මම දවස් 14ක් නිරෝධායනය වුණා

ඔක්තෝබර් 22, 2020

“ගේනවා කැවෙනවා ඉවර වෙනවා. මම කොහොමද ඒක නවත්තන්නේ”. මේ දිනවල විකාශය වන එක්තරා වෙළෙඳ දැන්වීමක මේ දෙබස් ඉඟිබිඟි පාමින් කියන රුවැත්තිය ඔබට මතක ඇති. ඇය නමින් දිනිති වල්ගමගේ. ඇය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සහ වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක්.

දිනිති මේ දවස්වල ටෙලිවිෂන් එකේ විකුණනවා නේද?

ඔව්. ඉතින් මම කරපු වෙළෙඳ දැන්වීම් හතරක් විකාශය වෙනවා. ඒ නිසා නිතරම මාව පේනවා. යාලුවෝ කියනවා මම ජාතික රූපවාහිනියේ කුරුල්ලා වගේ නිතරම පේනවා කියලා. (සිනාසෙමින්)

මේ දවස්වල මොකද කරන්නේ?

මේ දවස්වල තිබුණු ඔක්කොම රූගත කිරීම් කල් ගියා කොරෝනා දෙවෙනි රැල්ල නිසා. ටෙලිනාට්‍ය දෙකක් කරන්න හිටියේ. ප්‍රියන්ත ප්‍රනාන්දුගේ "සුසුම් රස්තියාදුව", ධනුෂ්ක රේමන්ගේ "රේස්" යන ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් හිටියා. ඒ වගේම හර්ෂ උඩකන්දගේ "මරුවා සමඟ වාසේ" යන ටෙලිනාට්‍යයටත් දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ වෘත්තියෙන් ගුවන් සේවිකාවක්?

ඔව්. මම දැන් වසර 6ක් තිස්සේ Sri lankan airlines සමාගමේ ගුවන් සේවිකාවක් විදිහට වැඩ කරනවා. මම කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් මුදවා ගැනීමේ මෙහෙයුම් හතරකට සම්බන්ධ වුණා. එහෙම ගිහින් ඇවිත් දවස් දාහතරක් නීරෝධායනය වෙලා තමයි නැවත වැඩ පටන්ගන්නේ. ඒ නිසාම ටෙලිනාට්‍ය ගොඩක් භාර අරගෙන වැඩ කරන්නේ නැහැ මම. මොකද මගේ රැකියාවත් එක්ක රංගනයට කාලය මදි.

ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

දැන් අවුරුදු තුනක්.

දිනිති ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?

මම ක්ෂේත්‍රයට එන්නේ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ "හාරකෝටිය" ටෙලිනාට්‍යයෙන්. ඊටපස්සේ කෝටිපතියෝ, සිල්ලර සමනල්ලු, No parking, blacktown story  සහ හිරු ඇවිදින් යන ටෙලිනාට්‍යවල රඟපෑවා.

චිත්‍රපටයකත් රඟපෑවා නේද?

මම "ආශාවරී" කියන චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ජනවාරි මාසයේ වගේ ඒකත් තිරගත වෙයි. තව චිත්‍රපටි දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා.

පෙම්වතියගේ චරිතය රඟපාන්න කැමැත්තෙන් ඉන්න පෙම්වතෙක් ක්ෂේත්‍රයේ ඉන්නවාද?

නැහැ. ගෑණු ළමයි ආසයි කියන ඔක්කොම එක්ක වගේ මම රඟපාලා තියෙනවා. හේමාල් රණසිංහ, සාරංග දිසාසේකර, බිමල් ජයකොඩි, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සුරාජ් මාපා මේ ඔක්කොම එක්ක මම රඟපාලා තියෙනවා.

දිනිතිට ඇත්ත ජීවිතයේ පෙම්වතෙක් ඉන්නවාද?

නැහැ. තව ජීවිතයක් අමාරුවේ දාන එක අපරාදෙනේ. (සිනාසෙමින්) මම ගොඩක් කාර්යබහුල කෙනෙක්. මගේ වැඩ කරන්නවත් කාලය මදි. ඒ නිසා තව කෙනෙක්ට වෙන් කරන්න කාලය මට නැහැ.

දිනිතිගේ පවුලේ විස්තර කිව්වොත්?

මගේ පවුලේ අම්මායි තාත්තායි ලොකු අම්මායි අයියලා දෙන්නයි ඉන්නේ.