මම වඩා කැමති උදාරි පෙරේරා කියන ගැහැනියට

ඔක්තෝබර් 15, 2020

ඔබට මතක ඇති ප්‍රවේගය සිනමාපටයෙන් සිනමාවට අලුත් මුහුණුවරක් ගෙන ආ තරුණිය. එක් නිර්මාණයකින් අපේක්ෂා නොකළ ජනප්‍රසාදයක් සහිතව එම ජනප්‍රියත්වයෙන්ම තවමත් ක්ෂේත්‍රයේ රැඳී සිටින රංගන ශිල්පිනියව. ඔව්... ඇය නමින් උදාරි පෙරේරා. මේ දිනවල තිරගත වන සුසිරන් ද සිල්වාගේ අධ්‍යක්ෂණයක් වුණු මිස් ජෙනිස් සිනමාපටයෙන් ඇය නැවතත් ඔබ හමුවට එනවා. ඒ නිසාම ඇය හමුවට අප යනවා.

 කාලෙකට පස්සේ උදාරි ආයෙමත් රිදී තිරයේ පේනවා.

ඔව්. මම ප්‍රධාන චරිත කරපු චිත්‍රපට ගත්තොත් මුලින්ම ප්‍රවේගය, ඊටපස්සේ සේයා, ඊටපස්සේ තමයි මිස් ජෙනිස්" චිත්‍රපටය තිරගත වෙන්නේ. මගේ අන්තිම චිත්‍රපටිය වුණු යශෝධරා තිරගත වුණේ 2018 වසරේදි.

ඇයි උදාරි වැඩිය පේන්න නැත්තේ?

අපි අපිව ලෝකයට හඳුන්වාදීලා තියෙන විදිහක් තියෙනවා. උදාරි කියන්නේ මේ විදිහේ කෙනෙක්, එයාගේ පරාසය මෙන්න මේක කියලා ක්ෂේත්‍රය ඇතුළේ යම්කිසි අනන්‍යතාවක් තියෙනවා. මගේ රංග පරාසය තුළ මාව කියවාගෙන තියෙන ආකාරයේ නිර්මාණවලට තමයි නිර්මාණකරුවෝ සම්බන්ධ කරගන්නේ. සිනමාවට ගොඩක් වෙලාවට මට ආරාධනා එනවා. උදාරි පෙරේරා කියන්නේ රංගන ශිල්පිනියක් විතරක් නෙමෙයි. මම දුවෙක්, අම්මා කෙනෙක්, අක්කා කෙනෙක්. මේ සියල්ලම බලලා තමයි චිත්‍රපටයක් භාරගන්නේ. ලංකාව කියන්නේ ආසියාතික රටක්. ඒ රටේ මිනිස්සුන්ට උචිත හැකි ආකාරයේ චරිතවලට විතරයි මම සම්බන්ධ වෙන්නේ.

උදාරි චරිත තෝරගන්නේ සංස්කෘතියට අනුගතව?

ඒක මම මට ඕනේ විදිහට හදාගන්නවා. අනුගත වෙනවා කියන එක සාපේක්ෂයි. මට සාපේක්ෂව මම ජීවත් වුණු සමාජය සහ මගේ අවට ජීවත් වෙන පුද්ගලයින් අනුව තමයි මම තීරණ ගන්නේ. මම කලින් ගුවන් සේවිකාවක්. ප්‍රවේගය චිත්‍රපටය තිරගත වුණාට පසුව මට ගොඩක් වැඩවලට ආරාධනා ආවාත් වෘත්තිය වැඩත් එක්ක මට ඒ සියල්ල මඟහැරුණා. මම වසර 7ක් ගුවන් සේවිකාවක් විදිහට වැඩ කළා. පසුව මවක් වුණාට පසුවත් මට සමහර තෝරාබේරා ගැනීම් කරන්න සිද්ධ වුණා. ඒකට හේතුව තිරපිටපතේ අඩුපාඩු, නොගැලපෙන වැඩ කියලා බෙදනවාට වඩා මට සාපේක්ෂව මේක හොඳයි මට කරන්න පුළුවන් කියලා භාරගත්ත වැඩ කීපයකට විතරයි සම්බන්ධ වුණේ.

මිස් ජෙනිස් චිත්‍රපටයත් උදාරිට සාපේක්ෂව හොඳ චිත්‍රපටයක්?

අනිවාර්යයෙන්ම. ඩොනල්ඩ් ජයන්ත අයියා තමයි මට කතා කරන්නේ, ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වුණු සුසිරන් ද සිල්වා මහත්මයාගේ චිත්‍රපටයක් තියෙනවා ඒකට සම්බන්ධ වෙන්න කැමතිද කියලා. තිරපිටපත බලද්දි මට හිතුණා මේ වැඩේ හරිම ලස්සන වැඩක් කියලා. මේ චිත්‍රපටයේ ඉතාම සුළු චරිතවලට පවා ඉන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ. ඒකම මට ඇති මේ චිත්‍රපටයට සම්බන්ධ වෙන්නත්. ඒ වගේ ගොන්නක එක්කෙනෙක් වීමත් මට ලොකු සතුටක්.

මේ චරිතය උදාරිට අභියෝගයක් වුණාද?

මම වැඩ කරපු හැම චිත්‍රපටයක්ම මට අභියෝගයක්. අපි රංගනය හදාරන්නේ අත්දැකීම් එක්ක. හැමදෙයක්ම බලලා, චරිතය විඳලා රඟපාන්නේ. මිස් ජෙනිස්හී මගේ චරිතය නිමායා. නිමායා කියන්නේ ලොකු දේපලක් හිමි බොහොම කෙළිලොල් තරුණියක්. එයාගේ අම්මා නිමායාව පරිස්සං කරන්න තමයි මිස් ජෙනිස් කියන කාන්තාව ගෙන්නන්නේ. මේ චරිතය නෙමෙයි මට අභියෝගයක් වුණේ. මේ චරිතය වටා ගෙතුණු අනිත් දැවැන්ත චරිත. මට වැඩිම රූපරාමු සංඛ්‍යාවක් රඟපාන්න තිබුණේ ආචාර්ය ජයලත් මනෝරත්නයන් එක්ක. ඔහුත් එක්ක රඟපානවා කියන එකම මට අභියෝගයක්.

ආචාර්ය ජයලත් මනෝරත්නයන් එක්ක වැඩ කරන්න ලැබුණු අත්දැකීම කොහොමද?

ඔහු මට රංගන පාසලක් වගේ. ඔහු පිරිමි චරිතය රඟපාමින් ඉඳලා ඒ මොහොතේම ගෑනු චරිතයට මාරු වෙනවා. කටහඬ, ඉරියව් වෙනස් කරනවා හිතාගන්නත් බැරි විදිහට. සමහර වෙලාවට නිකනුත් ඔහු කාන්තා චරිතයට ආරූඪ වෙලා අපිව හිනස්සනවා. ඒ ඔහුගේ හැකියාව ඇත්තටම හරි පුදුම හිතෙනවා. ඔහු එක්ක රඟපාන්න ලැබුණු එකත් මගේ භාග්‍යයක් විදිහට සලකනවා. රංගනයේදී ඔහුට හරි සංයමයක් තිබුණා. මනෝරත්නයන් ඕනේම ජවනිකාවකදි හරිම සැහැල්ලුවෙන් ඒක කරන්නේ. ඔහු මගේ  dialog delivery timing හැදුවා. මම ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. මම හිතන්නේ චිත්‍රපටය මුල බලලා අන්තිම හරිය බලනකොට මනෝරත්නයන්ගේ ගුරුහරුකම් නිසා මගේ රංගනයෙත් ලොකු වෙනසක් බලාගන්න පුළුවන්. මම ආධුනිකයි කියලා අපිට කිසිම වෙනසක් කළේ නැහැ.

ඔබ වැඩ කරන්නේ සුසිරන් ද සිල්වා කියන ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයාත් සමඟ?

සුසිරන් ද සිල්වා කියන්නේ හරිම සංයමයකින් වැඩ කරන අධ්‍යක්ෂවරයෙක්. කිසිම වෙලාවක කිසිම හේතුවක් නිසා කේන්ති නොගන්න, නැහැ බැහැ නොකියන, ඕනේම ගැටලුවකදී විසඳුම් ඔහු විසින්ම හොයාගන්න අධ්‍යක්ෂවරයෙක් ඔහු. ඔහුට හොඳ අවබෝධයක් තිබුණා නිර්මාණය කොහොමද වෙන්න ඕනේ කියලා. කතාව ඇතුළේදි අපි නොදකින අපේ රංගනය එළියට ගන්න ඔහුට මේ නිර්මාණයේදී හැකි වුණා කියලා මම හිතනවා. ඒත් කිසිම වෙලාවක රංගන ශිල්පියාව කොටු කරන්න ඔහු උත්සාහ කළේ නැහැ. ඔහුත් හරිම සුන්දර නිහතමානී චරිතයක්.

මිස් ජෙනිස් උදාරිට දැනුණේ කොහොමද?

මේ චිත්‍රපටයේ තිරරචනය හරිම ලස්සනයි. හරිම හැඟීම්බරයි. බලපු ඕනේ කෙනෙක්ට ඒක වැටහෙනවා. මිස් ජෙනිස් කියන්නේ නිකං බයිස්කෝප් එකක් නෙමෙයි. මනෝ අයියා ඇතුළු හැමෝගෙම චරිතවලින් සමාජයට ලොකු පණිවිඩයක් තියෙනවා. අපි හැමෝගෙම චරිත මේ සමාජයේ තියෙනවා. අලුතෙන් නිර්මාණය කරලා ඔබ්බවපු චරිත නෙමෙයි මේවා. ඒ නිසා මම හිතනවා මේක මිනිස්සු ආදරයෙන් වැලඳගනීවි කියලා. මේක අලුත් අත්දැකීමක්. පිරිමි කෙනෙක් ගැහැනු චරිතයක් රඟපාපු චිත්‍රපට ලංකාවේ බොහොම සීමිත සංඛ්‍යාවක් තියෙන්නේ. ඒ තිර කතාවත් එක්ක අපේ කණ්ඩායම ඉතාම හොඳ නිර්මාණයක් සිනමා රසිකයන්ට දෙන්න උත්සාහ කළා.

උදාරි මේ දවස්වල මොකද කරන්නේ?

මම රංගනයෙන් දායක වුණු ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්මයාගේ "යාත්‍රා" කියලා තව චිත්‍රපටයක් ඉදිරියේදී තිරගත වෙන්න තියෙනවා. දැනට චිත්‍රපට දෙකකට විතර ආරාධනා කරලා තියෙනවා. තව මාසයකින් විතර රිදී රැයක් ප්‍රසංගය සඳහා පුහුණුවීම්වලට හැමෝම සූදානම් වෙනවා. නමුත් අවාසනාවට නැවතත් කොරෝනා අවදානම තියෙන නිසා ඉදිරිය අවිනිශ්චිතයි.

උදාරි ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙලා තියෙන්නේ අල්ප වශයෙන්?

ඒකට හේතුව මගේ දරුවා. මගේ පුතා තවමත් පොඩියි. එයා එක ශ්‍රේණියට ඇතුළත් වුණේ මේ අවුරුද්දේ. මම හිතනවා මම එයාට අවධානය දෙන්න ඕනේ කියලා. ළමයෙක්ගේ පෞරුෂත්වය හැදෙන්නේ පළවෙනි අවුරුදු දහය තුළ. ඒකට මවුපියෝන්ගේ මැදිහත් වීම ප්‍රබල වෙන්න ඕනේ. ඒ නිසා මම උපරිම එයාගේ දේවල්වලට කාලය කැප කරන නිසා මම ටෙලිනාට්‍යවලින් ඈත් වෙලා ඉන්නේ. මොකද ටෙලිනාට්‍යවලට සම්බන්ධ වුණාම දීර්ඝ කාලයක් රූපගත කිරීම්වලට වෙන් කරන්න වෙනවා. එහෙම කාර්යබහුල වෙන්න මට බැහැ. පුතා ටිකක් ලොකු වුණාම කාලය තියෙන විදිහට ටෙලිනිර්මාණයකට සම්බන්ධ වෙනවා.

රංගන ශිල්පිනියක් වගේම ඔබ අම්මා කෙනෙක්?

මට අවුරුදු හයක පුතෙක් ඉන්නවා. එයා හරිම හොඳ දරුවෙක්. ගොඩක් දේවල් ගැන කුතුහලයෙන් හොයන බොහොම ක්‍රියාශීලී දරුවෙක්. මම පුතා එක්ක කාලය ගත කරලා ලැබෙන ඉඩකඩේදී තමයි අනෙක් වැඩ ටික කළමණාකාරණය කරගන්නේ. මගේ ව්‍යාපාරික වැඩ කටයුතුවලට පවා මම වෙලාව වෙන් කරගන්නේ පුතා ඉස්කෝලේ ඉන්න අතරතුර. මට රූගත කිරීම් හෝ නර්තන පුහුණුවීම් තියෙනවා නම් මගේ අම්මා හෝ සැමියා හෝ කවුරුහරි කෙනෙක් දරුවා ළඟ ඉන්නවා. මම ගොඩක් පේන්නෙ නැත්තේ පුතාට කාලය වෙන් කරන නිසා. ගොඩක් රූපවාහිනී වැඩසටහන්වලට මම යනවා අඩුයි. මම හිතනවා පුතා වෙනුවෙන් ඊට වඩා කාලයක් වැඩ කරන්න ඕනේ කියලා.

වෘත්තිය වශයෙන් රංගන ශිල්පිනියක් වෙන්න බැරිද?

ලංකාවේ වෘත්තියට රංගනය විතරක්ම කරලා ජීවත් වෙන්න බැහැ. ලංකාව වගේ රටක එහෙම ඉන්න හරිම අමාරුයි. රංගනයත් එක්ක තව මොකක් හෝ වෘත්තියක් කරන්නම වෙනවා ජීවත් වෙන්න. ගොඩක් රංගන ශිල්පීන් මේ ක්ෂේත්‍රයේ ඉන්න කලාවට තියෙන ආදරය නිසා මිස මුදල් හම්බ කරන පරමාර්ථයෙන් නෙමෙයි. වෘත්තිය රංගන ශිල්පීන් දැන් ඉන්නේ අල්පයක් විතරයි.

ඒ නිසාද උදාරි ව්‍යාපාර ලෝකයටත් සම්බන්ධ වුණේ?

මම ක්ෂේත්‍රයට එන්න කලින් ඉඳලාම වෘත්තියක් කළා. මම ගුවන් සේවිකාවක් හැටියට කටයුතු කළා. පුතා හම්බෙලා ඉන් ඉවත් වුණාට පසුවත් මම 2014 ඉඳලා  Saloon  එකක් කළා. ඒක තිබුණේ වත්තල. ඉතාමත් ජනප්‍රිය වුණා ඒක. පුතා පොඩි නිසා ඒ සඳහා කාලය කළමණාකාරණය කරගන්න බැරි හේතුව මත මම Saloon එක මගේ යාළුවෙක්ට භාරදුන්නා. මගේ අම්මා ආයුර්වේද වෛද්‍යවරියක් නිසා වසර 5ක් තිස්සේ ඇයගේ ඖෂධාලයේ නිෂ්පාදනය කරන  Herbal tea එකක් සහ  Hair oil  එකක් තියෙනවා. මම හිතුවා ඒක බෙහෙත් ගන්න එන අයට විතරක් නෙමෙයි ලංකාවේ අනිත් අයටත් ඒ ගැන කියලා නිෂ්පාදනයක් ලෙස වෙළදපළට හඳුන්වා දෙන්න. ඒකේ නම Mindful Living Ceylon.. නිෂ්පාදන කීපයක්ම දැන් හඳුන්වාදීලා තියෙන්නේ. මේ ව්‍යාපාරය පටන් අරගෙන හරියටම වසරයි.

උදාරිගේ නංගිත් දැන් රංගන ශිල්පිනියක්?

ඔව්. මගේ නංගි ශෙහානි පෙරේරා. එයා දැනට චිත්‍රපට දෙකක් කරලා තියෙනවා. Face to face  සහ ඊතලය යන චිත්‍රපට දෙක. නංගිත් ගොඩක් වාසනාවන්තයි. ක්ෂේත්‍රයට ඇවිත් පොඩි කාලයකින් චිත්‍රපට දෙකක්ම කරන්න එයාට අවස්ථාව ලැබුණා. එයා ගොඩක් දක්ෂ කෙනෙක්. එයාට ලස්සන මූණක් තියෙනවා.

කවදාහෝ නංගි උදාරිට වඩා ඉහළ තැනකට ගියොත්?

ඒක තමයි මටත් වෙන්න ඕනේ. ඇය අනිවාර්යයෙන්ම එතනට යනවා කියලා මම දන්නවා. මම ක්ෂේත්‍රයට ආවේ විවාහ වුණාට පසුව. විවාහ වුණාට පසුව ඕනේ කෙනෙක් ප්‍රධාන තැන දෙන්නේ තමගේ පෞද්ගලික ජීවිතයට. නංගි තවම ජීවිතය අලුතෙන් පටන්ගත්තා විතරයි. එයාට අවස්ථා ගොඩක් තියෙනවා ජීවිතයේ ඉදිරිය හදාගන්න. සිනමාව ඉස්සරට වඩා දැන් දියුණුයි. අනිවාර්යයෙන්ම නංගි මට වඩා ලොකු ගමනක් යයි.

උදාරිට කිරුළක් තියෙනවා නේද?

මම 2016 Mrs Universe . ආඩම්බරයි ඒ ගැන. ඒක ලැබුණාත් සමඟ ජනතාව මාව හඳුනාගත්තා. මට තිබුණු ආදරය තවත් වැඩි වුණා. මම හිතනවා හැමදෙයම වෙන්නේ තමන්ගේ දක්ෂතාව සහ කැපවීම අනුව. මම සිනමාවට කැමතියි. මම මේ සිනමා පවුලට හරි ආදරෙයි. මම සිනමා නිළියක් ලෙස හඳුන්වනවාට කැමතියි. ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ආධුණිකයෝ හැමෝම මට උදවු කරලා තියෙනවා. කිසිම කණගාටු හිතෙන දෙයක් වෙලා නැහැ.

වඩා කැමති උදාරි පෙරේරා කියන රංගන ශිල්පිනිය, මව හෝ ව්‍යාපාරිකාවටද?

මම වඩා කැමති උදාරි පෙරේරා කියන ගැහැණියට. ඇය මේ සියල්ල එක්ක ජීවත් වුණා කියලා කවුරුහරි හඳුන්වනවා නම් මම කැමතියි. උදාරි පෙරේරා කියන ගැහැනිය තුළ තමයි මේ හැම චරිතයක්ම ඉන්නේ. මම මවක්, දුවෙක්, රංගන ශිල්පිනියක්, ව්‍යාපාරිකාවක් වගේම රටට ගොඩක් ආදරේ කරන ගැහැණියක්.

ක්ෂේත්‍රයට ඇවිත් දැන් කොච්චර කල්ද?

දැන් අවුරුදු 5ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.

වසර පහ දිහා ආපසු හැරිලා බලද්දි මීට වඩා වැඩ කරන්න තිබුණා කියලා හිතෙන්නේ නැද්ද?

මම නම් හිතන්නේ මේ වසර 5ට මට ලැබුණු ආදරය, පිළිගැනීම සහ ජනප්‍රියත්වය වසර 15ක වගේ. මම හරිම සීමිත වැඩ ප්‍රමාණයයි කරලා තියෙන්නේ. අතේ ඇඟිලි ගණනට නිර්මාණවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ වුණත් ප්‍රධාන තරුණ රංගන ශිල්පිනියන් අතරේ මගේ නමත් දැන් තියෙනවා. ඒ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා. ඕනෑම ප්‍රසංගයක් හෝ උත්සවයකදී මට යම් තැනක් තියෙනවා. ඒ ලැබෙන ආදරයට ගෞරවයට මම පෙරෙළා ආදරය කරනවා. මේ වසර පහ ගැන මම ගොඩක් සෑහීමකට පත් වෙනවා.

අර  Celebrity  යාළුවෝ කණ්ඩායම මොකක්ද?

ඒ යාළුවෝ දැන් මගේ ජීවිතයේම කොටසක් වෙලා. සංගීතා වීරරත්න, ෂෙරීන් කුමාරතුංග, චන්න පෙරේරා, යශෝධා විමලධර්ම, සචිනි අයේන්ද්‍රා, පුබුදු චතුරංග, සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්, ශලනි තාරකා, අසේකා විජේවර්ධන, රොෂාන් රණවක, ලක්ෂ්මි අක්කා මේ හැමෝම අපි යාළුවෝ. අවුරුදු පහක් වෙනවා මේ කණ්ඩායමට. ප්‍රවේගය තිරගත වුණු නිසා 2015දී රිදී රැයක් ප්‍රසංගයට සම්බන්ධ වෙන්න ලැබෙනවා. එතනදී තමයි මේ යාළුකම් හැදෙන්නේ. හිතට ලොකු මානසික සහනයක් ගෙනල්ලා දෙනවා, ඔවුන් මට ගෙදර අය වගේ. ඕනේම දෙයක් බෙදාගන්න පුළුවන් සහෝදර සහෝදරියෝ කණ්ඩායමක් වගේ ඒක. මේ කණ්ඩායමේ නම  NGBC. ඒකේ තේරුම අහන්න එපා ඒක කිව්වොත් මිනිස්සු හිතයි අපිට පිස්සු කියලා. (සිනාසෙමින්)

දැන් රංගන ශිල්පිනියෝ youtube  මාධ්‍යයේ තම තමන්ගේ වැඩ පෙන්නනවා. ඔබ?

cookery, make-up, acting වගේ දේවල් අනිත් අයට පෙන්නන්න youtube  භාවිතා කරනවා. ගොඩක් අයට දැන් youtube  channel  තියෙනවා. මම මේ එකක්වත් කරන්නේ නැහැ. නමුත් මේ ළඟදී ඉඳලා මම මගේ ව්‍යාපාරයට සම්බන්ධ youtube channel  එකක් පටන්ගත්තා  Mindful Living Ceylon කියලා. කොහොමද මනස නිදහසේ තියාගන්නේ, ජීවිතයේ බාධකවලට මූණදෙන්නේ කොහොමද වගේ දේවල් ගැන මම කතා කරනවා. නමුත් ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න බැරි වුණා. උයන්න, මේකප් දාන්න අය ඉන්නවා වගේම අපේ මනස සැහැල්ලු කරගෙන ජීවත් වෙන්නේ කොහොමද කියලා කතා කරන්න ඕනේ. එහෙම කතා කරන අය හරිම අඩුයි ලංකාවේ. නමුත් මානසික සෞඛ්‍ය කියන්නේ කතා කරන්නම ඕනේ මාතෘකාවක්.

අවසාන වශයෙන් යමක් කියන්න ඇති?

හැමෝටම කියන්න තියෙන්නේ ලංකාවේ සිනමාව ගොඩනඟන්න අපිට උදවු කරන්න කියලා. අපි කවුරුත් රඟපාන්නේ මුදල් බලාගෙන නෙමෙයි. අපිට ලස්සන සිනමාවක් තිබුණා. දැන් තියෙන සිනමාව අපි රැක ගන්න ඕනේ. අපිට හොඳ නිර්මාණ තියෙනවා, හොඳ නිර්මාණකරුවෝ ඉන්නවා නමුත් නිෂ්පාදකවරු කලකිරෙනවා සිනමා නිර්මාණයකට යොදවපු මුදල්වත් නැවත නොලැබෙන නිසා. ප්‍රේක්ෂකයෝ හැමෝටම මම කියන්නේ ලංකාවේ සිනමාව ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වෙනුවෙන් සිනමාශාලාවට ඇවිත් චිත්‍රපට බලන්න කියලා. පවතින වසංගත තත්ත්වයත් එක්ක මාස්ක් එකක් දාගෙන සෞඛාරක්ෂිත ක්‍රමවේදවලට අනුව පරිස්සමෙන් ඇවිත් චිත්‍රපටි බලලා යන්න කියලා ආරාධනා කරනවා.

 

ඉරේෂ් ජයංග ඩයස්