වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
නුඹ හිරුට යටින් හිනැහෙනු දුටුවා
කෙනෙකුගේ කඳුළු තවත් කෙනෙකුට හිනා ගේන්න පුළුවන් වෙයිද? මට මගෙන්ම අන්න හිතුණා. මට නම් කවදාවත් ඒක එහෙම වෙන එකක් නෑ. හුඟක් දෙනෙක් ජීවත් වෙන්නේ තමන්ගේ කඳුළු හංගාගෙන කියලා මට හිතුණා. කඳුළත් එක්ක ජීවත් වෙනවාට වඩා කඳුළු අතරින් හිනාවෙන එකත් හොඳයි කියලත් හිතුණා.
ප්‍රේමණීය හදවත් අතර කඳුළ කියන්නේ හුඟාක් බර දෙයක් විදියටයි මම නම් සලකන්නේ. ඒක ලාභ කරන, ඒක හෑල්ලු කරන අයත් අපි අතර නැතුවම නොවේ. මේ ප්‍රේමණීය සිතුවිලි මැද කඳුළක් උනන ගීතයක් ඇහෙන්න ගත්තා. මුලින් මගේ හිත ගියේ ඒ සෝබර කටහඬට. ඒ සෝබර බව තව තවත් තීව්ර කරන්න සංගීතය සමත් වුණා. පද රචනය ගැන හිතත්දි හදවත පතුලෙන් මතුවන කුමක්දෝ කියාගන්න බැරි දුක්බර සිතුවිල්ලකින් නැඟුණු රිදුමකුත් එක්ක සුසුමක් මට ළං කළා. මට වගේම රිදුමක්, එහෙමත් නැත්නම් ඉන් එහා ගිය සංවේදනයක් ඔබටත් දැනේවි යැයි මම විශ්වාස කරනවා. ආරාධනා කරනවා ඔබට අහන්න ඒ ගී හඬ.
‘මා සඟවා උන් කඳුළු අරන්
නුඹ දුර ඈතකට ගිහින්
මහ වරුසාවක් මැව්වා
ලෝකය ඒ ගැන දෙඩුවා
ප්‍රේමයෙ හැඩ රුව බැලුවා
කඩා වැටුණු කඳු වැටි ළඟ
ගිලී ගියේ සෙනෙහසමද
සැලී බිඳුණු වැව් බැමි යට
සිඳී ගියේ ආදරයද
කියා ගන්න ගහ කොළවත් නෑ
නුඹ ඉහළ අහස නතු කර සිටියා
වලා වියන කළු කරගෙන
පලා ඇවිත් අසනි විලස
පෙළා තලා පෙම්වත් සිත
සිනාසුනේ ඇයි නුඹ මට
පෙඟී ගිහින් සිතිවිලිවත් නෑ
නුඹ හිරුට යටින් හිනැහෙනු දුටුවා
ගායන ශිල්පී මිහිඳු ආරියරත්න විසින් ගායනා කරනු ලබන මේ ගීතය රචනා කර තිබුණේ ප්‍රවීණ ගේය පද රචක වසන්ත කුමාර කොබවක විසිනි. සංගීතවත් කර තිබුණේ මහේෂ් විතාන විසින්. මෑත භාගයේ අපට අහන්නට සලස්වන විච්චූර්ණ ගීත අස්සේ මෙහෙම ගීතයක් ඉඳහිට හරි අහන්න ලැබෙන කොට සිත සමාධි ගත වෙනවා. හරවත් යමක්, වැදගත් යමක්, විඳින්න පුළුවන් යමක් දැනුණොතින් තවමත් එය ප්‍රතික්ෂේප නොකරන ආදරයෙන් වැලඳගන්නා රසවතුන් ඉන්නවාය කියන්නට මේ ගීතය හොඳ උදාහරණයක්. සති තුනක් වැනි කෙටි කාලයක් තුළ දස දහසකට අධික පිරිසක් යූ ටියුබය ඔස්සේ මේ ගීතය නරඹලා තිබුණා.
ගීතය ලියන්න ගීත රචකයාට හේතු වී තිබුණේ සත්‍ය අත්දැකීමක්. ඔහු ඒ ගැන කිව්වෙ මෙහෙම කතාවක්.
‘මේ තුළ අඩංගු වෙන්නේ සත්‍ය අත්දැකීමක්. මේක මගේම අත්දැකීමක් නෙවෙයි. මේ ගීතයට බොහෝ දෙනෙක් සටහන් කරල තිබුණු අදහස්වලට මගේ අත්දැකීමත් සමීපව තිබීම මට සතුටට කරුණක්. මේ ගීතයේ සංගීත නිර්මාණ ශිල්පී මහේෂ් මගෙන් බොහෝ කාලයක ඉඳලා ගීතයක් ඉල්ලමින් හිටියා. නමුත් ඔහුට හොඳම ගීතයක් දෙන්න ඕන නිසා දිනෙන් දිනම ඒ ඉල්ලීම කල් ගියා.
මේ අතර කාලයේ මගේ උපන් බිම වූ තෙත් කලාපීය ගම් ප්‍රදේශයට මුළු රාත්‍රිය පුරාම මහ වැසි ඇද හැලිලා. මගේ ගම ආසන්න ප්‍රදේශය නාය ගිහින් තිබුණා. මිනිස්සු රාශිකට උන් හිටි තැන් නැති වී ගොස් තිබුණා. රූපවාහිනී පුවත්වල මේ විස්තරය වාර්තා වෙනවා. පිටස්තර පුද්ගලයන් විශාල වශයෙන් මේ ස්ථාන බලන්නත් ඇවිල්ලා හිටියා. ඒ කණ්ඩායම් වෙච්ච විනාසේ ගැන විපරම් කරන එක්තරා සංචාරක කටයුත්තක් විදියටත් මම දැක්කා. විනාශයට බඳුන් වූ දේවල් අතර මේ පිරිස තම තමන්ගේ නැති වෙච්ච දේවල් සොයමින් අස්පස් කරමින් හිටියට ඒ සිත් සම්පූර්ණනේම කඩා වැටිලා තිබුණේ. ඒ අතරම අර මහා අන්ධකාර වැස්ස පායලා වලාකුළු යටින් ඉර පායලත් තිබුණා. කිසි දෙයක් නොවුණ වගේ තමයි ඉර පායලා තිබුණේ. මේක බලන්න ආපු අය තමන්ගේ සංචාරයේ එක් විනෝද අවස්ථාවක් ලෙස සිනාසෙමින් තමයි මේවා නැරඹුවේ.
මට මේ මිනිස් වර්ග දෙකේ සිතුවිලිවල වෙනස හොඳටම දැනුණා. එක් කෙනෙක් දුක් විඳින කොට ඒ දුකම තව කෙනෙක් තමන්ගේ උත්කර්ෂයට ළංකර ගන්නවා.
මේ අතරවාරයේ ලෝකයේ එක්තරා ප්‍රසිද්ධ පුද්ගලයෙකුගේ අසම්මත ප්‍රේමයක් ගැන ආරංචි වෙනවා. එය ලෝකය පුරා පැතිර යන්නේ විදුලියක් වගේ වේගයෙන්. එයින් හානි වෙන්නේ ඔහුගේ කීර්ති නාමයට. ඒ සිද්ධියට සම්බන්ධ කාන්තාව මේ කිසිත් නොදන්නවා වගේ ඒ සිද්ධියට ප්‍රසිද්ධියක් දෙන පැත්තට නිහඬව සිටිමින් සහය පළ කරනවා. ඇයගේ සමාජමය බලවත්කම ඇයව ආරක්ෂා කරනවා. මේ සිද්ධි දෙක මට එකක් විදියට එකතු වෙලා තමයි මේ ගීතය නිර්මාණය වෙන්නේ. මේ ස්වභාවික සංසිද්ධිය ප්‍රේමය විරහව සමඟ සමපාත කරන්න මා උත්සාහ දැරුවා.