මහවැලිය පිරිමියෙක් වගේ කළු ගඟ ගැහැනියක් වගේ

කළු ගඟ දිගේ යන ජැක්සන් ඇන්තනි
ඔක්තෝබර් 29, 2020

 

මහවැලි කැලණි වළවේ කළු යන ගංගා
සමනොළ කන්ද මුදුනේ සිට පැන නැංගා
වතගොත ඒවායේ ජැක්සන් නොම සංගා
සරසවියට කියන තාලය මේ අංගා...

 

ඉතින් ජැක්සන් අය්යේ, (ප්‍රවීණ අධ්‍යක්ෂ, ලේඛක, රංගධර ජැක්සන් ඇන්තනි මහත්මාට ක්ෂේත්‍රයේ අප සෙනෙහසින් අමතන්නේ එසේය) මහවැලියට පස්සේ කළුගං කොමළියත් සොයාගෙන ඔබම ගියා?

මෙහෙමනේ අරුණි... මම මේකට නම තිබ්බෙත් ජැක්සන් ඇන්තනීගේ ගංගාවතරණ සම්ප්‍රදාය කියලනේ... එහෙම යොදන්න හේතුව ගඟ දිගේ වැඩසටහන ඔස්සේ මහවැලිය දිගේ යමින් එවැනි සම්ප්‍රදායක් ඇති කළේ මම නිසා. ගඟක් දිගේ උල්පතේ සිට මෝය දක්වා ඇවිද යනවා කියන සංචාරක ක්‍රමය ලෝකයේ අප දැක තිබෙනවා. 1980 ගණන්වල සරසවි සිසුවකු ලෙස නයිල් ගඟ දිගේ ඇවිද යන සංචාරකයකුගේ රූප දැකලායි මට ඒ අදහස පහළ වුණේ. සංචාරක වැඩසටහන් කියලා කොටසක් ලෝකෙ තිබුණට ලංකාවට ඒවා බහුලව බලපෑම් කළේ නැහැ. ඒවා අඩු තක්සේරුවෙන් සැලකුවේ. එක එක දිනට එක එක තැන්වල යන වැඩසටහන් තමයි අප කරමින් හිටියේ. ඒත් තේමාවක් අනුව, මාලා නාටකයක් පරිදි දීර්ඝ කොටස්වලින් යුතු සංචාරක වැඩසටහනක් ලෙස ලංකාවේ තැනුණු පළමු වැන්න මම 2005කළ ගඟ දිගේ වැඩසටහන. ගඟකට ජීවිතයක් තිබෙනවා. ගඟට කේන්දරයක් තිබෙනවා. උපදින තැන, ළමාවිය වැඩිවිය, වෘද්ධවිය සහිත සජීවී කතන්දරයක්, ගමනක් තිබෙනවා, භූගෝලීය, සංස්කෘතික, ජනශ්‍රැතික වශයෙන්. ඉතින් විශාල සොයාගැනීමක් කර ඒ තොරතුරු පොදිබැඳගෙන මෝයේ සිට උල්පතට ගියොත් මහා දැනුම් සම්භාරයක් සහ විනෝදයක් ප්‍රේක්ෂකයන්ට ලබාදෙන්න පුළුවන් බව මම එයින් හෙළිදරවු කළා. ඉන්පස්සේ මම බලාගෙන හිටියා ප්‍රවණතාවක් හැදෙයි කියලා. ගඟක් දිගේ පමණක් නොවේ තවත් යන්න පාරවල් තිබෙන බව පෙන්වන්න තමයි ලෙසතෝ වැනි දුරු රටක දුර්ලභ තොරතුරු රැගත් 'සලං හන්තේ', 'වංසකතා පාර දිගේ නරඹමු ශ්‍රී ලංකා' කියලා තම්බපන්නියෙන් පටන් ගන්න ඉතිහාස පාඩමකුත් සමඟ 2010 වසරේ 'මහා සංචාරය' වගේම රෝම පුරාණය, පාද යාත්‍රා වැනි තේමා යටතේ පවා වැඩසටහන් කළේ. එතැන් සිට 2020 දක්වාම ඊළඟ පරපුරේ තරුණයකු හෝ තරුණියක ලොකු මහන්සියක්, කැපවීමක්, පර්යේෂණයක් සහිත මේ කාර්යයට අතගසයි කියා හිතුවත් කිසිවකු ඉදිරිපත් වුණේ නැහැ. අපේ රටේ සාමාන්‍යයෙන් පහසු දේ, වැරැදි දේ කොපි කළාට මේ අමාරු දේට අත තිබ්බේ නෑ. මම අර කියූ සෑම වැඩසටහනකදීම ඒ තැන්වල මම කලින් සංචාරය කරලා සහභාගී නිරීක්ෂණයෙන් සහ පුස්තකාලගතව පොතපතින් ලබන තොරතුරුවලින් පෝෂණය කරලා විශේෂඥයන්ගේ දැනුම එයට එකතු කරගෙන මහා සන්නද්ධ වීමකින් පසුවයි බොහෝ විනෝදාත්මක භූමිකාවක් නිරූපණය කරමින් රූපගත කිරීම් අරඹන්නේ. මොකද තරු ගුණය තිබෙන ජනප්‍රිය ශිල්පියකු වුණත් මම මහා වෙහෙසක් කැමැත්තෙන්ම, සතුටින් විඳීන කෙනෙක්. වෙහෙස සහ විඩාව කියන වචන දෙකෙන් විඩාව හරි අලසයි කොළඹ ගිහින් රස්තියාදුවෙලා ගෙදර එනවා වගේ ප්‍රතික්ෂේප කරන දෙයක්. හැබැයි කුඹුරක් කොටලා ලබන වෙහෙස හරිම තෘප්තිමත්. ව්‍යායාමිකයි. ඒ ප්‍රියතාව තමයි වැඩසටහනක් ලස්සන කරන්නේ. ඉතින් අපට විශාල ගංගා පද්ධතියක් තිබුණත් සිවුමහ ගංගා- මහවැලි, කැලණි, වළවේ, කළු තමයි අපි ප්‍රධාන කොට සලකන්නේ. මගේ එදා ඉඳන්ම ආසාවක් තිබුණා මේ ගංගා දිගේ ගමන් කරන්න. ගඟ දිගෙන් පස්සේ කවුරුත් ඒ ව්‍යායාමයට නොගිය නිසා, ඉතින් මටම හිතුණා මමම මේ වැඩේට අත තියන්න ඕනෙ කියලා.

කළු ගඟේ කේන්දරය ඔබ කියවා ගත්තේ කොහොමද?

අපේ ජීවිතේ ළමා විය තරුණ විය කියා ඉරි ගසා වෙන් කරන්න බෑ වගේම ගංගාවකත් ගංමෝය, තොටුපොළ, උල්පතය කීවාට සමස්තයමයි එකට පෙනී සිටින්නේ අපේ මතක ගැබතුළ. ගඟත් තනි නෑ. අතුගංගා, දියසීරා, මොහොර බෑවුම්, දියඇලි ආදි විවිධ දේ එකතු වන නිසා අපේ ජීවිතයට වගේම පරම්පරාවක් වපසරියක් තිබෙනවා. ගඟත් ජීවිතය වගේ සංසාරිකයි, උපදිනවා ගලනවා මෝයෙන් මියැදුණාට අයෙත් වාෂ්පවලින් වලාකුළුවලට එකතුවෙලා වර්ෂාවෙන් ආයෙත් භූමිය තෙත්ව උල්පත් තනාගෙන ආයෙත් ගලනවා. ගඟටත් දිගක් පළලක් උසක් තිබෙනවා. මම හිතන්නේ ගඟේ කේන්දරය තමයි සිතියම. ජ්‍යෝතිෂය ඇත්ත වෙන්න පුළුවන් වුණත් ඒ ශාස්ත්‍රඥයා ඇත්තද අපි දන්නේ නෑ වගේ, ප්‍රමිතියක් නෑ වගේ, ගංගාවේ කේන්දරයත් ඕනෙ කෙනෙකුට ඕනෙ විදිහකට කියන්න පුළුවන්. ඒත් අපට සීල් ගහලා දෙන උප්පැන්න සහතිකේ වගේ ප්‍රමිතිගත ලේඛන ගංගාවටත් තිබෙනවා. මහවැලි ගඟට ලියූ කේන්දරයක් තමයි මහවැලි කැලණි වළවේ කළු යන ගංගා වගේ කවි. මහගම සේකරයන් ලියූ සිරිපද ලස සමනොළ සිරසේ වගේ ගීත, ඒත් සේකර භූගෝල විද්‍යාඥයෙක් නෙවෙයි. ඔහු එය ගන්නේ සුන්දර ජනශ්‍රැතියෙන්. ඒත් මිනින්දෝරු දෙපාර්තමේන්තුව, භූවිද්‍යාඥයන්, සිතියම් ආදී ප්‍රමිතිය අප සොයද්දි මට මහවැලි කේන්ද්‍රයේ පර්යේෂණ අංශයේ ලේඛන ආදියත් ලැබුණා. අරීය ජලවහන පද්ධතියක් අපට තිබෙන නිසා අපේ ගංගාවක දිගට වඩා උස තමයි මූලය සෙවීමට වැදගත් වන්නේ. දෙස් විදෙස් ඒ මහා දැනුම් සම්භාරය අනුවයි මම කීවේ මහවැලිය පටන්ගන්නේ සිරිපාදයෙන් නොවේ හෝර්ටන් තැන්නෙන් කියලා. ඒ වගේම කළු ගඟටත් තිබෙනවා ප්‍රවාද දෙකක්. සිතියම අරන් බැලුවොත් කළුතොට ගංමෝයේ සිට ඕපනායක, හුණුගල ඇලලේපොළ කියන ඉසව්වටම ගිහින් වේකඳුරකින් අරඹන වේගඟේ අතුගංගාවේ මුලින් තමයි කළු ගඟ පටන් ගන්නේ, ඒ දිග තමයි වැඩිම කියලා පේනවා. හැබැයි අපි කේන්දරය ප්‍රමිතිගතව බලන විදිහ කතා වුණානේ... වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික සිතියම් සංග්‍රහයේ දෙවැනි සංස්කරණයේ පළමුවැනි වෙළුමේ ශ්‍රී ලංකාවේ සියලුම ගංගාවල ප්‍රමිතිගත උස, දිග, පළල දක්වා තිබෙනවානේ. ඒ අනුව, උසින් වැඩිම හා පසුව පළලින් වැඩිම වන ගඟ ආරම්භ වන්නේ සිරිපාදේ හැරමිටි පානට පහළින් තිබෙන උල්පතින් බව සොයාගෙන තිබෙනවා. ඒ අනුව කළු ගඟ ආරම්භ වන්නේ පලාබද්දලට, පවනැල්ලට ඉහළින් සිරිපා කන්දේ බඳේ මැද හරියෙන් පැන නඟින උල්පතකින්. ඒ උල්පත දකින්න තමයි ඔය මම දැන් ඇවිදගෙන යන්නේ.

රසිකයන් සමාජ මාධ්‍යවලින් උල්පත ඉක්මනින් සොයාගන්න කියා බල කරනවා නේද?

තර්කයකුත් ගේන නිසා වේ ගඟින්ද හැරමිටිපානෙන්ද පටන්ගන්නේ කියලා මම තවටිකක් විස්තර කරන්නද? කළු ගඟේ මූලික දියතු සියල්ලම එකතු වන්නේ සිරිපාදෙන් පටන් ගන්නා කළු ගඟට. අනෙක් ගඟ වේගඟ නමින්මයි හඳුන්වන්නේ. ඕපනායකින් පටන්ගන්න වේ ගඟට ගංතොටවල් ළඟ ඉන්න කිසිකෙනෙක් කළු ගඟ කියන්නේ නැහැ. වේගඟ රත්නපුරේදී කළු ගඟට වැටෙන තැන වුණත් කළු ගඟ විශාලයි, වේගඟ කුඩයි. ඒතරම් පළලක් කළු ගඟට ලැබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 6000ක් පමණ උසින් ආරම්භවන දිය කඳුරට ගල්පොත්තා ඔය, තිබ්බටු ඔය, ඉඳුරු ගඟ, බලවනාව ඔය, මස්කෙළිය ඔය, රත්ගඟ, බඹර බොටුව ගඟ, දෙනවක් ගඟ වගේ ගංගා පන්තියක් මහා වැසි වනාන්තර කඳුකරයක් හරහා එකතුවන නිසා. ඔබ කීවා වගේ මම දැක්කා මුහුණු පොතේ එක පෝස්ටුවක් කොරෝනා හැදිලා අපි මැරෙන්න කලින් ජැක්සන් ඇන්තනි කළු ගඟේ උල්පත සොයාගත්තොත් හොඳයි කියලා. ඒ උනන්දුවට මම කැමැතියි. ඉතින් කළු ගඟ දිගේ වැඩසටහන පටන්ගෙන එකොළොස් වැනි කොටසෙදි විතර තමයි මට ඒ උල්පත මුණගැහෙන්නේ. මට ඒ කොටසින්ම වැඩසටහන පටන්ගන්න තිබුණා ආයුබෝවන් කියලා. ඒත් ගඟක් කියන්නේ ජීවිතයක්. දරුවා උපදින තැනින් නෙවෙයි ජීවිතය පටන්ගන්නේ. අපේ උප්පැන්නෙට අත්ත මුත්තගෙ විස්තර අහන්නේ ඇයි? ඒ ජාන පරම්පරාව සොයාගන්න. ඒ වගේ ගඟේ උපතට හේතු වුණ මහා භක්ති ප්‍රභවයක් තිබෙනනවා. ලංකාවේ සියලු ගංගාවල කේන්ද්‍රය සිරිපාදෙ. ඇයි එහෙම වන්නේ. සිරිපාදය යනු කුමක්ද? මම යන්නේ ගඟ දිගේ. එයට අයිති භූගෝලීය මෙන්ම ජනශ්‍රැතික පෝෂක ප්‍රදේශයක් තිබෙනවා. ඒ සියල්ල මට වැදගත්. උඩමළුවට වසින වැසි බින්දුව වැදගත්. ශ්‍රී පාදයට ඇඩම්ස් පීක් කියන්නේ ඇයි. අපේ කළු සුද්දන් අදටත් සිතියම්වල ඉංග්‍රීසියෙන් ලියන්නේ ඇඩම්ස් පීක් කියලා. ආදම්ගේ මුදුනයි, ගෞතම බුදුහිමියන්ගේ මුදුනයි මහා වෙනස්කම් දෙකක්. එය අප විසඳගන්න ඕනෙ. ආරම්භයේ සිට සිරිපා කරුණා කළ කිසිදු වන්දනාකරුවෙක් ආදම්ව හෝ ශිවනඩි පාදම් කියලා වඳීන්නේ නැහැ. හැබැයි, එළියේ ඉන්න පර්යේෂකයන් තමයි මේවා හුවාදක්වන්නේ. උල්පත හමුවුණාට පස්සේ මම යනවා ළිහිණි හෙලේ අම්බලමට. එදා රාත්‍රියේ මහා හීතලේ ගිනිගොඩකුත් ගහගෙන කලින් තොරතුරුත් එක්ක ශ්‍රීපාදය ඉංග්‍රීසියෙන් ඇඩම්ස් පීක් වුණේ ඇයි කියලා මම අපූරුවට පැහැදිලි කරනවා. දරුවාගේ ජාන පරම්පරාව කියනවා වගේ තමයි මම හැටන් පාරෙන් සිරිපා කරුණා කරලා පලාබද්දල පාරෙන් බහින ගමන් උල්පත දකින්නේ. ගඟක් වනාහී ජීවිතයක් කියන විශ්වාසය මත තමයි මම ඒ කාලයත් වෙහෙසත් ගන්නේ. ඉතින් අපේ වර්තමාන පරම්පරාවලට ඉවසීම ටිකක් අඩුයි. වැඩිහිටියෙක් විදිහට මම ඒ තරුණයන්ට ඉවසීමෙන් ඉන්න කියා කමෙන්ටුවකුත් දැම්මා.

කළුගං උල්පතෙන් පස්සේ?

ඊට පස්සේ මම යන්නේ කළු ගඟ දිගේ. එතැනදි මම රිංගනවා කටුකිතුල හරියෙන් කැලෑවට. සමහර අප්‍රසිද්ධ දියඇලි දහඅටක විතර විශාල පන්තියක් එක්ක මට මොහොර බෑවුම් තොගයක් හමුවෙනවා. අතිශයින්ම බියකරුයි. පාර අයිනේ තිබෙන්නේ දෙකතුනක් විතරයි. මහ ගිරි ශිඛර මැදින් කූඩලු ගහනයෙන් බැට කමින් මහා සර්ප විමානයේ ගලින් ගලට පනිමින් ඒවා දකින්න කවුරුත් ඇවිදින්නේ නැහැ. පවණැල්ල ගමේ අයගේ හවුහරණින් තමයි පුළුවන් විදිහට ආරක්ෂාව යොදාගෙන මම යන්නේ. මහරූස්ස කැලේ ඔය කියුව අතු ගංගා සියල්ල දිගේ මම යනවා. ඒ සියලු අතුගංගාවල මහා ජලස්කන්ධය පුනීලෙකින් වගේ එකතු කරගෙන එකපාරට බේසමක් වගේ රත්නපුර සානුවට වැටෙන නිසා තමයි කළුගඟේ ගංවතුරට යටවෙන එක වළක්වගන්න බැරුව යන්නේ. ඉතින් වේ ගඟ දිගින් වැඩි වුණත්, පළලින්, පෝෂක ප්‍රදේශයෙන්, ජලධාරිතාවෙන් වැඩිම දියත්ත පිහිටන්නේ සිරිපා පාරෙන් නිසා තමයි විධිමත් ප්‍රමිතිගත අධ්‍යාපනයෙන් යුතු අය පිළිගන්නේ මෙය පටන්ගන්නේ හැරමිටිපානෙන් බව. නිරන්තරයෙන් මම විෂයය සොයා යන්නේ අපේ දැනුමේ තරම සහ විෂයේ පුළුල්බව දන්න නිසා. පොතක් දෙකක් කියවූ පමණින් විකල්ප මත ඉදිරිපත් කර ප්‍රතිරූපයකට පහර දීමෙන් ඇතිවන චණ්ඩිකම කෙසේ වෙතත් එයින් ඇතිවන සාකච්ඡාවට මම කැමතියි. මේ දිනවල මම පර්යේෂණයේ යෙදිලා ඉන්නේ වේගඟ සහ දෙනවක් ගඟ ගැන තමයි. ළඟදීම රත්නපුර පැල්මඩුල්ල කේන්ද්‍රකොටගෙන ඕපනායක, හුණුගල, බඹරගල වගේම පැල්මඬුල්ල පැත්තට ගමන් කරද්දි මහපාර දිගටම පේන කිලෝමීටර පහක් පමණ වන රූස්ස කිරිබත්ගල කන්ද තරණයට සහ එයින් පැන නඟින දියඇලි බලන්න යනවා, ඊළඟ ෂෙඩ්‍යූල් එකේ.

දැනට කොපමණ කොටස් ගණනක් සඳහා රූපගත කිරීම් කර තිබෙනවාද?

එපිසෝඩ් 25ට විතර. එයින් කොටස් 15ක් පමණ සංස්කරණය කර තිබෙනවා. මගේ දෙවැනි ෂෙඩ්‍යුල් එකේ රත්ගඟ බඹර බොටුව ගඟ සහ දියඇලි දහඅට සහිත කලාපය ස්වර්ණවාහිනියට බාර දුන් පසුව ඊළඟ කොටස් සඳහා පිටත් වෙනවා. කළු ගඟ දිගේ අවුරුදු දෙකක් වුණත් යන්න පුළුවන් වුණාට අපි සමස්ත කොටස් ගණන 75ට පමණ සීමා කරන්නයි සැලසුම් කළේ.

මෙතෙක් ගිය මඟේ රසවත් සිදුවීම් මතක් කළොත්?

පුදුම හිතෙන දේවල් තිබෙනවා. රත්ගඟ ඉවුරෙන් මහා කැලේ කඳු පන්තියක් නැඟගෙන පුංචි කූනිස්සන් වෙසෙන කූනිස්සන් ඇල්ල පාමුල තිබෙන 'රූපලෙන්' කියලා ගමේ අය හඳුන්වන ලෙන, මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර, ඇමෙරිකාවේ ඇරිසෝනාවේ ගිය වෙලාවේ වගේම බලංගොඩ වවුල්පනේත් දැකලා තිබෙන සියලු දෙස් විදේස් හිරිලඹ, හිරිටැඹ ගුහාවලට නොදෙවෙනියි. මහ පොළොවේ කුහරයට පුංචි කුස්තූරයකින් රිංගා ගිය විට ඝන අන්දකාරයේ විශාල වවුල් ගහනය මැදින් දකින්න ලැබෙන ශතවර්ෂාධික කාලයක් පුරා නිර්මාණය වුණු ගුහාවලට රිංගුවාම තිබෙන ලස්සන කියන්න බැහැ. රත්ගම ප්‍රදේශය පහුකරගෙන දෙහෙන කන්දට සපුගස් කන්ද තේ වත්තෙන් නැංගුවොත් කවුරුහරි ඇස්දෙක බැඳලා, අපි කියයි අඹේවෙල, පට්ටිපොළ කියලා. ඒ තරම් ශීතදේශගුණයක්. පාඬි ඔය වගේම පොතේ සඳහන් නැතත් සන්නාසියෙක් වැටුණු නිසා සන්නාසි ඇල්ල කියා හඳුන්වන ඇල්ල වැනි ගමේ අය පමණක් දන්න නම් නැති දියඇලි, මම නම් දාන අවස්ථා, දිය කඳුරු, දිය බුබුලු, උල්පත්, ගල් වන, ගමේ අය බිලිගත් ගණන කියන පයලිස්සා වැටුණොත් අරුණි... කෑලි වත් හොයාගන්න බැරි බියකරු ගැඹුරු වක්කලං මේ කොටස් 25දි දකින්න පුළුවන්.

අපි තනිකර කන්නේ කැලෙන් කොලෙන් හමුවන ගඩා ගෙඩි, අලවර්ග එක්ක විශාල ආහාර තොගයක්. මට ගිලීමලේදි සංග්‍රහයක් ලැබුණා ව්‍යංජන 32ක කෑම වේලක්. එය පිරිනැමූ රුවන් පෙරේරා කියන නළුවා මම හොයාගත්තේ ඒ ගමෙන් 2002 වගේ කාලේ. ඔහු එහි තේමාව හැටියට කීවේ කිසිම කඩයකින් කිසිම දෙයක් මිලදී නොගෙන හැදුව ආහාර කියලයි. හාල් වර්ග හතරකින් පමණ බත් තිබුණා. මස්මාළු සහිතව වටේ පිටෙන් සොයාගත් ඒවා. පුස්ඇට, තිත්ත ඇට ව්‍යංජනය, නෙළුදළු, බරකොකු, අලවර්ග ඊට ඇතුළත් වුණා. මම රස මසවුලට බොහොම ප්‍රිය කෙනෙක් වුණත් සිරිපාදේ ගිය දවස් 15ම උම්බලකඩයක්වත් නැතුව සිටියා. පේවෙලා, භක්තිය ශ්‍රද්ධාව විශ්වාසය තියාගෙන අපි ගියේ. හඳපාන්ගොඩ සේදරමන්, මගේ නැටුම් ගුරුන්නාන්සේ, අපට මහසෝනාගේ විත්තිය, කාලිගේ විත්තිය වගේ කයිකතන්දර කියා දෙද්දි අපි ඒ දිහා විද්‍යා ඇසින් බලාගෙන ඉන්නවානේ... එතරම් පිළිනොගෙන. ගුරුතුමා මගේ ඇස්දෙක දිහා බලලා කීවා 'පුතා උඹමේක විශ්වාස කරනකල් උඹට මේක පිහිටන්නේ නැහැ' කියලා. එය බොහොම දාර්ශනික විදිහට මම ගත්තේ. විශ්වාසය හරි ප්‍රියයි. හුස්ම ගන්නවා. මානවීයයි. සස ජාතකය කියවද්දි නීල් ආම්ස්ට්‍රෝංගෙන් සාක්ෂි විමසන්න හොඳ නැහැ. සිග්මන් ෆ්‍රොයිඩ් ජනශ්‍රැති විද්‍යාව ගැන කීවේ, ඕනෑම ජනශ්‍රැතියක සත්‍ය මූලයක් තිබෙනවා කියලයි. ඒ තමයි ජනයාගේ සිත. එය විශ්වාස කළ යුතුයි. ඒ විශ්වාසය දරනවා මිස මම නළුවකු වුණා කියලා එය රඟපාන්න බෑ.

මහවැලි, කළු ගංගාවලින් දැන් ඔබ වඩාත් ආදරය කරන්නේ?

මහවැලි ගඟ කළු ගඟට වඩා දිගයි. හැබැයි ජන ශූන්‍ය කලාප හරහා ගලනවා. කළුගඟේ එවැනි තැන් නැති තරම්. ගංදෑලේ මොනතරම් දුෂ්කර පළාත් කීවත් සරල ජීවිත සතුටෙන් ගෙවන අය ඉන්නවා. සමහර වැඩිහිටියන් කොළඹ දැකලා නැහැ. දළදා මාළිගාව‌ට ගිහින් නැහැ. මාර්ග, විදුලි පහසුකම් නැතත් ඡන්ද දායකයන් ලෙස අරගල නොකර ලද දෙයින් සතුටු වෙලා ඉන්න පිරිසක් හරහා ගලන නිසා කළු ගඟේ මානවීය තොරතුරු වැඩියි. කළුතොට දක්වාම කළුගං ඉවුරේ අය බලාගෙන ඉන්නවා මම එනකල්. දරුවන් මට කළු ගඟේ මාමා, ගඟදිගේ මාමා කියනවා. මම කැමතිම දේ මේ වැඩසටහන පාසල් නිර්දිෂ්ටයක් නොවුණත් ගුරුවරු මේ වැඩසටහන දරුවන්ට බලන්න නිර්දේශ කරන එකයි. පොඩි දරුවන් ජැක්සන් මාමා එක්ක ගඟදිගේ යනවා කියලා ඩලස් අලහප්පෙරුම ඇමැතිතුමා අධ්‍යාපන ඇමැති කාලේ කියූ පොත ලියනවා. මමත් මෙය කරන්නේ වර්තමානිකයන්ගෙන් පැසසුම් ලබනවාට වඩා අපෙන් පසු පරම්පරාවල දරුවන්ට වැදගත් වෙයි කියන හිතිවිල්ලෙන්. ඉතින් මම හරි සතුටින් මේ ගමන යන්නේ. ඒ වගේම මම මේ කළු ගඟ නම් කරන්නේ උකුල පළල් වූ ගංගාවී කියලනේ... මහවැලි ගඟ පිරිමියෙක් වගේ. කළු ගඟ කාන්තාවක් වගේ. හරිම අනුරාගී. කළු ගඟ ලෙස හඳුන්වන්නේ ගස්කොලන්වලින් අන්ධකාර වුණු වැසි වනාන්තරයක් හරහා එන නිසා. ඒ වගේම මෙය එන්නේ කළු පාට සරු පස මැදින්. ඒ සරුකමත් අඳුරුකමත් රහස්‍යකමත් පුළුල් උකුලත් උග්‍ර අනුරාගී බවේ ලක්ෂණ. එය තමයි සංචාරකයාට ආරාධනා කරන්නේ ඇය වෙත එන්න. ඒ නිසා කළු ගඟත් මාත් අතර තිබෙන්නේ බොහෝ සුන්දර, ප්‍රේමණීය, අනුරාගී බැඳීමක්.

එසේ කියන ඔහුගේ ආශාව කැලණි, වළවේ ගංකොමළියන්ගේ හැඩරුවද දැකීම බව දන්නා නිසා සියලු රසිකයන් වෙනුවෙන් අප සුබපැතුම් එක් කළේ ඉතිරි ගංගා දිගේත් මේ අයුරින්ම යමින් අපට රසවත් හරවත් තොරතුරු සපයන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියාය...