නන්දා මිස් සම්මානය දුන් නිසා එදා රෑ මට නින්ද ගියේ නැහැ

දුමාල් වර්ණකුලසූරිය
ඔක්තෝබර් 22, 2020
  • පුහුණු වීම් නොකළොත් පන්තියෙන් එළවනවා.
  • ළඟදිම දරුවෙක්ට වුණු පොරොන්දුවක් ඉටු කරනවා

ඒ නම ඇසූ පමණින් ඔබට පළමුකොට සිහිපත් වන්නේ රාගධාරී නාද රටා සමඟ මුසුවුණු ඒ සුමධුර හඬය. හින්දුස්ථානී රාගධාරී ශෛලිය නියෝජනය කරන නව පරපුරේ ගායකයන් අතර ඉදිරි පෙළින් ඉන්නේ ඔහුය. දීර්ඝ කාලයක් රාගධාරී සංගීතය පිළිබඳ හැදෑරූ හෙතෙම මේ වනවිට ගුරුවරයෙක්‍ ය. ඔහු නමින් දුමාල් වර්ණකුලසූරියයි. සංගීත ක්ෂේත්‍රය ගැන ඔහුගේ කියවීම දීර්ඝය. එය අපි මෙසේ දිග හරින්නෙමු.

දුමාල්ට ළඟදි සම්මානයක් ලැබුණා නේද?

ඔව්. ගොඩක් සතුටුයි ඒ ගැන. 2019 රයිගම් Tele'es  සම්මාන උලෙළේදී හොඳම ටෙලිනාට්‍ය තේමා ගීත ගායකයාට හිමි සම්මානය මට ලැබුණා. අරුමැසි ආදරය ටෙලිනාට්‍යයේ තේමා ගීතය කළාට පසුව සම්මානයක් ලැබෙයි කියන බලාපොරොත්තුවකින් හිටියේ නෑ. ඒ ගීතයේ පදරචනය කළේ ඩිලාන් දේවින්ද්‍ය. ප්‍රියන්තසිරි පතිරණ සංගීතය නිර්මාණය කළේ. මේ ගීතය කළාට පසුව අවසාන ප්‍රතිඵලය හැටියට හොඳ ප්‍රතිචාර ලැබෙයි කියලා අපි බලාගෙන හිටියා. ඒ ඇගයීම සම්මානයකින් කෙළවර වීම ගැන අපි හැමෝටම එක වගේ සතුටුයි.

මේ ලැබුණේ කීවෙනි සම්මානයද?

මීට කලින් සම්මාන පහ හයක් ලැබිලා තියෙනවා මට. සරසවිය සම්මාන, රාජ්‍ය සම්මාන කීපයක් ලැබුණා. ඒවා තමයි මාව තවත් දිරිමත් කරන්නේ.

මෙච්චර සම්මාන ලැබුණ දුමාල් වර්ණකුලසූරියගේ ගීත hit  වෙන්නේ නැත්තේ ඇයි?

ඒක සමහරවිට මගේ වරදක් වෙන්නැති. මොකද මම සිංදු හදනවා. ඒත් ඒවා hit  කරන්න වැඩිය මහන්සි වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම කියන සින්දු එළියට යන විදිහේ අවුලක් වෙන්නැති ඒක. මම සින්දුවක් කරලා youtube  එකට දැම්මාට ගීතය පසුපස හඹා යන්නේ නැහැ. ඒක මගේ අවුලක් කියලා මට හිතෙනවා. වෙනත් කලාකරුවකුගේ ආරාධනාවක් අනුව මම කරන ගීත නිර්මාණ ඔවුන් ඔවුන්ගේ සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරනවා. මම නිර්මාණයක් කළාට පස්සේ ඒක hit  කරන්න පන්නන කෙනෙක් නෙමෙයි. පහුගිය දවස්වල මගේ යාළුවෝ බැනලා කමෙන්ට් දාලා තිබ්බා "දුමාල් උඹට පිස්සුද මෙච්චර ලස්සන සින්දු තියාගෙන ඒවා එළියට අරන් යන්න කැම්පේන් කරන්නේ නැත්තේ ඇයි?" කියලා. මහේ සිංදු අවශ්‍ය අය අහනවා. දැන් එහෙමත් බැහැ කියලා හිතෙනවා, මොකද මගේ සහෝදර කලාකාරුවන් පවා කියලා තියෙනවා මට සමාජ මාධ්‍යවල මගේ නිර්මාණ ජනප්‍රිය කරන්න කියලා. ඉදිරියට මම එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. (සිනාසෙමින්)

ඒ කියන්නේ ඔබ ජනප්‍රියත්වයට කැමති නැහැ?

ජනප්‍රියත්වයට අකමැතිකමක් නෙමෙයි. ජනප්‍රියත්වය මට කරදරයක් නෙමෙයි. ඕනේ කෙනෙක් ජනප්‍රියත්වයට කැමති වගේ මමත් එහෙමයි. ඒත් මම ජනප්‍රියත්වය පසුපස යන්නේ නැහැ. රටේ ජනතාව දුමාල් වර්ණකුලසූරිය කියන ගායකයාව හඳුනගත්තාට මම තාම පරණ විදිහට බොහොම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. මම Celebrity Image  එකක් ලොකුවට පවත්වාගෙන යන කෙනෙක් නෙමෙයි.

ඒත් දුමාල් ගොඩක් ගීත ගයපු කෙනෙක්?

ටෙලිනාට්‍ය ගීත, චිත්‍රපට ගීත, මම තනියම කරපු ගීත, අනිත් අයගේ ආරාධනාව මත කරපු ගීත මේ ඔක්කොම ගත්තාම ගීත 150ක් විතර කියලා තියෙනවා.

ඒ අතරින් වැඩියෙන් ජනප්‍රිය වුණු ගීත ගැන කිව්වොත්?

ඒක ඇත්තටම මම දන්නේත් නැහැ. නමුත් මම හිතනවා සමහර රසිකයෝ සින්දුව දන්නවා. කිව්වේ මම කියලා දන්නේ නැහැ. සමහර අය මාව දන්නවා. මේ සින්දුව කියන්නේ මම කිව්වාම "අහ් ඒක කියන්නේ ඔයාද" අහනවා. සල්මල් ආරාමය ටෙලිනාට්‍යයේ ගීතය, ඝරසර්ප චිත්‍රපටයේ තේමා ගීතය, වස්සානයේ ප්‍රේමය ටෙලිනාට්‍යයේ ගීතය වගේ ගීත ජනප්‍රියයි. මේ කාලේ "නොන්චි" කියලා වේග රිද්ම ගීතයක් කළා. ඒක ගොඩක් තරුණ පිරිස වැලඳගත්තා.

දුමාල් ගීතවලට ප්‍රවීණයන්ගෙන් ලැබුණු හොඳම ප්‍රතිචාර මොකක්ද?

ප්‍රවීණයන් කීපදෙනෙක්ම මට එහෙම ප්‍රතිචාර ලබාදීලා මාව අගය කරලා තියෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහ, මහාචාර්ය සුනිල් ආරියරත්න සර්, නන්දා මාලිනී මිස්, ප්‍රදීපා ධර්මදාස මහත්මිය, සුනිල් එදිරිසිංහ මහත්මයා වගේ ප්‍රවීණයෝ මාව නොසෑහෙන්න අගය කරලා තියෙනවා. සුනිල් එදිරිසිංහ මහත්මයා ප්‍රසිද්ධ වේදිකාවකම කියලා තියෙනවා මාත් එක්ක ගීතයක් ගායනා කරන්න ලැබීම ඔහුට භාග්‍යයක් කියලා. ඔහු වගේ ප්‍රවීණයෙක් එහෙම කිවයුතු නැහැ. ඔහුගේ නිහතමානීකමට මම ගරු කරනවා. මේ ළඟදීම මට ලැබුණු ප්‍රතිචාරය තමයි රයිගම් ටෙලිසම්මාන උලෙළේදී සම්මානය ගන්න ගියාම සම්මානය දීපු නන්දා මාලිනී මිස්ගෙන් ලැබුණු ප්‍රතිචාරය. නන්දා මිස් වගේ කෙනෙක් අතින් සම්මානයක් ගන්න ලැබීමම මම ලබපු ලොකු දෙයක්. එතුමිය මගේ අත්දෙකම අල්ලා කිව්වා "පුතේ, මේ සම්මානය මගේ අතින් ඔයාට ලැබුණු එක මට භාග්‍යයක්" කියලා. ඒක මට කොච්චර බලපෑවාද කියනවා නම් මම ගෙදර ඇවිල්ලත් කියව කියව හිටියේ ඒ ගැන. නින්ද ගියෙත් නැහැ මට.

දුමාල් නියෝජනය කරන පරපුරට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් දායකත්වයක් ලැබෙනවාද?

මට පෞද්ගලිකව ප්‍රවීණයන්ගෙන් අගයීම් ලැබෙනවා. මාව දිරිමත් කරනවා. මට හමුවුණු සියලුම ප්‍රවීණයන් මට ආදරෙන් සලකලා තියෙනවා. ඒ වගේම මම සියලුම ප්‍රවීණයන්ට මගේ ගෞරවය ලබා දෙනවා. අපි ඕනේම කෙනෙක් එක්ක එකිනෙකාට ගරු කරලා ආදරයෙන් ඉන්නවා නම් ඔවුන්ගෙන් සහයෝගය ලැබෙනවා කියලා මම හිතනවා. ඒ වගේම අපි කරන නිර්මාණවල ප්‍රමිතිය එක්ක තමයි ප්‍රවීණයෝ අපිව මනින්නේ. ඉන්දියාවේ නෙමෙයි දිව්‍යලෝකේ ගිහින් ඉගෙන ගත්තත් වැඩක් නැහැ මම නිර්මාණත් එක්ක පිස්සු නටනවා නම්.

දුමාල් නියෝජනය කරන ශෛලිය (හින්දුස්ථානී රාගධාරී) දැන් ලංකාවේ රැල්ලක් වෙලා.

ඒක හොඳ ප්‍රවණතාවක්. මම දකින විදිහට ගොඩක් තරුණ පරම්පරාවේ සහෝදර ශිල්පීන් ගායනා කරද්දි ඒ ශෛලිය තරුණ පිරිස අතරට යන ප්‍රතිශතය වැඩියි. රිද්ම වීරවර්ධන, ධනිත් ශ්‍රී, සුපුන් පෙරේරා වගේ තරුණ පිරිස අතර ජනප්‍රිය දක්ෂ කලාකරුවෝ ගායනා කරද්දි තරුණ අය ඒ ගීත අහනවා. රාගධාරී පැත්තට බර නාදරටා නිර්මාණය වෙලා තියෙනවා. නමුත් සංගීත නිර්මාණය ගත්තාම හරිම නැවුම්. අපි හැමදාම 70, 80 දශකේ විදිහට සංගීතය කරන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. ඒ.ආර්. රහ්මාන් වුණත් කාලයත් එක්ක යාවත්කාලීන වෙලා නව නිර්මාණ කළා. ලංකාවේත් රාගධාරී නාදරටා ඇතුළත් බටහිර සංගීත නිර්මාණ තියෙනවා. ඒ වගේ අලුත් දේවල් ලෝකේ නිර්මාණය වෙන්න ඕනේ. අලුත් වෙන්න ඕනේ පරණ වෙන්න ඕනේ. ආයිමත් අලුත් වෙන්න ඕනේ. ඒක හොඳ රැල්ලක් හැටියට මම දකිනවා. මේ ගීත ගායනා කරන හැමෝම සංගීතය ගැන හොයමින්, හදාරමින් මේ ගමන යන්නේ. ඒක මාර වටිනවා. මේ අතරවාරයේම තව පිරිසක් ඉන්නවා ජනප්‍රිය වෙන්න, මුදල් හම්බ කරන්න සිංදු කියන අය. ඒකට නම් මම එකඟ නැහැ.

ජනප්‍රිය වීම, මුදල් ඉපයීම ගායකයන්ගේ අරමුණක් නෙමෙයිද?

කලාව කියන එක අපි කරන්න ඕනේ කලාවට ගරු කරලා ඒ වටිනාකම් පරිස්සම් කරගෙන. කලාව ව්‍යාපාරයක් විදිහට කරගෙන යන එක වෙනම කතාවක්. ජනප්‍රිය වීම, ප්‍රසංගවලින් මුදල් ඉපයීම වගේ දේවල් ඒකට අදාළ වෙනවා. අඬාගෙන, දොඩාගෙන කිසිම ප්‍රමිතියකින් තොරව ගීත නිර්මාණය කරලා මුදල් ඉපයීම වෙනම දෙයක්. ඒකට කලාව ගාවගන්න බැහැ. ගායකයන් ජනප්‍රිය වෙන්න ඕනේ. මුදල් හම්බ කරන්න ඕනේ. ඒත් කලාව රැකගෙන. ඒක පරිහානියට පත් කරන්න බැහැ. ඒ ගීතයක් වචනවල පවා හරිම බොළඳ නීරස වචන. කලාව තියෙන්න ඕනේ ආනන්දයෙන් ප්‍රඥාවට යන්න. ඒත් මේ අය ආනන්දයවත් ප්‍රඥාවවත් දන්නේ නැහැ.

ගැටලුව ගීත රචකයන්ගෙද?

අපෝ නැහැ. ඕනේ තරම් හොඳ ගීත රචකයෝ ඉන්නවා. පුදුම ලස්සනට ලියන්න පුළුවන්, හොඳ වාග් කෝෂයක් තියෙන, හොඳ සාහිත්‍ය දැනුමක් තියෙන ගීත රචකයෝ ඉන්නවා. අපේ රටේ හැම කාලයකම හොඳ ගීත නිර්මාණය වෙනවා. ඒත් ඒ නිර්මාණ hit  එකක් වෙන්නේ නැහැ. තරුණ හොඳ සංගීත අධ්‍යක්ෂවරු, ගීත රචකයෝ ඉන්නවා. ඒත් ඔවුන්ගේ ගීත නිර්මාණ ජනතාව අතර යන්නේ අඩුවෙන්. මම දන්නේ නැහැ මොන කරුමයක්ද කියලා ජනප්‍රිය වෙන්නේ මෙලෝ රහක් නැති වචන තියෙන ගීත. ප්‍රශ්න තියෙන්නේ අපේ ප්‍රවීණ කලාකරුවෝ සහ ජ්‍යෙෂ්ඨ රසිකයෝ මේවා අහලා කියන්නේ තරුණ අයගේ නිර්මාණ හරි නැහැ කියලා. ඒක සාධාරණයි. මොකද ඒ අයට වැඩිපුර අහන්න දකින්න ලැබෙන්නේ ගුණාත්මකත්වයෙන් අඩු ගීත. එක් පිරිසක් කරන දෙයක් නිසා හොඳ නිර්මාණකරුවන්ටත් වක්‍රව ඍණාත්මක ප්‍රතිචාර ලැබෙන්නේ.

ලංකාවේ music  අන්තර්ජාතික තලයට යන්නේ නැත්තේ ඇයි?

සිනමාවෙන් අන්තර්ජාතිකව අපේ රට ඕනේ තරම් ඇගයීමට ලක්වෙලා තියෙනවා. ඒ වගේම අන්තර්ජාතික තලයට යන්න පුළුවන් මට්ටමේ ගීත නිර්මාණ අපේ රටේ ඕනේ තරම් තියෙනවා. නමුත් ඒ යා යුතු ක්‍රමවේදයේ ගැටලු තියෙනවා. අපේ ප්‍රවීණ කලාකරුවන්ගේ ඕනේ තරම් ගීත තියෙනවා අන්තර්ජාතික තලය හොල්ලන්න පුළුවන්. වර්තමානයේ ගත්තොත් තරුණ පරපුර තමයි අන්තර්ජාතික තලයට යන්න වෙහෙසෙන්නේ. අන්තර්ජාතික සම්මාන උලෙළවලට ගීත යොමු කරද්දි ඒ සඳහා අනුගමනය කරන්න ඕනේ ක්‍රමවේද තියෙනවා. අපේ රටේ ගීත ක්ෂේත්‍රය හරි පොඩියි. ඒත් ගොඩක් හොඳ නිර්මාණ හැදෙනවා. ඒවා අන්තර්ජාතික තලයට අරගෙන යන ආකාරයේ ගැටලු තියෙනවා. භාතිය - සන්තුෂ්, උමාරා - උමාරියා වගේ හොඳ තරුණ කලාකරුවන් ජාත්‍යන්තරය එක්ක වැඩ කළා. ඔවුන්ගේ නිර්මාණ ජාත්‍යන්තරයට ගියා වගේම අනිත් කලාකරුවන් මහන්සි වෙන්න ඕනේ ඒ යන පාර හදාගන්න.

හේතුව ලංකාවේ කලාකරුවන්ගේ දූපත් මානසිකත්වය සහ නොදැනුවත්කමද?

දූපත් මානසිකත්වයක් තියෙන කෙනෙකුට කොහෙත්ම කලාකරුවෙක් වෙන්න බැහැ. නමුත් සමහර නිර්මාණ සම්බන්ධයෙන් දූපත් මානසිකත්වයෙන් හිතන කලාකරුවන් ඉන්න පුළුවන්. ඒක මම දකින්නේ කුහකකම කියලා. අපේ නිර්මාණ අන්තර්ජාතික තලයට නොයන්න හේතුව නොදැනුවත්භාවය කියලා මම හිතන්නේ. ගීතය කර්තෘභාග ගැටලුව අපේ රටේ තවමත් තියෙනවා. නමුත් පසුගිය කාලේ ඔස්කාර් සංවිධානය හරහා මේ සම්බන්ධයෙන් නව නියාමනයකට ඇවිත් අවශ්‍ය නීති පද්ධති අනුව හදාගෙන යනවා. මේ නියාමනය හරියාකාරව වුණාට පසුව ඒ නීති රීති ප්‍රතිපත්ති අනුව අන්තර්ජාතික තලයට යන පාර හරියට හෙළිපෙහෙළි කරගන්න පුළුවන්. ගීතයක තියෙන නෛතික කාරණා ටික රට ඇතුළේ විසඳෙනවා නම් අන්තර්ජාතික තලයට යන ගමන පහසු වෙනවා.

ගායකයෙක් වගේම ඔබ ගුරුවරයෙක්?

මම ආයතයකට හෝ පාසලකට බැඳීලා උගන්වන්නේ නැහැ.  "Dumal Warnakulasooriya Music Academy"  කියලා මම බොහොම සරලවVoice training academy  එකක් කරනවා. තමන්ගේ කටහඬ හරියට පුහුණු කරගන්න අත්‍යවශ්‍ය පිරිසක් තෝරගෙන මම ඒක කරන්නේ. හරියට කරන්න පුළුවන් සීමිත සංඛ්‍යාවකට විතරයි මම හඬ පුහුණුවීම් කරන්නේ. මොකද මම නීතිකාරයා. පුහුණු වීම් නොකළොත් පන්තියෙන් එළවනවා. (සිනාසෙමින්) මේ වැඩේ හරියට කරන්න ඕනේ පිරිසකට මම ගුරුහරුකම් සහ මම දන්න සියල්ල කියලා දෙනවා. අවුරුදු ගාණක් ඉන්දියාවට ගිහින් ඉගෙනගෙන ලංකාවට ඇවිත් ලංකාවෙදිත් බටහිර සංගීතය සම්බන්ධ සමහර සිද්ධාන්ත ඉගෙනගත්ත කෙනෙක් විදිහට මම දන්න සියල්ල ඉදිරි පරපුරට දෙන එක මගේ වගකීමක් සහ යුතුකමක්.

ගුරුවරයෙක් හැටියට වගේම නව යෞවනයන් සඳහා කළ රියැලිටි වැඩසටහනක විනිසුරුවරයෙක් හැටියට වැඩ කරපු දුමාල්ට අනාගත පරපුරේ සංගීතය ගැන තියෙන්නේ කොයිවගේ බලාපොරොත්තුවක්ද?

සියයට සියයක් සුබවාදී බලාපොරොත්තුවක් තියෙනවා. ඔවුන්ගේ දක්ෂතාව ගැන සියයට සියයක් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් මට්ටමේ ඉතාම දක්ෂ, විශිෂ්ට දරුවෝ ඉන්නවා. වයස් මට්ටම එක්ක බැලුවොත් අපිටත් වැඩියෙන් දක්ෂ දරුවෝ ඉන්නවා. ඔවුන්ගේ දක්ෂතාව ගැන කිසිම ගැටලුවක් නැහැ. නමුත් ඒ දරුවන්ගේ ගමන ඔවුන්ගේ වැඩිහිටියෝ කල්පනාවෙන් එක්කගෙන ‍යනවා නම් ඉතාම හොඳ තැනකට යයි. නැති නම් රැලිවලට අසු වෙලා දක්ෂතාව මොට වුණොත් එතන ගැටලුවක්.

දරුවෙක් එක්ක ගීතයක් කරන්න බලාපොරොත්තුවක් නැද්ද?

අනිවාර්යයෙන්ම තියෙනවා.  Voice of teens  තරගයෙන් ඉවත් වෙන්න වුණු දක්ෂ දරුවෙකුට ඉවත් වෙද්දි මම එයා එක්ක ගීතයක් කරනවා කියලා පොරොන්දු වුණා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ. ඒ දුවට ගීතයක් රචනා කරන්න ගීතරචකයන් කීපදෙනෙකුටම මම ඇරයුම් කළා. ඒ ගීතය කරන්න ඕනේ. ඒ වගේම ඒ තරගයට පෙනී හිටපු තව දරුවො දෙතුන් දෙනෙක් එක්ක ගීත ගායනා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.

ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දවස්වල වැඩ ටිකක් අඩාල වෙලා තියෙනවා. කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක ප්‍රසංග නතර වෙලා තියෙනවා. පන්ති කරන එක නතර කළා. මම පෞද්ගලිකව නිර්මාණය කරමින් හිටපු නිර්මාණ කීපයක වැඩ කටයුතු නැවත ආරම්භ කළා. මගේ ගීතයක් ආශ්‍රිතව කෙටි චිත්‍රපටයක් කළා. ඒක එළිදක්වන්න බැරි වුණා. එහි ඉතිරි වැඩකටයුතුත් කරන්න ඕනේ තව ගීතරූප රචනා දෙකක වැඩ කටයුතු සැලසුම් කරලා තියෙනවා.