රංගනය මගේ වෘත්තිය නෙමෙයි

හදවතේ කතාවේ සුදු නෝනා ත්‍රිෂාලා නතාෂි
ඔක්තෝබර් 29, 2020

නර්තන කලාවෙන් සිය ගමන්මඟ හෙළිපෙහෙළි කරගත් ඇය අද රංගන ශිල්පිනියක් බවට පත්ව ඇත. එමෙන්ම වෙළෙඳ දැන්වීම්, ගීත රූපරචනා පසුබිම් රංගනය වැනි නිර්මාණ රැසකටම ඇය දායක වී ඇත්තේ වයස අවුරුදු දහයේ සිටයි. මේ දිනවල ස්වර්ණවාහිනී සේවයෙන් විකාශනය වන හදවතේ කතාව බෙහෙවින් ජනපි‍්‍රය වී ඇත. එහි එන ශාක්‍යා හෙවත් සුදුනෝනාගේ චරිතය නිරූපණය, කරනු ලබන ඇය ත්‍රිෂාලා නතාෂි නම් වේ.

 ත්‍රිෂාලා ඉන්නේ කොහෙද?

මුල් කාලයේ නම් හිටියේ නුවර, දැන් පදිංචි වෙලා ඉන්නේ කඳානේ.

 

 පවුලේ විස්තර?

අම්මයි, තාත්තයි, මමයි, නංගිලා දෙන්නයි. තාත්තා රට රැකියාවක් කරනවා. ලොකු නංගි ලබන අවුරුද්දේ උසස් පෙළ, පොඩිනංගි තවම 8 වසරෙ.

 

 ඔබ පාසල් ගියේ?

සෙවන්ත් ඩේ ඇඩ්වෙන්ටිස්ට් උසස් විදුහලට

 

 කලාවට එන්නේ උසස් පෙළින් පස්සේද?

නැහැ. මං අවුරුදු දහයේ වගේ කාලේ ඉඳලම වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටියා. ඉගෙන ගන්න ගමන් වයස අවුරුදු 14 වගේ ඉඳලා මුද්‍රිකා නර්තන කාණ්ඩායමේ නර්තනය හැදෑරුවා. මොකද මම පාසලේදී විෂයක් ලෙස නර්තනයත් හැදෑරුවා. මේ අතරතුර තමා දෙවැනි ඉනිම නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ නිරුක්ෂාන් ඒකනායක අයියා හරහා.

 

 මොකක්ද ඒකේ ඔබට ලැබුණු චරිතය?

දෙවැනි ඉනිමේ පාසල් ශිෂ්‍යාවකගේ චරිතයක් මධුකා කියලා ඒක නපුරු චරිතයක්. එයින් තමයි මාව ගොඩක්දෙනෙක් දැන හඳුනාගන්නේ.

 

ඊටපස්සේ ඔබ?

දෙවැනි ඉනිම මධුකාගෙන් පස්සේ රුමේෂ් ටොලම් අයියාගේ සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයේ නන්දා කුමරියගේ චරිතය රඟපෑවා. ඒක මට වෙනස්ම අත්දැකීමක් වුණා. ඊටත් පස්සේ තමයි ශි‍්‍රයන්ත ප්‍රසාද් රත්නායක අයියා මට හදවතේ කතාවේ ‘‘ශාක්‍යා’’ චරිතය කරන්න එන්න කියලා ආරාධනා කළේ.

 

 මේ දවස්වල කොහොමද ශක්‍යාට ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ගොඩක් හොඳයි ලැබෙන ප්‍රතිචාර නම්. ශාක්‍යා හෙවත් සුදුනෝනා කියන්නේ හැමෝටම උදව් කරන අහිංසක පාසල් ශිෂ්‍යාවකගේ චරිතයක්.

 

 ඔබේ මාමාත් කලාවට සම්බන්ධයි නේද?

සම්බන්ධයි. ඔහු නමින් උදිත අබේරත්න. මට ලැබෙන ඕනෑම කලා කටයුත්තකදී මුලින්ම මාමට ඒ ගැන කියලා ඒකේ පිටපත එහෙම පෙන්නලා පස්සේ, එයා ලබාදෙන උපදෙස් හා මඟපෙන්වීම අනුව තමයි මම ඒ වැඩකටයුතුවලට සම්බන්ධ වෙන්නේ.

 

 නර්තන හා රංගන කලාව ඔබේ වෘත්තියද?

නැහැ. මම දැනට පෙර පාසල් පාඨමාලාවක් හදාරනවා. එය මගේ අනාගත වෘත්තිය බවට පත්වේවී. මම නර්තන ශිල්පිනියක් ලෙස රටවල් තුනකට මුද්‍රිකා නර්තන කණ්ඩායමත් සමඟ ගිහින් හොඳ අත්දැකීමක් ලබා ගත්තා. ඒක මට ගොඩක් ප්‍රයෝජනවත් ජීවිතයට අමතක වෙන්නේ නෑ. ස්තූතිවන්ත වෙනවා මුද්‍රිකා නර්තන කණ්ඩායමට.

 

 මේ දවස්වල කලා කටයුතු මොනවාද?

මේ නාට්‍යයේ වැඩ කරන අතරතුර මට වැඩ කිහිපයකටම කතා කළා. ඒත් මං ඒවාට එකඟ වුණේ නෑ. පූර්ණකාලීනව හදවතේ කතාව ටෙලිනාට්‍යයේ වැඩකටයුතුවලින් කැපවෙන්න ඕන නිසා.

 

 දැන් නම් කසාද බඳීන්නත් හොඳ වයස නේද?

දැන්ම කසාද බඳීන්නෙ නැහැ. ඒකට තව කල් තියෙනවා. තාම අවුරුදු විසිඑකයිනේ.

 

 කලාවේ මෙතෙක් ආ ගමනේදී ඔබට මතක් කළයුතු පිරිස් සිටිනවාද?

සාරංග මෙන්ඩිස් අයියා, චාමිකා මෙන්ඩිස් අක්කා, ශි‍්‍රයන්ත ප්‍රසාද් රත්නායක, රුමේෂ් ටොලම්, දෙවැනි ඉනිමට මාව සම්බන්ධ කළ නිරුක්ෂාන් ඒකනායක යන පිරිස වගේම මගේ මාමා උදිත අබේරත්න, අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලුදෙනාටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.