තාමත් ඉටු නොවුණේ එකම බලාපොරොත්තුවයි

ජීවන් කුමාරණතුංග
ඔක්තෝබර් 15, 2020

'ජීවන් කුමාරතුංග' නම මට වඩා ඔබ හඳුනයි. එනිසා ඔහුගේ හැරවුම් ලක්ෂ්‍ය කීපයක් පමණක් දක්වතොත්, අසූව අනූව දශකවල හෙළ සිනමා අම්බරයේ දිදුල තරුවක් සේම රිදී තිරයේ අවසන් පෙම්වතුන්ගේ යුගය ලෙස හඳුන්වන ජීවන්-අනෝජා යුගයට හිමිකම් කියන්නාය. 1990 සරසවිය සිනමා උලෙළේ ජනප්‍රියම නළුවා සම්මානයේ හිමිකරුවාය. සුදර්ශියෙන් වේදිකාවටත්, තනි තරුවෙන් සිනමාවටත් පා තැබූ ඔහුගේ 90ට අධික සිනමා නිර්මාණවල තරු ගුණය ඉස්මතු වූයේ හිත හොඳ කොල්ලෙක් චිත්‍රපටයෙන් පසුවය. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටද රන් කහවනු, සුදු පරෙවියෝ, හිඟන කොල්ලා සහ අමරපුරය වැනි නිර්මාණ ඔස්සේ ඔහු රංගනයෙන් දායක විය. ඒ සමඟම දේශපාලනයේ නිරත වෙමින් අමාත්‍යධුර දැරීම දක්වා වූ ගමනක ඔහු නියැළුණේය. චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, සිනමාශාලා හිමිකරුවෙක් වූ ඔහු කලකට පසු තිරයේ දුටුවේ මෑතක තිරගත වූ ෂෙලීනා සමඟය. අද අපට ඔහු විශේෂ වන්නේ ජීවා චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයටද කුලුඳුලේ එක්වන බැවිනි...

අපි ෂෙලීනාගෙන්ම කතාව පටන්ගමු ?

ෂෙලීනා... ප්‍රදර්ශනයට ආ වෙලාවේ ප්‍රශ්නයක් තිබුණත්, ඒ සමඟ තිරගත වුණු ඒවා අතරින් යම් සාර්ථකත්වයක් ලැබූ චිත්‍රපටයක් කියලයි මට ආරංචි. අධ්‍යක්ෂවරයාගේ සහ නිෂ්පාදකගේ කුලුඳුල් ප්‍රයත්නය. දිනෙත් වගේම අනුජ් සෑහෙන රංගන දායකත්වයක් එයට දුන්නා. මම හිටියේ රහස් පරීක්ෂකවරයකුට.

අලුත් අය සමඟ වැඩ කරද්දි ප්‍රවීණයකුට දැනෙන හැඟීම කොයි වගේද?

ඔවුන් දක්ෂයි, ඒ හැකියාව මම අගය කරනවා. ඒත් නවකයන්ට අද සිනමාවෙන් ලොකු හානියක් සිදු වනවා. මොකද අපි නම් සෑහෙන්න වැඩ කරපු අය. ඒත් අලුත් පිරිසගේ රංගන කුසලතාවවත් හරිහැටි ඉස්මතු කරගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ නිපදවන නිර්මාණ සංඛ්‍යාව අඩු නිසා. ලොකු ප්‍රේක්ෂක අවධානයක් ලබා ගැනීමටත් ඔවුන්ට අවස්ථාව අහිමි වනවා. ඒක මේ යුගයේ සිනමා කර්මාන්තයේ නියැළෙන සමස්තයටම තිබෙන ප්‍රශ්නයක්.

'83 කළු ජූලියේ සිට කොරෝනා දක්වාම සිනමා කර්මාන්තයට උදා වුණේ නරක කාල?

ඕක වුණේ 77 විවෘත ආර්ථිකය ඇති වීමත් එක්ක. ව්‍යාපාරිකයන් සිනමාව අතහැරලා වෙන වෙන කර්මාන්ත වෙත යොමු වුණානේ. එතකොට අපි හිතාමතා සැලසුම් සහගතව නොවුණත් එකතුවෙලා ගත් යම් යම් තීරණ මත යළි සිනමාව ස්වර්ණමය යුගයක් කරා ගියා. උදාහරණයකට සෝනියා දිසානායක ජය අපටයි චිත්‍රපටය කළා. නළු නිළියන් හැටියට අපි ප්‍රදර්ශනයෙන් පසු ගෙවීමකට එකඟ වුණා. ඒ වෙලාවෙ චිත්‍රපට සංස්ථාව අපට දුන් සහතිකය සහ ඇපය ලොකු හයියක් වුණා පසු බැස්ස කර්මාන්තයත් ඔසවාගෙන ඉදිරියට එන්න. ඇත්තටම මෙහෙමත් වුණා නේ... අපේ ආරම්භයත් 70 දශකයේ අගභාගය වුණාට, අපි නියෝජනය කළේ 80 දශකය. මගේ රංගන ජීවිතේ පිම්මක් ඉදිරියට තිබ්බ 'හිතහොඳ චණ්ඩියා' තිරගත වුණේ 1987 වර්ෂයේ. පස්සේ අපි සිනමාවේ ස්වර්ණමය යුගයක් ආපහු නිර්මාණය කරගත්තා. ඒත් අද මට හිතෙනවා මේ වුණු පසුබෑමෙන් නම් ගොඩ එන්න ක්‍රමයක් නැතිවදෝ කියලා. පෞද්ගලීකරණයේ වුණත් වාසි සහගත තැන් සංස්ථාවේ ගිවිසුම තුළ තිබෙනවා. පහුගිය කාලේ ඒවා ක්‍රියාත්මක නොවීම නිසා සමබරතාවයකින් තොරව ප්‍රදර්ශකයන් විසින් නිෂ්පාදකයන් මංකොල්ලා කන තත්ත්වයකට පත් වුණා. එහෙම නොවී දෙපාර්ශ්වයටම වාසි සහගත වන ලෙස යම් අත්වැල් බැඳගැනීමකින් යුතුව කර්මාන්තය ගොඩගන්න චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපතිතුමා කටයුතු කරයි කියන විශ්වාසයෙන් අපි බලාගෙන ඉන්නවා.

එදා වගේම අදත් සංගම් තිබෙනවානේ?

ඒක තමයි. ඒත් එදා තිබුණු සාමූහික අත්වැල් බැඳගැනීම අද අඩුවෙලා. එදා විනෝදාස්වාදයට තිබුණේ සිනමාව පමණයි. අද ටෙලිනාට්‍යත් තිබෙනවා. ශිල්පීන් එදිනෙදා තමන්ගේ අයකිරීම ලබාගෙන ටෙලිනාට්‍යවල රඟපාන තත්ත්වයට පත්වෙලා. එනිසා අර අත්වැල් බැඳගැනීම ලිහිල් වෙලා. උදාහරණයකට අදටත් නිෂ්පාදකයන්ගෙන් මට මුදල් විශාල ප්‍රමාණයක් ලැබෙන්න තිබෙනවා. ඒත් අපි ඒ ගැන කතා කරන්නේ නැහැ. නිර්මාණයක් අසාර්ථක වුණොත් අපි ගෙවීම් ගැන හොයන්නේ නැහැ. හැබැයි සාර්ථක නිර්මාණයකදි අපට අර නොලැබුණු එකටත් හරියන්න ගෙවනවා. ඒ අන්‍යෝන්‍ය අවබෝධය අද නෑ. අපි අලුත් අයටත් කියන්නෙ මොකක්හරි පොඩි එකතුවක් හදාගන්න කියලා. මොකද තනිතනිව නැඟිටින්න බෑ මේ ක්ෂේත්‍රයේ. පහුගිය රජයේ තිබුණු ප්‍රතිපත්ති එක්ක සංස්ථාව හැසිරුණෙත් මුදලාලිලාට ඕනෙ විදිහට. අද අපි වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා පිළිබඳ තබා ඇති විශ්වාසයත් එක්ක අපට නැඟිටින්න පුළුවන් වෙයි කියා හිතෙනවා.

එදා ගාමිණි ෆොන්සේකා වැන්නවුන් සේම අදත් සමහරු කියන්නේ සංස්ථාවක් ඕනෙ නැහැ කියලා?

ඒක ඇත්ත, දැන් සංස්ථාව තිබෙන විදිහට, ගොඩනැඟිලි දිහා බලාගෙන සංස්ථාව තිබෙන්න ඕ‌නෙ කියලා නම් වැඩක් නැහැ තමයි. අපිත් කියන්නේ මේ ආයතනය ඵලදායී තත්ත්වයට පත් කරගන්න ඕනේ. ගිවිසුම පිළිබඳ නඩුවක් තිබෙනවා. ඒ කොහොම වුණත් සංස්ථාවට නැවත මේ බලය හිමි වෙන්න ඕනේ. කාලයක් තිස්සේ වුණ යම් යම් අඩුපාඩු නිසා තමයි කර්මාන්තය තුළින්ම මතයක් ගොඩනැඟුණේ මෙය පෞද්ගලික අංශයත් එක්ක වඩා හොඳ විදිහට කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් පෞද්ගලික අංශය අතට බලය ලැබුණු ගමන් කළේ දේශීය කර්මාන්තය බිම දාලා විදේශීය සිනමාවට තමන්ගේ දොරගුළු විවර කිරීම. එයින් තමයි ගැටුම ඇති වුණෙත්. හැබැයි මගේ අවබෝධය නම් පෞද්ගලික අංශයට ලබා දුන් ගිවිසුම තුළ වුණත් සංස්ථාවට පුළුවන්කම තිබුණා ඔවුන්ට යම් බලපෑමක් කරලා මෙය තුලනය කරගන්න. ඉතින් රජයටත් වගකීමක් තිබෙනවා මේ ආයතනය ශක්තිමත් කරන්න.

දැන් දැන් සිනමා සංකීර්ණ කීපයකුත් කරළියට එමින් තිබෙනවා?

එතනත් ප්‍රශ්නයක් තිබෙනවා. ඒකට තමයි සංස්ථාව ශක්තිමත්ව මැදිහත් විය යුතු වන්නේ. මගේ අදහස නම් පෞද්ගලික අංශයයි, රාජ්‍ය අංශයයි මේ හැමෝම එකතු වෙලා අපි හැමෝම දිනන වැඩපිළිවෙළකට යන්න ඕනේ.

අලුත් පරපුරේ තරු ගුණය ගැන මොකද හිතෙන්නේ?

මටත් තේරුම්ගන්න බෑ. හැමතැනදිම මම උත්තර දෙන්න යන්නෙත් නැහැ. මේ මම කියන දේමත් නෙවෙයි එකම හේතුව. ඒත් දැන් අලුත් අයගේ ප්‍රවණතාවක් තිබෙනවානේ මස්පිඩු පුම්බගැනීම තමයි සිනමාවට ඕනේ කියලා හිතන. අපි ආපු කාලේ වාණිජ සිනමාවේ වීරයා බවට පත්වෙන්න අවශ්‍ය ගුණයන් හැටියට තිබුණේ ඇඟම නෙවෙයි. රංගනය සහ සටන් කලාව, ස්ටන්ට්ලා භාවිත නොකිරීම වගේ දේවල්. කලින් ඩබල් දාලා කරපුවා අපි තනිවම කරලා මේ කලාව වෙනත් පැත්තකට හැරෙව්වා. ඒත් අද බහුතරයකගේ පොඩි ඒකාකාරී ගතියක් තිබෙනවා. ඒ වගේම ටීවී එකත් මේකට යම් බලපෑමක් කළා. මොකද රිදී තිරයේ නළුවා හෝ නිළිය පෙනෙන්නේ ප්‍රේක්ෂකයාට වඩා හතර පස් ගුණයකින් ලොකුවට. ඒත් ටීවී එකේ දහගුණයකින් විතර පොඩියට. එතකොට ප්‍රේක්ෂකයාගේ ඔළුවෙ රෙජිස්ටර් වෙන්නේ නැහැ නළු නිළියන්ව. ඒ නිසා නළුවෙක් නිළියක් තැනක ගිහින් බැස්සත් ඒ ප්‍රතිරූපය මැවෙන්නේ පොඩියට. ඒ නිසා තමයි අපි ගොඩනඟපු ප්‍රතිරූප තාමත් ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ පවතින්නේ කියලයි මට හිතෙන්නේ.

නිළියන්ටත් එය පොදුයි?

ඒ තමයි අර ඒකාකාරී බව. හැමෝම සුදුයි. හැමෝගෙම කොණ්ඩ එක වගේ. ඉතින් ගැමි චරිතයක් කළත් අර කෙළින් කරපු කොණ්ඩා එක්ක තමයි එන්නේ. අනෙක හින්දි සිනමාවේ වුණත් බලන්න ඒ කාලේ හිටිය ධර්මේන්ද්‍රන්ලා, අමිතාබ්ලා වගේම ඒ නිළියොත් ඒ අයටම ගැළපෙන හයේ හතරෙ අය. ඊට පස්සේ ආව ශාරුක්ලාගේ පරපුර ඊට වෙනස්. හැබැයි ඒ අය තාක්ෂණයෙන් ප්‍රතිරූප උස්සලා තිබ්බා. ඒක සමහර විට ලෝකෙම පරම්පරාවල වෙනස වෙන්න පුළුවන්. අපි ප්‍රේක්ෂකයන් අතරට ගියාම ඔවුන් සියලු දෙනා දිහා බලන්න පුළුවන් උසක් අපට තිබුණා. හින්දි සිනමාවෙත් එහෙමයි. මේක මම හිතන්නේ බුදු දහමේ තිබෙන කරුණක්. (සිනාසෙමින්) කොසොල් රජ්ජුරුවන්ගේ හීනවලත් තිබුණලුනේ තුත්තිරි ගස් විතර මිනිසුන් බිහිවන කාලයක් එනවා කියලා.

හැබැයි මට හිතෙනවා අලුත් පරපුරට තම දක්ෂතාව උරගා බලන්න විවිධ අවස්ථා ලැබුණා කියලා?

එහෙම වැඩසටහන් තියෙනවා නම් තමයි. ඒත් ඒ සියල්ල තුළ වෙන්නේ අපේකම ගිලිහිලා යන එකනේ. දැන් අපිත් ඇක්ෂන් ෆිල්ම්වල රඟපෑවානේ. අපි ස්ටන්ට් එකක් කළත්, ෆයිට් එකක් කළත්, ඩාන්ස් එකක් කළත් අපේකමක් ඒ හැම එකකම තිබුණා. එදා සරත් දසනායකලා වගේ අයගේ සංගීතයෙ වුණත් අපේකම ගැබ් වෙලා තිබුණානේ. ඒවත් අද ඉලෙක්ට්‍රොනික වෙලා. නැටුම්වලත් මට හිතෙනවා එහෙමයි කියලා. ඉතින් ඒ අනුව ප්‍රේක්ෂකයත් ක්‍රමයෙන් ලෝකය සමඟ සසඳලා අපෙන් ඈතට යනවා.

ඔබේ පරපුරටත් දකුණු ඉන්දියානු කොපි චිත්‍රපටවල රඟපාන්න සිදු වුණා?

ඒ තමයි අපි වරද්දගත්ත තැන. කරුමෙට හරි අපිටත් පොඩ්ඩ පොඩ්ඩ දායක වෙන්න වුණා ඒවාට. හැබැයි අපේ කාලේ දකුණු ඉන්දියානු ආභාසය ගත්තට ඒක අපේ කරගත්තා. ඒත් පසුකාලීනව සමහර චිත්‍රපටවල තිබුණා ඒ චිත්‍රපටයේ කෝවිලට යනවා නම් අපෙත් කෝවිලටම යන දර්ශන. අඩුම ගානේ පන්සලකට පලයන් එහෙමවත් නෑ. ඊටපස්සේ විවෘත ආර්ථිකයත් එක්ක හින්දි දෙමළ සිනමාව එහෙ රිලීස් වෙද්දිම මෙහෙත් ආවානේ. දැන් හුඟක් අය ඉන්නවා හින්දි, දෙමළ සිනමාවට ප්‍රිය කරන.

ඇයි අපේ අය හොලිවුඩ් පැත්තට වැඩිය බර නොවුණේ?

මම කියන්නේ කොහෙට බර වුණත් අපේ දේශීය ගතිය අපේ සිනමාව තුළ තිබෙන්න ඕනෙ. මම පිළිගන්නවා අපිත් අන්තර්ජාතික සිනමාවෙන් තමයි යම් යම් දේ ඉගෙන ගන්නේ. හැබැයි ඒකම කරන්න ගියොත් ප්‍රේක්ෂකයන් අපිව අතහරිනවා. අපේ බහුතරයක් සම්මානනීය සිනමාකරුවන් පවා අන්තිමට අන්තර්ජාතික සම්මාන සොයාගෙන ගියානේ. හොඳම උදාහරණය ධර්මසේන පතිරාජ. බඹරු ඇවිත්, පාරදිගේ වගේ නිර්මාණ කරලා පස්සේ අන්තර්ජාතික සම්මාන වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන්න ගත්තාම ප්‍රේක්ෂකයන් ඔහුගෙන් ගිලිහුණා. අපේ අධ්‍යක්ෂවරුන් බහුතරයකට ඒ දේ වුණා. අපේකමක් නැති වෙද්දි සිනමාවට ආදරය කරන්නෙත් නෑනේ රසිකයන්.

විශ්ව භාෂාවක් ලෙස සලකන සිනමාවේ අපේකම රඳාපවතින්නේ කුමන සාධකයකද?

මුලින්ම තිර රචනයේ. නිර්මාණයක අත්තිවාරම එයයි. අධ්‍යක්ෂවරයා ඉතිරි බර දැරිය යුතුයි. කාබන් කොපි සිනමාවට යෑම නිසා අද තිරකතාවක් ලියාගන්න කෙනෙක් නැතිව ගිහින්. ඒ අයගෙන් නිසි ප්‍රයෝජනය නොගන්න නිසා ඔවුන් එක අතකින් මොටවෙලා. අධික ලාභයක් ගැනීමට යෑම හෝ සමහර අධ්‍යක්ෂවරු මා දන්නවා ෂූටින් එන්නේ ඊයේ රෑ සීඩී එක බලලා. අපටත් කියනවා ඒ කතාවේ අනෙක් කකුලයි ඉස්සරහට තිබ්බෙ කියලා. ඉතින් අපිත් ඒ කකුලම උස්සන්න ඕනෙද? ඒක අපෙත් පවට වෙච්ච දෙයක්.

ශ්‍රී ලංකාවේ පසුගිය දශක හතර ගත්තොත් බොහෝ දේ සිදු වුණා. ඒත් ඒවා සිනමාවට පාදක වුණේ ඉතාම අඩු වශයෙන්?

මෙහෙමත් වෙනවා. බොලිවුඩ් සිනමාව ගැළපුණේ අපේ වාණිජ සිනමාවටනේ. ඒත් වියට්නාමයේ යුද්ධය ඉවර වුණාම ඇමෙරිකානු සිනමාව වාණිජ රාමුවක් එයට හදාගත්තා. අපේ කලාත්මක සිනමාවවත් ඒ තැනට නොගියේ නිෂ්පාදන වියදම පවා මේ අවුරුදු කීපය තුළ වෙනස් වූ ආකාරය නිසා. අපට සිදු වෙනවා වෙළෙඳපොළ අනුව හැසිරෙන්න. උදාහරණයකට යුද පසුබිමක චිත්‍රපටයක් කියන්නේ ලොකු නිෂ්පාදන පිරිවැයක්. පස්සේ එය ආවරණය කරගන්න බැහැ. නිෂ්පාදකයන් අධෛර්යය වෙනවා. අනෙක අපේ තරුණ කාලේ සීදූවේ ඉඳන් ඇවිත් 6.30 සහ 9.30 චිත්‍රපට දෙකම බලලා හාබර් එකේ බස් එකේ නැඟලා ගෙදර යනවා. ඒත් අද? මේ කාරණා සියල්ල අඩුවැඩි වශයෙන් සමස්ත චිත්‍රපට කර්මාන්තයටම බලපෑවා.

ඔබ සිනමාශාලා හිමියෙක්වත් සිටියා. කුමක්ද විසඳුම?

රජයේ පූර්ණ අනුග්‍රහයෙන් දියුණු වන නගරවල මිනි සිනමාස් විදිහට හෝ ශාලා ඇති කළ යුතුයි. ඒ සඳහා සහන ණය, ඉඩම් ලබා දීමට කටයුතු කළ යුතුයි. එතකොට සිනමාශාලා ගිනිතැබීම නිසා අපෙන් ඈත් වුණු ප්‍රේක්ෂක පිරිස යළි ආකර්ෂණය කරගන්න පුළුවන්. මොකද රසිකයන් චිත්‍රපට නොබලා ඉන්නේ නැහැ. මම හොඳටම දන්නේ පුතණ්ඩියා චිත්‍රපටය ශාලාවල සාර්ථක නොවුණට සීඩී එක හොඳටම ආදායම් ලැබුව නිසා. ගෙවල්වල හෝම් තියටර්ස් තියෙනවා. චිත්‍රපට ශාලාවකට පවුලම අරන් එන්න දෙතුන්දාහක් වියදම් කරනවාට වඩා රුපියල් සියයට සීඩී බලන එක ලාබයි. අඩු වුණු ප්‍රේක්ෂක සංඛ්‍යාවගේ මුදල ආවරණය කරගන්න ටිකට් එකේ ගාණ වැඩි කළාම හරියනවද? ඉස්සර ශතපනහයි, රුපියලයි වැඩිම වුණොත් දෙකයිපනහයි. (සිනාසී) අද ඒ ගාණට යන්න බැහැ තමයි. ඒත් සාපේක්ෂ වෙන්න එපැයි. ඉස්සර හිතහොඳ චණ්ඩියා අනුරාධපුරේ රිලීස් වෙද්දි ලොරි ට්‍රැක්ටර්වල නැඟගෙන ගම්පිටින් එන්නේ. අද එහෙම වියදමක් දරන්න බැහැ. ඒ නිසා චිත්‍රපට ශාලා දෙතුන්සියයක් හැදෙන්න ඕනෙමයි. මම රන්මිහිතැන්න හදන වෙලාවෙ කීවෙත් ඒ මුදල චිත්‍රපට ශාලා හදන්න ආයෝජකයන්ට දෙමු කියලයි.

ශාලා හැදුවම ඇතිද?

මුලින්ම ඇකිළුණු වෙළෙඳපොළ පුළුල් කරගන්න එපැයි. නිෂ්පාදකයකුට කතා කරනකොට අපට පෙන්වන්න වෙළෙඳපොළක් ඕනෙනේ. දැන් වෙන්නේ ආසාවට අපි කතා කරගෙන හිතවත්කමට කරන වැඩනෙ.

චිත්‍රපටත් හැදෙන්න ඕනෙ තමයි. හැබැයි රසිකයන් ආකර්ෂණය වන නිර්මාණ. නැත්නම් ප්‍රේක්ෂකයන් විතරක් නෙවෙයි නිෂ්පාදකයාත් ආපහු චිත්‍රපට හදන්න තියා බලන්නවත් එන්නෙ නැහැ.

වාණිජ සිනමාව මේ තරම් දුර්වල වන්න හේතුවක් දකිනවාද?

අපේ වාණිජ සිනමාවට සම්මාන දෙන අයගෙනුත් ලොකු අසාධාරණයක් සිදු වුණානේ වාණිජ සහ කලාත්මක සිනමාව එකට තියලා සම්මාන දීමෙන්. හිතමු අපි කලාත්මක සිනමාවක රඟපෑවා කියලා. ඒත් අර විනිශ්චය මණ්ඩල අපි දිහා බලන්නේ බයිස්කෝප්කාරයො විදිහට. ඒක අපට ගැටලුවක් නැහැ. ඒත් වාණිජ සිනමාවටත් වෙනම සම්මාන දෙන වැඩපිළිවෙළක් තිබුණා නම් ඒවායේ ගුණාත්මකබව මීට වඩා වැඩි වෙනවා. දිගින් දිගටම එහෙම නොවුණ නිසා අපේ අයත් තියෙන එකෙන් මල්ල පුරවාගන්න බැලුවා මිසක් හොඳ යමක් වෙනුවෙන් පෙලඹුණේ නැහැ. හැබැයි ජනප්‍රිය සම්මානය නිතරම දිනුවේ වාණිජ චිත්‍රපටවලින්.

ඔබේ බාප්පා, විජය කුමාරතුංගයන් අද සිටියා නම් සැත්තෑපස් වියැත්තෙක්?

ඇත්තටම එතුමා ගැන මුළු රටම බලාපොරොත්තු තියාගෙන සිටියා. ඔහු සිනමා ශාලාවට ප්‍රේක්ෂකයන් කැඳවන එකම සාධකයක් බවට පත් වුණා. ඒ වගේම දේශපාලනික අතින් නගර සභාවකටවත් තේරී පත් නොවුණට අදත් කියනවානේ හිටියා නම් නායකයෙක් කියලා. ඒ මට්ටමට එතුමා ගොඩනඟපු මානව හිතවාදී ගුණය, මනුස්සකම, රංගනය, ගායනය ආදියෙන් ගොඩනැඟූ ප්‍රතිරූපය සම කරන්න කෙනෙක් පේන තෙක්මානෙක තාමත් නැහැ.

ඔබත් ඒ ආභාසයෙන් දේශපාලනයට යොමු වුණා. ඒත් අපට පේන්නේ දැන් අංශ දෙකෙන්ම ඈත්වෙලා වගේ?

(හොඳටම සිනාසෙමින්) නෑ. නෑ. සිනමාවෙන් වත් දේශපාලනයෙන්වත් ඉවත්වෙලා නෑ. පසුගිය කාලෙ පක්ෂය තුළින්ම වුණු දේශපාලන කුමන්ත්‍රණයකට අහුවුණා. ඒ ගැන විනය පරීක්ෂණයක් ඉල්ලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විජය කුමාරතුංගයන් පවා තෝරාගත්තේ එහි තිබෙන මානව ගුණය නිසා. නැත්නම් ඔහුට එජාපයෙන් ඕනෑතරම් ආරාධනා ආවානෙ. ඉතින් මමත් නිදහස් පක්ෂය තුළම රැඳුණේ එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායකයන් තුළ දුටු මානව ගුණය වගේම ප්‍රතිපත්ති පිළිගනිමින්. පංචමහා බලවේගය පිහිටුවාගෙන ආ අපේකම නිසානේ චිත්‍රපට සංස්ථාව පවා අපට ලැබුණේ. අපේ සියලු ජයග්‍රහණ ලැබුණු තැන එය. හැබැයි 89න් පසු රට තුළ තිබුණේ මිනීමරු දේශපාලන සංස්කෘතියක්. එතකොට මම ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ හිටියේ. ඒ සියල්ල අතහැරලා පක්ෂය වෙනුවෙන් කැපවෙලා විශාල වෙනසක් කරන්න කලාකරුවකු ලෙස දායකත්වය දුන්නා. ඒත් මුදලට යටවන ඩීල්කරුවන් මගේ ඒ ගමන නවත්වන්න කටයුතු කළා. එයින් මගේ දේශපාලනය නවත්වන්න බැහැ. තවමත් මම කැස්බෑව ආසන සංවිධායක. කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටියා මම ඉල්ලයි කියලා. මමත් දන්නවා ඉල්ලුවා නම් දිනනවා වගේම මා එක්ක යන කෙනාත් දිනවනවා. ඒත් පක්ෂයෙන් ඉදිරිපත් කළ දෙන්නම පැරදුණා. එයින් අගතියක් වුණේ පක්ෂයට සහ පාක්ෂිකයන්ට.

මම විශ්වාස කරන්නේ අපි සියලු දෙනා එකතු වෙලා මේ දේශපාලන ගමන යන්න ඕනේ. අවාසනාවකට පසුගිය කාලේ දෙපසකට බෙදුණා. එය අවාසියක්. මහමැතිවරණයෙත් මන්ත්‍රීවරු පහළොවක් ආවෙ තවමත් අපේ ප්‍රතිපත්ති ගරුකරන ඡන්දදායකයන් ඉන්න නිසානේ. අදත් ජනතාව පැවතුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හොයනවා. ඒ වෙනුවෙන් පක්ෂය ශක්තිමත් කර තබාගත යුතුයි.

ජීවා ඔබ සිනමා අධ්‍යක්ෂවරයෙක් බවට පත් කළා?

ජීවා බාගයක් පමණ රූපගත කරද්දි ජනාධිපතිවරණය අවා. ඊට පස්සේ මහමැතිවරණයක ලකුණු පහළ වුණ නිසා කල් දමද්දි කොරෝනා ආවා. ඒත් අපි නොවැම්බර් පළමු සතියේ ඉතිරි කොටස රූගත කරන්න බලාපොරොත්තු වෙනවා. වාණිජ සිනමාව සමඟ අත්වැල් බැඳගත් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු ඉටු කරන ගුණාත්මක චිත්‍රපටයක් කරන්න තමයි මම අධ්‍යක්ෂවරයා විදිහට කල්පනා කරන්නේ. මාත් සමඟ රංගනයෙන් සංගීතා, ක්ලීටස්, පුබුදු චතුරංග, ජීවන් හඳුන්නෙත්ති වගේ පිරිසක් දායක වෙනවා. නිෂ්පාදනය තිලිණි ගමගේ. 2021 මුල ප්‍රදර්ශනයටයි බලාපොරොත්තුව.

ගෙදර විස්තරත් අලුත් වෙලා ඇති?

ඔව්. දුවලා දෙන්නම බැඳලා ගිය නිසා මමයි ෂෙරිනුයි ඒ කියන්නේ (සිනාසී) මහජෝඩුව විතරයි දැන් ගෙදර.

ලබන 07 වැනිදා උපන්දිනය, වසර හතළිහකට ආසන්න සිනමා දිවිය දිහා හැරිලා බලද්දි?

හරිම සතුටුයි. රඟපෑමට තිබෙන ආසාවට සිනමාවට සම්බන්ධ වුණා මිස වෘත්තීය නළුවකු වන්න හිතේ තිබුණෙ නැහැ. බාප්පාට කීවෙත් ආසාවට චරිතයක් කරන්න අවස්ථාව අරන් දෙන්න කියලානේ. එය වෘත්තීය මට්ටමට තල්ලු වුණා. ඒ වෙලාවේ ඇති වුණ බාධාව දුෂ්ටයාගේ චරිතයට තල්ලු වීම. ඒ අභියෝගය ජයගෙන ගාමිණි ෆොන්සේකලා, විජය බාප්පලා වගේ වීරයා වෙන්න ඕනේ කියන සිතිවිල්ලත් සම්පූර්ණ කරගෙන, ජනප්‍රියම නළුවා සම්මානයත් හිමිකරගෙන ආ ගමන ගැන ලොකු සතුටක් තිබෙනවා. එකම එක ආශාවක් තිබුණා දැන් නම් ඉතින් ඒකත් අතහැරලා දාලා තියෙන්නේ. හොඳම නළුවා වීම. ඒක කවදාවත් ඉටු වුණෙත් නැහැ. දැන් නම් ඒ ගැන බලාපොරොත්තුවකුත් නෑ.

 

තිලක් පෙරේරා