ඊළඟ බලාපොරොත්තුව ප්‍රධාන චරිතයක්...

නවක නිළි අනූෂා හෙලන්
ඔක්තෝබර් 22, 2020

ටෙලි නිර්මාණ ගණනාවකින් ඔබ හමුවට පැමිණි ඇය අනූෂා හෙලන්.

 

ඔබ ක්ෂේත්‍රයට පිවිසි අන්දම මතක් කළොත්?

මම මුලින්ම කළේ ඩාන්සිං. ඔය අතරේ මට වෙළෙඳ දැන්වීම්වලට රංගනයෙන් දායක වන්නට ලැබුණා. කමර්ෂල් විසිපහක් විතරකළා. ඔහොම ඉද්දි මට යාළුවෙකුගේ මාර්ගයෙන් සනත් අබේසේකර මහත්මයාගේ උරුමයක අරගලය නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටවලට එකතු වුණේ ඊට පස්සේ.

 

රඟපෑ නිර්මාණ පෙළ මතක් කළොත්?

උරුමයක අරගලය, රාවණ, හිතුවක්කාරයා, අපේ ආදරේ, පාරා, ඔබ නිසා, ඇය, සිහිනි තමයි මම රඟපෑ නාට්‍ය ටික. තව නාට්‍ය දෙකක් එන්න තියෙනවා එන්කවුන්ටර් සහ සමනල් කඳුළු. එන්කවුන්ටර් එකේ මම අනුරාධා. සමනල් කඳුළු නාට්‍යයේ පාර්වතී. සුනාමි, ආයු, ගෝරි, ගෝල්, යූ ටර්න්, මන්දාරා වගේ චිත්‍රපට ගණනාවකත් මම රඟපෑවා.

 

තවම ඔබ උප ප්‍රධාන චරිත විතරයි නේද කරලා තියෙන්නේ?

ඔව්. මම කාලයක් තිස්සේ බලාගෙන ඉන්නවා ප්‍රධාන චරිතයක් කරන්න. ඒත් අවස්ථාව ලැබුණේ නැහැ. උප චරිත නම් ඕනෑ තරම් කරලා තියෙනවා. ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ප්‍රධාන චරිතයක් කරන්න.

 

ඔබට දෙමළ භාෂාවත් පුළුවන් නේද?

මට දෙමළ හොඳට කතා කරන්න පුළුවන්. මගේ ඒ හැකියාව භාවිත කරමින් මම වසන්තම් ටීවී එකේ මාලා නාටකයක් කරනවා සති පතා. දෙමළ මිනිස්සු අතර මාව ජනප්‍රිය ඔය නාට්‍යය නිසා.

 

ඔබ රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයක් තියෙනවාද?

එකක් කියලා කියන්න අමාරුයි. මට දැනෙන චරිත තමයි කරන්න ආස. ඒ වගේම කියන්න ඕනේ, මම කැමතියි නපුරු චරිත කරන්න.

 

නිළියක් වීම ගැන අද මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් තියෙනවා. හැමෝටම රංගන ශිල්පිනියො වෙන්න බැහැනේ. හැබැයි ලෙහෙසි නැහැ මේ ක්ෂේත්‍රයේ ගමනක් යන එක.බාධක එමටයි. වාසනාව වගේම දක්ෂතාවයත් තියෙනවානම් ලොකු දුරක් යන්න පුළුවන්.

 

ඔබට පසුව ආව පිරිස ඔබට වඩා ජනප්‍රිය වුණා?

ඔව්. මමත් මේ වෙහෙසෙන්නේ ඒකට. මම අර කිව්ව ගුණාංග දෙකම තියෙන්න ඕනේ මේ ෆීල්ඩ් එකේ රැඳෙන්න. අපි හොඳටම කට්ට කාලා වෙහෙස වෙලා අවස්ථා හොයාගත්තු අය. අනෙක් අය එහෙම නෙවේ කියලා කියනවා නෙවෙයි. මොනවා වුණත් හදිස්සියක් නැහැ. හෙමින් ගමන යනවා.

 

අනූෂාගේ ගම කොහෙද?

මම කොළොන්නාවේ.

 

ඉගෙනගත් පාසල?

බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ බාලිකාව.

 

උපන් දිනය?

ඔක්තෝබර් හත.

 

ඔබ ගැන කෙටියෙන් හඳුන්වා දුන්නොත්?

අහිංසක කෙනෙක්.