වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
තුං මං හංදියට පනහයි, මට තාම තිස්අටයි !
තුංමං හංදි කීපයක් පසු කර බෙල්ලන්විල විහාරය නොදුරේ කර්නල් මාවතේ පිහිටි චිත්‍රමාලි නිවහනට අප ගියේ නිමිති දෙකක් සිත් තබාගෙනය. තුං මං හංදිය, මහගම සේකරයන්ගේ එකම සල රූ කාව්‍යය නිමවා අඩසිය වසක් සපිරීම හා අද එහි පුරෝගාමියා තම දිවි මාවතේ අසූඅටවැනි මංසන්ධියට පිවිසීම ඒවාය. හෙළ සිනමා වංශකතාවේ විශිෂ්ටතම නිර්මාණද්වයක් ලෙස නම් දරන තුංමංහංදිය සහ පරසතු මල් අපට දායාද කළේ ඔහුය. සේයා රූ දකින විටම ඔබ ඔහු හඳුනා ගත්තාට සැකයක් නැත. මේ, ප්‍රවීණ සිනමා නිෂ්පාදක චිත්‍ර බාලසූරියයි.
අප පිළිගන්නට ගේට්ටුව අසලටම පැමිණි ඔහුගේ ආරක්ෂාවට වටෙන් පිටෙන් මුරකරුවෝ කීපදෙනෙක් පැමිණියහ.
"ආයුබෝවන් චිත්‍ර මහත්මයා" මගේ ආචාරයට පෙරළා ඔහුද 'ආයුබෝවන්ඩ... ආයුබෝවන්ඩ' යැයි කියන අතර රැකවලුන්ගේ හිසට තට්ටු කරමින් 'හා දැන් ගිහින් පස්සේ එන්න' කී විට කීකරුව පිටව ගියේ සැක හැරගත් බවට වලිග වනා සංඥාවක් දෙමිනි.
සිනමා මතකයන් පිරි කන්තෝරු කාමරයේ ඈඳීගත් විගස ඔහු කිසිත් නොකියාම සීඩී පට එකතුවක් අවුස්සා එකක් වාදනය වන්නට හැරියේය. සිනමා ශාලාවක මෙන් මහත් හඬකින් වැයුණු ඒ සංගීත ඛණ්ඩය කුමක්ද යන්න අසන්නා සේ ඔහු හිස ඇලකොට බැමක් ඔසවා මදෙස බැලීය.
"මේක සත්සමුදුරේනේ" මම කීමි. ඒ සමඟම ඔහුගේ මුවේ ඇඳුණේ මා ඔහුගේ විභාගයෙන් සමත් වූවා වැනි හැඟීමක් මුසු සිනාවකි. සිනිඳු සුදු මුතු තලාවේ ගී රිද්මය ඔහු සෙමින් මේසයට දනවයි.
මම වටපිට බැලුවෙමි. පසෙක ඔහු පිළිබඳ විවිධ පුවත්පත්වල පළ වූ ලිපි බිත්ති පුවත්පතක් මෙන් මනාව එක්කොට සැදූ රාමුවකි. ඔහු හමු වූ ප්‍රභූන් සමඟ ගත් සේයා රූ එකතුවක් අනෙක් පස බිත්තියේය.
"මම අමරදේවගේ සින්දු දානකොට වටේ පිටේ අය ආසාවෙන් ඇවිත් අහගෙන ඉන්නවා. අමරදේව ගාවවත් නැහැ මං ගාව තියෙන එයාගේ සින්දු" එසේ කියා ඔහු බුද්ධ රූප සහ දෙස් විදෙස් ඔහුගේ හිතමිතුරු ප්රභූන්ගේ පින්තූර ප්‍රදර්ශනයක් බඳු මතුපිට වීදුරුවකින් ආරක්ෂා කළ මේසයේ ලාච්චුවෙන් ලැමිනේට් කළ කොළයක් මා වෙත දිගු කරයි. ඔහුගේ උපන්දිනයකට පැමිණි අමරදේවයන් විසින් 'මගේ ආදරණීය චිත්‍රා, මගේ අමරණිය ගීත කවදා හෝ ඔබගේ ගී සරණියෙන් උපහාර කරන මෙන් අයදිමි, අමරදේව 22/10/2016' යනුවෙන් දිනපොත් කොළයක තැබූ සටහනය ඒ. ඔහු අදත් ඉටු කරන්නේ උතුම් මිත්‍රත්වයේ පොරොන්දුවයි. ඔහු කතාවට මඟ පාදයි.
"අමරදේව බොහෝම නිශ්ශබ්ද අහිංසක මිනිහෙක්. ඉස්සර හැම ඉරිදාම පුරුද්දක් හැටියට පවුලයි (විමලා අමරදේව මහත්මිය) සුභාණි, ප්‍රියන්වදා දරුවො දෙන්නයි එක්ක මෙහෙ එනවා. ලියුමෙන් පේනවානේ මට කොච්චර ආදරේද කියලත්. ඒ දූලා දෙන්නා සායිබාබා උන්නාන්සේ ගාවට ගිහින් තියෙනවා. මම නම් ඉන්දියාවේ ගියාට (ඔහු ඉන්දිරා ගාන්ධි මැතිනියට අතට'ත දෙන සේයා රුව පෙන්වා කියයි) කවදාවත් බාබාතුමාව දැකලාවත් තිබුණේ නැහැ. දවසක් මේ උඩ තියෙන පින්තූරෙ මගේ මේසේ උඩ තිබුණා. මම හිතුවා සුභාණිලා ගෙනත් වෙන්නැති කියලා. ඒත් නෑ. ගෙනාව කෙනෙක් නෑ. අනේ ඉතින් මම රාමු කරලා එල්ලුවා. බෙල්ලන්විල විමලරත්න හාමුදුරුවන්ගෙන් ලැබුණ තෑග්ගක් තමයි මේ." ඔහු කැරකෙන විට ආලෝකවත් වන බුදු පිළිමය පෙන්වයි.
"මම ගම්පහ. උසාවිය හදලා තියෙන්නේත් අපෙ තාත්තගේ ඉඩම්වල. ගම්පහ ගැන කියද්දි චිත්‍ර බාලසූරිය අභිබවා යන්න කෙනෙක් නෑනේ. (සිනාසෙමින්) හැබැයි මම දැන් ඉන්නේ මෙහෙ. අපි දෙන්නගෙ නම්වලින් 'චිත්‍රමාලි' කියලා නම දැම්මට මේක කලින් රන්මුතු දූව චිත්‍රපටයේ රොඩ්නි ජොන්ක්ලාස්ගේ ගෙදර. අපි උපදිනකොට අපේ ආත්මයෙන් ගේන දෙයක් තියෙනවානේ. සිද්ධාර්ථ බුදු වුණෙත් එහෙමයි. රස්සාව, පරස්තාව විතරක් නෙවෙයි, ඇසුරු කරන පුද්ගලයන් වුණත් එහෙමයි. මට ඒ වාසනාව, පින පිහිටලා තියෙනවා." ඔහු මෙතෙක් වෙලා විවිධ අයුරින් දැක්වූ දේ වචනයට පෙරළුවේය.
"ගම්පහ වුණාට මම 1962 කොළඹ ගංගාරාම පෙරහැර මුල්ම වතාවට පවත්වද්දි අලි ඇත්තු 72ක් ගෙනත් දුන්නා. ගලබඩ ඥානීස්සර හාමුදුරුවෝ සැරයි කියලා කීවට හරි හොඳ හිමිනමක්. ඔක්කොම වැඩ කරලා මම පැත්තකට වෙලා හිටියා. හාමුදුරුවො 'චිත්‍ර මහත්තයා මෙහෙ එන්න කියලා' මට සැර කළා. මම දුවගෙන ගියා. 'මොකද කරන්නේ අර කරඬුවට තියන්න' කීවා. (පසුව ජනපතිවරුන් වූ) ජේ. ආර්. ජයවර්ධනයි, ආර්. ප්‍රේමදාසයි එක්ක මම මුල්ම කරඬුවට අතගැහුවේ. එදා පටන් ගත්තු 'කරඬු සෙල්ලම' අදටත් මගේ අතිනුයි කරඬුව තැන්පත් කරන්නෙ. ඒ වගේ ලැබීමකුත් මට තියෙනවා"
"ඉතින් පරසතු මල් කරද්දි මගේ වයස 32යි. මම ඉපදුණේ 1932 ඔක්තෝබර් 22. තාත්තා මගෙන් ඇහුවා කරන්න පුළුවන් කෙහෙල්මල්ද ඔය පටන්ගන්නේ කියලා. මොකද වියදම තාත්තගෙ අතින්නේ. හැබැයි අපි පරසතු මල් කරද්දි ඔයාගේ ඔය සරසවියේ පිටු පිරෙන්න ලිපි තිබුණා. සමහරු ඇහුවා පගාව දීලාද කියලා. නෑ. සතපහක් දෙනවා තියා මම ලේක්හවුස් ගියාම ඕගොල්ලන්ගේ කැන්ටිමෙන් මට තේ අරන්දීලයි ලිපිත් දාලා දෙන්නේ ඒ කාලේ විමලසිරි පෙරේරා. (එවක සරසවිය හිටපු කර්තෘ) ඒ වෙනකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් ගම්පෙරළිය එහෙමත් කරලා. ඇත්තෙන්ම ලෙස්ටර් නිසා තමයි මම පරසතු මල් කළෙත්. ගාමිණිට (ෆොන්සේකා) ලෙස්ටර්-සුමිත්‍රා (පීරිස් යුවළ) උදවු කරපු නිසා තමයි ඒ පින්තූරය ඔය ගාණට කෙරුණේ. මට ලක්ෂ හතරහමාරක් විතර වියදම් වුණා. හැබැයි ලක්ෂ තිස් අටක් විතර ආදායම ලැබුණා.
පරසතුමල් හදන්න සම්බන්ධ වුණේ?
ගම්පහ සෙන්ට්‍රල් ෆොටෝ, මායාදුන්නේ කියලා කෙනෙක්ටයි අයිති. මට කිසිම දැනුමක් තිබුණේ නැහැ,එයා බලෙන් මට පුරුදු කළා පින්තූර ගන්න. එයාගේ යටි හිතේ තිබුණේ වෙන දෙයක්. මම පින්තූර ගන්නකල් එයාට එළි පෙහෙළියට නිදහසේ යන්න පුළුවන්නේ. ඒත් අන්තිමට මඟුල් පින්තූර ගන්න එන අය පවා 'චිත්‍ර මහත්තයා ලව්වා අපේ පින්තුරෙ අරන් දෙන්න' කියලා එයාටම කියනවා. ඔය අතර මගේ යාළුවෝ යෝජනා කළා ගම්පහ ටවුම මැද ස්ටූඩියෝවක් දාමු කියලා. ඒ කාලේ ඩී. ඇස්. සේනානායක මහත්තයා විවෘත කරපු ගොඩනැඟිල්ලක් තිබුණා සිංහගිරි කියලා. අයිතිකාරයාගෙන් කුලියට ගන්න ඇහුවාම ශත පහක්වත් ඕනෙ නෑ ස්ටූඩියෝ එක දාගන්න කීවා. පසු කාලෙක මම සල්ලි දුන්නාට ඒක තමයි චිත්‍ර ෆොටෝවල ආරම්භය. ලයනල් අල්ගම (සංගීතඥ) මා එක්ක එකට ඉගෙන ගත්තේ. ඒ යාළුකමට අමරදේව එනවා රේල්ලුවෙන් අල්ගම හම්බෙන්න. ඉතින් දවල්ට කන්නේ අපි තුන්දෙනා. ඕක පුරුද්දක් වුණා.
කොහොම හරි කුරුලු බැද්ද, සිකුරු තරුව කියන පින්තූරු දෙක ආවා. ඒවා ලීවේ පී.කේ.ඩී සෙනෙවිරත්න කියන පල්ලෙවෙල විදුහල්පතිවරයා. මම අල්ගමත් එක්ක ගියා ධර්මදාස කුරුප්පු කියන නළුවත් එකතු කරගෙන මේ විදුහල්පති බලන්න. ආපු කාරණේ කීවේත් කුරුප්පු. 'ආ කොච්චර එකක්ද මම ලියලා දෙන්නම් චිත්‍රපටයක්' කියලා සෙනෙවිරත්න කීවා.
හැබැයි මම කරදර කරන්න ගියේ නෑ. සති දෙකකින් විතර පණිවිඩයක් එව්වා ලියලා ඉවරයි කියලා. කලින් ලියලා තිබුණා කතාවක්නේ. මට තිබුණා එතකොට ලංකාවට ගෙනාව පළමුවෙනි සන්බීම් ඇල්පයින් කියන ස්පෝට්ස් කාර් එක. මම නුවර පාරේ ඒකෙන් එද්දි රවීන්ද්‍ර රන්දෙණියයි එයාගේ තාත්තයි පවා පාර අයිනට එනවා කාර් එක බලන්න. ඒකෙන් ගිහින් කතාවත් අරගෙන අපි ගියා හලාවත මම යන දේවාලයක් තියෙනවා ඒකට.
සුදු වැල්ලේ දේවාලේ?
ඒක පහුකරන් යන්න ඕනේ. කතාව තිබුණේ පෙම්වතුන්ගේ ලෝකය කියලා. අපි කල්පනා කළා, මේකේ තියෙන්නේ ඔක්කොම අනුන්ගේ ගෑනු ගැනනේ කියලා 'පරසතු මල්' කියලා පසුව වෙනස් කළා පූජාවෙන් පස්සේ අපි කෙළින්ම ගියේ ලේක්හවුස්. සිළුමිණ පත්තරේ කර්තෘ කීවා පහුවෙනිදාට පත්තරේ බලන්න කියලා. මුල් පිටුවෙම තියෙනවා 'ගම්පහෙන් පරසතු මල් පිපේ' කියලා. ඒ එක්කම සරසවියටත් ගියා. එදා 1965 ඇතිවුණු මිතුරුකමටනේ අදටත් ඔයාලා මේ එන්නේ.
පොඩි කාලෙවත් කැමරාවක් අල්ලලාවත් නැද්ද?
"නෑ. මම මුලින්ම ගම්පහ බෞද්ධ පිරිමි පාඨශාලාවට ගියේ. ඊට පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයට. බෞද්ධ පිරිමි පාසලේ හිටියා සංගීත ගුරුවරයෙක් වීරසිංහ කියලා. මටයි සෝමසිරි දෙහිපිටියටයි (රංගන ශිල්පී) විරිදුවක් පුරුදු කළා ඉස්කෝලෙට අලුතෙන් හැදුව ගොඩනැඟිල්ලක් විවෘත කරන වෙලාවේ කියන්න. ඩී.ඇස්. සේනානායක මහත්තයා වෙනුවෙන් විරිදුව කියන්න තිබුණේ මට."
චිත්‍ර බාලසූරිය මහතා අසුනෙන් නැඟී මා වෙත අත දිගු කරමින් විරිදුව ගයයි.
"ඔබ මැති මහ ඇතෙකු දණින් සිටවූ කල එංගලන්තෙ
සැඟවෙති දෙවියකුව සිතා ඔවුනට හැදුණලු කලන්තෙ"
මම මේසයට රබන් තාල දුනිමි.
"බලාපු බැල්මටම මෙන්න මුවඅග කවුමල් පිපෙනවා
කලා රසික පිරිසක් මෙහි සිටින වගද මට පෙනෙනවා
මෙන්න ඩීඇස් නැඟිට්ට ගමන් ඇවිත් පවුමක් තිබ්බා මගේ අතේ."
ඔහුගේ බිරිය මාලි බාලසූරිය මහත්මිය විරිදුවේ තේරුම කීවාය.
"ඒ කාලේ එංගලන්තෙට ඇතෙක් තෑගි කරලා. ඩී.එස් මහත්තයා එංගලන්තෙ ගිය වෙලාවක බලන්න ගියාම ඇතා දණ ගැහුවලු. ඇත්ගොව්වා අණ කරන්න ඇති සමහර විට. ඒක මතක් කරලානේ ඔය විරිදුව කියලා තියෙන්නේ." අපි එක්ව සිනාසුණෙමු.
"එදා ඉඳන් කළ කී දෑ බැලුවාම මටම පුදුමයි ඒ මම ද කියලා. එකක් බය නැති කම. අපේ ගෙදරට හැරෙන පාරෙ තමයි මහේස්ත්‍රාත්තුමාගේ බංගලාව තියෙන්නේ. මට අවුරුදු දොළහ විතර කාලේ සෝමසිරි කියලා යාළුවෙකුට ඕං බලපං කියලා පාරෙ තිබුණු ගොම්බෙට්ටක උඩ වියළි කෑල්ල අරගෙන බංගලාවෙ බිත්තියට ගැහුවා. ඒක හරි ලස්සන මෝස්තරයක්. පාරෙ තිබ්බ ඔක්කොම ගොමවල වියළි කොටස් අරගෙන බිත්තිය පුරාටම ගැහුවා. මහේස්ත්‍රාත්ගේ රියැදුරා දැකලා තාත්තාට ගිහින් කියලා යාන්තම් බිත්තිය හෝදවලා දැම්මා. ඕං මගේ වැඩ. අපට හරකා බාන හිටියා අපි එක්කෙනෙක්වත් මස්කඩවලට විකුණුවේ නැහැ. පුංචි කාලේ ඉඳන්ම මම නිර්මාංශයි. මොකද සත්තුන්ට ආදරේ නිසා. මම පූසන්ට කොච්චර ආදරේද කීවොත් පොඩි කාලේ ගේ ඉස්සරහ පොලිසියේ හිටිය පර්ෂියන් කැට්වත් හොරකම් කරගෙන ආවා."
ඔහු එසේ කියා පවුලේ පින්තූරයක් පෙන්වයි. එහි ද ඔහු අතේ පූස් පැටවෙකි. ඔහු චූටී යැයි කතා කළ විට දැන් ඔහු සතු පස්දෙනකුගෙන් යුත් පූස් පවුලේ සාමාජිකයෙක් දිව විත් ඔහුගේ ඔඩොක්කුවට පැන සුරතල් පෙන්වීය.
චිත්‍ර මහත්තයා කේන්දර විශ්වාස කරනවාද?
ඔව්. අපේ තාත්තා, දොන් හෙන්රික් බාලසූරිය ජ්‍යෝතිෂය දන්නවා. මම මකර ලග්නේ චන්ද්‍රයා හතේ. මගේ අනාගතය සුබ වෙනවා කියලා තාත්තා කියද්දි පොඩි දවස්වල මම ඈතට ගිහින් සරම උස්සලා පස්ස පෙන්නලා දුවනවා. අම්මා දෝන ඉසබෙලා නෙත්තසිංහ. අය්යා දොන් ඇල්බට් බාලසූරිය.
එතකොට ඔබ චිත්‍ර වුණේ?
අම්මගේ බාල සහෝදරිය මැණිකේ සිරිමාන්න තමයි මගේ නම දාලා තියෙන්නේ. අම්මාගේ තාත්තා ගමේ නාඩගම් කළා. වෙන දේකට නෙවෙයි රජාට අඳීන්න ඕනෙ නිසා. (සිනාසී) ඒ ගතිය මටත් තියෙනවා. හැබැයි බැරි දේවල් කරන්න ඕනේ නෑනේ නේද?
චන්ද්‍රයා හතේ නිසානේ හොඳ නෝනා කෙනකුත් ලැබුණේ?
මෙයාගෙ ඇස් අමාරුවකට ලංකාවේ ඉහළම වෛද්‍යවරු බෙහෙත් කරනවා. මගෙ ඇස්දෙක දෙන්න පුළුවන් නම් මම දෙනවා. අපි උපතින් ගේන දේ අනුව තමයි මේ වගේ හොඳ භාර්යාවක් ලැබෙන්නේ. දුව අනූපමා වෛද්‍යවරියක්. දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. හැබැයි මම කැමතියි එයාලත් මෙහෙ හිටියානම්. මොකද මේ අපි උපන් රටනේ. ඒ වගේම හොඳ මිත්‍රයන් ලැබෙන පිනත් මට තිබෙනවා.
හැම දේටම වඩා ලස්සන මම කරපු වැඩ. මේ බලන්න කා එක්කද බාලසූරිය ඉන්නේ කියලා. මේ රාජ් කපූර්, දේව් ආනන්ද් කිසි කෙනෙක් ගාවට මම ගියේ නෑ. එයාලා ආවා මිසක. ඉන්දිරා ගාන්ධිත් අතට අත දුන්නේ මට විතරයි. අනෙක් අය බයේ ඈත් වුණා. බලන්න මම වවලා තිබෙන මල්. ඒවා වුණත් අනෙක් ගෙවල්වල වගේ නෙවෙයි. වෙනස්. මම කළ පින්තූරත් වෙනස්. ඒකට කැමැති පිරිසක් අදත් ඉන්නවා. පස්පව් නොකරනවා නම් අපට බයක් නෑනේ. ආත්මගෞරවයයි මිනිස්සු තියාගන්න ඕනෙ. බෙල්ලන්විල පන්සලේ හිටපු නායක හාමුදුරුවොත් දවසක් ඇහුවා චිත්‍රා හැමෝම එක්ක හිනා වෙන්නේ නෑ නේද කියලා.
ඇයි හිනා නොවෙන්නේ?
හරි වැඩක්නෙ මම විහිළුකාරයෙක්ද නොදන්න අයට විරිත්තන්න. ගෑනු පිරිමි කාටත් ආඩම්බර කමක් තියෙන්නත් ඕනෙ. නැත්නම් හෑල්ලුවට ගන්නවා.
ඔහු කීවේ සිනාසෙමිනි.
කියන්නකො කොහොමද තුංමංහංදියට ආවේ කියලා?
සේකර ගුවන් විදුලියේ වැඩ කරද්දි කාර් එක මගේ සාප්පුව ඉස්සරහ දාලා රේල්ලුවට යන්නේ. පරසතුමල් චිත්‍රපටයට මහගම සේකර සින්දු ලියනවා. රදාවානේ හරි අහිංසක ජීවිතයක් ගත කරපු මනුස්සයෙක්. හැබැයි අමුතුම ජාතියේ බඩුවක්. ගෙදර පරිසරයෙ හැටියට මට ඉඳගන්න තැනකුත් තිබුණෙ නැහැ. පස්සේ අපි ගියා රෙස්ට් හවුස් එකට. පරසතුමල් ගීතය ලියන්න පටන් ගත්තේ එහෙම. ඒ යාළුකමට මගෙන් ඇහුවා චිත්‍රා කැමැති නැද්ද මාත් එක්ක පින්තූරයක් කරන්න කියලා. මම කීවා හෙට පටන්ගන්න කියලා. ඒපාර ටිකක් කල් ඉල්ලුවා. සත්සමුදුර ආර්ථික වශයෙන් අසාර්ථක වුණ නිසා දොස්තර ලීනස් දිසානායක අතින් තුං මං හංදිය නොකෙරුණ නිසයි මගෙන් ඇහුවේ. නිෂ්පාදකයකු හැටියට මම කවදාවත් මුදල් ගැන හිතුවේ නැහැ. එයාගෙ සින්දු ගැන මිසක් වෙන හැකියාවක් ගැන දන්නෙත් නෑනේ. හැබැයි මට (කැමරා ශිල්පී) සුමිත්ත අමරසිංහව මතක් වුණා. බය නැතුව හා කීවේ ඒ නිසා. සිනමාස්වල දෙමළ අය ගත් රූපරාමුවලට වඩා වෙනස් සුමිත්තගේ ඇහැ. ඒකයි මම කියන්නේ නළු නිළියන්ටත් වඩා කැමරාමන් තමයි මේ පින්තූරවලට බලපෑවේ කියලා. අනෙක් අයත් ඉවහල් නූනා නෙවෙයි.
හැබැයි තුංමංහංදියට පරසතුමල්වලට තරම් වියදමක් ගියේ නැහැ. ඒ වගේම ආදායමත් අර වගේ නොහිතපු විදිහට ආවේ නෑ. පාඩුත් නැහැ. ඒ පින්තූර දෙකේදිම මම හැමදාම ෂූටින් ගියා. මොකද මමත් ෆොටොග්රැෆර් කෙනෙක්නේ. කැමරා කෝණ ගැන මට උගන්වන්න බෑ. මේ පින්තූර දෙකේම සාර්ථකත්වයට මුල සුමිත්ත අමරසිංහ.
ජෝ අබේවික්‍රම පරසතු මල්වලත් හිටියනේ. ඒ නිසා තුංමං හංදියට ගත්තා. අනෙක් අය සේකර නම කීවාම මම හොයාගෙන ගෙනත් දුන්නා. සේකරගෙ ජීවිතේ පොඩි කාලේ වගේනේ ඔය කතාවත්. ඒ නිසා එයා පින්තූරෙට තෝරගත්තේ ගමේම ළමයි අලුත් පිරිසක්. මමත් ඉතින් මුකුත් කීවේ නැහැ. හැබැයි ඒකෙන් එක දෙයක් වුණා. මගෙ සහෝදරයා උදම්මිට මහ විද්‍යාලයේ විදුහල්පති. එයා බොහෝම උදවු කළා. අර මූත්‍රා කරන කොල්ලො ටික එහෙම එයාගෙ ඉස්කෝලෙ. තව දෙයක් මේ පින්තූර දෙකේම සුමිත්ත ඇතුළු සංස්කරණ, කලා ශිල්පීන් හැමෝම තෝරාගත්තේ නිෂ්පාදක හැටියට මම. ඒ කිසි කෙනෙක් මට ලොකුකම් පෙන්නුවේ නෑ. ගාමිණි වුණත් මට කතා කරපු පළමු දවසෙම දැනගත්තා මම එයාට සරෙන්ඩර් නෑ කියලා. හැමෝම මට කෙරෙන්න ඕනෙ දේ අහලා, කරලා දුන්නා. තුංමං හංදියට පරසතුමල්වලට තරම් ප්‍රසිද්ධිය පුවත්පත්වලින් ලැබුණෙත් නැහැ. හැබැයි මගේ නමට දුන් ප්‍රසිද්ධිය චිත්‍රපටවලට ලැබුණා. එතකොට මට 38යි. අද නිෂ්පාදකවරුන්ට එහෙම තේරුමක් තියෙනවද? දැන් කෝ කර්මාන්තයත් ඉවරයි. හෝලුත් ඉවරයි. අනේ මන්දා. කොරෝනා...
ඇයි එතනින් නතර වුණේ අඩුමගානේ වාණිජ කෘතියකටවත් නොගියේ ?
අපෝයි බෑ. සහර ළමයි පරිප්පු කන්න කැමතියි නේද? ලොකු වෙලත් කනවනේ. ඒත් සමහරු කැමති නෑනේ. මම මගේ නමට හානි කරගන්න කැමති නැහැ. ඊට පස්සේ නොයෙක් අය ආවා ඒත් මම මොනවා හරි කියලා මඟ හැරියා.
තුන්වැනි තැනට වැටෙන්න බැරි නිසා.
තුංමංහන්දියට අවුරුදු පනහයි?
අද පින්තූරයක් පෙන්නන්න තැනකුත් නෑනේ. ශාලා වැහිලා. ඕං අවුරුදු පනහකට පස්සේ තත්ත්වෙ. අද තුංමං හංදියේ හිටය අයගෙන් ජීවතුන් අතර ඉන්නෙත් කීපදෙනයි.
චිත්‍රපටයක් හදන්න පළමුවෙන්ම හොඳ කතාවක් අවශ්‍යයි. අතිශයින්ම දක්ෂ නළුනිළියන් අවශ්‍යයි. ඒ ඔක්කොම එක්ක හොඳ කැමරා ශිල්පියෙක්, සංස්කරණ ශිල්පියෙක් ඕනෙ. සින්දුවක් ලියන්න කියන්න දන්න අය දැන් අපට ඉන්නවාද? සේකරගේ අනෙක් පොත් පතුත් කියෙව්වා. ඒත් ඒවා ජනතාව කොච්චර පිළිගත්තද මම දන්නේ නෑ. මම කළ කී දෑ පිළිබඳ සෑහීමකට පත්වෙන්න මට පුළුවන්. ඒ හැර වෙන කළ හැකි කිසිවක් නෑ.
අපි කවුරුවත් ආර්ථිකෙන් වැටෙන්න හොඳ නැහැ. මාළිගා නැතුවට කමක් නෑ. කාලා බීලා ඇඳලා ඉන්න පුළුවන් වෙන්න ඕනේ. සේකරගේ ආදාහන කටයුතු පවා කළේ මම. තමන් තමන් ගැනවත් සලකන්නැති මනුස්සයො ඉන්නවා. කලාකාරයො වැඩි දෙනෙක් එහෙම තමයි. කලාවට ළැදි අය තණ්හාධික නෑ. බොහොම නිදහස් මිනිස්සු. එහෙම නැතිව කවි ලියන්න බෑනේ.
ඔහු සමීපයේ ඇති චිත්‍රපට කෑන් කීපයක් වෙත ගොස් ආදරයෙන් ඒවා දක්වයි.
ගාමිණි ෆොන්සේකාවත්, මහගම සේකරවත් කවදාවත් මගෙන් සල්ලි ඉල්ලුවේ නැහැ. පරසතු මල් කරපු කාලේ මම 777 බෙන්ස් කාර් එකේ ගියේ. හැමතැනම බොක්ස් ඔෆිස් හිට්. ගාමිණි කුලියට හිටිය ගෙය සින්නක්කර ගැනීම තමයි ඒ කාලේ ගෙවීම වුණේ. ගාමිණිගේ, අමරදේවගෙ දරුවන් ඉපදෙනකොට ළඟ හිටියේ මම. ඒ මිත්‍රත්වය මැරෙනතුරු ඔවුන්ට මතක තිබුණා. ගාමිණි ෆොන්සේකා සැමරුම දිනයේ චිත්‍රපටය බලලා සමහරු මට වැන්දා. පරසතුමල් තුංමංහංදිය පින්තූර දෙක ඔය තරම් ලස්සනට හැදුණේ ඒ අයගේ පිනට. ඒකේ ගෞරවය මට ලැබෙන එක වෙනම දෙයක්.
ආපසු හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
තුං මං හංදියට පනහයි. මම තාම තරුණයි. මට තාම බෑ කියලා දෙයක් නෑ. මම අදටත් කාර් එළවන්නේ පරණ එළවිල්ලමයි. ලැබෙන්න ඕනෙ හැමදේම ලැබිලා තියෙනවා. මට ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. ලෙඩ ඇඳේ නොවැටි ලස්සනට ඉන්නයි ඕනේ.
"එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා කියලා සරසවියෙ අපි ප්‍රාර්ථනා කරනවා." මම සුබ පැතුවෙමි. තුතිමල් සිනාවකින් මුව සරසාගෙන ඔහු යළිත් සීඩී තැටියක් වාදනය කළේය.
අතීතයෙන් ගඟ ගලා බසී
සිඳී බිඳී ගල් පර අතරේ...
සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ...
තිලක් පෙරේරා