෙන ‘භූමි’ ප්‍රසංගය වෙනුවෙන්.