ධවල කියන්නේ සුදු ගොසරෑව කියන්නේ කිලුටු

අජිත් පී. ධර්මසූරිය
ඔක්තෝබර් 29, 2020

මධ්‍යම පළාත් සංස්කෘතික තරගාවලියේ 2019 වසරේ ප්‍රථමස්ථානය දිනූ කෘතිය වූයේ ධවල ගොසරෑවිය යි. ගිරි හිසක් සේ, දිරිය මවත් වූවාය ඇය වැනි මහවැලි සතිය හොඳම නවකතා ලෙස තේරුණු නවකතා මෙන්ම විලංගු වැනි කෘති සහ ළමා කතා රැසක් පාඨක ඔබ‌ට ගෙන ආ අජිත් පී. ධර්මසූරියගේ සිවුවැනි නවකතාව වන එය විශේෂ වන්නේ තිරපිටපතක් ඇසුරින් බිහිවූවක් නිසාය. අපි ඔහුගෙන්ම විමසමු ධවල ගොසරෑවිය පිළිබඳව...

අපි 'ධවල ගොසරෑවිය' නමින්ම පටන්ගමු?

මගේ උපන්ගම මාතලේ. පොඩි කාලේ සෙල්ලම් කරලා නාවර පෙරාගෙන එද්දි අම්මලා කියනවා ගොසරෑව දාගෙන එන්න එපා කියලා. ඒ කියන්නේ කිළුටින් එන්න එපා කියලා. මේ කතාවේ හීන් එකී මාස ගාණක් මහියංගනයේ ඉඳලා හම්බන්තොටට සුද්දප්පු සොයාගෙන කැලේ මැදින් පයින් එන කාන්තාවක්. ධවල කියන්නේ සුදුනේ. ඉතින් ගොසරෑව කියන එකේ ස්ත්‍රීලිංග පදය ගොසරෑවිය කරලා තමයි ඔය නම තිබ්බෙ.

මේ කතාවේ පළාත් අනුව බස්වහර වෙනස් වනවා?

මම මේ පොතට භාෂා තුනක් හරි පරෙස්සමින් භාවිත කළා, බිංතැන්න, වැඩියෙන් දකුණේ භාෂාව සහ අමතරව නුවර භාෂාව. ඒ වගේම පැරැණි කවි සීපද යොදා ගත්තා. පළමු වතාවට නවකතාවකට මම ගේනවා කෝලම් ගීත. ඒ 18 වැනි සියවසේ අගභාගයේ සහ 19 මුල භාගේ භාවිත වූවක්. විඩාබර වූ වෙලාවට විකාර රූපී ලෙස නටලා සින්දු කියලා කරන දෙයක්. ඒක හරියට ඉස්සර කවි පත්තර කියවනවා වගේ සන්නිවේදන ක්‍රමයක්.

තව ඉස්සර තහංචි කවි කියනවා මනාළියගේ පාර්ශ්වයෙන් එයට මනාල පාර්ශ්වයෙන් පිළිතුරු දුන්නොත් විතරයි කඩුල්ල පනින්න දෙන්නේ. ඒ වගේ තිබෙන ගණිත ගැටලුත් යෙදුවා.

කොහොමද මේ දේවල් හැදෑරුවේ?

මගේ සීයා සාහිත්‍යාචාර්ය පැල්පිට ඇල්. ධර්මසූරිය. කවි මීමැස්සා කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන්නෙත් ඔහු. සීයාගේ පැරැණි භාෂාව පිළිබඳ පොත් මම කියෙව්වා. මම ඉගෙන ගන්නේ නුවර ධර්මරාජෙ. ඒ නිසා 'වැව් දසුනේ ලේඛකයන්' අප ඇසුරු කරනවා. හැබැයි මම ඉගෙන ගත්තේ විද්‍යා විෂයයන්.

ඔබ ලේඛනයට පිවිසුණු ආකාරයත් කියමු?

විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරෙදි මගේ තාත්තාගේ කකුල් දෙකම කැඩුණා. අතේ පිච්චියක් නැහැ. මට චිත්‍ර ඇඳීමේ විශේෂ කුසලතා තිබෙනවා. පාසල් කාලේ 'කනගාවා' සම්මානයත් ගත්තා චිත්‍රවලට. ඒ නිසා විජය පුවත්පත් සමාගමට ගිහින් කතා කළාම පී. වික්‍රමනායක සහ දයා රාජපක්ෂ කියන මහත්වරු අනුකම්පාවෙන් කර්තෘතුමාව මුණගස්සනවා. මම චිත්‍ර ගෙනිහින් නොතිබුණ නිසා මොනවා හරි අඳීන්න කියනවා. ඒපාර ඒ කියපු කෙනාව ඇන්දා. ඒ තමයි දෙල්තොට චන්ද්‍රපාල මහත්තයා. ඔහු බොහොම පැහැදිලා පහුවෙනිදා ඉඳන් චිත්‍ර අඳීන්න ගත්තා. බොහෝ චරිත මගේ ජීවිතයට මුණ ගැහෙන්නේ එතැනින්. පස්සේ මගේ කෙටිකතා පුවත්පත්වල පළවෙන්න ගත්තා. ඒ එක්කම තිලකරත්න කියලා අපේ පාසලේම අය්යා කෙනෙක් හිටියා. ඒ මාර්ගයෙන් ලේක්හවුස් එකටත් සම්බන්ධ වෙනවා. කෙටි කලක් රසායන විද්‍යා ගුරුවරයකු විදිහටත් කටයුතු කළා. පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන ව්‍යාප්ති නිලධාරියකු ලෙස තුරු රටා සඟරාව අරඹනවා. ඒ තමයි මගේ ජීවිතේ ලේඛන කලාවේ ආරම්භය.

මහවැලි ව්‍යාපෘතියට තෙල්දෙණිය යට වෙද්දි අපට අපි ජීවත්වුණ පරිසරය සම්පූර්ණයෙන් අහිමි වෙනවා. එයින් මම කවියට හා චිත්‍රයට වැඩිපුර නැඹුරු වෙනවා. ඒ කම්පනයෙන් මම 1993 වසරේ ලියනවා ගිරි හිසක් සේ කියලා නවකතාවක්. එය මහවැලි සතිය තරගාවලියෙන් පළමු ස්ථානය ලබාගන්නවා. ඒ තමයි මගේ කුලුඳුල් පොත. එයට යොවුන් සාහිත්‍ය සම්මානයත් ලැබෙනවා. මගේ මේ සියලු කාරණා සලකලා මහවැලි කේන්ද්‍රයේ මාධ්‍ය කටයුතුවලට සම්බන්ධව රැකියාව ලැබෙනවා. එයින් මට කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනා අතර සැරිසරන්න ලැබෙනවා.

අමාත්‍යාංශයේ විෂයයන් බෙදී යද්දි සුමිත්‍රා රාහුබද්ද මහත්මිය මට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයට කතා කරන්නේ ගිරි හිසක්සේ පොත තේරූ විනිශ්චය මණ්ඩලයෙ ඇය ඉඳලා තිබුණ නිසා. එතැනත් මම සරුබිම පුවත්පත, ගොවියන් වෙනුවෙන් වන ලොතරැයිය මගේ චිත්‍රයකින්ම අරඹනවා. ටික කලකින් සුනිල් සරත් පෙරේරා මහත්මයා මගේ අධ්‍යක්ෂ ලෙස පත්වෙනවා. එය මගේ ගීත රචනාවට මුලක් වනවා.

මම අප්‍රසිද්ධ ලේඛකයකු වුණේ කර්තෘ ප්‍රකාශන මුද්‍රණය කරන්න වුණ නිසා. එයින් බිඳ වැටුණු මනසක් තිබුණත් මම ළමා පොත් 25ක් විතර ලීවා. 1994 ලියූ දිරිය මවක් වූවාය ඇය නවකතාවත් මහවැලි සතිය හොඳම නවකතාව ලෙස ජයගන්නවා. 1998 විලංගු නවකතාව ලීවාට පස්සේ මම නිහඬව කාලයක් ගත කරනවා. පස්සේ මම තිස්ස අබේසේකර මහත්තයාලා ජාතික චිත්‍රපට සංස්ථාවේ පැවැත් වූ පාඨමාලාවට සම්බන්ධ වෙනවා. සුරේෂ් අබේසේකර මට කියනවා තිර රචනයක් කරන්න කියලා.

යම් හේතුවක් මත මගේ රැකියාවට කණකොකා හැඬුවාම මම කපිල කුමාර කාලිංග අය්යාව ගිහින් හමුවෙනවා. ඔහු මගේ සන්නිවේදන දක්ෂතාවන් ගැන කියමින් උනන්දු කරනවා පෞද්ගලික අංශයේ වෙළෙඳ දැන්වීම් ආයතනයක රැකියාවක් වෙනුවෙන්. මුලින්ම කොපිරයිටර් කෙනෙක් හැටියට සම්බන්ධ වෙලා මාස හයක් යද්දි එතැන නිර්මාණ අධ්‍යක්ෂ තනතුරට පත්වෙන්න මට හැකියාව ලැබෙනවා.

ඒ අතර මම සිළුමිණ පත්තරේ දළදා අතිරේකයක් පටන් ගන්නවා තිලරත්න කුරුවිටබණ්ඩාර කර්තෘතුමා සමඟ. ඊට පස්සේ මම තිර රචනා කීපයක් ලියන්නත් පටන්ගත්තා. ශ්‍රී වික්‍රම නමින් ඉදිරියේදි තිරගත වීමට නියමිත චිත්‍රපටයේ තිරරචනය ලීවේත් මම.

ධවල ගොසරෑවියට වස්තුබීජය සැපයුණේ?

චතුර (ජයතිලක) අය්යා තමයි මට මුලින්ම ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොත දෙන්නේ ටෙලි නාට්‍යයක් ලියන්න පුළුවන් කියලා. හැබැයි මෙලෝ රහක් නැහැ. ඒත් කියවද්දි එක තැනක මගේ හිත නතර වෙනවා. උස තැනක නැඟලා හේලිගේ වල්ගා තරුව බැලුවා කියලා. ධවල ගොසරෑවිය කෘතියේ ආරම්භය තමයි එය. ඒ ඔස්සේ මම කරුණු සොයද්දි හමුවනවා සපුගොඩ නිලමේ කියලා චරිතයක්. ඒ පරපුර ශාපයක් නිසා විනාශ වෙලා ගියා කියලයි කියන්නේ. ඒ නිවෙස මට සොයාගන්නත් බැරිවෙනවා අවාසනාවකට. ඒත් මම ඒ ඔස්සේ පරිකල්පනය කළ කතාව තමයි 'ගිරි' කියන තිර රචනය බවට පත්වන්නෙ. ඔය අතර මම ශ්‍රියන්ත මෙන්ඩිස් රංගන ශිල්පියා සමඟ බොහෝම සමීපව සම්බන්ධ වෙනවා. ඒත් එය ටෙලි නාට්‍යයක් බවට පත් කිරීමට වැය වන පිරිවැය ඉතා වැඩි නිසාත් නාළිකාවලින් ලැබෙන මුදල අඩු නිසාත් එය නතර වුණා. සුනිල් රත්නායක මහත්මයා සමඟත් මේ තිරරචනය ගැන කතා වෙනවා. එතැන සිටි ශාන් දිසානායක කියන අපූරු මහත්මයා මට කියනවා මෙය හරි ලස්සනයි නවකතාවක් කරන්න කියලා. ඈත්වෙලා හිටිය ක්ෂේත්‍රයට යළි එක්වන්නේ එයින්. පස්සෙ මම මධ්‍යම පළාත් සංස්කෘතික තරගාවලියටත් පොත ඉදිරිපත් කළාම 2019 වසරේ ප්‍රථමස්ථානයත් හිමිවෙනවා. ඒ නිසා මට සියලු දෙනාම කීවා මෙය මුද්‍රණයෙන් පළ කරන්න කියලා. සරසවි ප්‍රකාශකයන් එයට උරදෙනවා. කොරෝනා නිසා පමා වුණත් පොත උත්සවයකින් තොරව ජනගත කරනවා. පාසල් පුස්තකාල පොතක් ලෙසත් පූර්ණ අනුමැතිය ලැබෙනවා. මට හිතෙනවා දැන් මොනවා හරි කළා නේද කියලා. මගේ සිහිනය සැබෑ වෙමින් ලබන වසරේ මෙය ටෙලි නාට්‍යයක් බවට පත්වන්නටත් නියමිතයි.

තිර රචනයක් නවකතාවක් බවට පත් කරද්දි කොහොමද?

ගිරි තිරපිටපත ඒ4 පිටු 1986ක්. එය ධවල ගොසරෑවිය බවට පිටු 251ට අඩු කරද්දි එය 'හොම්බෙන් ගිය' අභියෝගයක් වුණා. මම හරියට පොත් කියවපු කෙනෙක්. ඩීමන් ආනන්දගේ පොත් අපට කියවීමේ ඇබ්බැහිය ඇති කළා. ඒත් දැන් දෙකයිපනහේ පොත් ලියන අයගේ කෘති නම් මම කියවන්නේ නැහැ. මගේ පොතේ සිංහල නිවැරැදියි කියලා මම වගකීමෙන් කියනවා. මම චිත්‍රශිල්පියෙක් නිසා මම කියවන දේ වගේම මම ලියන කියන දේවලටත් රූපක ඉබේම ඇතුළත් වෙනවා. රූපවාහිනිය ඇවිත් අපේ ඔළු මොට්ට කළාට, කියවීමෙන් ඈත් කළාට මම විශ්වාස කරනවා චිත්‍රය අපේ පොත්වලින් මැව්වොත් එය කියවන්න පාඨකයන් කැමැති වෙනවා. මට ගුරුකුල නැති නිසාත් බටහිර පොත්වල ඒ ගතිය මම බොහෝ සෙයින් දුටු නිසාත් තමයි පොත පස්හය වතාවක් සංස්කරණය කරමින් මේ ආකාරයට ඉදිරිපත් කළේ. මේ පොත බොහෝ දෙනා වැලඳගත්තා. මෙය මගේ ජීවිතේ වෙනස් කරයි කියලත් හිතනවා.

මේ පොත ඉංග්‍රීසි බසටත් පරිවර්තනය වෙමින් තිබෙන්නේ. එය කරන්නේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන්වල පදිංචි කෙනෙක්. එය ඊබුක් එකක් ලෙසත් පළවෙයි.

ඔබේ අනෙක් කටයුතු?

2010 මගේ වක්‍ර කෙටි චිත්‍රපටයට මධ්‍යම පළාත් තරගයේ සම්මාන දහයෙන් අටක්ම ලැබුණා. එහි කිසිම ප්‍රකට නළු නිළියන් යොදාගත්තේ නැහැ. නවකයන් යොදාගෙන කළේ.

මාතා කියලා අලුත් කෙටි චිත්‍රපටයක් මේ වසරේ කළා. ඒ අතර මම වාර්තා වැඩසටහනුත් කරනවා.

2017-18 සමස්තලංකා හොඳම කෙටිකතාව වූ නික්මයාම ඇතුළු කතා 8ක එකතුවක් ලබන වසරේ එළි දක්වනවා. 2020 ප්‍රථමස්ථානය දිනූ විප්‍රවාස පොතත් ඉදිරියේදී පාඨකයන්ට කියවන්න පුළුවන්. තවත් පොතක් ලියනවා අකාල වර්ෂා කියලා. ඒකත් අමුතු වැඩක් වෙයි කියලා හිතෙනවා. මම ඉතිහාසයට හරි ආසයි. මම විමලධර්මසූරිය රජුගෙන් පැවතෙන නිසාත් අපේ අම්මලා කපුවත්ත වළව්වේ නිසාත් වෙන්න ඇති ඒ. එනිසාම ලක්හඬ සමඟ ඉතිහාස කතාවක් රැගත් ගුවන්විදුලි නාට්‍යයකුත් පටන්ගන්නවා. හැබැයි මම වැඩියෙන් කැමැති චිත්‍රයට.