දැන් හැදෙන කලාත්මක චිත්‍රපටවල අපේ මුල් නැහැ

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර
ඔක්තෝබර් 22, 2020

නිම්වළල්ල නිසා කලාවට ආවා

ආනන්දේ ඉද්දි ගොඩක් බැලුවේ හින්දි චිත්‍රපටි

කැමතිම සුගත් දම්මිට වෙරළු දෙන දර්ශනයට

ඒ කාලේ කොල්ලෝ අනුකරණය කළ හැම නළුවෙක්ම මගේ යාළුවෝ

දේව්දාස් දැකලා කම්පනය නිසා සිළුමිණට විචාරයකුත් ලිව්වා

 

ලියුම්කරු ඔහුට සම්මුඛ වන්නේ යම් චකිතයකිනි. මන්දයත් හෙතෙම ලියුම්කරු නියෝජනය කරන පුවත්පත් කලාවේ පළමු පෙළේ ප්‍රවීණයෙකි. එමෙන්ම ඔහු පුවත්පත් කලාව නව මානයක් වෙත රැගෙන ගිය පෙරගමන්කරුවෙකි. ඔහු බන්දුල පද්මකුමාර නම් වේ.

පුවත්පත් මාධ්‍යවේදියෙකු ලෙස දීර්ඝ කාලයක් සේවය කළ හෙතෙම සමීපරූප, ගීතා, සරසි වැනි සිනමා පුවත්පත්ද, කුමරි, පතිපතිනි, අරලිය වැනි පුවත්පත් සඟරා රාශියක්ද ආරම්භ කොට මෙරට පුවත්පත් කියවන තරුණ පරපුරක් බිහි කළේය. මාධ්‍යවේදියෙකු ලෙස සේම චිත්‍රපටි සහාය අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කළ ඔහු වසර දහයක් පමණ ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. මෙවර අප ඔහුට සම්මුඛ වන්නේ කලාව ගැන විමසන්නටය. කලාව සමඟ ඔහුට ඇති සමීපතාව හගිස්සන්නටය.

 

කලාව කියන දේ දැනෙන්න පටන් ගත්තේ කොයි කාලේද?

ගොඩක් පොඩි කාලේ ඉඳලා. පාසල් යන අවධියටත් කලින් ඉඳලා කලාව කියලා දෙයක් ගැන යම් අදහසක් තිබුණා.

 

කලාවට පවුලෙන් තිබුණු නැඹුරුව කොහොමද?

මගේ තාත්තා සුගතපාල ගොඩවත්ත. ඔහු බොහොම උග්‍ර සමාජවාදියෙක්. ඒ කාලේ සෝවියට් දේශයේ පොත්පත් ලංකාවට ලැබුණා. ඒ අතර රුසියාවේදී සිංහලට පරිවර්තනය කරපු සාහිත්‍ය කෘති අපේ ගෙදර තිබුණා. ඒවා කියවන්නට මමත් පෙලඹුණා. අම්මායි තාත්තයි දෙන්නම අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිසා කලාවට ඒ තරම් නැඹුරුවක් නැහැ.

 

පාසල් යන කාලේදී සෞන්දර්ය කියලා විෂයක් හැදෑරුවාද?

අපි ඉස්කෝලේ යන කාලේ සෞන්දර්ය කියලා විෂයක් තිබුණේ නැහැ. සංගීතය සහ නැටුම් තිබුණේ. මම ඉගෙන ගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයෙන්. 1968දී විතර උසස් පෙළ කරන කාලේ අපි යාළුවෝ ටිකක් එකතු වෙලා "නිම්වළල්ල" කියලා චිත්‍රපටයක් නිර්මාණය කළා. ඒ චිත්‍රපටිය නිර්මාණය කරන්න මූලික වුණේ මගේ මිත්‍රයා රංජිත් ලාල්. ඔහුගේ පියාට මුදල් තිබුණු නිසා මේ සඳහා අපිට උදවු කළා. ඒ කාලේ අපි කැමරාවක්වත් දැකලා නැහැ. සුනිල් මාධව ප්‍රේමතිලක මේ චිත්‍රපටියට සම්බන්ධ වුණා. ප්‍රේමකීර්ති ද අල්විස් ගීත ලිව්වා. ඒ.ඩී. රංජිත් කුමාර කලා අධ්‍යක්ෂණය කළා. මම සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. මේ ඔක්කොම ආනන්දේ ශිෂ්‍යයෝ. මේ චිත්‍රපටිය නිසා අපි කණ්ඩායමටම කලාකරුවන් බොහෝමයක් ඇසුරු කරන්න ලැබුණා. එතනින් තමයි මගේ කලා ජීවිතේ පසුබිම හැදුණේ. තිස්ස අබේසේකර, ලෙස්‍ටර් ජේම්ස් පීරිස්, ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, ඩබ්ලිව්.ඩී. අමරදේව මේ හැමෝම ඇසුරු කරන්න ලැබුණා. මොකද ඒ කාලේ ප්‍රවීණ කලාකරුවන්ගෙන් තරුණයන්ට ගොඩක් සහාය ලැබුණා.

 

මුලින්ම හෝල් එකකට ගිහින් චිත්‍රපටියක් බලපු දවස මතකද?

එහෙම හෝල් එකකට ගිහින් චිත්‍රපටි බැලුවා මතකයි. ඒත් දවස මතක නැහැ. එතකොට මම ගොඩක් පොඩියි. ගෙදර අය එක්ක ගිහින් බැලුවා කියලා මතකයි.

 

පාසල් යන කාලේ යාළුවෝ එක්ක ගිහින් චිත්‍රපටි බලන්න ඇති?

ආනන්ද විද්‍යාලයේ මම හොස්ටල් එකේ හිටියේ. අපි නිරන්තරයෙන් චිත්‍රපටි බැලුවා. ඇත්තටම අපිට ඒක පුරුද්දක් වෙලා තිබුණා. බොරැල්ලේ රිට්ස්, මරදාන ගාමිණීහෝල්, එල්ෆින්ස්ටන් එකේ චිත්‍රපටි පෙන්නුවා. විශේෂයෙන් හින්දි සහ දෙමළ චිත්‍රපටි ගොඩක් බලන්න පුරුදු වෙලා හිටියා. 3.30 ශෝ එක තමයි අපි බලන්න ගියේ. මරදානේ ඕනේ තරම් තෝසේ කඩ තිබුණා කන්න. ඉතින් චිත්‍රපටියක් බලලා හොඳට කාලා බීලා හොස්ටල් එකට යනවා අපි.

 

එහෙම ගිහින් බලපු චිත්‍රපටි මොනවාද?

ගංගා ජමුනා, මදර් ඉන්ඩියා, මදුමතී, ආවාරා වගේ චිත්‍රපටි බැලුවා. මට මතක විදිහට ඒ ගාමිණීහෝල් එකේ සත්‍යජිත් රායිගේ චිත්‍රපටි කීපයක් එක දිගට පෙන්නුවා. අපරාජිතෝ, චාරුලතා වගෙ චිත්‍රපටි. අපි ඒ චිත්‍රපටි ඔක්කොම ටික බැලුවා. සත්සමුදුර, රේඛාව, ගම්පෙරළිය, සන්දේශය වගේ ඒ කාලේ ආපු හැම සිංහල චිත්‍රපටියක්ම වගේ බැලුවා.

 

දෙතුන් වතාවක් බලපු චිත්‍රපටි මොනවාද?

ගොඩක් හින්දි චිත්‍රපටි තමයි දෙතුන් වතාවක් බැලුවේ. ගංගා ජමුනා, මදුමතී ඔව්වා අපි හත්අට සැරේ බලලා ඇති. හතරදෙනාම සූරයෝ දෙතුන් වතාවක් බැලුවා මතකයි.

 

චිත්‍රපටිවල වැඩිපුරම කැමති මොන ජවනිකාවටද?

සටන්, ප්‍රේම හැම ජවනිකාවක්ම බලනවා. එහෙම විශේෂයෙන් කැමති ජවනිකාවක් නැහැ. ඒත් චිත්‍රපටි කීපයක මට අමතක නොවන දර්ශන ටිකක් තියෙනවා. ගම්පෙරළියේ පියල් නන්දාට පාඩම් උගන්වන දර්ශනය, නිධානයේ ගාමිණී සහ මාලිනීගේ ඉතාම ලස්සන නැටුමක් තියෙනවා. ඒක මම දැකපු මනරම් දර්ශනයක්. ඒ වගේම තමයි ගොළුහදවත චිත්‍රපටියේ සුගත් දම්මිට වෙරළු දෙන දර්ශනය.

 

ඒ කියන්නේ බන්දුල පද්මකුමාර කියන්නේ චිත්‍රපටි උන්මාදයකින් පෙළුණු තරුණයෙක්?

ඒක උන්මාදයක්ද කියන්න දන්නේ නැහැ. නමුත් මම හින්දි සිනමාවට ගොඩක් ඇලුම් කළා. ඉන්දියාවේ සඟරා ලැබුණොත් අනිවාර්යයෙන්ම කියවනවා. ඒ කාලේ තිබුණා බොහොම ලස්සන සඟරාවක් ධ්තතභඵබපචබඥඤ එඥඥඬතර ධට ධ්දඤඪච කියලා. ඒ වගේම ටඪතථචටචපඥ සඟරාව. මේවා කොහෙන්හරි ඒක හොයලා එකතු කරන පුරුද්දක් මට තිබුණා. මට පාසල් කාලේදීම පුවත්පත්වලට ලිපි ලියන්න අවස්ථාව ලැබුණා. 1968 දී විතර තිබුණා විසිතුර කියලා කලා පුවත්පතක්. ඒකට මට ලියන්න ලැබුණා. පුවත්පතේ මගේ පළවෙනි ලිපියට සතුටු වුණු කර්තෘ ආතර් යූ. අමරසේන කලාකරුවන්ගේ සම්මුඛ සාකච්ඡා කරන්න අවස්ථාව දුන්නා. මහගමසේකර, ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස අබේසේකර වගේ ජනප්‍රිය ප්‍රකට සිනමාකරුවන් සමඟ කතාබහ කරන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ කලාත්මක සිනමාව පිළිබඳව විශාල උනන්දුවක් ඇති වුණා. චිත්‍රපටි සංගම් බිහි වුණා. චිත්‍රපටි ගැන දේශන තිබුණා. කොළඹ විශ්වවිද්‍යාලය වගේ තැන්වල චිත්‍රපටි උත්සව තිබුණා. රීගල් වගේ සිනමාහල්වල චිත්‍රපටි උලෙළවල් තිබුණා. ඒත් එක්කම අපිට කලාත්මක සිනමාවට තිබුණු ළබැඳීයාව වැඩි වුණා. ඒ මම පාසල් ජීවිතයෙන් ඉවත් වෙලා කෙමෙන් කෙමෙන් මාධ්‍ය ක්ෂේත්‍රයට එන කාලේ.

 

මේ වකවනුවේ වේදිකාවත් එක්ක තිබුණේ කොහොම ගනුදෙනුවක්ද?

හුඟක් වේදිකා නාට්‍ය බැලුවා. ඉඩක් ලැබුණු හැම අවස්ථාවකම වගේ වේදිකා නාට්‍ය බලනවා. ලුම්බිණිය ට්ගමයි කේන්ද්‍රස්ථානය. සුගතපාල සිල්වාගේ දුන්න දුනුගමුවේ වගේ නාට්‍යවල පුහුණුවීම් පවා බලන්න ගියා. ඒ වගේම ආචාර්ය හත්තොටුවේගම එක්ක මගේ තිබුණු මිත්‍රත්වය නිසා ඔහු වටා රොක් වෙලා හිටිය ධර්මසේන පතිරාජ, ඩබ්ලිව්. ජයසිරි, විමල් කුමාර ද කොස්තා වගේ අය එක්ක නිතරම නාට්‍ය බලන්න යනවා. සුගතපාල ද සිල්වාගේ හැම නාට්‍යයක්ම බලලා තියෙනවා.

 

මාධ්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරද්දි කරට අත දාගත්තු කලාකාරයෝ කවුද?

මට කලා ක්ෂේත්‍රයේදී වැඩිපුර ඇසුරු කරන්න ලැබුණේ මට වඩා වැඩිමල් අය. තිස්ස අබේසේකරව මට සමීපව ඇසුරු කරන්න ලැබුණා. තිස්සගේ නිවස, තිස්ස යන එන තැන් ගොඩක් ප්‍රබුද්ධ කලාකරුවන් යන එන තැන්. එහිදී ගොඩක් කලාකරුවන් සමීපව ඇසුරු කරන්න ලැබුණා. තිස්ස අබේසේකර මුලින්ම කරපු වාර්තා චිත්‍රපටියේ (අපේ ලංගම) සහාය අධ්‍යක්ෂණය කළේ මම. ඒ වගේම ලෙස්ටර් ජේම්ස් පීරිස්ව මතක් කරන්න ඕනේ. ඔහු පසුකාලීනව මගේ ගුරුවරයෙක් වුණා. මම ඔහුගේ මඩොල්දූව චිත්‍රපටියේ සහාය අධ්‍යක්ෂ ලෙසත් වැඩ කළා. පසුව ඔහුගේ මාර්ගයෙන් ලංකාවේ නිෂ්පාදනය වුණු චිත්‍රපටි කීපයක සහාය අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න ලැබුණා.

 

ඔබ අනුකරණය කරපු නළුවා කවුද?

මම කිසිම නළුවෙක් අනුකරණය කළේ නැහැ. ඒ කාලේ හිටපු කොල්ලෝ අනුකරණය කරපු හැම නළුවෙක්ම වගේ මගේ යාළුවෝ. විජය, ගාමිණී, කලංසූරිය මේ හැමෝම මගේ සමීප යාළුවෝ.

 

කැමතිම නළුවා කවුද?

කැමතිම නළුවෙක් සහ මිත්‍රයෙක් විදිහට කියන්න පුළුවන් විජය කුමාරතුංග. ඒත් මම හිතන විදිහට දක්ෂම නළුවා ජෝ අබේවික්‍රම.

 

ඒ කාලේ නිළියක් විවාහ කරගන්න හිතුණේ නැද්ද?

අපෝ නැහැ. මම අවුරුදු 22දිම විවාහ වුණා. ඒ නිසා ඒ ගැන හිතුණේ නැහැ. ඒත් මම ඒ කාලේ ඉඳලා ශර්මිලා තාගෝර්ට කැමතියි. මම ඇයව මුලින්ම දකින්නේ සත්‍යජිත් රායිගේ චිත්‍රපටියකින්. පසුව ඇය ඉතාම ජනප්‍රිය නිළියක් වෙනවා. ලංකාවේ නිළියන්ගෙන් මම කැමතිම සහ වැඩිපුරම ආකර්ෂණය වුණු නිළිය මාලිනී ෆොන්සේකා.

 

ඔබේ ජීවිතයට වැඩිපුර බලපෑමක් කරපු චිත්‍රපටි මොනවා?

ගම්පෙරළිය සහ නිධානය. ගම්පෙරළියේ තිබුණා ඉතා හොඳ කලාත්මක ස්වභාවයක්. ඒ වගේම ඒ රඟපෑම් සහ දෙබස් විශිෂ්ටයි. අපේකම සහ අපේ ජනජීවිතය නිරූපණය කරන චිත්‍රපටියක් ඒක. ගම්පෙරළියට මම කැමති වෙන්නේ රසිකයෙක් විදිහට. නිධානයට කැමති වෙන්නේ සිනමාකරුවෙක් විදිහට. නිධානය චිත්‍රපටයේ තියෙන ශිල්පීය නිපුණතාව, රංගනය, සංස්කරණය, සංගීතය, තිරපිටපත ඉතාම ඉහළ මට්ටමක තිබුණා. ලංකාවේ විචාරකයෝ හුඟදෙනෙක් හිතනවා ලංකාවේ හොඳම චිත්‍රපටිය නිධානය කියලා. පරසතුමල් සහ විරාගයටත් මම හුඟාක් කැමතියි. ඒත් මට නිතරම හිතෙන දෙයක් ඒ චිත්‍රපටි දීර්ඝ වැඩියි තව සංස්කරණය වුණා නම් හොඳයි කියලා.

 

හින්දි සිනමාවේ ඔබ කැමති දේවල් ගැනත් කතා කරමු?

හින්දි වාණිජ සිනමාවේ හුඟක් චිත්‍රපටිවලට මම කැමතියි. මදුමතී, චාරුලතා, හම්දෝනෝ, වගේ චිත්‍රපටිවලට හරිම කැමතියි. ඒ වගේම දිලීප් කුමාර්ගේ රඟපෑම්වලට කැමතියි. රාජ් කපූර්ගේ චිත්‍රපටි මට නැවත නැවත බලන්න හිතුණු චිත්‍රපටි. ඒකට හේතුව ඔහුගේ චිත්‍රපටිවල තිබුණු සංගීතයට මම බොහොම කැමතියි. ඒ ගීත බොහොම ආසාවෙන් ඇහුවා. මෑතකාලයේ හින්දි චිත්‍රපටිවලට මම කැමති නැහැ. ඒත් එකම එක චිත්‍රපටියක් තියෙනවා මම කැමතියි. ඒ දේව්දාස්. මම කොච්චර කැමතිද කියනවා නම් දේව්දාස් ගැන සිළුමිණට විචාරයකුත් ලිව්වා. ඒ තරම් ඒ චිත්‍රපටිය කම්පනයක් කළා.

 

අන්තිමටම බලපු චිත්‍රපටිය මොකක්ද?

රූකඩ පැංචි. මට එහි මංගල දර්ශනයට ආරාධනාවක් ලැබුණා.

 

සංගීතයත් එක්ක ඔබට කොහොම ගනුදෙනුවක්ද තියෙන්නේ?

මම කවදාවත් සංගීතය හදාරලා නැහැ. නමුත් මම ඉතාම හොඳ සංගීත රසිකයෙක්. ඒකට හේතුව පණ්ඩිත් අමරදේවයන්. ඔහු ගුරුවරයෙක් තරමටම මට සමීපයි. එතුමා මම අදහන චරිතයක්. ඔහුගේ සංගීතයට ඉතාම කැමති කෙනෙක්. ඔහු පිළිබඳව මම පුවත්පත්වලට ලියපු ලිපි එකතු කරලා පොතක් පළ කළා. 1969 සිට මෑත කාලය වනතෙක් මම පණ්ඩිත් අමරදේවයන් ගැන ලියපු සියල්ල එහි අන්තර්ගතයි. පොතේ නම "කුරිරු දුක්බර නපුරු ලෝකෙක මතක අමතක කර දමන්නට ඔබේ ගී හඬ ඇසේ අදටත්". ඒ වගේම සින්දුවක් ගැන මතක් කරන්න කිව්වොත් මට මුලින්ම සිහිපත් වෙන්නේ පණ්ඩිත් අමරදේවයන්ගේ ගීත. මගේ වාහයේ යද්දි පවා නිතරම අහන්නේ අමරදේවයන්ගේ ගීත.

 

කලාව කියන දේ බන්දුල පද්මකුමාර දකින්නේ කොහොමද?

කලාව හා බැඳෙන රසවින්දනය මිනිස්සුන්ගේ ජීවිතයේ එක කොටසක් කියලා මට හිතෙනවා. සකල කලාවෙන් ලැබෙන රසවින්දනය මානව ජීවිතයට නැතුවම බැරි දෙයක්. කලාව කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතයේ කොටසක්.

 

ලාංකේය සිනමාවේ විකාශනය දෙස බලා සිටි කෙනෙක් ලෙස එදා සහ අද සිනමාව ගැන මොකද හිතෙන්නේ?

70 දශයේ තමයි ලංකාවේ සිනමාවේ ස්වර්ණමය යුගය. චිත්‍රපටි ගණනාවක් නිෂ්පාදන වුණා. රාජ්‍ය අනුග්‍රහය ලැබුණා. චිත්‍රපටි බෙදා හැරීමේ සහ ප්‍රදර්ශනයේ ඒකාධිකාරිය නැති වෙලා චිත්‍රපටි සංස්ථාව බිහි වුණා. ඒක දැකගන්න ලැබුණු කෙනෙක් මම. ඊට පෙර නළු නිළියෝ කලාකරුවන් කොළඹ ඉඳන් ගාල්ලට කොළඹ ඉඳන් මහනුවරට පෙළපාලි ගියා. ඒ ගමන්වලට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. ඒ කාලේ බිහි වුණු චිත්‍රපටිවල අපේ රටට මුල් ඇදගත්ත ගතියක් තිබුණා. අපේ ජන ජීවිතය, සංස්කෘතියට බොහොම සමීප බවක් තිබුණා. මෑත කාලයෙත් හුඟක් හොඳ චිත්‍රපටි හැදෙනවා. මම ඒ චිත්‍රපටිවල දකින අඩුව තමයි. ලංකාවට සමීප ගතියක් ඒ චිත්‍රපටිවල නැහැ. විදේශ රටවල විවිධ දේවල් අපේ සිනමාවට ඔබ්බලා තියෙන බවක් පේනවා. දැන් හැදෙන සම්මාන දිනන කලාත්මක චිත්‍රපටිවලවත් ඒ අපේ රටට මුල් ඇදගත්ත බවක් නැහැ. දැන් තියෙන්නේ ගෝලීයකරණය වුණු චිත්‍රපටි කලාවක්. තරුණ පිරිස ඒ ගෝලීයකරණය වුණු චිත්‍රපටි කලාව ඇතුළේ යම් වෙනසක් කරන්න උත්සාහ කරනවා. නමුත් ඔවුන්ට ඒ වෙනස හරියාකාරව කරන්න බැරි වෙලා. අපි තාමත් ලෙස්ටර්ගේ පතීගේ චිත්‍රපටි ගැන කතා කරන්නේ ඒ නිසායි.

 

චිත්‍රපටියක රඟපාන්න ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?

අනේ නැහැ. (සිනාසෙමින්) මට රඟපාන්නත් බැහැ. නළුවකුගේ පෙනුමත් නැහැ. මීට කලින් මට ආරාධනාවක් ආවා ජනමාධ්‍යවේදියෙක්ගේ චරිතයක් රඟපාන්න. මට රංගනය සුදුසු නැති නිසා මම ඒක ප්‍රතික්ෂේප කළා.

 

නැවත චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න අදහසක් නැද්ද?

මම කලින් සරසවි දියණියෝ චිත්‍රපටිය කළා. මගේ ආරාධනාවක් පිට උපුල් ශාන්ත සන්නස්ගල කුමරි පත්තරයට ලියපු කතාව ඇසුරෙන් 1989දි චිත්‍රපටිය කළා. ප්‍රධාන චරිත කළේ සබීතා පෙරේරා, කමල් අද්දරාරච්චි. යම් යම් හේතු කීපයක් නිසා චිත්‍රපටිය අතරමඟ නැවතුණා. චිත්‍රපටියේ නිෂ්පාදක ඩන්කන් ප්‍රනාන්දු හදිසියේ මියයෑම ඒකට එක හේතුවක්. පසුකාලීනව මම වෑයමක් දැරුවා ඒ නෙගටිව් පට ටික හොයාගන්න. නමුත් බැරි වුණා. නැවත චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න මම තරුණ වැඩියි. (සිනාසෙමින්)