වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
ක්රිෂිෂ්ටොෆ් විශිෂ්ට ඇයි?
අද සිංහල සිනමාවේ පර්යේෂණාත්මක කඩඉම් පසුකර විවිධ නිර්මාණ සිංහල ප්‍රේක්ෂකයාට ලබා දුන් සිනමාකරුවන් හැම දෙනෙක්ම පාහේ උක්ත ලෝක සිනමාවෙන් යම් ආකාරයක පෝෂණයක් ලබා ඇති බව නොරහසකි. ඒ සඳහා ඔවුන්ට එකල වටපිටාව සැකසී තිබිණ. හැත්තෑව, අසූව දශක සලකා බැලීමේදී ලොව සම්භාව්‍ය සිනමාව ප්‍රේක්ෂකයාට සමීප කරලනු වස් විවිධාංගයන්ගෙන් යුතු වූ දැනුම්වත් කිරීම්වලින් එකල සිනමා පරිසරය පිරී තිබිණි. විවිධාකාර සිනමා පාඨමාලාවන්ය. ඒවා මෙහෙය වූවෝ සිනමාවේ විදග්ධයෝය. හරබර ලිපිවලින් සැරසුණු සිනමා සඟරාය.
සුවහසක් ලෝකවාසී ජනතාවගේ රස වින්දනය මෙන්ම ප්‍රඥාවේ නිම්වළලු ප්‍රසාරණය කරලනු වස් සිනමාවෙන් ඉටු වන්නේ අද්විතීය මෙහෙවරක් බව අවිවාදිතය. ලෝක සිනමාව පිළිබඳ සලකා බැලීමේදී මෙම ගුණවත් මෙහෙවරෙහි නියුතු වූ නියමුවෝ අපට හමු වෙති. ඔවුහු වඩාත් නැණවත් රසවත් ලොවක් අප හමුවෙහි උදා කරලීමට පෙරමුණ ගත්තෝය. නන් සමාජයන් විනිවිද දුටුවෝය. ජන ජීවිතය නම් සයුරෙහි කිමිදී අනගි මුතු ගෙන ආවෝය. නර, නාරි දේහයන්හි සංයෝජනය අරුත්බරව, ශෘංගාරාත්මකව අප වෙත ගෙන ආවෝය. වඩාත් යහපත් ලොවකට පහන් එළි දැල් වූහ. ඉදින්, ඒ මහා පුරුෂයන් සිහිපත් කරලීමෙහි, අගය කිරීමෙහි, හඳුන්වාදීමෙහි කවර නම් වරදක්ද?
තම රටෙහි අනන්‍යතාවය සේම එය ප්‍රකාශ කරලීමේදී ඒ ඒ රටවල විශිෂ්්ට සිනමාකරුවන් යොදා ගැනීම එම රටවල් කරන්නේ මහත් අභිමානයකිනි. ශ්‍රී ලංකාවට ලෙස්ටර් මෙන්, ඉන්දියාවට සත්‍යජිත් රායි මෙන්, ජපානයට අකිර කුරසෝවා මෙන්, ස්වීඩනයට බර්ග්මන් මෙන්, පෝලන්තයට නම් එය කිසලොවිස්කිය. ක්රිෂිෂ්ටොෆ් කිසලොවිස්කිය.
ක්රිෂිෂ්ටොෆ් කිසලොවිස්කි සමඟ සංවාදයන්ට එළැඹුණු ඩනුෂා ස්ටොක් නම් ලේඛිකාව එම සාකච්ඡාව සහ ඇය සොයා ගත් කිසලොවිස්කි පිළිබඳ තොරතුරු සංස්කරණය කරමින් 1993 දී KIESLOWSKI ON KIESLOWSKI නම් ග්‍රන්ථය සම්පාදනය කරන්නීය. අපේ නව පරපුරෙහි සම්මානනීය අධ්යක්ෂවරයකු වන උදය ධර්මවර්ධන එය මා අතට පත් කරනුයේ එහි සිංහල පරිවර්තනයක් දැකීමේ අභිලාෂයෙනි. ඒ වන විට මාද කිසලොවිස්කි පිළිබඳ ගැඹුරට හදාරා නොතිබිණ. නමුත් ඔහුගේ සුප්‍රකට සිනමා ත්‍රිත්වය වන (TRIOLOGY) වර්ණ (COLOURS) එනම් BLUE, WHITE, RED නරඹා එයින් අමන්දානන්දයට පත්ව සිටියෙමි. උදය මා අතට උක්ත ග්‍රන්ථය පත් කරන්නේ වසර 2010 හිදී බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු වෙයි. මන්ද, මට එම ග්‍රන්ථය පරිවර්තනය කරලීමට වසර 10 ක් ගත වුණු බැවිනි. එය පරිවර්තනය කිරීමේදී අතරින් පතර දීර්ඝ විරාමයන් ද ලබා ගත් බව සැබෑය. එමෙන්ම ඒ අතරතුර වෙනත් ග්රන්ථ පරිවර්තනය කළ බව ද සැබෑය. නමුත් වසර 10 ක්?
ඔව්, එය එසේම විය යුතුව තිබිණි. මන්ද එහිදී මට කිසලොවිස්කි සොයා යාමට සිදු වූ බැවිනි. ලොව සම්භාව්‍ය සිනමා අධ්යක්ෂවර නම් පුෂ්ප මංජරියෙහි එක් සුගන්ධවත් පුෂ්පයක් වූ කිසලොවිස්කිගේ නිර්මාණවල සුගන්ධය ඔබත් විඳිය යුතුමය. කිසලොවිස්කි සොයා යාමේදී දිනෙන් දින මට වැටහුණු කරණාවක් වූයේ ඔහු අපේ ශ්‍රී ලාංකික සිනමා ප්‍රේක්ෂකයාට හඳුන්වා දිය යුතුම වූ අරුමැසි නිර්මාණකරුවකු බවයි.
ලෝක සිනමාව පිළිබඳ උනන්දුවක් දක්වන්නේ සීමිත රසික පිරිසක් බව මගේ විශ්වාසයයි. මා මෙහිදී ‘ලෝක සිනමාව‘ යන්නෙන් අදහස් කළේ බහුතර ප්‍රේක්ෂකයන් හුරු පුරුදු වී ඇති ඉන්දියානු හා ඇමරිකානු චිත්‍රපට නොව, ඊට පරිබාහිරව ඇති ‘මහා සිනමා’ ලෝකයයි. සමහර ඉන්දියානු හා ඇමරිකානු චිත්‍රපට ද ඊට අයත් වන බව ද සත්‍යයකි.
අද සිංහල සිනමාවේ පර්යේෂණාත්මක කඩඉම් පසුකර විවිධ නිර්මාණ සිංහල ප්‍රේක්ෂකයාට ලබා දුන් සිනමාකරුවන් හැම දෙනෙක්ම පාහේ උක්ත ලෝක සිනමාවෙන් යම් ආකාරයක පෝෂණයක් ලබා ඇති බව නොරහසකි. ඒ සඳහා ඔවුන්ට එකල වටපිටාව සැකසී තිබිණ. හැත්තෑව, අසූව දශක සලකා බැලීමේදී ලොව සම්භාව්‍ය සිනමාව ප්‍රේක්ෂකයාට සමීප කරලනු වස් විවිධාංගයන්ගෙන් යුතු වූ දැනුම්වත් කිරීම්වලින් එකල සිනමා පරිසරය පිරී තිබිණි. විවිධාකාර සිනමා පාඨමාලාවන්ය. ඒවා මෙහෙය වූවෝ සිනමාවේ විදග්ධයෝය. හරබර ලිපිවලින් සැරසුණු සිනමා සඟරාය. අඩුම වශයෙන් මාස තුනකට වතාවක්වත් ලොව සම්භාව්‍ය සිනමා කෘතියක් අරභයා කෙරෙන සම්මන්ත්‍රණය. විවිධ කලා පදනම්, සංවිධාන හරහා කෙරෙන සිනමා උලෙළවල්ය. විටෙක චෙකොස්ලෝවේකියානු උලෙළය. විටෙක බල්ගේරියානු සිනමා උලෙළකි. විටෙක ස්වීඩන් සිනමා උලෙළය. විටෙක ඉරාන සිනමා උලෙළය. ඒවා අරභයා සිදු වන විවේචනය. වාද කිරීම්ය. උණුසුම් අවස්ථාවන්ය. මේ සියල්ල ලෝක සිනමාව පිළිබඳ අප ප්‍රේක්ෂකයා දැනුම්වත් කළ අංග විය. කෙමෙන් සමාජමය, ආර්ථිකමය, සංස්කෘතිමය පරිහානිය හමුවේ උක්ත අංගයන් එකිනෙක ස්වාභාවික මරණයන්ට ලක්විණ. මේ වන විට එවැනි සිනමා සඟරා, සම්මන්ත්රණ, උලෙළවල් හා ඒවා අරභයා වූ උණුසුම් වාද විවාද සහෘදයන්ට අහිමිව ගොසිනි. ප්‍රතිඵලය වී ඇත්තේ ලෝකයේ සම්භාව්‍ය සිනමා කෘතීන් හා ලෝකයේ විශිෂ්්ට සිනමාකරුවන් කෙමෙන් බහුතර සහෘදයාගෙන් වසන් වී යාමය.
කිසලොවිස්කි පිළිබඳ කියවෙන මෙම කෘතිය අපේ සිංහල සිනමා රසිකයා අතට පත් කරලීමේ වැදගත්කම දිනෙන් දින මට පසක් වන්නට වූ කල්හි, එයට මුල් තැනක් දීමට මම උත්සුක වුණෙමි. ඒ හා සමගාමීව මම හැකි සෑම අවස්ථාවකදීම සිනමා රසිකයන් සමඟ මුහුවීමේදී විමසූ පැන කිහිපයක් විණ.
‘පෝලන්තයේ මහා සිනමාවේදියා කවුරුද?’
‘ක්රිෂිෂ්ටොෆ්ව දන්නවාද?’
‘කලර්ස් බලල තියෙනවද?’
පිළිතුරු බොහෝ විට ඛේදනීය විය. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව, එනම් සිනමාව ගැන උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාව පවා බොහෝ විට ඒවාට ලබා දුන්නේ වැරදි පිළිතුරුය. කිසලොවිස්කිගේ මුල් නම ‘ක්රිෂිෂ්ටොෆ්’ බව බොහෝ දෙනෙක් නොදැන සිටි කරුණකි. කරුණු මෙසේ වූ හෙයින් මේ විශිෂ්ට සිනමාකරුවා අප ප්‍රේක්ෂක ප්‍රජාවට වඩාත් හොඳින් හඳුන්වා දිය යුතු බවට මම තරයේ ඉටා ගතිමි.
කිසලොවිස්කි අපූරු සිනමාකරුවෙකි. සිය නිර්මාණ කාර්යයෙහි ලා පමණක් නොව පුද්ගල චරිතයක් වශයෙන් ද අපූර්ව ගති ගුණවලින් සමන්විත වූවෙකි. එමෙන්ම අතිශය සරල මිනිසෙකි. වසර ගණනාවකට පෙර LIBERATION ප්‍රංශ පුවත්පත ඔහුගෙන් මෙවැන්නක් විමසයි.
‘ඔබ චිත්‍රපට හදන්නේ ඇයි?’
එයට කිසලොව්ස්කිගේ පිළිතුර වූයේ මෙවැන්නකි.
‘මම වෙන කිසි දෙයක් කරන්න නොදන්න නිසා . . .!’
ඔහුගේ අපූර්ව චරිත ලක්ෂණ පිළිබිඹුවීමට එයම නොසෑහෙන්නේද?
නමුත් ඔහු පැවසූයේ සත්‍යයකි. 1941 දී වෝර්සෝහි උපත ලැබූ ඔහුගේ ළමා කාලය කිසිසේත්ම සුන්දර වූවක් නොවිණ. ඔහුගේ පියා ක්ෂය රෝගයෙන් පෙළුණෙකි. මවත්, පියාත්, සොහොයුරියත් සමඟ අහිගුණ්ඨකයන් සේ විවිධ ස්ථානවල ජීවත්වීමට ඔහුට සිදු වූයේ පියාගේ රැකියාවේ ස්වභාවය නිසාය. කිසලොව්ස්කි ද කුඩා කල නිතර රෝගී වූයේය. කිසලොව්ස්කිගේ ජීවිතය පෝලන්ත දේශපාලනය සමඟ ද දැඩිව බද්ධ වූවකි. 1939 දී ජර්මන් නාසි හමුදාව පෝලන්තය අත්පත් කර ගත් අතර, කිසලොවිස්කිගේ ළමා කාලය ගෙවී යන්නේ දෙවැනි ලෝක මහා යුද්ධය අතෙර්ය.
සිය යොවුන් වියේදී ගිනි නිවන භට හමුදාවට බැඳුණ ද එය තමන්ට නොසරිලන ස්ථානයක් බව වටහා ගැනීමට ඔහුට ගත වූයේ සුළු කලෙකි. පසුව එකල සෑම තරුණයකුටම අනිවාර්ය වූ යුද හමුදා සේවයෙන් ද ඔහු ගැලවෙන්නේ ඔහුට භින්නෝන්මාද සංකූලතාව (SCHIZOPHRENIA) නම් මානසික ව්‍යාකූලතාවය ඇති බව හැඟවෙන සේ කටයුතු කිරීමෙනි. එහිදී හමුදා වෛද්‍යවරයා කිසලොවිස්කිව හමුදා සේවයෙන් නිදහස් කරන්නේ ‘යුද්ධයේ අවසාන සොල්දාදුවා මියගිය පසුව හෝ හමුදාවට බඳවා නොගත යුතු පුද්ගලයකු’ හැටියටය.
අනතුරුව සිනමාකරණය උගන්වන පෝලන්තයේ ප්‍රකටම ආයතනය වූ වුජ් සිනමා පාසැලට (LODZ FILM SCHOOL) ඇතුළත්වීමට කිසලොවිස්කිට වරම් ලැබිණ. එහිදී ඔහු හා සමාකාලීනයන් ලෙස පසු කලෙක බුහුමට පාත්‍ර වූ ලෝක පූජිත සිනමාකරුවෝ සිවු දෙනෙක් වූහ. ආන්ද්‍රෙ වයිඩා (ANDRZEJ WAIDA), රෝමන් පොලාන්ස්කි (ROMAN POLANSKI), සෙරි ස්කෙලිමොවිස්කි (SERRY SKOLIMOWSKI) සහ ක්රිෂිෂ්ටොෆ් සනුස්සි (KRZYSTOF ZANUSSI) ඒ සිවු දෙනාම ලොව සම්භාව්‍ය සිනමා කෘතින්වලට දායක වූවෝ වෙති.
මුල් කාලයේදී වාර්තා චිත්‍රපට නිර්මාණය කළ කිසලොවිස්කි කෙමෙන් වෘත්තාන්ත චිත්‍රපටවලට නැඹුරු වන්නට විය. ඔහු විසින් නිර්මිත වාර්තා චිත්‍රපට රැසක් ද සම්මානයන්ට පාත්රවීමෙන් ඒ උදෙසා ද ඔහු තුළ වූ දක්ෂතාවය ප්‍රකට කෙරිණි. මෙම වාර්තා චිත්‍රපට එකල පැවති දේශපාලන උවමනාවන් සපුරාලීමට සැඟවුණු මෙහෙවරක් කළ බවට කිසලොවිස්කිට චෝදනා කරන්නෝ ද වෙති. නමුත් කිසලොවිස්කි පවසන්නේ තමන් ඒවා වාරණයට හසුවීම වළක්වාලනු පිණිස ‘විවිධ උපක්‍රම‘ භාවිත කළ බවයි. එමෙන්ම ඒවායින් තමන් කොමියුනිස්ට් ක්‍රමය සියුම් ලෙස විවේචනය කොට ඇති බවයි. කෙසේ වුවත් මෙය සංවාදයට විවෘත කරුණකි.
ලොව සම්භාව්‍ය සිනමාකරුවන් ගැන සලකා බැලීම්දී කිසලොවිස්කි තමන්ගේම වපසරියක් ගොඩ නඟා ගනී. ඒ ඔහුගේ වෘත්තාන්ත සිනමා කෘතීන් තුළිනි. එහිදී ඔහු දේශපාලනයෙන් මිදී මනුෂ්‍යත්වය පැත්තට නැඹුරු වෙයි. තමන් දේශපාලන ගැත්තකු බවට කෙරෙන චෝදනාවලින් මිදීමට ඔහුට අවශ්‍යව තිබිණි. එම චෝදනාවලින් මිදීමට ඔහු උපයෝගි කර ගන්නේ ඔහුගේ වෘත්තාන්ත චිත්‍රපටය. දේශපාලනයෙන් වෙහෙසට පත්ව සිටින ඔහු මනුෂ්‍යත්වය ස්පර්ශ කිරීමට පෙලෙඹෙයි. මනුෂ්‍යයා යනු කවරෙක් ද යන පැනයට පිළිතුරු සෙවීමට උත්සුක වෙයි.
කිසලොවිස්කි අපට වැදගත් වන තවත් කරුණකි. මෙය මනුෂ්‍යත්වය වනාහී මහාද්වීප, කුලමල, ආගම්, ස්ත්‍රී පුරුෂ ඈ සියලු භේද අතික්‍රමණය කරන්නකි. අද අපේ සමාජය මුහුණ දී සිටින භේදකාරී තත්ත්වයන් හමුවේ මෙම සංකල්පය වඩාත් වැදගත්කමක් උසුලයි. මනුෂ්‍යත්වය යනු මේ යැයි අපට අවබෝධ කර ගත හැකි නම් බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු අපට ලබා ගත හැකි වෙයි. බොහෝ ගැටුම් අවම කර ගත හැකි වෙයි. ගැටුම්? ඔව් ජාතීන් අතර ඇතිවන ගැටුම්, ආගම් නාමයෙන් ඇතිවන ගැටුම්, කුලමල අරභයා ඇති වන ගැටුම්, එපමණක් නොව ඉතා සුලභව ඇතිවන අඹු සැමි ගැටුම් පවා සර්ව නිර්දෝෂී වූවෝ මෙලොව නොමැත්තාහ. තනි කළු හෝ තනි සුදු චරිත අප අතර නැත. අපි සියල්ලෝම අළු මිනිසුන් වෙමු. කිසලොවිස්කි ඔහුගේ වෘත්තාන්ත චිත්‍රපටවලින් අපට පෙන්වන්නේ ඒ සත්‍යයි. ඒවා විටෙක අපේ දෑසට කඳුළක් නංවයි. යළිත් අපවම විමසා බැලීමට අප පොලඹවයි. වරද ඇත්තේ අනුන් අත පමණක් නොව බව පසක් කරලයි.
කිසලොවිස්කි තරම් මිනිස් දිවිය ඉසියුම ලෙස විච්ඡේදනය කළ සිනමාකරුවකු ලෝක සිනමාව තුළදී අපට හමු නොවන තරම්ය. ලොව වෙනත් සම්භාව්‍ය සිනමා අධ්යක්ෂවරු බොහෝ විට තම තමන් වෙසෙන සමාජයීය පසුබිම විමසාලමින් සිය නිර්මාණ ඉදිරිපත් කළ බවක් අපට දැක ගත හැකිය. සත්‍යජිත් රායි ඉන්දීය ජන ජිවිතය විනිවිද දුටුවේය. අකිර කුරසෝවා ජපාන සංස්කෘතික සීමා මායිම් ඔස්සේ සැරි සැරුවේය. බර්ග්මාන් ශෘංගාරය තවරා ලූ ජීවිත හරහා ගමන් කළේය. කියරොස්තාමි ඉරාන රසය නොමඳව ස්පර්ශ කළේය. ඔවුන්ගේ නිර්මාණවලින් ද මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු අවස්ථා නොතිබුණා නොවේ. නමුත් සිය රටේ, සංස්කෘතියේ මුද්‍රාව ද සහිතව! එසේ වුව ද කිසලොවිස්කිගේ නිර්මාණ හරහා යන්නෙකුට (ඔහුගේ වෘත්තාන්ත සිනමා නිර්මාණ) පෝලන්ත ලකුණක් හමු නොවන තරම්ය. ඒ වෙනුවට ඒවායේ අපට හමුවන්නේ මනුෂ්‍යත්වයේ ලකුණකි.
ඒ බව මුලින්ම දිස්වන්නේ ඔහු 1979 දී නිර්මාණය කළ CAMERA BUFF නම් චිත්රපටයේදීය. ඇත්තෙන්ම බටහිර ලෝකය කිසලොවිස්කි පිළිබඳ විමසා බැලීමට උනන්දු වන්නේ එම චිත්‍රපටයෙන් පසුවය. අනතුරුව ඔහු විසින් අධ්‍යක්ෂණය කෙරුණු BLIND CHANCE හා NO END චිත්‍රපට ලොව සිනමා රසිකයන්ගේ අවධානයට යොමු වෙයි.
කිසලොවිස්කි වඩාත්ම අවධානයට පාත්‍ර වන්නේ ඔහු විසින් නිර්මාණය කළ DECALOUGE සිනමා පට 10 හරහාය. කිතු දහමේ දස පනතට නව අර්ථ කථනයක් දෙමින් ඔහු මෙම චිත්‍රපට 10 නිම කළේය. ඉනිදු වඩාත් අවධානය පැහැරගත් සිනමා කෘතින් දෙකකි.
එකක්, ඒ A SHORT FILM ABOUT KILLING ය. කිසිදු හේතුවක් නැතිව කුලී රථ රියදුරකු මරා දමන තරුණයකුට නීතිය විසින් මරණීය දණ්ඩනය පැනවීම නිර්දයව ප්‍රශ්න කිරීම මෙහිදී සිදු කෙරේ. ජනතාව වෙනුවෙන් පවත්වාගෙන යන නීති පද්ධතියකට ජනතාව වෙනුවෙන් තව කෙනකු මරා දැමිය හැකිදැයි ඔහු ප්‍රශ්න කරයි.
අනෙක A SHORT FILM ABOUT LOVE යන්නය. අප හැම විටම ලෝකය දෙස බලන්නේ ආදරය කරන්නාගේ දෘෂ්ටි කෝණයෙන් විනා, ආදරය ලබන්නාගේ දෘෂ්්ටි කෝණයෙන් නොවන බව එහිදී ඔහු පවසයි. ගැටවරයෙකු ඔහුට වඩා වැඩිමහල් ස්ත්‍රියක් හා පෙමින් බැඳීම මෙහි තේමාවයි.
DECALOUGE හි අනෙකුත් චිත්‍රපට ද මිනිස් දිවියේ විවිධ ගුඪ ස්වභාවයන් ස්පර්ශ කරයි.
1991 දී ඔහු අතින් නිර්මාණය වන THE DOUBLE LIFE OF VERONIUE ඔහු හඳුන්වන්නේ සංවේදිත්වය හා අපේක්ෂාවන් හා සබඳතාවයන් පිළිබඳ කියවෙන සිනමාපටයක් ලෙසිනි.
අනතුරුව ඔහු සිය කූඨප්රාප්තිය සෙලෝලොයිඩ් පටයෙහි සටහන් කරනුයේ. ඒ 1993 - 1994 කාලය අතර නිර්මාණයකළ ‘වර්ණ’ නම් සිනමා ත්‍රිත්වයෙනි. (COLOUR TRIOLOGY). BLUE, WHITE, RED නමින් නිමකෙරුණු මේ සිනමා ත්‍රිත්වය ද මනුෂ්‍යත්වය පිළිබඳ, මිනිස් සිත පිළිබඳව ඉතා සියුම් ලෙස විවරණය කරන්නකි. ලෝක සිනමාවට ඔහු කළ සේවය ඇගයීමට මෙම සිනමා පට තුන පමණක් වුව ද සෑහේ. මෙය තමන්ගේ කූඨප්රාප්තිය බව ඔහු ද අනුමාන කළ සෙයකි.
‘මා තවත් චිත්‍රපට නිර්මාණය කරන්නේද යන්න බොහෝ විට මගෙන් විමසන පැනයකි. එයට මට මේ මොහොතේදී නිශ්චික පිළිතුරක් දිය නොහැක. නමුත්. බොහෝ විට මවෙතින් තවත් චිත්‍රපට නිර්මාණ නොවනු ඇත.’ COLOUR TRIOLOGY අවසානයේදී ඔහු පැවසූයේ එවැන්නකි.
එය සනාථ කරමින් මිනිස් ජීවිත විනිවිද දුටු මෙම මහා සිනමාවේදියා ඊට අවුරුදු දෙකකට පසුව 1996 මාර්තු 13 දා සිය දිවි ගමන නිමා කළේය.
නමුදු ඔහු සිය නිර්මාණවලින් අප සිත මත තැවරූ මිනිසත්බවේ ගුණ සුවඳ සදා නොමැකෙනු ඇත.