විහිළු කරන්න ගිහින් සිනමාශාලාවේ ගුටිකෙළියක්

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත
ඔක්තෝබර් 15, 2020

සිනමාව ගැන කතා කරන ඕනේම සංවාදයකදී හෙතෙම නැතිවම බැරි චරිතයක්. දීර්ඝ කාලයක් තිස්සේ ජාතික මට්ටමින් සිනමා කර්මාන්තය පිළිබඳ වගකීම දැරූ තැනැත්තෙකි ඔහු. දක්ෂ ව්‍යාපාරිකයෙක් සේම සිනමාවට සහ සිනමාකරුවන්ට සුවිශේෂ මෙහෙවරක් ඉටු කරන්නෙක්. ඔහු නමින් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස වේ. ඔහුගෙන් කලාව පිළිබඳව කොතෙක් විමසුවද ඔහුගේ කලා රසිකත්වය පිළිබඳව කිසිවෙකුත් ප්‍රශ්න කර නැත. මෙවර සරසවිය සැරසෙන්නේ ඔහුගේ කලාව ගැන ප්‍රශ්න කරන්නටය.

කලාව කියන දේ ඔබට දැනෙන්නේ කොහොමද?

කලාව විශ්ව භාෂාවක්. ඒක ලෝකේ මොන රටටත් පොදුයි. ඒක හැමෝටම එකට රසවිඳීන්න පුළුවන්. කලාව තියෙන තැන තමයි මනුෂ්‍යත්වය තියෙන්නේ. ලෝකේ මේ තාක්දුරට මනුෂ්‍යත්වය රඳා පවතින්නේ කලාව නිසා. මිනිසා කලාව තුළින් සංවේදි වෙන නිසා. ලෝකයේ නොනවතින එකම දේ කලාව කියලා මම හිතනවා. මොකද මොන දේ නැති වුණත්, මිනිස්සුන්ට තමන්ගේ හැඳීවත ඉතුරු වුණත් කලාව කියන එක කරන්න පුළුවන්.

කලාව ජයන්ත ධර්මදාසට දැනෙන්න පටන්ගත්තේ කොයි කාලේද?

මම බාලාංශේට යන කාලේ කලාව කියලා දෙයක තේරුමක් නැහැ. ඒත් මිනිස්සු විනෝද වෙන්න චිත්‍රපටි බලනවා කියලා දන්නවා. මුලින්ම මගේ අම්මයි තාත්තයි චිත්‍රපටි බලන්න ගිහින් ඒක හොඳ නම් තමයි පස්සේ අපිව එක්කන් යන්නේ. හැම චිත්‍රපටියක්ම ඒ දෙන්නා බැලුවා. ඒත් අපිව සීමිත චිත්‍රපටි ගාණක් බලන්න පොඩි කාලේ එක්කන් ගියේ.

ඒ කියන්නේ ඔබේ මවුපියෝ කලාකාමී මිනිස්සු?

මගේ තාත්තා හැමෝම දන්න කියන නවලෝක මුදලාලිනේ. මට මතකයි අපි නිවාඩු කාලේට තාත්තාගේ පෑලියගොඩ කාර්යාලයට යනවා. එතනට එනවා කලාකාරයෝ, ඇවිත් තාත්තා හමුවෙලා කතා කරනවා, ඒ අයගේ විවිධ අඩුපාඩු තාත්තාට කියනවා දකිනවා. තාත්තා කලාකාරයොන්ව බොහොම සමීපව ඇසුරු කළා. ඊට අමතරව තාත්තා චිත්‍රපටි කීපයක් නිෂ්පාදනය කෙරුවා. ඉහත ආත්මය, හතර පෙරළිය, හතර කේන්දරය, අබුද්දස්ස කාලේ ඇතුළු චිත්‍රපටි අටක් තාත්තා නිෂ්පාදනය කෙරුවා.

ඉස්කෝලේ යන කාලේ ඔබට කලාව කිට්ටු වුණාද?

මම ගියේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට. අපිට කලා විෂයන් හදාරනවාට වඩා වැඩියෙන් හදාරන්න තිබුණේ ඉංග්‍රීසි භාෂාව ආශ්‍රිත විෂයන්. නමුත් සමහර පංතිවලදී අනිවාර්යයෙන්ම පාසල් මට්ටමේ ප්‍රසංගවලට සහභාගී වෙන්න ඕනේ වුණු නිසා කලාව සමඟ විවිධ ක්‍රියාකාරකම් කළා.

මුලින්ම හෝල් එකක චිත්‍රපටියක් බලපු දවස මතකද?

ගොඩක් පොඩි කාලේ බැලුවේ. අම්මයි තාත්තයි පවුලේ සහෝදර සහෝදරියෝ එක්ක බලන්න ගියේ. ඒත් මට චිත්‍රපටියේ නම මතක නැහැ. .... තිබුණ ගාමිණීහෝල් එකේ චිත්‍රපටය බැලුවේ.

ඉස්කෝලේ යන කාලේ යාළුවෝ එක්ක චිත්‍රපටි බලන්න යන්න ඇති?

අම්මෝ ඔව්. ඕනේ තරම් බලලා ඇති. අපේ ඉස්කෝලේට කිට්ටුවෙන්ම තිබුණේ ඕඩියන් එක. ඉස්කෝලේ ඉවර වුණාම 2.30 ඵඩධඹ එක බලන්න යනවා. එහෙම නැති නම් සෙනසුරාදාට 10.30 ඵඩධඹ එක බලන්න යනවා. ඊට අමතට වැල්ලවත්තේ තිබුණා සැනයර් එකක්. යාළුවෝ එක්ක රීගල් එකේ ගොඩක් ඉංග්‍රීසි චිත්‍රපටි බැලුවා. ඉඳලා හිටලා සැවෝයි එකටත් යනවා චිත්‍රපටි බලන්න.

එහෙම ගිහින් බලපු චිත්‍රපටි මොනවද?

ගොඩක් බැලුවේ ගාමිණි - මාලිනී හිටපු චිත්‍රපටි. ඊටපස්සේ විජය - මාලිනී චිත්‍රපටි බැලුවා. තුෂාරා, හතරදෙනාම සූරයෝ, චණ්ඩියා, බඹරු ඇවිත්, රන්මුතුදූව වගේ චිත්‍රපටි බැලුවා මතකයි. මායි යාළුවොයි ගාමිණී - මාලිනී ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඒ චිත්‍රපටිය බලන්න යනවාමයි. එතකොට ටිකට් එක රුපියලයි සත දහයයි.

එහෙම චිත්‍රපටි බලන්න ගිහින් වුණු අමතක නොවන මතක ඇති?

මම ඒ කාලේ ටිකක් වැඩියෙන් විහිළු කරන කෙනෙක්. චිත්‍රපටයේ මොනවාහරි විහිළුවක් නැති නම් මම හෝල් එකේ හැමෝටම ඇහෙන්න විහිළු කරනවා. එක දවසක් මම එහෙම විහිළු දෙක තුනක් කරද්දි පිටිපස්සේ හිටපු කට්ටියක් කිව්වා සද්ද නැතුව ඉන්න කියලා. ඒත් අපි ඕවා අහනවද? දිගටම විහිළු කළා. ඊටපස්සේ එයාලා අපිව එළියට ඇදගෙන ගිහින් අපිට ගහන්න ඇවිල්ලා අපිත් ගහගෙන ලොකු ප්‍රශ්න ගොඩක් වුණා. ඒ කාලේ අපිත් ඉතින් ගහගන්නම බැරි අයනේ. (සිනාසෙමින්)

පෙම්වතියත් එක්ක චිත්‍රපටි බැලුවේ නැද්ද?

නැහැ. මට පෙම්වතියෝ හිටියේ එකම එක්කෙනයි. එයා අවුරුදු හයක් පෙම්වතිය වෙලා ඉඳලා පසුව බිරිඳ වුණා. හැබැයි බැන්දාට පස්සේ අපි දෙන්නා සුමානෙකට සැරයක් චිත්‍රපටි බලන්න ගියා.

දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි තියෙනවාද?

ඔව්. මම ගම්පෙරළිය" දෙසැරයක් බැලුවා. "පරසතු මල්" තුන් වතාවක් බැලුවා "අල්ලපු ගෙදර" පස් වතාවක් විතර බැලුවා. සිනමා නිර්මාණ කොච්චර තිබුණත් මට විඳීන්න, විනෝද වෙන්න දේවල් තිබුණේ මේ චිත්‍රපටිවල. ගම්පෙරළිය, පරසතු මල් බලද්දි මට හිතුණේ මේ වගේ දැවැන්ත නිර්මාණ ඒ කාලයට සාපේක්ෂව ලංකාව වගේ රටක කරන්න පුළුවන්ද කියලා. අල්ලපු ගෙදර වෙනම විනෝදයෙන් විහිළුවෙන් විඳීන්න ඕනේ චිත්‍රපටියක්. මේ ඉන්න ටික කාලේ අපි හිනාවෙලා ඉන්න එපැයි.

ඒ කියන්නේ ඔබ ප්‍රහනසනයට කැමති කෙනෙක්?

ඔව්. ඇත්තටම ඕනේම සිනමා නිර්මාණයක පොඩි ජවනිකාවක් හරි ප්‍රහනසනය තියෙන්න ඕනේ. නැතිනම් කම්මැළියිනේ. ජෝ අබේවික්‍රම, ෆ්‍රෙඩී සිල්වාලා ඒ කාර්යය සිනමාව තුළ හොඳට ඉටුකළා. කේ.ඩබ්ලිව් පෙරේරා, යසලික නානායක්කාර වගේ නිර්මාණකරුවන්ගේ නිර්මාණවල හොඳට හාස්‍ය තිබුණා. කොළඹ සන්නිය, පික්පොකට්, බඩුත් එක්ක හොරු, සාරවිට වගේ නිර්මාණවල හාස්‍ය තිබුණා. අවකැපෙන වචනත් නොතිබුණා නොවේ. තේරුම් ගත්ත කෙනා හෝල් එකටම ඇහෙන්න හිනාවෙනවා ඉතින්. (සිනාසෙමින්)

ඒ කාලේ තරුණ තරුණියන්ව වගේ ඔබටත් චිත්‍රපටි උන්මාදයක් තිබුණාද?

ඔව් තිබුණා. ඒත් එක කතා විලාශයකට විතරයි එහෙම උන්මාදයක් තරමට කැමති වුණේ. "ගොළුහදවත" වගේ චිත්‍රපටි තමයි වැඩිපුරම දැනුණේ. ඒ වගේම මම චිත්‍රපටියක් බලලා ඒක ඔළුවේ තියාගන්න කැමති නැහැ. ඒ නිසයි හිනායන ඒවා වැඩියෙන් බැලුවේ.

යාළුවෝ එක්ක වේදිකා නාට්‍ය බලන්න ගියාද?

ඔව්. වැඩිපුරම බලන්න ගියේ චිත්‍රපටි. ඒත් ඉඳලා හිටලා වේදිකා නාට්‍යයක් බලන්න යනවා. හරිම බඩු හයක්, ඉඩම, කැලණි පාලම වගේ මහපොළොවේ කතා තමයි බැලුවේ. හාස්‍යයට කැමති නිසා එවෙලේ හිනාවෙලා විනෝද වෙන්න පුළුවන් වේදිකා නාට්‍ය බැලුවා. හුඟක් වේදිකා නාට්‍ය බැලුවේ ටවර්හෝල් එකෙයි ලුම්බිණියෙයි.

කැමතිම චිත්‍රපටි නළුවා කවුද?

කැමතිම නළුවා කියද්දි මට ඒක දෙආකාරයකින් වර්ග කරන්න පුළුවන්. නළුකම ගැන කියනවා නම් මම ගාමිණී ෆොන්සේකාට කැමතියි. නළුවෙක්ට තියෙන්න ඕනේ හැමදෙයක්ම ඔහුට තිබුණා. අනිත් පැත්තෙන් විජය කුමාරණතුංගට තිබුණා හොඳ නළු පෙනුමක්. ඒත් ඇත්තටම ගත්තොත් හරියටම නළුවා තමයි ජෝ අබේවික්‍රම. ඒ තරම් පෙනුමක් නොතිබිලාත් හැම චරිතයක්ම හොඳටම කරගන්න පුළුවන් වුණේ ඔහුට.

ඔබ අනුකරණය කළ කලාකාරයෙක් හිටියාද?

මම නළුවෝ අනුකරණය කළේ නැහැ. මම තරුණ කාලේ නිතරම ක්‍රිකට්, රගර් සෙල්ලම් කරපු නිසා මගේ ලේසියට කොණ්ඩේ කොටටම කපලා හිටියේ. ඒත් මම සුදුපාට අඳීන්න ගත්තා මිල්ටන් පෙරේරා නිසා. මම එදත් සුදු ඇන්දේ, දැනුත් සුදු අඳීන්නේ.

නිළියක් විවාහ කරගන්න හිතුණේ නැද්ද?

අපෝ නැහැ. මට අවුරුදු දහඅටේ ඉඳලා ප්‍රේම සබඳතාවක් තිබුණු නිසා එහෙම හිතුණේ නැහැ. ඒත් වැඩිපුරම ආකර්ෂණය වුණෙ මාලිනී ෆොන්සේකාට තමයි.

කැමතිම සිංහල චිත්‍රපටිය මොකක්ද?

පරසතු මල්. හේතුව මුල සිට අග දක්වා ඒ චිත්‍රපටිය, මවලා තිබුණු බොරු කතාවක් කියලා තේරුණේ නැහැ. ඒක මහපොළොවේ කතාවක්නේ. අනික අපි ඒක මීට කලින් නවකතාවක් හැටියට කියවලා තිබුණේ නැහැ. ගම්පෙරෙළිය, ගොළුහදවත නම් අපි නවකතාවක් හැටියට කියවලා තිබුණා. නමුත් මේ කතාවේ මුල සිට අග වෙන තෙක්ම ගාමිණී - ටෝනි - අනුලා අතරේ හරිම ලස්සනට කතාව ගලාගෙන ගියා. ඊට අමතරව අල්ලපු ගෙදර, තුෂාරා වගෙ චිත්‍රපටිවලට ගොඩක් කැමතියි.

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

අන්තිමටම චිත්‍රපටි පහක් බැලුවා. සරසවිය ස්කෝප් සිනමා සොම්නස චිත්‍රපටි දැක්මක් තිබුණා. ඒකේ පෙන්නපු චිත්‍රපටි පහම බැලුවා. මිදුණු විශ්වය, කතුරු මිතුරු, ගින්දරී, මිස් ජෙනිස්, යුගාත්‍රා. මේ චිත්‍රපටි පහම බැලුවා.

ඔබත් චිත්‍රපටියක් නිෂ්පාදනය කළා නේද?

ඔව්. මම චන්න පෙරේරාගේ සිනමා නිර්මාණය වන "යුගාත්‍රා" නිෂ්පාදනය කළා. ඊට කලින් ටෙලිනාට්‍ය කීපයක් නිෂ්පාදනය කළා.

ඔබ කැමති පරිද්දෙන් විදේශීය සිනමාව ගැන කතා කළොත්?

මම හින්දි සිනමාවට ඒ තරම් කැමති නැහැ. හොලිවුඩ් සිනමාවට සෑහෙන්න කැමැත්තක් තිබුණා. මම ඉස්සර රීගල් එකේ යාළුවෝ එක්ක ගොඩක් ඉංග්‍රීසි චිත්‍රපටි බැලුවා. මම කැමතිම නළුවා ග්‍රෙගරි පෙක්, කැමතිම නිළිය බ්‍රිජට් බාඩෝ තමයි.

ඔබට සංගීතයත් එක්ක කොයි වගේ ගනුදෙනුවක්ද තියෙන්නේ?

ඉතා හොඳ ගනුදෙනුවක්. මම නිතරම ගීත අහන කෙනෙක්. ගීත විඳීන කෙනෙක්. කාර්යබහුල නොවන හැම වෙලාවකම වගේ ගීතයක් අහලා ඉන්න කැමති කෙනෙක්. පහුගිය කාලේ වැඩිපුරම ඇහුවේ මිල්ටන් මල්ලවාරච්චිගේ ගීත. වාහනේ යන එක අතරෙත් සින්දු අහනවා. වැඩිපුරම අහන්න කැමති සිංහල සින්දු තමයි. ඒ නිසාම ඔස්කාර් සංවිධානය කියාලා අපි සංවිධානයක් හැදුවා ගායක ගායිකාව විඳීන දුක දැකලා. ඔවුන්ගේ ප්‍රශ්නවලට ගැටලුවලට උදවු උපකාර කරන සංවිධානයක් ඒක. දැන් අවුරුදු දහඅටක් තිස්සේ හොඳට පවත්වාගෙන යනවා. ගායක ගායිකාවන් හැමෝම වගේ ඒ සංවිධානයට සම්බන්ධ වෙලා ඉන්නේ.

කටහඬට ලෝභ හිතුණු ගායකයා කවුද?

ඒ මිල්ටන් පෙරේරා. මට හිතෙනවා මිල්ටන්ට අමුතු කටහඬක් තිබුණා. සංගීතය නැතුව හරි සින්දුවක් කියන්න පුළුවන් කෙනෙක් ඔහු. ඔහුගේ හඬම සුගායනීයයි.

මේ දවස්වල නිතරම මුමුණන ගීතය මොකක්ද?

මම ගීතයක් ලිව්වා බණ්ඩාර ඇහැළියගොඩට කියලා. මගේ බිරිඳ මිය ගියා. ඇය වෙනුවෙන් තමයි ඒ ගීතය රචනා කළේ. "කිරුළ බර වැඩී" ඒ ගීතයේ නම. මේ දවස් ටිකේ නිතරම මුමුනන්නේ ඒ ගීතය.

වෘත්තිය ජීවිතයේදී සමීපවම ඇසුරු කළ කලාකාරයෝ කවුද?

රවීන්ද්‍ර රන්දෙණියත් එක්ක මම ඉතාම කිට්ටුවෙන් වැඩ කළා, වැඩ කරනවා. එතකොට දමිත් ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, සංගීතා වීරරත්න වගේ අය එක්ක බොහොම සමීපව වැඩ කරනවා.

කලාව නැතුව කෙනෙක්ට ජීවත් වෙන්න බෑ කියලා කතාවක් තියෙනවා. ඔබටත් එහෙමද?

අනිවාර්යයෙන්ම. කලාව නැතුව කිසිම කෙනෙක්ට ජීවත් වෙන්න බැහැනේ. ජීවිතයට විනෝද වෙන්න, රසවිඳීන්න වගේම අපිට කලාවෙන් ඉගෙනගන්න හුඟාක් පාඩම් තියෙනවා. පොත්පත්වල දැනුම ගන්නවා වගේම කලාවෙන් එදිනෙදා ජීවිතයට ගත යුතු දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසාම ලංකාවේ කලාව ඉතාම දියුණු තත්ත්වයක තියෙනවා කියලා මට හිතෙනවා.

ව්‍යාපාරිකයෙක්ගේ චරිත කතාවක් සිනමාවට නඟන්න කිව්වොත් ඔබ තෝරාගන්නේ කාගේ චරිත කතාවද?

මගේ කතාව. මගේ කතාව හැමෝටම ආදර්ශයක් වෙයි කියලා හිතෙනවා. ඒ කතාවේ චිත්‍රපටියකට ඕනේ සියලුම අංග ටිකත් තියෙනවා. මට කීඔඅදෙනෙක්ගෙන්ම ආරාධනා ඇවිත් තියෙනවා මගේ චරිත කතාවෙන් චිත්‍රපටියක් කරන්න. චන්න පෙරේරා සහ පුබුදු චතුරංග වගේ තරුණ අය මගේ ජීවිත කතාව අහලා පුදුම් වෙලා කිව්වා චිත්‍රපටියක් හදමුකෝ කියලා.

චිත්‍රපටියක රඟපාන්න ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?

අනේ බැහැ. ඒත් මට දවසක් දිනේෂ් ප්‍රියසාද්ගෙන් එහෙම ආරාධනාවක් ආව දිනේෂ් ප්‍රියසාද්ගෙන්. අපි දෙන්නා අතර මෙහෙම සංවාදයක් වුණා.

දිනේෂ් - "සර් මම චිත්‍රපටියක් කරනවා. රඟපාන්න එන්න පුළුවන්ද?"

ජයන්ත - "ඇයි කවදාවත් නැතුව ඇයි මට රඟපාන්න කතා කරන්නේ?"

දිනේෂ් - "නෑ සර් විනිශ්චයකාරයෙක්ගේ චරිතයක් ඒක. සර් හිනා වෙන්නේ නෑනේ. ටිකක් රවාගෙනනේ ඉන්නේ. ඒ නිසා ඒ චරිතය සර්ට ගැළපෙනවා."

මම ඒ චිත්‍රපටිය රඟපාන්න ගියේ නැහැ.

තව චිත්‍රපටි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද?

ඔව්. බලාපොරොත්තු වෙනවා. ඒත් චිත්‍රපටි සංස්ථාවේ සභාපති හැටියට චිත්‍රපටි නිෂ්පාදනය කරන්න බලාපොරොත්තුවක් නැහැ. ස්වාධීනව තමයි නිෂ්පාදනය කරන්න හිතාගෙන ඉන්නේ.

 

නිශ්ශංක විජේරත්න